අපේ බුදුහාමුදුරුවෝ 258 (සන්තිකේ නිධානය)
සත්සතිය 02
පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව
එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් සුව විඳිමින් සත් දිනක් එකම පළඟින් වැඩ සිටියා. ඉන්පසු අටවෙනි දිනයෙහි යමක ප්‍රාතිහාර්යය පෑ බව අප මීට කලින් ලිපියේ සඳහන් කළා. (යමක ප්‍රාතිහාර්යය දාහතර වැනි දිනයේදී සිදුකල බව අභිධර්ම අටුවාවෙහි කියවෙනවා. සත්වෙනි දින අවසානයේ ලෙස සඳහන් කලේ විනය අටුවාවෙහි සඳහන් පිළිවෙලට.) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දින ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටියා. ඔබ මම හොඳින් දන්නා පරිදී බුදුවීමෙන් පසු දෙවන සතිය බුදුරජාණන් වහන්සේ ගතකලේ තමාට බුද්ධත්වයට සෙවණ දුන් ඇසටු බෝධිය දෙස ඇසපිය නොහෙළා බලා සිටිමින් තමා විසින් අවබෝධ කොටගත් ඒ අතිමහත් ධර්මය මෙනෙහිකරමින්ය. එහෙත් ඒ පිළිබඳව වැඩි විස්තරයක් සුත්‍ර පිටකයේ සොයාගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඒ අඩුව පිරවීමට මහාචාර්යය රෙරුකාණේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේගේ බෝධි පුජාව නමැති ග්‍රන්ථයේ මෙම කොටස ඇතුලත් කරන්නට සිතුණා .
මහා බෝධිය
බෝධි වෘක්‍ෂවල සර්‍වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නො ලබා බුදු විය නො හැකි ය. මහ බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධිමූලයන්ට එළඹෙන්නේ ඒ නිසා ය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණෙකි. එයින් ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුවරුන් පරිභෝග කළ වස්තූහු ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ බුදු වූ විගස ම ඒ අසුනෙන් නො නැඟී බෝධියට පිට දී සතියක් ම එතැන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසා ද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්‍ෂවලින් සියල්ලට උසස් වෘක්‍ෂය වන බැවින් ඒ වෘක්‍ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින් ද ශක්‍ර බ්‍රහ්මාදි මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින් ද මහා බෝධි නම් විය.
බෝධි මණ්ඩලය
ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍යලෝක බ්‍රහ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍රහ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.
සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.
පළමුවන බෝධි පූජාව නොහොත් අනිමිසලෝචන පූජාව
ශ්‍රී මහා බෝධීන් වහන්සේට පළමු වන පූජාව කෙළේ ද තථාගතයන් වහන්සේ විසිනි. ලොවුතුරා බුදු බව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධි මූලයේ වජ්‍රාසනයේ ම පළමුවන සතිය ගෙවා ඉන් නැඟිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ මාගේ අදහස මේ බෝධිමූලයේ දී මස්තකප්‍රාප්ත වූයේ ය. මෙය නිකම් ම අත් හැර නො යා යුතු ය. මා හට බුදු බව ලැබීමට උපකාර වූ මේ බෝධි වෘක්‍ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුය යි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පඤ්ච වර්ණයෙන් බබලන්නා වූ නෙත් දෙකින් ඇසිපිය නො හෙළා ම සතියක් මුළුල්ලෙහි බලා ගෙන සිටි සේක. එය නේත්‍ර පූජාවෙකි. එයට අනිමිසලෝචන පූජාව ය යි කියනු ලැබේ. එය ඉතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නො හෙළා විසීම ද දුෂ්කර ය. එහෙත් තමනට බුදු බව ලබා ගැනීමට ආධාර වූ ස්ථානය බව සලකා ඒ දෙස ඇසි පිය නො හෙළා බලාගෙන සතියක් ම ඇසින් පූජා කරමින් සමවත් සමවැද සිටිසේක. (මෙතැන අනිමිසලෝචන චෛත්‍ය නම් වී.)
උපකාරක ග්‍රන්ථ
මහාචාර්යය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත බෝධි පුජාව නම් ග්‍රන්ථය
පඨමං බෝධිපල්ලංකං – දුතියංච අනිම්මිසං
තතියං චංකමණං -සෙට්ඨං – චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලඤ්ච – මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං – වන්දේ තං මුනිසේවිතං