අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)238

 

ෂට් අසාධාරණ ඤාණ 17

අසිරිමත් බුදුගුණ වරුණ 32

අනාවරණ ඤාණය 02

සර්වඥතාඥාණයත් අනාවරණ ඤාණයත් එකක් බව මිට පෙර ලිපියේ සඳහන් කළා. සියලු සංඛත, අසංඛතයන් සර්වප්‍රකාරයෙන් දැනීම, සර්වඥතාඥාණය නමිනුත් මෙහිලා අරමුණු කිරීමෙහිදී සංකත අසංකත වශයෙන් හෝ අතීත වර්තමාන අනාගත වශයෙන් කාල අවකාශ වශයෙන් හෝ එහිලා ආවරණයක්, බාධාවක් සීමාසහිත බවක් නැතිබැවින්, එය අනාවරණ ඥාණය වශයෙන් හඳුන්වන බව දැනගත්තා. සර්වඥතාඥාණය කොතරම් ප්‍රභලදැයි කිවහොත් සම්මා සම්බුදුවරයෙකු සතු ඒ සර්වඥතාඥාණය දේශණා කිරීමේදී පවා මහපොළව සෙලවී යන බව සඳහන් වනවා.

බ්‍රහ්මදත්ත මානවක තුමන් දෙදෙනාගේ බහින් බස් වීමක් නිමිතිකරගෙන “බ්‍රහ්මජාල සූත්‍රය” දේශනා කල අවස්ථාවේ එදා හැටදෙවාරයක් උන්වහන්සේ සර්වඥතා ඥාණය ප්‍රතිඥා කළා. ඒ හැටදෙවාරයම පොළව කම්පා වුනා.

තවත් අවස්ථාවක සාකේත නගරයේ කාලකාරාම සූත්‍රය දෙසූ දවසේ, හත් වාරයක් සර්වඥතාඥාණය ප්‍රතිඥා කළා. හත් වාරයක් ම පොළොව කම්පා වුනා.

තවත් අවස්ථාවක් තමයි, පන්සීයක් භික්ෂූන් වහන්සේලාට විශාලා මහනුවර සමීපයේ ගෝතමක චෛත්‍යස්ථානයේදී තුන්වාරයක් බුද්ධත්වය, සර්වඥතාඥාණය ප්‍රතිඥා කළා. මහ පොළොව තුන් වාරයක් කම්පා වුනා.

මේ තරම් පොළොව කම්පිත වෙන තරම්, පුදුම දෙයක් තමයි, තමන් වහන්සේ සර්වඥයි කියලා අභීතව ප්‍රකාශ කිරීම. මේ තරම් අභීතව සීහනාද කරන්න සුදුසු උතුම් වූ ප්‍රඥාව සර්වඥතා ඤාණයයි. සර්වඥතා ඤාණයෙහි සීමා රහිත අසීමිත බව අනාවරණ ඥාණයයි.

දැන් අපි සලකා බලමු, සර්වඥතාඥාණය පිළිබඳව ධර්මසේනාධිපති ශාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ වචන දෙස. වචන වශයෙන් ගැඹුරු වෙන්න පුළුවන්. අපි හැකිතාක් එය තේරුම් ගැනීමට පුළුවන් තරම් නුවණ යොදමු.

අතීතං සබ්බං ජානාතීති සබ්බඤඤුඤාණං

 තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

අතීත කාලයෙහි යම්තාක් සංඛත අසංඛත තිබුණා නම්, ඒ සියල්ලම උන්වහන්සේ දන්නවා. ඒ සියල්ලම ආවරණයක් නැතිව දන්නවා. ඒ නිසා සර්වඥතාඥාණය අනාවරණ ඥාණයත් අතීත කාලය පිළිබඳව පවතිනවා.

අනාගතං පච්චුපන්නං

අනාගත කාලයේ සංඛත, අසංඛත සියල්ල සර්වඥයන් වහන්සේ දන්නවා. එහි ආවරණයක් නැතිව දන්නවා. වර්තමාන කාලයේ සංඛත, අසංඛත සියල්ලම සර්වඥයන් වහන්සේ දන්නව. එහිලා ආවරණයක් නැතිව දන්නවා. එනිසා තුන් කාලය පිළිබඳව සියල්ල දන්නා බැවින්, සර්වඥතා ඤාණයයි. සියල්ල දැකීමේදී ආවරණයක් නැති නිසා, අනාවරණ ඥාණයයි.

චක්ඛුඤ්චේ ව රූපා ච ඒතං සබ්බං ජානාතීති

සබ්බඤඤුඤාණං තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

අපි යමක් දක්නා ඇසක් තිබෙනවානෙ චක්ඛු කියලා. මේ චක්ඛුව පිළිබඳව සියල්ලත්, චක්ඛුවට අරමුණුවන වර්ණරුප සියල්ලත් ඒ සර්වඥයන් වහන්සේ දන්නව. ඒ දැනීම සවඥතා ඤාණයයි. ඒ හා දැකගැනීමට බාධාවක් නැති බව අනාවරණ ඤාණයයි.

සෝත ප්‍රසාදය හා ශබ්ද අරමුණු

ඝාන ප්‍රසාදය හා ගන්ධ අරමුණු

ජිව්හා ප්‍රසාදය හා රස අරමුණු

කාය ප්‍රසාදය හා ස්පර්ශ අරමුණු

සිත හා සිතට අරමුණු වන ධර්ම අරමුණු,

මේ සම්බන්ධව ඒ සදොරත් සදොරට අරමුණු වන සෑම අරමුණත් පිළිබඳවත් සියල්ල දක්නා බැවින් සර්වඥතා ඤාණයයි. එහිලා ආවරණයක් නැති බැවින් අනාවරණ ඥාණයයි.

ඊළගට සඳහන් කරනවා ත්‍රිලක්‍ෂණය

යාවතා අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනන්තට්ඨං

 තං සබ්බං ජානාතීති සබ්බඤඤුඤාණං

තත්ථ ආවරණං නත්ථි ති අනාවරණඤාණං

අනිත්‍ය කියා යම් අර්ථයක් තිබෙනවා. දුක්ඛ නැමැති අර්ථයක් තිබෙනවා, අනාත්ම නැමැති අර්ථයක් තිබෙනවා.

අනිත්‍ය කියන්නේ – යමක් ඇතිව නැතිව යනවා නම් එය අනිත්‍යයි.

දුක්ඛය කියන්නේ – ඇතිවීම නැතිවී දෙකෙන් නිතර පෙලෙනවා නම් යමක්, ඒක දුකයි.

අනාත්ම කියන්නේ – කැමති කැමති සේ නොපවතිනවා නම් යමක් අසාර නිස්සාර නම් යමක්, එය අනාත්මයි.

අනිත්‍ය නිසා දුකයි. අනාත්මයි.

දුක්ඛය නිසා අනිත්‍යයි. අනාත්මයි

අනාත්මය නිසා අනිත්‍යයයි. දුකයි.

මේ තුන ඒකාබද්ධ ලක්‍ෂණ තුනක්. යම් වස්තුවක අනිත්‍ය ලක්‍ෂණය ඇතොත්, එතන තියෙනවා දුකත්, අනාත්මයත්. යම් තැනක දුක්ඛ ලක්‍ෂණය ඇතොත්, එතන තිබෙනවා අනිත්‍යයත්, අනාත්මයත්. යම් තැනක අනාත්ම ලක්‍ෂණය ඇතොත්, එතන තිබෙනවා අනිත්‍යයත්, දුකත්. මේ ත්‍රි ලක්‍ෂණයට කියනවා සාමඤ්ඤ ලක්‍ෂණ. පොදු ලක්‍ෂණ. සෑම වස්තුවක් ම පාසා තිබෙනවා.

ඊළඟට දේශනා කරනවා කවර කවර දෙයක් පිළිබඳව ද අනිත්‍ය දුක්ඛ, අනත්ත දකින්නේ කියල.

යාවතා රූපස්ස අනිච්චට්ඨං දුක්ඛට්ඨං

අනන්තට්ඨං තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤත ඥාණං,

තත්ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං

මේ ලෝකයේ යම්තාක් රූප ඇතොත්, රූප ජාති තියෙනවානේ සියල්ල සත්වසන්තාන තුළ 28ක්, බාහිර අචේතනික වස්තුවල නම් රූප ජාති අටක් හෝ නවයක්, ඒ සියලුම ආධ්‍යාත්මික, බාහිර වූ රූපයන් පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සියල්ල දක්නා බව සර්වඥතා ඤාණයයි. එහිලා ආවරණයක් නැති බව

අනාවරණ ඥාණය නම් වෙනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » සබ්බඤ්ඤුතඤාණ නිද්දේශය