අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)223

 

අසිරිමත් බුදුගුණ වරුණ 16

ෂට් අසාධාරණ ඤාණ 02

මැදියම් රාත්‍රිය ආසන්න වනවිට දැනෙන අධික වෙහෙස මහන්සිය නිදිමත, ලිපිය දිර්ඝවිම වැනි කරුණු නිසා සමහර කරුණු නොලියා අතහැරෙනවා. ඒත් පහුවදාට ඒ පිළිබඳව සිත දොස් කියනවා. පෙර දින ලිපියෙත් ඒ දේම සිද්ධ වුනා. ඒ පිළිබඳව චිත්ත සන්තානයේ පැන නැගෙන දොම්නස නිසාම යලිත් හැකි අයුරින් විස්තරාත්මකව ඒ කරුණුම ලියන්න සිතා ගත්තේ මේ ලිපි පෙළ හදිසියේ නිමකිරීමට ලියන්නක් නොවන නිසාමයි. පද ගැලපීමේදී කරුණු එක්රැස් කිරීමේදී මගහැරී යන අනන්තවත් දේ ඇති. බුදුන් දහම් සඟුන්ගෙන් මෙන්ම ඔබලාගෙනුත් ඒ පිළිබඳව සමාව අයදිනවා.

දෙවිසි ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රිය, සහ සම්මා සම්බුදුවරයෙකුගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙහි කාර්‍යය භාරය.

දෙවිසි ඉන්ද්‍රියන් ලෙස බුදුදහමේ ඉන්ද්‍රිය වර්ගීකරණයේදී 1.චක්ඛු ඉන්ද්‍රිය, 2.සෝත ඉන්ද්‍රිය, 3.ඝාණ ඉන්ද්‍රිය, 4.ජිව්හා ඉන්ද්‍රිය, 5.කාය ඉන්ද්‍රිය, 6. මනින්ද්‍රිය, 7. ඉත්ථීන්ද්‍රිය, 8. පුරිසින්ද්‍රිය, 9.ජීවිතින්ද්‍රිය, 10.සුඛින්ද්‍රිය, 11.දුක්ඛින්ද්‍රිය, 12.සෝමනස්ස ඉන්ද්‍රිය, 13.දෝමනස්ස ඉන්ද්‍රිය, 14.උපේක්ඛින්ද්‍රිය, 15.සද්ධින්ද්‍රිය, 16.විරියඉන්ද්‍රිය, 17. සති ඉන්ද්‍රිය, 18. සමාධි ඉන්ද්‍රිය, 19. පඤ්ඤින්ද්‍රිය, 20. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්‍රිය, 21. අඤ්ඤින්ද්‍රිය, 22. අඤ්ඤාතාවී ඉන්ද්‍රිය යනුවෙන් නම් වෙනවා.

ඒ අතරින් අගට තිඛෙන අනඤ්ඤාස්සාමීති ඉන්ද්‍රිය සෝවාන් මාර්ග ඤාණය වශයෙන් හඳුන්වනවා. අඤ්ඤින්ද්‍රිය සෝවාන් මාර්ගයෙන් ඉහළ අරහත් මාර්ග ඤාණය දක්වා පවතින මාර්ගඵල ඤාණ හයයි. අඤ්ඤාතාවී ඉන්ද්‍ර්‍රිය අරහත්ඵල ඤාණය යි. එම තුන ලෝකෝතරමයි.

මෙතැනදී ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙන් විශ්ලේෂණයට ලක්වෙන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම අතරින් 15.සද්ධින්ද්‍රිය, 16.විරියඉන්ද්‍රිය, 17. සති ඉන්ද්‍රිය, 18. සමාධි ඉන්ද්‍රිය, 19. පඤ්ඤින්ද්‍රිය කියන බෝධිපාක්ෂික ධර්ම පසයි. මෙම සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය පහ ලෞකික ලෝකෝත්තර දෙකටම සාධාරණයි.

ඉන්ද්‍රිය යන්නෙහි අරුත

තථාගතයන් වහන්සේව ඉන්ද්‍ර ̃ නමින් හඳුන්වනවා. අපි නම කියනකොට මුනින්ද්‍ර කියනව, සුගතීන්ද්‍ර කියනව. ඔයවාගේ ඉන්ද්‍රිය භාවිතාවක් අපි භාවිතා කරනව. ඉන්ද්‍රිය කියන්නේ, ප්‍රධාන කියන එකයි. මුනිවරයින් වහන්සේලාගේ ප්‍රධාන බැවින්, ශ්‍රේෂ්ඨ බැවින්, භාග්‍යවතුන් වහන්සේට මුනීන්ද්‍ර ̃ කියනව. ඒ වගේම තම තමාට අයිති කටයුත්තෙහි යම් යම් චිත්ත චෛතසික ධර්මයක් හෝ, රූප ධර්මයක් ප්‍රධාන වෙනව නම්, ඒකට කියනව ඉන්ද්‍රිය කියල.

ඉන්ද්‍රාර් ථය නමින් එය හඳුන්වනව. සක්දෙව් රජ්ජුරුවෝ දිව්‍යලෝක දෙකකට නායකයි, ප්‍රධානයි. එනිසා ශක්‍ර දේවේන්ද්‍ර කියනව. ඉන්ද්‍ර කියල සක්දෙව් රජ්ජුරුවන්ට නමක් තියෙන්නේ ඒනිසයි. ඒ වගේ මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන පංචකයටත් තියෙනවා ප්‍රධානත්වයක්. මේ ප්‍රධානත්වය තිඛෙනව ක්‍රම දෙකකට.

  1. ප්‍රදේශ අධිපති
  2. සර්වත්‍ර අධිපති කියල.

ප්‍රදේශ අධිපති කියන්නේ එක එක ප්‍රදේශවලට නායකත්වය. සර්වත්‍ර අධිපති කියන්නේ හැම තැනටම නායකත්වය. සක්විති රජ්ජුරුවෝ වාගේ. සක්විති රජ්ජුරුවෝ නම් මුළු පොළෝ තලයට ම නායකයි, අධිපතියි. ප්‍රදේශ භාර රජ දරුවෝ ඉන්නව, එක එක රාජධානියට අධිපති. ඒ වාගේ අපේ සන්තානවල පවතිනව ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියල අධිපති ධර්ම හතරක්. මේවා සර්වත්‍ර අධිපති සැම තැනටම නායකත්වය දරනවා, මේ අධිපති ධර්ම හතර. ඒ හැර ඉහත කී ඉන්ද්‍රිය විසිදෙක තම තමාට අයිති කෘත්‍යරසයෙහි ප්‍රධානත්වයක් උසුලනවා. මෙම ඉන්ද්‍රිය ධර්ම පස සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතරෙන් බෝධිපාක්ෂික ධර්මයන් ලෙස ප්‍රධානත්වයක් ගන්නා බැවින් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙන් කරනු ලබන විමර්ශනයේදී මුල් තැනක් ලැබෙනවා. ඒ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණ විමර්ශනය යුගල වශයෙන් ප්‍රභේද පහකට බෙදා දක්වනවා. ඒ නිසා සෑම ඉන්ද්‍රිය ධර්මයක්ම කොටස් දහයකට වෙන්වෙනවා. ඒ අනුව පුද්ගල සන්තානයේ ඒ වනවිට වැඩි ඇති පංච ඉන්ද්‍රිය ධර්ම 5 x කිරීම යුගල වශයෙන් ප්‍රබේද 10 යනුවෙන් පහත දැක්වෙන පරිදී පනස් අකාරයකට ක්ෂණයකින් සම්මා සම්බුදුවරයෙකු විසින් දැන හඳුනා ගන්නවා. ලිපිය දිග වැඩි වූ බැවින් ඒ පිළිබඳව හෙට ලියන්නම්.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

පටිසම්භිදාමග්ග පාළිය, ඤාණකථා, මහානිද්දේසපාළිය,