අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)216
අසිරිමත් බුදුගුණ වරුණ 09
උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 03
සංස්කාර හෙවත් සංඛාර යනු කුමක් දැයි තවදුරටත් හඳුන්වන බුදුරජාණන් වහන්සේ එහි මුලික වශයෙන් ලක්ෂණ තුනක් ඇති බව අඞ්ගුත්තරනිකායේ » තිකනිපාතපාළියෙහි » චූළවග්ගයෙහි » සංඛත ලක්‍ෂණ සූත්‍රයේ මෙලෙස පෙන්වා දෙනවා.
“මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්. එම ලක්ෂණයන්ගෙන් හෙබි සංස්‌කාර ලෝකය පිළිබඳ ව විශුද්ධිමාර්ගයේ මෙලෙස සඳහන් වෙනවා.
සංස්කාර ලෝකය.
“ලෝක එකෙකි – එනම් සියලු සත්ත්‍වයෝ ප්‍රත්‍යයෙන් පවත්නෝ ය.
“ලෝක දෙකෙකි – එනම් නාම – රූප ය.
“ලෝක තුනෙකි – එනම් සුඛ, දුඃඛ, උපෙක්‍ෂා යන ත්‍රිවෙදනාය.
“ලෝක සතරෙකි – එනම් කබලීකාර, ඵස්ස, මනො සඤේචතනා,විඤ්ඤාණ යන සතර ය.
“ලෝක පසෙකි – එනම් පංච උපාදානස්කන්‍ධයෝ ය.
“ලෝක සයෙකි – එනම් ආධ්‍යාත්මික ආයතන සය ය.
“ලෝක සතෙකි – එනම් විඥාන සථිති සත ය.
“ලෝක අටෙකි – එනම් අෂ්ට ලෝක ධර්‍ම ය.
“ලෝක නවයෙකි – එනම් සත්ත්‍වාවාස නව ය.
“ලෝක දසයෙකි – එනම් ආයතන දස ය.
“ලෝක දෙලොසෙකි – එනම් ආයතන දොලොස ය.
“ලෝක අටලොසෙකි – එනම් ධාතු අටලොස ය.”
මේ සංස්කාර ලෝක යි. මේ සංස්කාර ලෝකයන්හි සියල්ල තමන්විසින්ම අවබෝධකොටගත් බැවින් උන්වහන්සේ මෙලෙසද “ලෝකවිදූ යන නාමයෙන් හඳුන්වනවා. (නිර්‍වාණය ද, මාර්‍ග-ඵල ද සංස්කාර ලෝකයට ඇතුළත් නොවේ. නිර්‍වාණය ප්‍රත්‍යයෙන් නො පවත්නේ ය. මාර්‍ග-ඵල ප්‍රත්‍යයෙන් නිපන් ද ලෝකොත්තර බැවින් සංස්කාර නො වන්නේ ය. සංස්කාර වනාහි අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත යි.)
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
විශුද්ධි මාර්ගය – ඡ අනුස්සති නිර්දේශය – බුද්ධානුස්මෘතිය
අඞ්ගුත්තරනිකාය » තිකනිපාතපාළි » චූළවග්ගො » සංඛත ලක්‍ෂණ සූත්‍රය