අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)210

 

අසිරිමත් බුදුගුණ වරුණ 03

උන්වහන්සේ මෙසේ “සම්මාසම්බුද්ධ” නම් වූ සේක.

‘කතමො ච පුග්ගලෝ සම්මාසම්බුඬො? ඉධෙකච්චො පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ක්‍ධති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුඬො’

සම්මාසම්බුද්ධ නම් කවරදැයි විවරණය කරන මේ පාඨය පාලියෙහි සඳහන් අර්ථ ගැන්වීමට අනුව විස්තර කිරීම අපහසු වුවත් එහි සරල අර්ථය මෙපරිදී දත යුතයි. “යම් පුද්ගලයෙක් අනිකකු ගෙන් නො අසා ස්වශක්තියෙන්ම ස්ඛන්ධාදි ධර්ම විෂයෙහි චතුස්සත්‍යය දැන ගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැනගැනීම් වශයෙන් සර්‍වඥත්වය ට පැමිණේද, බලයන්හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේය.” යනු එහි එහි කෙටි සරළ අරුතයි.

එය තව දුරටත් විශුද්ධි මාර්ගයේ මෙලෙස පැහැදිළි කරනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ අවිපරීත කොටැ සියලු ධර්‍මයන් පරෝපදේශ රහිත වැ තමන් වහන්සේ ම අවබෝධ කළ සේක. එහෙයින් උන්වහන්සේ සම්මාසම්බුද්ධ ය. (“සම්මා” යන්නෙන් අවිපරීත කොටැ යන අර්‍ථය ද, “සා” යන්නෙන් තමන් වහන්සේ ම යන අර්‍ථය ද සඳහන්. “සියලු ධර්‍මයන්” යි කර්‍මය ගත්තේ එක දේශයක් නො දක්වන ලද බැවිනි. එක දේශයක් නො දැක්වූ තැන නිෂ්ප්‍රදේශය ගත යුතු ය.)

එසේම උන්වහන්සේ සියලු ධර්‍මයන් ගුරු උපදේශයන්ගෙන් තොරව තමන් විසින්ම අවබෝධ කළ සේක්ම ය. එලෙසම උන්වහන්සේ අභිඥෙය ධර්‍ම අභිඥෙය වශයෙන් අවබෝධ කළ සේක. පරිඥේය ධර්‍ම පරිඥේය වශයෙන් ද, ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ප්‍ර‍හාතව්‍ය වශයෙන් ද, සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම සාත්ක්‍ෂාත් කරණිය වශයෙන් ද, භාවිතව්‍ය ධර්‍ම භාවිතව්‍ය වශයෙන් ද අවබෝධ කළ සේක. අභිඥෙය ධර්‍ම නම් විශිෂ්ට ඥානයෙන් දත යුතු චතුස්සත්‍ය ධර්‍ම යි. ලක්ඛණ – රස – පච්චුපට්ඨාන – පදට්ඨාන වශයෙන් දත යුතු ධර්‍ම හෝ පරිඥෙය ධර්‍ම නම් හාත්පසින් දත යුතු දුඃඛ සත්‍යයි. අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳැ දත යුතු ධර්‍ම හේ ප්‍ර‍හාතව්‍ය ධර්‍ම නම් ‍බැහැර කටයුතු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සමුදය සත්‍ය යි. සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම නම් ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැක්ක යුතු නිර්‍වාණ සංඛ්‍යාත නිරොධ සත්‍ය යි. ඵල- නිර්‍වාණ හෝ භාවිතව්‍ය ධර්‍ම නම් වැඩිය යුතු මාර්‍ග ධර්‍ම යි.

“අහිඤ්ඤෙයං අභිඤ්ඤාතං – භාවෙතබ්බංච භාවිතං;

පහාතබ්බං පහීනං මෙ – තස්මා බුද්ධො‘ස්මි බ්‍රාහ්මණ” යි.

‘බමුණ! මා විසින්, ‘අභිඥේය ධර්‍ම අභිඥාත ය. ප්‍ර‍හාතව්‍ය ධර්‍ම ප්‍ර‍හීණ ය. භාවිතව්‍ය ධර්‍ම භාවිත ය. එහෙයින් මම බුද්ධ වෙමි.’ යනු අර්‍ථ යි.

භාග්‍යවතුන් වහන්සේ ඒ චතුස්සත්‍යය ආයතන විඤ්ඤාණා දි වශයෙන් අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ වන සේකැ යි දක්වති.

උන්වහන්සේ චක්‍ෂුරායතනය දුඃඛ සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතනය උපදවීමට මූලකාරණ වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතන – තෘෂ්ණා යන දෙක්හි ම නො පැවැත්ම නිරෝධ සත්‍යය යි ද, නිරෝධ ප්‍ර‍තිවේධ කරන ප්‍ර‍තිපදාව මාර්‍ග සත්‍යය යි ද, මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් සියලු ධර්‍මයන් මනා කොටැ තමන්වහන්සේ ම අවබෝධ කළ සේක. සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන මෙසේ යොදා දත යුතු. මෙසේ ම රූපාදි වූ බාහිරායතන සයද, චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ කාය සය ද, චක්ඛු සම්ඵස්සාදි ඵස්ස සය ද, චක්ඛු සම්ඵස්සජ වේදනාදි වේදනා සය ද, රූපසඤ්ඤාදි සඤ්ඤා සය ද, රූප සඤ්චේතනාදි චේතනා සය ද, රූප තණ්හාදි තෘෂ්ණා සය ද, රූප චිතක්කාදි චිතක්ක සය ද, රූප විචාරාදි විචාර සය ද, රූපක්ඛන්‍ධාදි පඤ්චස්කන්‍ධ ද, දස කසිණ ද, දස අනුස්සති ද, උද්ධුමාතකාදි දස සංඥා ද, කේසාදි දෙතිස් කුණප ද, ද්වාදස ආයතන ද, චක්ඛුධාතු ආදි අටළොස් ධාතු ද, කාම භවාදි නව භව ද, ප්‍ර‍ථමධ්‍යානාදි ධ්‍යාන සතර ද, මෙත්තාදි සතර අප්පමඤ්ඤා ද, ආකාසානඤ්චායතනාදි අරූපසමාපත්ති සතර ද, ප්‍ර‍තිලෝම වශයෙන් ජරා – මරණාදි වූද, අනුලෝම වශයෙන් අවිද්‍යාදි වූ ද, පටිච්චසමුප්පාදාඞ්ග ද යොදා ගත යුතු යි. එයින් අවසන්හි දැක්වුණු ජරා-මරණ යොදන සැටි මෙසේ ය. ජරා-මරණ දුඃඛ සත්‍යය, ජරා – මරණයට ප්‍ර‍ත්‍යය වන ජාතිය සමුදය සත්‍යය, ඒ ජරා-මරණ ජාති දෙක්හිම නිස්සරණය නිරෝධ සත්‍යය, නිරෝධය ප්‍ර‍තිවේධ කරන ප්‍ර‍තිපදාව මාර්‍ග සත්‍ය යි.

මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් ද උන්වහන්සේ සියලු ධර්‍මයන් මනා කොටැ තමන් වහන්සේ ම අවබෝධ කරනු ලැබුවා. එ හෙයින් උන්වහන්සේ “සම්මාසම්බුද්ධ” නම් වනවා.

මෙලෙස සම්මා සම්බුද්ධත්වය ප්‍රතිඥා කරමින් බුද්ධ ශ්‍රී මුඛ දේශනාවෙන්ම දේශණා කරන ලද දේශණා කිහිපයක් පහත දැක්වෙනවා.

සම්මාසම්බුද්ධ සූත්‍රය

“මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත නම්වූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගලතෙම වනාහි ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.”

ගොතමක සූත්‍රය

“මහණෙනි, මම ප්‍රත්‍යක්‍ෂකොට දැන ධර්‍මය දේශනා කරමි. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් නොදැන නොවේ. මහණෙනි, කරුණු සහිතව ධර්‍ම දේශනා කරමි. කරුණු රහිතව නොවේ. විරුද්ධ කරුණු දුරු කරමින්ම ධර්‍ම දේශනා කරමි. විරුද්ධ කරුණු දුරු නොකරමින් නොවේ. මහණෙනි, ප්‍රත්‍යක්‍ෂ නොකොට නොව ප්‍රත්‍යක්‍ෂ කොටම දැන ධර්‍මය දේශනා කරන්නාවූ, කරුණු නැතුව නොව, කරුණු සහිතවම ධර්‍ම දේශනා කරන්නාවූ, විරුද්ධ කරුණු දුරු නොකොට නොව, විරුද්ධ කරුණු දුරු කොටම ධර්‍ම දේශනා කරන්නාවූ, මාගේ අවවාදය කළ යුතුය. මාගේ අනුශාසනය කළ යුතුය.

“මහණෙනි, තොපට තුටුවීමට සුදුසුය. සතුටු සිත් ඇතිවීමට සුදුසුය. සොම්නස් වීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය.

මෙහිදී ගෝතමක සුත්‍රය දෙසු දවසේ සම්මා සම්මා සම්බුද්ධත්වය තුන්වාරයක් ප්‍රතිඥා කළා. මහපොලව තුන්වාරයක් කම්පාවුනා.

ධම්මචක්කප්පවත්ත සූත්‍රය

“මහණෙනි, මට යම්තාක් කල් මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබෝධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.

මෙම ප්‍රථම ධර්ම දේශනය ආරම්භයේ දස දහසක්  සක්වළ කම්පාවුනා.

සේල සූත්‍රය

තවදුරටත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලද සම්බුද්ධත්වය ගැන සේල බ්‍රාහ්මණයාට මෙසේ පවසා සිටියහ.

“රාජා හමස්මි සේල ධම්මරාජා අනුත්තරෝ” – පින්වත් සේල, මම ද රජෙක්මි. අනුත්තර වූ ධර්මරාජයාණන් වෙමි.

“ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං” – ලොව කිසිවෙකුටවත් කිසිසේත් ආපස්සට කරකවන්නට බැරි චක්‍රය ධර්මයෙන් කරකවමි.

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං” – විශිෂ්ට ඤාණයෙන් යුතුව දත යුතු දෙය මවිසින් විශිෂ්ට ඤාණයෙන් දන්නා ලද්දේ ය.

“භාවේතබ්බං ච භාවිතං” – ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වැඩිය යුතු දෙය මවිසින් වඩන ලද්දේ ය.

“පහාතබ්බං පහීනං මේ” – ප්‍රහීන කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මවිසින් ප්‍රහාණය කරන ලද්දේ ය.

“තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ” – එහෙයින් පින්වත් බ්‍රාහ්මණය, මම ‘බුද්ධ’ වෙමි.

“යේසං වේ දුල්ලභෝ ලෝකේ – පාතුභාවෝ අභිණ්හසෝ” – ලෝකයෙහි හැම තිස්සේ ම දකින්නට පුළුවන් විදිහට බුදු කෙනෙක් පහළව සිටීම අතිශයින් ම දුර්ලභ දෙයක්.

“සෝ’හං බ්‍රාහ්මණ සම්බුද්ධෝ – සල්ලකත්තෝ අනුත්තරෝ” – පින්වත් බ්‍රාහ්මණය, අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා වන ඒ මම සම්මා සම්බුද්ධ වෙමි.

ලියා නිමකළ නොහැකි ත්‍රිපිටකය පුරා පවත්නා සම්මා සම්බුද්ධ ගුණයට පසඟ පිහිටුවා වන්දනා කරමි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

විශුද්ධි මාර්ගය – බුද්ධානුස්මෘතිය – ධම්මචක්කප්පවත්ත සූත්‍රය- ගොතමක සූත්‍රය – සම්මාසම්බුද්ධ සූත්‍රය