අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)208
බුද්ධ
මෙම විශ්වය තුළ දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් ද බුද්ධ නම් වනව. ඒ වගේම ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි බුදුවරයෙකු විසින්ම දේශණා කලද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වනවා.
මෙවැනි බුදුවරයෙකුගේ සර්වඥතා අවබෝධය ගැන බිදක් ලිවීමට කරුණු රැස් කරගැනීමට සති කිහිපයක සිට උත්සාහ දැරුවත් එය ඉතා ලේසි කටයුත්තක් නොවුනේ ඒ සුවිශේෂ අවබෝධය මුළු ත්‍රිපිටකය පුරාම විසිරි පැවතීමයි. එවැනි අති සංකීර්ණ ඥාන සාගරයක් වටහාගැනීමට තරම් අපගේ මනස ද වැඩි නොතිබීම තවත් අභියෝගයක් වුනා. විශේෂයෙන්ම මෙම ලිපිපෙලේ දැනට ලියවෙන දෙවැනි කොටස වන අවිදුරේ නිධානය අවසන්වීමට නියමිතව ඇත්තේ සම්මා සම්බුද්ධත්වයෙන්. එහෙත් ඒ අවසානය ඔබ දොහොත් මුදුන් තබා වඳින බුද්ධ ඥාණ කිහිපයක් ගැන හෝ ලියා මින් ඉදිරියට හදපත්ලෙන් පැන නගින අසීමිත ගෞරවයෙන් වන්දනා කිරීමට සැලැස්වීම මෙම අවසන් ලිපි පෙළෙහි සැඟවුන ඒකායන පරමාර්ථයයි. ඉන් පසු “සන්තිකේ නිධානය” නම් වූ අවසාන කොටස පටන් ගැනෙනවා.
උන්වහන්සේ මෙසේ භගවා නම් වූ සේක
බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ සහ බුද්ධ ඥාණ පිලිබඳ ලිපිපෙළ ආරම්භයක් ගන්න සුදුසු ප්‍රවේශයක් ගැන සිතමින් ඉන්නා අවස්ථාවෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භගවා බුදුගුණය අළලා මහානිද්දෙසපාළියෙහි සාරිපුත්ත සුත්‍ර නිර්දේශයෙහි දේශණා කොට තිබූ දීර්ඝ බුදුගුණ වැයුම අසන්නට ලැබී ඇති වුනේ මහත් වූ චිත්තප්‍රිතියක්. එහි අප දන්නා වුත් නොදන්නා වුත් සියලුම බුදුගුණ අන්තර්ගතව ඇතැයි හැඟෙනවා. ඒ ගැන දැනගත්තේ අති පුජ්‍යය නාඋයනේ අරියධම්ම මහ නායක හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න. එය ලියාගන්න කාලවේලාවක් නැතිව ලතවෙනවිට පින්වත් අපගේ කල්‍යාණ මිත්‍ර කථිකාචාර්යය වින්සන් හලහකෝන් මැතිතුමා එය මට ලඝුගණක කොට ඒවා තිබුණා.
- “ භගවාති ගාරවාධිවචන මෙතං බුද්ධානං යදිදං භගවාති” – භගවා කියන්නේ සර්වඥ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්.
- “අපි ච භග්ගරාගොති භගවා”- ඒ නැතත් සර්වඥයන් වහන්සේ රාගය භග්න කළ බැවින්, වින්ද බැවින් භගවා නම් වෙනවා
- “ භග්ග දොසොති භගවා” – භගවා ද්වේෂය බින්ඳ බැවින් භගවා නම් වෙනවා.
- “භග්ග මොහොති භගවා” – මොහය බින්ද බැවින් භගවා නම් වෙනවා.
- “භග්ග මානොති භගවා” – මානය බින්ද බැවින් භගවා නම් වෙනවා.
- “භග්ග දිට්ඨිති භගවා” – දිට්ඨිය, මිත්‍යා දිට්ඨිය බිඳලූ බැවින් භගවා නම් වන සේක.
- “භග්ග කණ්ඨකොති භගවා” – කෙලෙස් කටු බිඳලූ බැවින් භගවා නම් වන සේත.
- “භග්ග කිලෙසොති භගවා” – ඒක්දහස් පනිසියයක් කෙලෙස් බිඳලූ බැවින් භගවා නම් වන සේක.
- “භජි විභජි පටිවිබජි ධම්මරතන්ති භගවා” – ධර්‍මරත්නය භජනය කළාල විජනනය කළා හාත්පසින් බෙදා දෙසූ බැවින් භගවා නම් වන සේක.
- “භවානං අන්තකරොති භගවා” – කාම භව රූප භව අරූප භව ආදී සියලු භවයන් කෙළවර කළ බැවින් ද භගවා නම් වන සේක.
- “ භාවිතො කායො, භාවිතො සීලො, භාවිත චිත්තො, භාවිත පඤ්ඤොති, භගවා” – කාය භාවනාවත්, සිල භාවනාවත්, චිත්ත භාවනාවත්, ප්‍රඥා භාවනාවත්, වැඩු බැවින් ද භගවා නම් වන සේක.
- “භජි වා භගවා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා,” – ඒ් කියන්නේ ආරන්‍ය සේනාසන, ප්‍රාන්ත සේනාසන, මනුෂ්‍යයන්ගේ හඩක් නැති, මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති, මනුෂ්‍යයන්ගේ කථාබහක් නැති, ආශ්‍රයක් නැති, නිශ්ශබ්දතාවෙන් පිරිපුන් වුනා වූ, සමථ විපස්සනා භාවනාවන්ට සුදුසු වූ, මාර්‍ගඵල ලබන්නට සුදුසු වූ ප්‍රාන්ත සේනාසන, විවේක සේනාසන භාජනය කළ නිසා ද භගවා නම් වන සේක.
- “ භාගී වා භගවා චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා,”චීවර ද, ප්‍රණීත ප්‍රණීත චීවර ද, ප්‍රණීත ප්‍රණීත පිණ්ඩපාත, ප්‍රණීත ප්‍රණීත සේනාසන, ප්‍රණීත ප්‍රණීත ගිලානප්‍රත්‍ය භෙසජ්ජපරිස්කාරයන් ලබන්නට භාග්‍යවන්ත බැවින් ද, භගවා නම් වන සේක.
- “භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා” ඒ් සර්‍වඥයන් වහන්සේ අර්‍ථ රසලාභී බැවින් ද, ධම්ම රසය ලාභී බැවින් ද, විමුක්ති රසය ලාභී බැවින් ද, අධිචිත්ත ලාභී බැවින් ද, අධී සීල ලාභී බැවින් ද, අධි පඤ්ඤා ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං ආරුප්පසමාපත්තීනන්ති භගවා” –
- ඒ භාග්‍යවතුන්වහන්සේ රූපාවචර ධ්‍යාන හතරක් ලැබූ බැවින් ද, බ්‍රහ්ම විහාර හතර ලැබූ බැවින් ද, අරූපාවචර සමාපත්ති හතර ලැබූ බැවින් ද, භගවා නම් වන සේක.
- “ භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිඤ්ඤායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා” – අෂ්ට විමොක්ෂ කියන ධ්‍යාන ලාභී බැවින් ද, අටක් වූ අභිභායතන කියන ධ්‍යාන ලාභී බැවින් ද, නව අනුපූර්‍ව විහාර සමාපත්තීන් කියන ධ්‍යාන සමාපත්තීන් ලාභී බැවින් ද, භගවා නම් වන සේක.
- “භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානස්සතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා,” – දස සඤ්ඤා භාවනා ලාභී බැවින් ද, භගවා නම් වන සේක. දස කසින සමාපත්තිලාභී බැවින් ද භගවා නම් වන සේක. දස අසුභ සමාපත්ති ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං – සතර සතිපට්ඨාන ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “චතුන්නං සම්මප්පධානානං” – සතර සම්‍යක් ප්‍රධාන්ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “චතුන්නං ඉද්ධිපාදානං” – හතරක් වූ ෘද්ධි පාදයන් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “පඤ්චන්නං ඉන්ද්‍රියානං” – පඤ්ච ඉන්‍ද්‍රිය ධර්‍ම ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “පඤ්චන්නං බලානං”- පඤ්ච බල ධර්‍මයන් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “සත්තන්නං බොජ්ඣඞ්ගානං” – සප්ත බොජ්ඣඞ්ග ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා” – ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “භාගී වා භගවා දසන්නං තථාගතබලානං” – තථාගතඥාණබල දහයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “චතුන්නං වෙසාරජ්ජානං” – විසාරද ඥාණ හතරක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “චතුන්නං පටිසම්භිදානං” – පටිසම්භිදා ඤාණ හතරක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “ඡන්නං අභිඤ්ඤානං” – අභිඤ්ඤා ඥාණ හයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
- “ඡන්නං බුද්ධධම්මානන්ති භගවා”- බුද්ධ ධර්‍ම හයක් ලාභී බැවින් ද භගවා නම් වන සේක.
එමෙන්ම එම සුත්‍ර දේශනාවේ වැඩි දුරටත් මෙලෙස සඳහන් කරමින්, මෙම භගවා යන නාමය මහ මායා දේවිය විසින් තැබුවක් නොව, ශුද්ධෝදන රජතුමා විසින් තැබුවක් නොව පිය පස හෝ මවු පස ඥාතීන් විසින් තබන ලද්දක් ද නොව, නන්ද ආනන්ද ආදී සහෝදර කෙනෙක් තැබූ නමක් නොව,රූප නන්දා ජනපද කල්‍යාණි ආදී සොහොදරියක් විසින් තබනු ලැබූ නමක් නොව, හිත මිතුරන් තැබූ නමක් නොව, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් තැබූ නමක් නොව, දෙවියෙක් බ්‍රහ්මයෙක් තැබූ නමක් නොව, සර්වඥයන් වහන්සේ බෝමුල අරා වැඩහිඳිමින් සපිරිවාර මාර පරාජයකොට යම් අලුයම් කාලයකදී දසදහසක් සක්වළ කම්පා කරමින් සතර මග පිළිවලින් ගොස් අරිහත් මලක්සේ අරිහත් ඵලයට පත්වූ සේක්නම්, ඒ විමොක්ශාන්ත නමැති ඒ අරිහත් ඵලයට පතවන විටම ඒ මත පිහිටා භගවා යන නාමය ලොවට උරුම වූ භවයි.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
මහානිද්දෙසපාළි සාරීපුත්‍ර සූත්‍ර නිර්දෙශය,