අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)207

 

මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා වුනා. මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලූ කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාරනු ලැබුවා.

දෙතිස් පෙර නිමිති

 සම්මා සම්බුදු රජාණන් වහන්සේ දස දහසක් ලෝක කම්පා කොට අළුයම් වේලෙහි සියල්ල දන්නා නුවණ හෙවත් සබ්බඤ්ඤුත ඤාණය අවබෝධ කරන කල්හි දස දහසක්  සක්වළ  දෙතිස් පෙරනිමිති පහළවුනා. මේ දෙතිස් පෙරනිමිති සම්බන්ධව මිට පෙර “අපේ බුදුහාමුදුරුවෝ නවවෙනි කොටසෙහි ලීවා. එහෙත් එය කියවීමට නොලැබුන පින්වතුන්ගේ දැනගැනීම පිණිස නැවත මෙහි සඳහන් කරන්නට සිතුවා.

උන්වහන්සේ බෝධිමුලයේ සියල්ල දත් නුවණ නොහොත් “සබ්බඤ්ඤුත ඤාණය” අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන මොහොතේම

  1. දසදහසක් සක්වළ කම්පිත ප්රකම්පිත වන්නට වුනා.
  2. දසදහසක් සක්වළ දෙවියෝ එදින එක් සක්වළකට රැස්වුණා.
  3. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරී ගියා.
  4. සිර කරනු ලැබූ සියලු සත්ත්වයෝ විලංගු, සිරගෙවල් ආදියෙන් මිදුණා.
  5. අධි ශීත, අධි උෂ්ණ සම වුනා.
  6. සුළං කුණාටු ඇති වුණේ නැහැ. මුළු පරිසරයම නිහඬ වුනා.
  7. ගංගාවෝ ගලා නොගොස් නැවතුණා.
  8. එකෙනෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපෙන්නට පටන්ගත්තා.
  9. තුරු ලිය ඵල බර වුනා.
  10. ආකාස ගත වුද පොළවෙහි වුද සියලු රුවන් දිළිසෙන්නට වුනා
  11. මිනිස් හා දිව්ය තුර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වුනා.
  12. නා නා වර්ණ මල් වරුසා අහසින් වසින්නට වුනා.
  13. මහා මුහුදු රළ සංසිදී ලුණු රස පහවගොස් මිහිරි රැසක් හටගත්තා.
  14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්ය විමන්වල නටන්නට වයන්නට,ගයන්නට, ක්‍රීඩා කරන්නට, දජ පතාක දමන්නට පටන් ගත්තා එකෙණෙහිම මහකවුළු දොරගුළු ඉබේටම විවර වුනා,
  15. නිරයවල නිරන්තරයෙන්ම ඇවිලුණු මහා ගිණිදැල් නිවෙන්නට පටන්ගත්තා,
  16. බුද්ධාන්තරයක් පුරා දිය පොදක් නොලත් ප්‍රත ලෝකයෙහි පිපාසය පහවගියා.
  17. හිරු දීප්තිමත්ව බබලද්දී සියලු තාරකාවෝ පෙනෙන්නට වුනා.
  18. වැසි නො වැසම පොළොවෙන් ජල දහර උඩට පැන නැග්ගා,
  19. තරු සමූහය සමග නැකත් තරුද අහසේ බබළන්නට වුනා.
  20. සඳ විසාවේ නැකත් හා යෙදෙන්නට වුනා.
  21. පෘථිවියේ ගුහාවල වාසය කරන සත්ත්වයෝ එකවර එයින් නික්මුණා
  22. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටු වුවන් බවට පත්වුණා.
  23. උපතින්ම අන්ධවුවන් හට පෙනීම ලැබුණ. බිහිරෝ ශබ්ද ඇසුවා. මානසික ආබාධිතයනට සිහි එළඹුණ. කොර වුවෝ පයින් ගමන්කළ
  24. සියලු සත්ත්වයන්ගේ රෝග හා සාගිනි දුරුවුනා
  25. සියලු සත්වයන්ගේ බය පහවගියා
  26. දුහුවිලි තවදුරටත් ඉහළට නැගුණේ නැහැ.
  27. අමිහිරි සුවඳ නැති වී මිහිරි සුවඳ දසත හමා ගියා
  28. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙවු බඹුන් පෙනෙන්නට වුනා.ඒ විතරක් නෙවයි, සියලු නිර මිනිසුන්ට පෙන්නේට වුනා.
  29. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහණ වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල ආලෝකයක් ඉපැදුණා.
  30. බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහස මෙන් වුනා
  31. මියා පූසා වැනි නිත්‍ය වෛරී සත්වයෝ පරම මෛත්‍ර සිත් ලැබුවා. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණා. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්‍රිඩා කළා. ගෙවලමියෝ බළලුන් හා සෙල්ලම් කළහ.
  32. එක් ක්ෂණයෙහි සත්වයන් චුති හෝ ප්රතිසන්ධි වශයෙන් ලොව පහළවීම සහ නික්මීම වුනේ නැහැ.

මෙසේ දස දහසක් සක්වළ සියලු අලංකාරයෙන් සැරසුණ. ඒ  සක්වළ  පෙරදිග මුවවිටියෙහි එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර බටහිර මුවවිටියෙහි පතිත වුනා. එසේම බටහිර මුවවිටියෙහි එස වූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර පෙරදිග මුවවිටියෙහි පතිත වුනා.මේ අයුරින් උතුරු-දකුණු දිශාවල එසවූ ධජ කෙළවරින් නිකුත්වෙන රැස් දහර වල්ද ප්‍රතිවිරුද්ධ දිශා මුවවිටියෙහි වැදුණා. පොළොවෙහි ඔසවන ලද ධජ කෙළවර බඹලොව හැපුණා කියනවා. එසේම දස දහසක්  සක්වළ  මල්, ගෙඩි හටගන්නා ගස් වල මල් ගෙඩි හට ගැනුණ. රුක් කදෙහිද මල් පිපුණි.අතු රිකිලි ලියවැල් වල මල් පිපුණි.ගල් තලා බිඳ මතු මතු සතක් වනසේ දඬු පියුම් පැන නැගුණ. මෙසේ අපමණ සිරි සැපතින් බුද්ධත්වය පිදුම් ලබද්දී විවිධ අසිරිමත් දේ පහළ වෙද්දී සබ්බඤ්ඤුත ඤාණය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධකොට සියලු බුදුවරයන් විසින් අත් නොහරින ලද ප්‍රීති වාක්‍ය උන්වහන්සේගේ මුවින්ද පහළ වුනේ සාරසංඛේය කල්පලක්ෂයක විඩාව පහකරන්නා වගේ.

“අනේක ජාති සංසාරං – සංධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨොසි – පුන ගේහං න කාහසි

සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං

විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛය මජ්ඣගා ”

“ පඤ්චස්කන්ධය කියන ගෙය හදන තණ්හාව කියන වඩුවා සොය සොයා මේ සසරෙහි නොයෙක් ජාතිවල ඇවිද්දත් මට ඒ වඩුවා දැකගන්නට නොහැකි වුනා. නැවත නැවත ඉපදීම දුකක්. එම්බා වඩුව, මන් නුඹව දැක ගත්තා. නැවත නුඹ මට පඤ්චස්කන්ධය කියන ගෙදර හදන්නේ නෑ. නුඹේ කෙලෙස් කියන සියලු පරාල විනාස කලා. අවිද්‍යාව කියන කැණිමඩල සිදලා දැම්මා. විසංඛාරගත මාගේ සිත නිවනටම පත් වුනා. තණ්හාව සම්පූර්ණයෙන්ම දුරුකර දැම්මා.”

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර – ජාතක අට්ඨකතා 01