අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)202

 

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය

පංච මාර

1.ස්කන්ධමාර (ඛන්ධ මාර – පංච උපාදානස්කන්ධය) 2.අභිසංස්කාර මාර, (අභිසංඛාර මාර, පිං පවු, කුසල් අකුසල්, පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙඤ්ජාභි සංඛාර) 3. මෘත්‍යු මාර, (මච්චු මාර – මරණය) 4. ක්ලේශ මාර (කිලේස මාර – 1500 ක් වූ කෙලෙස්) 5.දේව පුත්‍ර මාර (දේවපුත්ත මාර නොහොත් “මාරයා” යනුවෙන් අපි හඳුන්වන කාම ලෝකයට අධිපති දේවපුත්‍රයා) යනුවෙන් මාරයන් පස් ආකාරයට වර්ගීකරණය කිරීමක් ගැන ඔබ මිට පෙරත් අසා ඇති. බුදුරජාණන් වහන්සේ මේ පරාජය කලේ දේව පුත්‍ර මාර නමැති ඒ දිව්‍ය පුත්‍රයා සහ ඔහුගේ සේනාවයි. එහෙත් ඔහු පරාජය කල සැණින් බුද්ධත්වයට පැමිණෙන්නට නොහැක. ඒ සඳහා ඉහත කී අනෙකුත් මාරයන්ද පරාජය කල යුතුය. එය නිවන් දක්නා කා හටත් ඇති අභියෝගයකි. එහෙත් බුදුවරයෙකුට එහි ඇති මහා අභියෝගය වන්නේ අපට මෙන් නොව කිසිවෙකුගේ මගපෙන්වීමක් උපකාරයක් නොමැතිව තනිව ඒ කාර්යය කල යුතු වීමයි. මෙතැන් සිට මා හට ඇති අල්ප කාලවේලාව අනුව සොයාගත් මුලාශ්‍ර පරිශීලනය කරමින් ලියවෙන්නේ මා වැනි පුද්ගලයෙකුට වචනයෙන් ලියා කොහෙත්ම විස්තර කල නොහැකි ඒ අසීරු කාර්යයේ සංශික්ප්ත බාල සටහනයි.

 ලෝක මහා සංග්‍රාමයක් අවසානයෙන් පසු පෘථිවි ප්‍රජාවට දැනෙන සතුට කෙලෙසේ ද? එලෙස ඒ හා සම කල නොහැකි මේ කාමලෝකයට අධිපති වූ මහා බල පරාක්‍රමයෙන් යුත් මාර සේනාව පරදා ලද ජයෙහි සතුට මෙතකැයි කිව නොහැකි බව ඔබට දැන් අවබෝධ වේවි. ඒ ජය මෙන්ම සතුටද බුද්ධත්වය කරා යාමට අප මහා වීරයාණන් වහන්සේට මහත් උපකාරයක් වෙන්නට ඇති කියලයි මට සිතෙන්නේ. සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්යය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ අවර දිගින් බැස ගියා. මීට මොහොතකට පෙර මහා යුධ පිටියක් වූ මෙම මනස්කාන්ත පරිසරයට කිසියම් හෝ හානියක් වූ බව පෙනෙන්නට නැහැ. ඒ සියල්ල එලෙසම පවතිනවා. කල්ප ගණනකට පසු පායන වෙසක් සඳ එදා නැගී රිදී සෞම්‍ය සඳ කිරණ තවත් කල්ප ගණනාවකට අපට දකින්නට ලැබෙන්නේ නැහැ. මුළු වා තලයම දෙවියන්ගෙන් භමුන්ගෙන් පිරිලා එත් හැමෝම නිහඬව බලා සිටිනවා. ඒ ප්‍රකෝටි සංඛ්‍යාවක් සසර දුකින් නිමා කරන බුද්ධ හෝරාව එළඹෙන තෙක්. අප මහා බෝසතාණන් වහන්සේ ඒ අවශේෂ මාර සටනට නෙත් පියාගත්තා. ඒ ටික බුද්ධ වචනයෙන් ම විස්තර කලොත් හොඳයි කියා මට හිතුනා. ඒ නිසා මිට පෙර විස්තර කල බෝධිරාජ කුමාර සූත්‍රයේ අවසාන කොටසට මෙලෙස අවතීරණය වෙනවා.

ප්‍රථම ධ්‍යානයට පැමිණීම

“රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

ද්විතීය ධ්‍යානයට පැමිණීම

“විතර්කවිචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි,

තෘතීය ධ්‍යානයට පැමිණීම

ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද එ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

සතරවෙනි ධ්‍යානයට පැමිණීම

සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවීම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) ඥාණය පහළවීම.

“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන.) කල්පයන්ද, නොයෙක් විවර්තී (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්තී විවර්තී කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තෙවීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

“රාජකුමාරය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. අලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය

මහ බෝසතාණන් වහන්සේ මෙලෙස පළමුකොට ආනාපාන ස්මෘති කර්මස්ථානය වඩා පළමු වන දෙවෙනි ලැබීම හා තෙවෙනි සිවුවන රූපාවචර ධ්‍යානයන් වෙත පැමිණුනා. නැවැත චතුර්ථධ්‍යානයෙන් නැඟී සිට (සිත ඒ ධ්‍යානාලම්බනයෙන් ඉවත් කොට) පෙර විසූ කඳ පිළිවෙළ අතට එල්ල කොට යැවූ සේකයවනු ලැබුවා. මෙසේ අතීත ජාතීන් සිහි කරන සේක්, අනේක කෙළ දහස් ගණන් ජාතීන් තත්වාකාරයෙන් දුටුහ. උක්ත පරිදි එදා පූර්ව යාමයෙහි ම පෙර වුසූ කඳ පිළිවෙල වසා ලන මෝහය බිඳී යෑමෙන් මහසතාණන් වහන්සේට පූර්වෙනිවාසානුස්මෘතිඥාන ප්‍රතිලාභය වුනා.

පූර්වෙනිවාසානුස්මෘති ඥානයෙන් පෙර වුසූ කඳ පිළිවෙළ බලන බෝසතාණන් වහන්සේ,

“නාමරූපයෝ තත්තද්භවයෙහි පරම්පරා වශයෙන් පහළ වෙමින් බිඳෙමින් පවතින බව පෙනුණා. ඒ නාම රූප පරම්පරාව ගේ ම චක්ෂුරාදි ද්වාරයන්හි රූප දැකීම් ආදි වශයෙන් නානා විඥානයෝ හට ගැනෙමින් බිඳෙමින් පවතින බව දුටුවා. එහෙත් හුදු තනි සත්වයෙක් හෝ ජීවයෙක් හෝ පුද්ගලයෙක් නො වූ බව දුටුවා. එය මවන දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ නො වී යැ” යි දක්නා සේක් විංශද්වස්තුක සත්කාය දෘෂ්ටිය සිඳ බිඳ දැම්මා. මේ වනාහි බෝසතාණන් වහන්සේ ගේ දිට්ඨිවිසුද්ධි සම්පාදනයයි පවසනවා.