අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 198
සියලු බෝධි සත්වයන් බුදුබව ලබන බෝධි මණ්ඩලයේ අනුහස්.
සියලු මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නොහැකි යැයි ඉහතින් සඳහන් කල පරිදී “කාලිංග බෝධි ජාතකයේ” දේශණා කොට ඇත. ඒ පිළිබඳව ඊලග ලිපියේ ලියන්නට සිතුවේ එහි අනුහස් හා ආශ්චර්ය අද්භූත බව පෙන්වනවීමට.
කාලිංගබෝධි ජාතකය
පසුගිය ලිපියේ ලියවෙන්නේ බුදුවරුන් පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති කිරීමටයි. ඒ නිසා මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන භුමිය නොහොත් බෝධි මණ්ඩලයේ අනුහස් ගැන දැනුවත් කිරීම බුදුවරයෙකුගේ තේජාන්විත භාවය ගැන කියාදෙන්න කරන්න වූ තවත් මෙහෙවරක් ලෙසයි මා දුටුවේ. ඒ නිසා ඒ ගැන සඳහන් “කාලිංගබෝධි ජාතකය” මෙතැන් සිට කෙටියෙන් ලිවීමට උත්සාහ කරනවා.
මෙම ජාතක කතාව දේශණා කරන්න නිධාන වුනේ ආනන්ද බෝධියට ආනන්ද මහා තෙරුන්වහන්සේ දැක්වූ පූජෝපහාර. එහෙත් එය නොකියා මෙම මාතෘකාවට අවශ්‍ය කොටස පමණක් ලියන්නට හිතුනේ මෙම ලිපිය එක් කොටසකින් ඉවරකරන්න.
යටගිය දවස කලිඟු රට දන්ත නුවර රාජ්‍ය කළ කලිඟු රජ්ජුරුවන්ට මහා කාලිංඝ, චුල්ල කාලිංඝ නමින් පුත්‍රයෝ දෙදෙනෙක් සිටියා. පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයා රාජ්‍ය කරන බවත් චුල්ල කාලිංඝ කුමාරයා සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවැදිව භික්ෂාටනයෙන් කල් යවන අතර ඔහුට දාව උපදින පුතණුවෝ අනාගතයේ දී කාලිංග චක්‍රවර්තීව රාජ්‍ය කෙරෙතියි නිමිති පාඨකයෝ අනාවැකි කිවා. මෑත භාගයෙහි පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයෝ රාජ්‍යයට ද මළනුවෝ යුව රජ තනතුරටද පැමිණියා. යුව රජ්ජුරුවෝ තමාගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ්‍යයට පැමිණියේ යැයි ඉතා ප්‍රීතියෙන් පුත්‍රයා නිසා ආඩම්බරව පසුවන දුටු රජතුමා එය ඉවසා ගත නොහී යුව රජ්ජුරුවන්ව අල්ලා ගෙන එවයි වැඩෙහි හැසිරෙන එක් ඇමතියෙකුට නියෝග කළා. ඒ ඇමති ගොස් යුව රජ්ජුරුවන්ට මේ බව දන්වා ඔබතුමා මේ නුවරින් නික්ම ගොස් ජීවිතය රැකගත මැනැවැයි කියා සිටියා. යුව රජ්ජුරුවෝ පේරැස් මුද්දත් සියුම් වූ පලසත් මඟුල් කඩුවත් තුනම ඒ ඇමති හට පෙන්වා මතු දවසක පුතු පැමිණි කල මේ සංඥාවෙන් මාගේ පුතණුවන්ට රාජ්‍යය පාවා දෙවයි කියා පවසා වනගත වුනා . ඉන්පසු ඔහු තනිව මහා වනයේ මිනිස් වාසයෙන් තොර ගංතෙරක පන්සලක් කොට ගෙන පැවිදිව වාසය කළා.
එකල මධු රට සාගල නුවර මධුරජ්ජුරුවන්ගේ දියණියගේ දේහ ලක්‍ෂණ බැලු නිමිති පාඨකයෝ “මේ කුමාරිකාව මතු දිනක පැවිදිව පිඬු සිඟා ජීවත් වන්නීය. මුන්ගේ බඩ උපන් කුමාරයෝ චක්‍රවර්තී රාජ්‍යයට පැමිණෙන්නේය” යනුවෙන් කියා සිටියා. ඒ සියළු දඹදිව රජ දරුවෝ එපවත් අසා ඈ ලබා ගැනීමේ අදහසින් එකවිට අවුත් නුවර වටකර ගත්තා. මධුරජ්ජුරුවෝ සිතන්නේ” ඉදින් මම දියණිය එක කුමාරයෙකුට පාවා දුනහොත් සෙසු අය කිපෙන්නාහ. එබැවින් ඈ රකිමියි” සිතා දියණිය සහ බිසව අප්‍රසිද්ධ වේසයකින් නුවරින් ගෙන ගොස් වනයට වැද කාලිංග කුමාරයන්ගේ අසපුවටම නුදුරින් උඩුගඟ පන්සලක් කොට ගෙන පැවිදිව තිදෙනම එහි කල් යැවූවා. දෛවය කියන්නේ මහා පුදුම දෙයක්. වාසනාව තමා වෙත ගෙනෙන්නේ සමහරවිට කිසිම උත්සහයකින් තොරව. දෙමව්පියෝ දියණිය පන්සලෙහි රඳවා පලාඵල පිණිස දිනපතා යනවා. ඈ දෙමව්පියන් ගිය කල නොයෙක් මල් ගෙන මාලා ගොතා ගං තෙරවූ අඹ රුකට නැඟී දියට දැමීම පුරුද්දක් කොටගෙන සිටියා. දවසක් ඇය විසින් ගඟට හෙලනු ලැබූ මල් මාලයක් පාවී ගොස් ගඟට බැස නාන්නා වූ කලිඟු කුමාරයන්ගේ හිසෙහි දැවටුණා. කුමාරයත් ඒ මල් පට දෙස බලා මෙය තරුණ ස්ත්‍රියකගේ කර්මාන්තයෙකැයි නිශ්චය කොට පරීක්‍ෂා කෙරෙමියි සිතා ක්ලේශ වසඟයෙන් උඩු ගං බලා යන්නන්ට වුනා . ඒ යනවිටත් ඇය සිටියේ ඒ අඹ ගහ මත නැගී මියුරු හඬින් ගීත ගායනා කරමින්. ඒ හඩ ඔස්සේ ගොස් ඈ දුටු තාපස තුමා ඇයව දැක “සොඳුර තෙපි කවුරුදැයි විචාරනු ලැබුවා. ස්වාමීනී මම මිනිස් ලියක්මියි ඈ කීවා. මෙසේ ඔවු නොවුන්ගේ සියළු තොරතුරු අසා දැන දෙදෙනාම ක්‍ෂසත්‍රීය වංශයට අයත් බැව් දැන ගසින් බැස එකතු වී දෙමව්පියන් ආකළ සියළු විස්තර පවසා සිටියා. ඔවුන්ද ඉතා සතුටුව කුමාරිකාව රාජ කුමාරයන්ට පාවා දෙනු ලැබුවා. ඈ ටික කලකින් මහ පින් ඇති පුත් රුවණක් වැදුවා. ඒ කුමාරයා වැඩිවිය පැමිණ පියාගෙන් සහ මුත්තණුවන් සමීපයෙහි සියළු ශිල්ප ඉගෙන නිමා කළා. ඉන්පසු ඔහුගේ පියා නැකත් යෝග අනුව තම වැඩිමල් සොහොයුරු මළ බව දැන පුතු අමතා තම පේරැස් මුද්ද පළස හා මඟුල් කඩුව අතට දී “පුත දන්තපුර නුවර අසවල් වීදියේ අපට හිතවත් එක් ඇමතියෙක් ඇත. ඔහු ලඟට ගොස් මේ ලකුණු පෙන්වා මාගේ පුත්‍ර නියාව කියව. ඔහු තොපව රාජ්‍යයෙහි පිහිට වන්නේය.” යනුවෙන් කියා සිටියා. කුමාරයෝ වැඩිහිටියන් වැද අවසර ගෙන කුසලමය වූ සෘඬියෙන් අහසින් ගොස් අමාත්‍යාගේ සමීපයට පැමිණ සියළු පුවත් දන්වා ලකුණු පෙන්වා සිටියා. ඇමති තෙමේ එපවත් රජ පිරිසට දන්වා ඔහුට කිරුළු පැලන්දුවා.
ඒ කාලිංග රජතුමා භාරචාඡ නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් පිළිපැදිය යුතු දසවිධ චක්‍රවර්තිවන් දැන ඒවා පුරන්නට පටන් ගත්තා. ඒ වත් පිළිබඳව මිට පෙර මෙම ලිපි පෙලේ ලියා තිබෙනවා. ඊට අනතුරුව පැමිණ පසළොස්වක් පොහෝ දිනයෙහි චක්‍රවර්ති රජ කෙනෙකුට නියමිත සප්තවිධ රත්න පහළ වුනා . ඒ රජජුරුවේ සියළු සක්වළ ගැබ රාජ්‍යය ගෙන මහ පිරිස පිරිවරන ලදුව අති ධවල වූ හස්ති රත්නය මතින් ප්‍රථමයෙන්ම දෙමව්පියන් බැලීමට යන්නට පිටත් වුනා . ඒ උපෝසථ කුලයේ ධවල හස්තිරාජයා මුළුනනින්ම සුදු වූ කෛලාස පර්වතය මෙන් සුදුම සුදුපාටයි. ගමන් කරන්නේ අහසින්. ඔවුන් යන මාර්ගය වැටී තිබුණේ මහ පොලවේ නැඹ වූ සියලු බුදුවරුන්ට මාර පරාජය කොට බුදුබවට පත්වීමට රාජාසනයක් බඳු වූ ඒ බෝධි මණ්ඩලය උඩින්. එම හස්ති රාජයා සියළු බුදුවරුන්ට ජය භූමිය වූ බෝ මැඩට මතු භාගයෙන් යන්ට අසමත් වුනා . රජතුමා කොතෙක් උත්සාහ කළත් ඇත් රජ යන්ට මැළිවුනා . මැළි වුනාම නෙවෙයි යන්නට බැරි වුනා . එවිට රජතුමා තම පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඊට හේතුව විමසා සිටියා. අහසින් බිමට බැස පරීක්‍ෂා කරන ඔහු හට එක පැලෑටියක් වත් නොමැති ධවල වූ රිදී පටක් බඳු වැල්ලෙන් ශෝභාමත් වූ විටින් එදෙසට නැමූන තෘණතලාදියෙන් හෙඹි බෝමැඩ දැක රජ්ජුරුවන් අමතා “මහ රජතුමනි සියළු බුදුවරු සකල කෙලශයන් නසන්නා වූ ස්ථානය මෙය වන්නේය. මෙහි මතු පිටින් ශක්‍රයකුට පවා යා නොහැක. දස ලක්‍ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළවට නාභියක් හා සමාන වූ අචල ස්ථානයක් වූ මෙය කප මුලහටගත්තේය. නස්නා කල්හි පසුව නැසෙන්නේය. මේ ස්ථානයට නමස්කාර කට යුත්තේ ය. මේ උතුම් හස්ති රාජයා වජ්‍රාකුසයෙන් කොටා මෙහෙයතත් මේ බෝධි මංඩලය මත්තෙන් නොයන්නේය. මාගේ කීම සැබෑදැයි බලනු සඳහා මේ උතුම් හස්ති රාජයා විදුරු එබූ අකුස්සෙන් කොටා මෙහෙයා බලනු මැනවයි කියා සිටියා. චක්‍රවර්තී රජ්ජුරුවෝ එබස් අසා පරීක්‍ෂා කර බලනු සඳහා ඇතු මෙහෙයාලූවා. එවිට ඇත් රජ අහස දෙදරවමින් කොස්වා ලිහිණියෙකු මෙන් කුඤ්චනාද කොට පසු බැස අහසෙහිම උක්කුටකයෙන් නිසොල්මන් වුනා . චක්‍රවර්තී රජ්ජුරුවෝ වීදුරු එබූ අකුස්ස්සෙන් නැවත නැවතත් අනින්ට වන් කල්හි වේදනාව ඉවසා ගත නොහී ඇතු අහසෙහිම කළුරිය කළා. රජතුමා ඇතු මළ නියාව නොදැන ඔහු පිටම සිටියා. පුරෝහිත බ්‍රාහ්මණයා “රජතුමනි ඔබේ ඇත්රජ මිය ගිහින්. ඔබ කෙතෙක් උත්සාහ කළත් මේ බෝ මැඩ මතුයෙන් යාමට නොහැක. වෙන ඇතෙකු එනසේ සිතුව මැනවයි” පවසා සිටියේ ශෝකයෙන්. රජ්ජුරුවන්ගේ ආනුභාවයෙන් කුසල ශක්තියෙන් වෙනත් ඇත් රජෙක් පැමිණෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ. රජතුමා ඒ ඇතු පිට නැග්ග සැණින්ම මළ ඇත් රජ බිම පතිත වුනා .
ඊට පස්සේ රජතුමා වහා බිමට බැස බෝධි මණ්ඩලයේ වූ ප්‍රාතිහාර්යය දැක බ්‍රාහ්මණයාට බොහෝ ප්‍රශංසා කොට බමුණානෙනි තෙපි නම් සියල්ල දත්තා වූ සම්‍යක් සම්බුදු වරයෙක්මයයි ස්තුති කරනු ලැබුවා. එවිට බ්‍රාහ්මණයා “රජතුමනි අපි ශාස්ත්‍රයෙන් දැන කියන හෙයින් ශ්‍රුත බුද්ධ නම් වම්හ. බුදුවරු තුන් කල්හි වූ සියළු පදර්ථයන් දක්නාහු වෙති. සර්වඥ ඥාණයෙන් සියල්ල දන්න හු වෙති. පඤ්චවිධඥෙය්‍ය මණ්ඩලය කරතලා මලක ආකාරයෙන් දනිතියි” බුදුගුණ වර්ණනා කරන්නට වුනා . චක්‍රවර්තී රජතුමා බුදු ගුණයෙහි පැහැද සොම්නස් වී සියලු සක්වල වාසීන් ලවා ගඳ දුම් මල් පහන් ගෙන්වා ගෙන මහ බෝමැඩ සතියක් මුළුල්ලෙහි බෝධිපූජා කරවූවා. සත්රුවන්මය වූ පහන් කනු ප්‍රාකාර කරවූවා. මෙසේ පූජා පවත්වා ගොස් දෙමාපියන් කැඳවා ගෙන තම රාජ්‍යයට ගොස් දානාදී පින්කම් කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නා.
එසමයෙහි කලිඟු රජ්ජුරුවෝ නම් දැන් මේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ. කාලිංග භාරචාජ පුරෝහිත බ්‍රාහ්මණයා නම් තිලෝගුරු බුදුරජාණනන් වහන්සේයි.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
ජාතක අට්ඨකතා 04,