අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 196
ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට
කහවණු ලක්‍ෂයක් වටිනා රන් භාජනයද මෙතැකැයි මිළ නියම කල නොහැකි දෙවුන් බඹුන් හා එක්ව කල කිරි පිඩුද පුජා කරන ලද සුජාතාව අති මහත් වූ චිතප්‍රිතියෙන් යුතුව නිකම ගියේ තමන්ගේ සියලු ප්‍රර්ථනා සඵල වීමෙන්. සුජාතාව නොපෙනී යනතෙක් එහිම රැඳුන අප මහා බෝසතාණන් වහන්සේ ඉන්අනතුරුව වැඩ හුන් තැනින් නැගිට ගස පැදකුණු කොට පාත්‍රයද රැගෙන නේරංජනා ගං තෙරට වැඩම කරනු ලැබුවා. ඒ මුළු පෙදෙසම වෙනදා දක්නට නොලැබුණු බොහෝ පුෂ්පයන්ගෙන් පිරී ගොස්. නේරංජනා නදියද ගලා බැස්සේ වෙනදා වගේ නෙවයි. ජලකදෙන් මවනු ලැබූ දිව්‍යමය විනාවක හඬ නංවමින් මහත් වූ ආඩම්බරයෙන්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. නොයෙක් ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට නේරංජනා නදියට අයත් නිසා. සුදු වැලි තලාවද නිල් දියදහරද, දියපහරේ රිද්මයට නැගෙන ජල කඳේ දිව්‍යමය ස්වරයද බලා සිටියේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගන්නට නොවසිලිමත්ව.
මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය එක් දිනක් සේ දැනුණ කාලනාගරාජයා
එහි ඉවුරෙහි වූ ගල් තලාවේ පාත්‍රය තබා දියට බැස ස්නානය කරනු ලැබූ බෝසතාණන් වහන්සේ නායෙක් ශතසහස්‍ර සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේලාගේ චීවරය වූ අරහත් ධජය පොරවා පෙරදිගට අභිමුඛව වැඩහිඳුනු ලැබුවා. ඉන් පසු ඒ බෝසතාණන් වහන්සේලා මෙන්ම එක තල් ඇටයක් පමණ වන පරිදි එකුන් පනස් පිඩක් කොට ඒ මධුර පායාසය එහි සිටම වළඳනු ලැබුවා. එම ආහාරය ම උන් වහන්සේට බුද්ධත්වයටත්, ඉන්පසුත් සත් සතියක් බෝ මැඩ වැඩ විසීමට ආහාරයක් වුන බව කියනවා. ඒ කාලය තුළ වෙනත් ආහාරයක් ගැනීම සිදුනොවෙනවා. ඉන්පසු උන්වහන්සේ ධ්‍යාන සුවයෙන් හා මගඵල සුවයෙන් කල් ගත කළා. ඒ කිරිබත් ආහාරය වැළඳූ බෝසතාණන් වහන්සේ ඒ පාත්‍රය ගෙන “මම අද බුද්ධත්වයට පත් වන්නේ නම් මේ පාත්‍රය උඩුගං දහර අනුව යේවා. නොහැකි වන්නේ නම් ගඟ දිය පහර අනුව යේවා” යැයි සිතා දිය මත පත්‍රය තැබුවා. හරිම පුදුමයි. ඒ පාත්‍රය ද ගඟ සැඩපහර සිඳිමින් ගඟ මැදට ගොස් ජවසම්පන්න අශ්වයකු මෙන් ගඟ මැදින්ම අසූ රියනක් පමණ උඩුගං බලා ගොස් දිය සුළියකට හසු වූ කලෙක මෙන් ගිලී කාල නාරජුගේ භවනට ගොස් මීට පෙර තුන් බුදුරජුන්ගේ පරිත්‍යාග කළ පාත්‍රයන් වෙතට ගොස් කිටි කිටි ශබ්දය නඟමින් ඒ පාත්‍ර තුනට යටින් පිහිටා සිටියා. කාල නාගරාජයා ඒ ශබ්දය අසා “පළමුදා එක් බුදුරජාණන් වහන්සේ නමකි, ඊයේ එක් බුදුරජාණන් වහන්සේ නමකි. අද තව බුදුරජාණන් වහන්සේ නමක් උපන්හ” යැයි නොයෙක් පද සිය ගණනින් යුතු තුටු ගී ගයමින් ප්‍රීතිවුනා. ඔහුට මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය අද හෝ ඊයේ හා සමාන වෙයි. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත යැ’යි ස්ථිර වශයෙන්ම සිතාගත්තා. බෝසතාණන් වහන්සේ ගඟ අසබඩ මලින් ගැවසුණු සල් වනයෙහි මෙලෙස දහවල් කාලය ගතකොට සවස මල් නටුවෙන් බිඳෙන කාලයෙහි දෙවියන් විසින් සරසන ලද අට ඉස්බක් පමණ පැතිරී ගිය මාර්ගයේ පියනගමින් සිංහයකු මෙන් අභීතව ඇසතු බෝ රුක වෙත වැඩම කළා.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර
ජාතක අට්ඨකතා 01