අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 183
පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 02
පියුමතුරා බුදුන්ගේ පරිනිර්වාණය
මෙසේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ කුල පුතුට විවරණ දී අසූසාර දම්සක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශරීරය ස්වර්ණස්කන්ධයක් මෙන් ඒකඝන වුනා. උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළ චෛත්‍යය සත් යොදුන් උසැතිව තැනූවා. ඒ සඳහා ගඩොල් කරවනු ලැබුවේ රනින්. හිරියල් මනෝසිලා වලින් මැටිකිසද තෙලෙන් දියකිසද නිමකළා. මිට පෙර කි ලෙසින් බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි ශරීර ප්‍රභාව දොළොස් යොදුනක් දුරට පැතිරුනා. පිරිනිවන් පෑ උන් වහන්සේගේ සිරුරින් පවා මහා රශ්මියක් නික්මුනා. එම රශ්මිය හාත්පසින් යොදුන් සියයක් පැතිරුණ. මේ සිටු තෙමේ බුදුන් වහන්සේගේ ශරීර චෛත්‍යය වටකොට දහසක් රන් ඇගෑ කරවූවා. (ඇගෑ – පහල සිට ඉහලට කුඩා වනසේ තැනූ තොරන් විශේෂයක්, චෛත්‍ය දාගැබ් ) චෛත්‍යය පිහිටුවන දිනයෙහි චෛත්‍යය තුළ රන් ගෙයක් ද කරවූවා.
විපස්සී බුදුන්කල යලි මෙලොව එලිය දූටු කොණ්ඩඤඤ තවුසා.
ඔහු මෙලෙස අවුරුදු ලක්ෂයක් මහත් දානාදිමය වූ යහපත් කටයුතු කොට එයින් නික්ම දෙව්ලොව උපන්නා. දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නා වූ ඔහු මෙලෙස අනේක වූ සැප සම්පත් විදිමින් සිටිනා විට කල්ප අනූ නවදහස් නවසිය නවයක් ඉක්මුණා. මෙපමණ කලක් ඇවෑමෙන් මෙයින් අනූ එක් කල්පයකට මත්තෙහි මේ කුලපුත් බන්ධුමතී නගර ද්වාරයෙහි වූ ගමක කෙළෙඹි ගෙයක යලිත් උපන්නා. ඔහුට මහාකාළ යයි නම් වුනා . ඔහුගේ කනිටු සොහොයුරා චූලකාළ නම් වුනා . ඒකාලයේ විපස්සි බෝසතාණන් වහන්සේ තුසීපුරෙන් නික්ම බන්ධුමතී නගරයෙහි බන්ධුම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපදුණා. (අපේ බුදුහාමුදුරුවෝ 82 ) අනුක්‍රමයෙන් සර්වඥ බවට පත්ව දම්දෙසුම සඳහා මහ බඹු විසින් ආරාධනය කලාට පස්සේ කවරකුට නම් පළමුව දහම් දෙසන්නේ න් දැ යි උන්වහන්සේ දිවැසින් බලන්නට වුනා . එවිට තමන්ගේ කණිටු සොහොයුරු බණ්ඩ නම් කුමරුද තිස්ස නම් වූ පුරෝහිත පුතු ද පළමුව ධර්මය අවබෝධ කිරීමට සමර්ථ බව දැක “ඔහුන්ට ද දම් දෙසන්නෙමි පියාට ද සංග්‍රහ කරන්නෙමි” යැයි සිතා බෝමැඩ සිටම අහසින්ම පැමිණ ඛෙම නම්වූ මිගදායෙහි (අභය භූමියෙහි) ඔවුන් කැඳවා ධර්ම දේශනාකරනු ලැබුවා. ධර්ම දේශනාව කෙළවර ඒ දෙදෙනා ද අසූසාර දහසක් ප්‍රාණීන් සමග රහත් පෙළෙහි පිහිටියා. බෝසත් කල්හි අනුව පැවිදි වූ වෙනත් අසූසාර දහසක් කුල පුත්‍රයෝ ඒ පුවත අසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමීපයට පැමිණ ධර්ම දේශනය අසා ඔවුනුත් රහත් බවෙහි පිහිටියා.
ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදිනම ඒ බණ්ඩස්ථවිරයන් අගසව් තනතුරෙහි ද තිස්සස්ථවිරයන් දෙවෙනිසව් තන්හි ද තැබූවා. රජ තුමා ද ඒ පුවත අසා පුතු දකින්නෙමි උයනට ගොස් දම් දෙසුම අසා තිසරණයෙහි පිහිටා සම්මා සම්බුදු රජාණන් වහන්සේ හෙට දිනයට ඇරයුම් කොට පැදකුණු කොට පිටත්ව ගියා. මේ සියලු දේ දැක සතුටට පත් වූ පිය රජතුමා මෙලෙස සිතන්නට වුනා.” මාගේ දෙටු පුත් ගිහිගෙයින් නික්ම ගොස් බුදු බව ලැබූවා. මාගේ දෙවැනි පුතා අගසව් වූනා. පෙරවිපුත් දෙවෙනිසව් වුනා. මේ සෙසු භික්ෂූහු ද ගිහි කල්හි ද මාගේ පුතුම පිරිවරා හැසිරුනා . ඒ නිසා පෙරද දැනුදු මොවුහු මටම භාරයි. ඒ නිසා ඔවුනට මම ම සිව්පසයෙන් උවටැන් කරන්නෙමි. අනුන්හට ඉඩක් නොදෙන්නෙමි.” යනුවෙනුයි.
රජතුමා කැමති වුනේ නැහැ රටේ ජනයා උන්වහන්සේ දකිනවාට සහ කතාබස් කරනවාට එය වැළක්වීමට රජතුමා කරනු ලැබුවේ වෙහෙර දොර කොටුවෙහි සිට රජගෙයි දොරටුව තෙක් දෙපසින් කිහිරි පවුරක් කරවා ඒ දෙපස වස්ත්‍රයෙන් වස්වා ඒ මත්තෙහි රන් තරු වලින් විසිතුරු වූ එල්ඹෙන තල් කඳක් පමණවූ නොයෙක් මල්දම් කරවා පොළොව මත විසිතුරු ඇතිරිලි වලින් අතුරුවා සුවඳද තබවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කල් දන්වා සිටියා. සම්මා සම්බුදු රජාණන් වහන්සේද භික්ෂූන් වහන්සේලා පිරිවරා කඩතුරා තුළින්ම රජ ගෙට පිවිස බත් කිස කොට වෙහෙරට යලි පෙරළා වැඩියා.
වසර සතක් එක දිගට බුදුන් ඇතුළු හැටලක්ෂයක් වූ මහසඟනට දන්දුන් දුන් පියරජතුමා.
මෙලෙස ආවරණය කල මාර්ගය ඔස්සේ රජගෙදරට වැඩීම සහ යලි වෙහෙරට වැඩීම නිසා අන් කිසිවෙක් හට සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැකීමට වත් නොලැබුනා. කරුණු එසේනම් දානයක් දීමට හෝ පූජාවක් කිරීමට හේ කෙසේ නම් ලැබේද? මෙලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සත් අවුරුදු සත් මසක් ගතවුනා . “අප හට ඒ මහා උත්තමයන් වහන්සේ දක්නට නොලැබුණි. භික්ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ දහමක් ඇසීම ගැන කියනු ම කිම? රජතුමා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මගේ ම ය, ධර්ම රත්නය මගේමය, සංඝරත්නය මගේම යයි මමායනය කොට ඔහුම තුණුරුවනට උවටැන් කරයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට වැඩ සඳහා උපකාර සඳහා පහළ වූ සේක. රජුට පමණක්ම නිරය උණුසුම් වූයේත් අනෙකුන්ට නිලූපුල් වනයක් සමාන වූයේත් නොවේ.” ඒ නිසා අපි රජුට කියමු අපිටත් පින් කරගන්නට සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙන්න කියලා. නොදේනම් රජු සමග යුද කොට හෝ සංඝයා ගෙන දානාදී පින් කරමු. නගර වැසියන් වූ අපට පමණක්ම මෙසේ කිරීමට නොහැකියි. ඒ නිසා හමුදා සෙන්පතියාද අපේ පැත්තට ගනිමු යි නුවර වැසියෝ සිතූවා. මෙසේ සිතා සෙන්පතිතුමා වෙත එළඹ ඔහුට එම අදහස දන්වා” ස්වාමීනි අප ඔබට පක්ෂ වුවෝ වෙමු. ඔබද එලෙසමයි. එලෙස පවසා මේ යෝජනාව කර සිටියා. මෙය ඇසු සෙන්පති තුමා එයට එකඟ වුනේ තවත් කොන්දේසියක් පනවමින්. එනම් රජතුමාගෙන් අවසර ගත පසු බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට උවැටන් කිරීම සඳහා පළමු දිනය මට දිය යුතුය යන පොරොන්දුව මත. මහජනයාත් එය පිළිගත්තේ වෙන කල හැකි කිසිවක් නැති නිසා.
දන්දීමට යුද ප්‍රකාශ මහජනයා.
හෙතෙම රජු වෙත එළඹ “දේවයන් වහන්ස නුවර වැසියෝ ඔබ ගැන කිපිලා.” දරුව, ඒ කුමක් නිසා දැයි රජ ඇසුවේ පුදුමයෙන්. ඔබ වහන්සේ පමණක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උවටැන් කරන්නාහුය. අප ඒ පින නොලබම්හ”. කියා සෙන්පති කීවා. ඉතින් දැන්වත් ඒ පින ලබත් නම් නො කිපෙයි. නොලැබේ නම් ඔබ සමග යුද කිරීමට ඔවුන් කැමති බව දැන්වූවා. එවිට මහරජ “ දරුව, මා යුධ කරමි , භික්ෂු සංඝයා නොදෙමි “. යනුවෙන් කියා සිටියා. රජ්ජුරුවෝ දැන සිටියේ මහ සෙනවියත් ඒ පැත්තේ කියලා. එවිය සෙනවියා මෙහෙම කීවා. දේවයෙනි නුඹගේ දාසයෝ නුඹ සමග යුධ කරමි යැයි කියත් ඔබ වහන්සේ කවරකු ගෙන යුද කරන්නේදැයි ඇසුවා. රජු එවිට සෙන්පති නුඹ නේදැයි ප්‍රශ්ණ කළා. සෙනෙවි එවිට නුවරුන් ගෙන් තොරව මම සමත් නොවෙමි යනුවෙන් පවසා සිටියා. රජතුමාට කාරණා කටයුතු තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඔහු මෙහෙම සිතුවා. නුවර බලවත්ය, සෙන්පති ද ඔවුන්ටම පක්ෂයි. ඒ නිසා තවත් සත් අවුරුදු සත් මසක් මට භික්ෂු සංඝයා දෙත් වායනුවෙන් ඉල්ලීමක් කළා. එහෙත් නුවර වැසියෝ එයට කැමති වුයේ නැහැ. රජතෙමේ හය වසක් පස් වසක් යයි මෙසේ අඩු කරමින් එය නොලැබුණ තැන අවසානයේ තව සත් දිනක්වත් දෙන ලෙස ඇය සිටියා. අනේ රජකෙනෙක් දානයක් වෙනුවෙන් බැගෑපත් වූ සැටි. නුවර වැසියෝ දැන් රජු සමඟ ඉතා රළු දෙයක් කිරීමට නුසුදුසු යැයි සිතා එයට කැමති වුනා. රජතුමා සත් අවුරුදු සත් මසකට පිළියෙල කළ දාන මුඛය දින හතකට ම පිළියෙල කොට සදිනක් කිසිවකු නොදකිද්දිම දන් දී සත්වැනි දිනයෙහි නුවරුන් කැඳවා “දරුවනි මෙසේ දන් දීමට හැකි වන්නාහු දැයි” අසා සිටියා. එවිට ඔවුන්ද අප නිසාම මෙය දේවයන්වහන්සේට උපන්නේ නොවිය දැයි කියා හැකි යැයි කියා සිටියා. එය ඇසු රජතුමා අතින් කඳුළු පිසිමින් භාග්‍යවතුන්වහන්සේ වැඳ “ස්වාමීනි සැටඅටලක්ෂයක් භික්ෂූන් වහන්සේ අනෙකකුට නොපරවා දිවි ඇති තෙක් සිව්පසයෙන් උවටැන් කරන්නට සිතුවා. දැන් මවිසින් නුවර වැසියන්ට අනුදනිමි. භාග්‍යවතුන්වහන්ස, නුවර වැසියන් ඔවුන්හට දන්දීමට නොලැබේ යයි හොඳටම කිපිලා. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරන සේක්වා” යි කඳුළු සලමින් කියා සිටියා. විපස්සි බුදුරජාණන් වහන්සේත් එය නිහඬව පිළිගත්තා. ඊළඟ ලිපියෙන් තාපස තුමා ඒ ආත්ම භවයේදී විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළු හැට අටලක්ෂයක් මහා සංඝ රත්නයට දුන් දානය ඔබට කියවන්නට ලැබේවි.
උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-
කොණ්‌ඩඤ්‌ඤ සූත්‍රය (සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 8. වඞ්‌ගීස සංයුත්‌තය » වඞ්‌ගීස වර්ගය) අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවවදානය – ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි – භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං) අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා – ( සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 15. සොළස නිපාතය) අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ – (අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨකතා 01- සිංහල පිටු අංක 106 සිට 115 )