අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 182

 

පියුමතුරා බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි කොණ්ඩඤඤ තවුසා 01

තබන පියවරක් පාසා මහ පොළවෙන් නැගි සියපත් ශ්‍රී පාදය පිළිගත් පියුමතරා බුදුපියාණන් වහන්සේ

සුද්ධෝදන රජතුමා ද පුතණුවන්ගේ තොරතුරු විමසා තමාට දන්වනු පිණිස මාරුවෙන් මාරුවට තමා යවන දූතයන් මගින් බෝසතාණන් වහන්සේගේ තොරතුරු දැනගත්තා. රජ පවුලේ හැම දෙනාට ම එය සිත් සනසා ගන්නට හේතු වුනා . උන්වහන්සේ රාමපුත්‍ර උද්‍රක තවුසාණන්ගේ අසපුවට පැමිණ වසන සමයෙහි රජු විසින් එවන ලද දූතයෝ ඔහුට විශේෂ උපස්ථායක කෙනෙක් නැතැයි දුටුවා. එය ඔවුන් ඉක්මණින් රජුට දැන්වූහ. මේ ඇසූ සුද්ධෝදන රජතුමා සහ සුප්‍රබුද්ධ රජතුමා තමන් වෙතින් වෙන වෙනම පිරිස් දෙකක් බෝසතාණන් වහන්සේට උපස්ථාන පිණිස ඒ අසපුවට යැව්ව කියලා කියනවා. එලෙස ගිය පිරිස අතර බෝධිසත්වයන් වහන්සේ මතු බුදුවනබව දැන කපිලවස්තු පුරයේ ඔහු ගැන විස්තර සොයමින් සිටිය පිරිසක් හිටියා. ඒ තමයි කොණ්ඩඤඤ භමුණා ප්‍රධාන පස්වග මහණුන් යැයි අප විසින් හඳුන්වන ලබන පිරිස.

ඔබට මතක ඇති මින් පෙර බෝධිසත්වයන් වහන්සේට නම් තැබූ දිනයේ එක ඇඟිල්ලක් ඔසවා මෙම කුමරා ස්ථිර වශයෙන්ම බුදුවනවා යනුවෙන් කි භමුණන් අතර සිටි ලාබාලම භමුණා. ඒ තමයි කොණ්ඩඤඤ. ඔහු ඉන්පස්සේ එතැන සිටි භාමුණන් කිහිපදෙනෙක්ගේ දරුවන් හමුවී මතු බුදුවන බුදුවරයා ගැන දැනුවත් කොට සිටියේ ඒ කාලය වනවිට අන් භමුණන් ජිවතුන් අතර නොසිටින නිසා. ඇත්තෙන්ම නොසිටින නිසා කියනවට වැඩිය බුද්ධත්වය සඳහා ඇප උපස්ථාන කිරීමටත් ප්‍රථමයෙන් ම මගඵල අවබෝධ කරගැනීමටත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණි පිරිස ඒ. ඒ අතරින් ප්‍රධාන වුනේ කොණ්ඩඤඤ භමුණායි. මෙතැන් සිට මේ ලියවෙන්නේ ඔබගේ සිතේ එවන්ම පාරමිතාවක් පිරවිම්ටත්, බුදුන් කෙරෙහි නැති ශ්‍රද්ධාව වැඩිකිරීමටත්, ඇති ශ්‍රද්ධාව ප්‍රභල ඉන්ද්‍රිය ධර්මයක් බවට පත්කිරීමටත්, ඇවැසි අතීත කතා ප්‍රවුර්තියක්. මේ සමගම ඔබ තව කරුණක් දැනගත යුතයි. එනම් මෙම අසු මහා ශ්‍රාවකයන් ඒ මොහොතේ අහඹු ලෙස හමුවූ අහඹු ලෙස මහා ශ්‍රාවකයන් ලෙස බුදුන් වෙතින් පිදුම් ලැබූ පිරිසක් නොවෙන බවයි. ඒ සඳහාම පින්දහම් කරමින් විවිරණ ලබමින් කල්ප ලක්ෂයක්වත් අවම වශයෙන් පෙරුම් පුරමින් මෙම ඝෝර සසර තුලම පැමිණි මහා පුණ්‍යවන්ත පිරිසක් බවයි. මෙතැන් සිට ලියවෙන්නේ ඒ අතරින් අග්‍ර, අප සාසනයේ පළමුව මගඵල නිවන් අවබෝධකොටගත් මනුෂ්‍ය රත්නය වන කොණ්ඩඤඤ භමුණා ගැනයි.

මීට කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා පදුමුත්තර නොහොත් පියුමතුරා කියලා බුදු කෙනෙක් ලොව පහළ වුනා . උන්වහන්සේ පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙළේ පනස් එක්වෙනි ලිපියේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. අවබෝධ කළ සර්වඥතා ඥාන ඇති ඒ මහා බුදුපියාණන් වහන්සේ ලග අනිත් බුදුරජාණන් වහන්සේලා වෙත නොතිබූ වෙනස් සුවිශේෂ පුණ්‍ය මහිමයක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ බුද්ධත්වය ලැබූ දින සිට තබන පියවරක් පියවරක් පාසා මහ පොළොව මතින් පියුමන් මතුවී ඒ ශ්‍රී පාදය පිළිගැනීම. උන්වහන්සේ ඉපදුන දිනයේත් උන්වහන්සේට නම් තබන දිනයේත් මහා මල් වරුසාවක් වැහැලා දසදහසක් සක්වල මත පතිත වුනා  කියලා කියනවා.

ඒ පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පළඟෙහි හිඳ ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කරනු ලැබුවා. එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති, ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති, අජලජ වූ ජලජ පියුම් නැගී සිටගත්තා. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් දිග වුනා. කෙසරු තිස්රියන් පමණ වුනා. කර්ණිකා ව දස රියන් පමණ විශාලයි. එකිනෙකෙහි නව කළයක් පමණ රේණු වලින් ගහන වුනා.

ඒ ශාස්තෲන් වහන්සේත් ඒ හා සමානව උසින් පනස් අට රියන් පමණ වුනා. උන්වහන්සේගේ නේත්‍රා අතර පරතරය අටළොස්රියන් පමණ වුනා. නළල පස්රියනක් උස වුවා. අත්පා එකළොස් රියනක් දිගින් යුක්තයි. උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී අටපනස් රියන් ශරීර ප්‍රදේශය උඩට නැගී මනෝසිල සුණු මෙන් ශරීරය මත විසිරී ගියා. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කලා. දෙවැනි පය ඔසවන කල්හි පළමුව නැගුන පියුම අතුරුදහන් වී තෙවැනි පියවර පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් මහපොළොවෙන් පැන නැග්ගා. මෙලෙස උන් වහන්සේ යම් තැනකට යන්නට කැමැති වුණේ ද ඒ යන මඟ පියවරක් පියවරක් පාසා මහපොළොවෙන් පියුම් පැන නැගී ඒ ශ්‍රීපාදය පිළිගත්තා.

ඒ හේතුවෙන් ශාස්තෲන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වුනා .’යයි ද සංයුක්ත භාණකයෝ කියනු ලබනවා.

පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුන් අතර එතදග්‍රස්ථානය

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද භික්ෂූන් ලක්ෂයක් පිරිවරා කොට ඇතිව වැඩ සිටියා. මහජනයාට සංග්‍රහ පිණිස ගම් නියම් ගම් රජදහන් හි පිඬු පිණිස හැසිරෙන්නා වූ උන්වහන්සේ හංසවතී නම් නගරයටද පැමිණියා. ඒ උන්වහන්සේ උපන් නගරයයි. උන් වහන්සේ වඩින බව අසා පිය මහ රජතුමා පෙර පෙර මගට ගමන්කලා. එවිට ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි ඇතැම්හු සෝවාන් වුනා. ඇතැම්හු සකෘදාගාමි, අනාගාමී භූමි වලට පැමිණිය. ඇතැම්හු උතුම් රහත් බවට පත්වූණා. රජතුමා හෙට දිනයේ බුදුරජාණන් වහන්සේට දනට ආරාධනා කොට දෙවන දිනයෙහිද භික්ෂූන් ලක්ෂයක් පිරිවර කොට ඇති සම්මා සම්බුදුරජාණන්වහන්සේට සිය නිවසෙහි මහ දන් දුන්නා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ භුත්තානුමෝදනාව කොට විහාරයට ම වැඩම කරනු ලැබුවා. ක්‍රමයෙන්ම දෙවෙනි

දිනයෙහි නුවරු ද ඊලග දිනයෙහි රජ ද වශයෙන් දිගු කලක් මහදන් දුන්නා. ඒ කාලයේම මේ කොණ්ඩඤඤ තෙරුන් වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයක ඉපදී සිටියා. එක් දිනක් බුදුරදුන් දහම් දෙසන කල් හි, ගඳ මල් ආදිය අතැතිව බුදුරජාණන් වහන්සේ යම් තැනක ද ධර්මය යම් තැනක ද මහා සංඝයා යම් තැනක ද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නා වූ හංසවතී නුවර වැසියන් දැක ඒ මහජනයා සමගම දම් දෙසන්නා වූ බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැනට ගියා. එදිනම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුවක එතදග්‍රස්ථානයෙහි තබනු ලැබුවා. ඒ කුල පුත්‍රයා එකරුණ අසා “මේ භික්ෂුන් වහන්සේ වනාහි ආශ්චර්යයකි. බුදුන් වහන්සේ හැර මොහු විසින් පළමුව අවබෝධ කළ ධර්මය ඇති අන් භික්ෂුවක් නැත. මම ද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්මය අවබෝධ කිරීමෙහි සමර්ථයෙක් වන්නේ නම් අහෝ යෙහෙකැයි” සිතා දෙසුම අවසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “හෙට මගේ ශික්ෂාව පිළිගනු මැනවයි” ආරාධනා කර සිටියා. සම්මා සම්බුදු රජාණන් වහන්සේත් එම ආරාධනාව ඉවසා වදාරනු ලැබුවා..

කල්ප ලක්ෂයකට පෙර දින සතක් පුරා පදුමුත්තර බුදුන් ඇතුළු ලක්ෂයක් වූ මහා සංඝරත්නයට මහ දන් දී “පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුන් අතර එතදග්‍රස්ථානය” පැතූ කොණ්ඩඤඤ තවුසා.

හෙතෙම භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුණු කොට සිය නිවසට ගොස් මුළු රැය පුරාම බුදුන් වහන්සේ හිඳින තැන ගඳ මල් දම් ආදියෙන් සරසා මිහිරි ප්‍රණීත බොජුන් පිළියෙල කරවා සිය නිවසෙහි භික්ෂූන් ලක්ෂයක් පිරිවරන ලද භාග්‍යවතුන්වහන්සේට විසිතුරු කැඳ කැවිලි පිරිවරකොට ඇති නොයෙක් රසැති හොදි ව්‍යඤ්ජන සහිත සුවඳ හැල් බොජුනක්දී බත්කිස අවසන්හි තුන් සිවුරකට පොහෝනා වංගරෙදි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාමුල තබා මෙලෙස සිතුවා. “ මම සුළු තනතුරක් සඳහා මෙලෙස නොහැසිරිමි. මහත් තැනක් පතමින් හැසිරෙමි. එක් දිනක් පමණක් දන් දී ඒ තනතුර පැතීම සුදුසු නැතැයි” අනුපිළිවෙළින් සත් දිනක්ම මහ දන් දී බත්කිස අවසන්හි රෙදි ගබඩාව විවර කරවා උතුම් සියුම්වතක් බුදුන් වහන්සේ පාමුල තබා භික්ෂුන් ලක්ෂයද තුන් සිවුරෙන් පුදවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ” ස්වාමීනි ඔබ වහන්සේ විසින් මෙයින් දින හතකට මතුයෙහි යම් ඒ භික්ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබන ලද්දේ ද මමත් ඒ භික්ෂුව මෙන් අනාගතයෙහි උපදින සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සසුන්හි පැවිදිව පළමුව ධර්මය අවබෝධ කිරීමෙහි සමත් වේවායි” කියා බුදු පාමුල හිස තබා වැඳගෙන සිටියා. ශාස්තෘන් වහන්සේ ඔහු ගේ වචනය අසා “මේ කුලපුත්‍රයා විසින් මහත් ප්‍රාර්ථනාවක් කරන ලදී”, මොහුගේ මේ ප්‍රාර්ථනාව ඉටු වන්නේද නැද්ද යන්න අනාගතංසඥානය යොමා ආවර්ජනය කර එය ඉටු වන බව දකිනු ලැබුවා. අතීතය හෝ අනාගතය හෝ වර්තමානය අරභයා ආවර්ජනා කරන්නාවූ බුදුන් වහන්සේලාට වනාහි කඩතුරාවක් නම් නැහැ. නොයෙක් කල්ප කෝටි ලක්ෂයක් අතුරෙහි වූද අතීතය හෝ අනාගතයේ හෝ දහසක් සක්වල අතුරෙහි වූද අතීතය හෝ අනාගතය හෝ දහසක් සක්වල අතුරෙහි වූද වර්තමානය හෝ ආවර්ජනයට පිළිබැදියේම මෙනෙහි කිරීමට පිළිබදියේම වෙයි. මෙසේ ආපසු නොහැරෙන්නාවූ නුවණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි කල්ප ලක්ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදින බවත් එකල්හි මොහුගේ පැතුම ඉටුවන බවත් දැක ඔහුට ” පින්වත් කුලපුත්‍රය අනාගතයෙහි කල්ප ලක්ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදිති. නුඹ ඒ බුදුරජාණන් වහන්සේගේ පළමු දෙසුම වන පිරිවැටුම් තුනක් ඇති දම්සක් පැවතුම් සූත්‍රය කෙළවර අටලොස් බඹ කෙළක් සමඟ දහසක් නයින් යුතු උතුම් සෝවාන් ඵලයෙහි පිහිටන්නේ” යැයි මෙසේ වදාරනු ලැබුවා. මෙසේ ඒ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ කුල පුතුට විවරණ දී අසූසාර දම්සක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-

කොණ්‌ඩඤ්‌ඤ සූත්‍රය (සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 8. වඞ්‌ගීස සංයුත්‌තය » වඞ්‌ගීස වර්ගය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවවදානය – ( ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » අපදාන පාලි – භික්ඛූ අපදාන 1 » 1. බුද්‌ධාපදානය » ථෙරාපදානං)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා – ( සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 15. සොළස නිපාතය)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ – (අඞ්‌ගුත්‌තර නිකාය අට්ඨකතා 01- සිංහල පිටු අංක 106 සිට 115 )