අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 181

 

බෝසතාණන් වහන්සේ රජගහනුවර පෙදෙසින් නික්ම විශාලා මහනුවර බලා වඩිමින් ගංගා නදී තීරයට පැමිණ ගඟෙන් එගොඩ වුනා. විසාලා මහ නුවරට වැඩ එය සමීපයෙහි වූ වින්ධ්‍යාකෝෂ්ඨය ට පැමිණියා. ඒ සමයෙහි කාලාම ක්ෂත්‍රීය ‍පරපුරට අයත් ආළාර නම් සෘෂි තුමා තුන් සියයක් පමණ වූ තවුස් ගණයට නායකව වින්ධ්‍යාකෝෂ්ඨ අසපුවෙහි වාසය කළා. ඔහු සප්ත සමාපත්තිලාභී මහා බලවත් තවුසෙක්. ඔහු සිය ශ්‍රාවකයන්ට ආකිංචඤ්ඤායතන ධ්‍යාන භූමිය තෙක් සමථ භාවනා මාර්ගය පෙන්වා දීමට සමත්වුණා. එතුමා එහි වැඩි බෝසතාණන් වහන්සේ දැක සාදරයෙන් පිළිගෙන එහි නැවතී භාවනා කරන්නට අවශ්‍ය සියලු සැප පහසුකම් සැලසුවා. බෝසතාණන් වහන්සේ ද ඔහුගේ අවවාදයෙහි පිහිටා භාවනාව වැඩුවා.

උන්වහන්සේ ටික කලකින්ම ඔවුන්ගේ ඒ ධර්මය අසා ඉගෙන ගත්තා. අප මහා බෝධිසත්වයන් වහන්සේගේ ඒ මහත් වූ ප්‍රඥාව විර්යය පිළිබඳව බෝධිරාජ කුමාර සුත්‍රයේ මෙලෙස සඳහන් වෙනවා.

“රාජකුමාරය, මා හට යම්දෙයක් කියා දෙන්නට තොල පෙරලු පමණින්ම, ඔහු විසින් කියන්නට යන දෙය අවබෝධකොට ගත්තෙමි. කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිමියයි කීමද) කියමි. ථෙරවාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ ම කියති.”

කලින් ගිහි කල ආනාපානසතිය වඩා සිටි බැවිනුත් බැවිනුත් සංසාරය පුරා පුරුදු කල බැවිනුත් බෝධිසත්වයන් වහන්සේට සිත සමාධිගත කිරීම ලෙහෙසි කාරියක් වුනා . මෙසේ නොබෝ දිනකින්ම බෝසතාණන් වහන්සේ ආකිංචඤ්ඤායතන ධ්‍යාන ලැබුවා. බෝසතාණන් වහන්සේ ආළාර තවුසා හට මේ බව දන්වා සිටියා. ආළාර තවුසාණෝ බෝසතාණන් වහන්සේ තමන්ගේ තත්ත්වයටම පැමිණි නියාව දැක ඉතාමත් පැහැදී ගෝල පිරිස දෙකොටසකට බෙදා කොටසක් බෝසතාණන් වහන්සේට පැවරුවා. එතැන් සිට තමාට දායකයන් පිරිනමන සියලු සත්කාරද බෝසතාණන් වහන්සේ වෙතටත් යොමු කරා. සෑම තැනදීම බෝසතාණන් වහන්සේට ප්‍රමුඛස්ථානය දෙනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ද ආකිංචඤ්ඤායතන සමාපත්තිය පිරිසිද බලනුයේ එය පරම විමුක්තිය නොව ලොවටම ඇතුළත් තරමකට සිත සංසුන් බව ඇතිකරන සමාධි මාත්‍රයක් බව දුටුවා. මෙයටත් එහා කළ යුතු දෙයක් නැද්දැයි ඍෂිතුමා ගෙන් විචාලා නැතැයි පරම නිෂ්ඨාව යැයි ඔහු කීවා. ඉන්පසු බෝසතාණන් වහන්සේ මෙහි සිටීමෙන් වන විශේෂ අර්ථයක් තමාට නැතැයි සලකා ආළාරඍෂිතුමන්ට ඒ බව දන්වා ඒ අසපුවෙන් සමුගෙන නික්මුණා.

උද්‍රක රාමපුත්‍ර

මහබෝසතාණන් වහන්සේ මෙසේ සැරිසරන අතර මහී නදියෙන් එගොඩ රාමපුත්‍ර උද්‍රක නම් මහා තවුස් ඇදුරෙකු ඉන්නා බව අසන්නට ලැබුණා. ඒ පළාතේ අධිපති එළෙයියක පෙදෙස් රජ ද ඔහුගේ යමක, මොග්ගල්ල, උග්ග, නාවින්දකි, ගන්ධබ්බ අග්ගිවෙස්සාන යන මහා ඇමතියන් ද ඔහු තමන් ගරු කොට සලකන බවද ඇසුවා. එහේ ගියොත් මැනවැයි බෝසතාණන් වහන්සේට සිතුවා. නොබෝ දිනකින්ම ඔහුගේ අසපුවට පැමිණියා. ඔහුද බෝධිසත්ත්වයන් වහන්සේ දැකපෙර පරිදීම සාදර ගෞරවයෙන් පිළිගත්තා. නවාතැන් දුන්නා, හාර පානාදී අවශ්‍ය සියලුම දෑ සපයමින් ම තමන්ගේ කර්මස්ථානරාම පුත්‍ර. මාර්ගයද ඉගැන්වූවා. ඉහතදී සඳහන් කල අයුරින්ම මෙහිදීත් බෝධිසත්වයන් වහන්සේ බෝධිරාජ කුමාර සුත්‍රයේ සඳහන් කරනවා තම ගුරුවරයා තොල සොලවන පමණින්ම කියනා දෙය අවබෝධ කරගත්තා කියලා. බෝසතාණන් වහන්සේ ද එය ඉගෙන පිළිපැද නොබෝ දිනකින්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය ලැබුවා. බෝසතාණන් වහන්සේ තමන් ලත් සමාධි තත්ත්වය උද්‍රක රාමපුත්‍ර අදුරුතුමාට පවසා සිටියා. මාගේ ගුරු රාම තවුසාණෝ ද ඔය සමාධිය ලැබ සිටියා. හෙත් මා වනාහි මාගේ ගුරුන්ගෙන් මේ සමාධි භාවනා ක්‍රමය ඉගෙන ඇතත් ඒ පරිද්දෙන්ම උගන්න තත් තවම ඒ සමාධිය නම් නොලැබුණි. ඔබ මගේ ගුරු වූ රාම මහා ඍෂීන් ගේ තත්ත්වයට පැමිණියා. මෙතැන් සිට මෙහි අධිපති ව වැඩ ඉන්නයි ඉල්ලා සිටියා. අපි හැම ඔබගේ ශිෂ්‍ය බවට පත් වන්නෙමි කියා ඔහුද බෝසතාණන්වහන්සේගේ ශිෂ්‍ය බවට පත්වුණා. එවිට බෝසතාණන් වහන්සේ මීට වැඩි යමක් ඔබ උගන්වන්නේ දැයි තවුසාගෙන්ගෙන් ඇසුවා. නැත මේ අප ගුරු වූ රාම සෘෂීන් ඉගැන්වූ පරම විමුක්තිය බව තවුසා කීවා. බෝසතාණන් වහන්සේ විමසා බලනුයේ එය තමන් සොයන පරම විමුක්තිය නොවන බව දැන එයට මඟ පෙන්වන අන් ගුරුවරයකු සොයා යන්නට සැරසුණා.

ඔබට මේ අවස්ථාවේ යම් හෙයකින් “බෝසතාණන් වහන්සේලා හට ආචාර්ය වරුන් සිටියේ නැහැ” යන මතය සිතට නැගුනොත් එය නැතිකිරීමට ආළාර කාලාම, උද්‍රක රාමපුත්‍ර ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන්ම වදාළ බෝධිරාජ කුමාර සුත්‍රයේ යම් කොටසක් ගෙනහැර දක්වන්නට සිත් වුනා.

බුදුරජාණන් වහන්සේ .

රාජ කුමාරය. මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.

බුදුරජාණන් වහන්සේ

රාජ කුමාරය, මෙසේ මාගේ ආචාර්යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.

උපකාරක ග්‍රන්ථ – බොධිරාජ කුමාර සූත්‍රය -මජ්ඣිමනිකාය, මහා පරිනිබ්බාණ සූත්‍රය, අරියපරියේසන සූත්‍රය, මහාසච්චක සූත්‍රය, බෝධිරාජකුමාර සූත්‍රය, මිලින්ද ප්‍රශ්ණය, සංගාරව සූත්‍රය – මජ්ඣිම නිකාය, උදක සුත්ත- සලායතන වග්ග, ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය