අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 172
අභිනිෂ්ක්‍රමනය සඳහා පියරජුගෙන් අවසර පැතීම.
මෙම ලිපියෙහි බෝසතාණන් වහන්සේ පියරජතුමා හමු වී අවසර ගැනීම පිළිබඳව යම් කුකුසක් ඔබ සිතට ඇතිවිය හැකියැයි සිතුණා. එයට හේතුව එවැනි කතා අපි අසා නොතිබීමයි. එහෙත් බෝසත් චරිතයක් ගැන අප ඊට වඩා ගැඹුරින් බුද්ධිමත්ව විමසිය යුතුයි. ඔබ හිතනවාද බුද්ධත්වය අපේක්ෂාවෙන් ගිහිගෙය හැර යන බෝසත්වරයෙක් තම දෙමාපියනට හොරෙන් ඒ ගමන යාවි කියලා. එවැනි සිතිවිල්ලක් ඇති වුවහොත් සිත එයට වසඟ නොවීම පිණිස සූත්‍ර පිටකයේ අරියපර්යේෂණ සුත්‍රයේ බුද්ධ වචනයෙන් සඳහන් කොටසක් මම උපුටා ගත්තා. එහි ඒ සියල්ලටම පිළිතුරු තියෙනවා.
අරියපරියෙසන සූත්‍රය
“මහණෙනි, මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ශෝකය ස්වභාව කොට ඇත්තෙක්ව ශෝකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ම සොයන්නෙම්ද? ඒ නිසා අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය.
“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි,
මෙහි පැහැදිළිවම සඳහන් වෙනවා “මවුපියන් අඬද්දී හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි” කියලා. ඒ නිසා එය හොරෙන් ගිය ගමනක් නෙවෙයි. යන දිනයෙහි නොවුණත් දින සතකට පෙර පූර්ව දැනුම් දීමකින් පසුව ඔබ හා අප වෙනුවෙන් ගිය ගමනක් බව දැන් ඔබට වැටහෙන්නට ඕනේ.
ශරීර ආලෝකය
ඔබට මතක ඇති දුරේ නිධානයෙහි අපි ලියු සමහර බුදුවරු සිටියා මවු කුසට පැමිණි දිනයේ සිටම ශරීරයෙන් ආලෝකය බොහෝ දුරට විහිදුණ. අපේ බෝසතාණන් වහන්සේගේත් එලෙසයි. ස්වභාවයෙන්ම බෝසතාණන් වහන්සේගේ සිරුරේ ප්‍රභාව බඹයක් පමණ ඔහුගේ සිරුර වටා ආලෝකවත් කෙරෙනවා. යශෝධරාවන්ගේ ශරීර ප්‍රභාව ද එබඳු ම යි. විශේෂයෙන් මෙය ප්‍රකට වනුයේ රෑ අඳුරෙහි ඉන්නා විට යි.
අභිනිෂ්ක්‍රමණය සඳහා පියරජුගෙන් අවසර පැතීම
එදින රාත්‍රිහිම බෝසතාණන් වහන්සේ තම පිය රජතුමාගේ මාළිගාවට පියමැන්නේ තම විමුක්තිය සොයා යන ගමන සඳහා ඔහුගෙන් අවසර ගැනීමට. බෝසතාණන් වහන්සේ පියරජුගේ මාලිගයට පැමිණියේ රාත්‍රියේ නිසා ඔහුගේ ශරීර ප්‍රභාව පැතිර පෙදෙසම ආලෝකමත් වන්නට වුනා . එවිට රාත්‍රියේ පවා පුත් කුමරු ගැන නිතර සෝදිසියෙන් සිටින සුද්ධෝදන රජ සේවකයන් බණවා “රෑ පාන් වූයේ දැයි” විමසා සිටියා. එවිට සේවකයන් “නැත රජතුමනි තවම රැය පහන් වී නැත රාජ පුත්‍රයාණන් වහන්සේ වැඩිය සේක.” යැයි පවසා සිටියා.
ශුද්ධෝදන රජතුමා යහනෙන් නැගිට බෝසතාණන් වහන්සේ පිළිගෙන “පුතා මේ මහ රෑ මෙහි ආයේ කිසි උවමනාවක් දැයි” අසා සිටියා. එවිට බෝසතාණන් වහන්සේ “එසේය පියාණන් වහන්ස” යනුවෙන් පිළිතුරු සපයනු ලැබුවා.
“කිමෙක්ද මගේ පුතුණුව උවමනාව?
“පියාණන් වහන්ස මට දැන් ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේය. මට සමාවන්න. රට වැසියන් සහිත පියාණන් වහන්සේගෙන් සමාව යදිමි. මම පිටත්ව යන්නෙමි.”
එවිට පියරජ. “පුතා ඇයි මේ නෑදෑ පිරිසත් රාජ සම්පතත් කීකරු රට වැසියනුත් හැරදමා යන්නට සිතන්නේ? ඔබට උවමනා යම් දෙයක් ඇත්නම් ඒ සියල්ල සපයා දෙමි. “
ගිහිගෙය අත්හැර නොයාමට ඉල්ලු කරුණු සතර.
බෝසතාණන් වහන්සේ
“පියතුමණි, මට වුවමනා දෙය සපුරා දෙතොත් මේ රජ සැප හැර නොයමි. සපයා ගත හැකි නොවෙතොත් මට යන්නට ද අවසර ඇත්ද?
පියරජතුමා
මා විසින් සපයා දෙත නොහැකි කිසිවක් නැත. සියල්ල සපයමි. ඒ කිසිවක් මට නොහැකි වී නම් එය සොයා යන්නට අවසර ඇත.
බෝසතාණන් වහන්සේ
එසේනම් පියාණන් වහන්ස මට අවශ්‍යව ඇති දෑ සතරෙකි.
එනම් මහළු බව මට ඇති නොවේවා! මෙය මා ඉල්ලන එක් දෙයකි.
යොවුන් බව මනා පැහැපත් තරුණ බව හැමකල්හිම මා කෙරෙහි වේවා.මා මේ ඉල්ලන දෙවෙනි දෙයයි.
කිසිදු කලෙක මා සිරුරට රෝගයක් නොවැලදේවා. තුන්වෙනි දෙයයි.
කිසිදු කලෙක මා නොමැරෙම්වා.මේ මා ඉල්ලන සතරවැනි දෙයයි.
පියාණන්වහන්ස, මෙසේ මහලු නොවන බව සදා තරුණබව ලෙඩ නොවෙන බව නොමැරෙන බව යන කරුණු සතර හැර මට අවශ්‍ය අන් දෙයක් නැත. මේවා සපයා දෙත හැකි නම් රජගෙය හැර නොයමි. මෙහිම රැඳෙමි. මේවා සපයාදිය නොහැකි නම් මගේ පමණක් නොව ඔබ වහන්සේගේ පමණක් නොව මා වැඩු කුඩා මෑණියන්ගේ ද යශෝධරාවන්ගේ ද රාහුල නන්ද ආදී මගේ සහලේ නෑයන් ගේ ද පමණක් නොව ජරා ව්‍යාධි ආදී දුක් වලින් පෙලෙන සියලු අසරණ ලෝකයාගේ යහපත පිණිස ඒ හැම දෙනාට මෙකී සියලු දුකින් මිදෙන මඟ සොයා පිහිට වනු පිණිස මෙයින් පිටවන්නෙමි. එයට හේතුව එය මේ රජ ගේ තුළ රැඳී කල නොහැක්කක් බව පෙනෙන බැවිනි. එය සොයනු පිණිස මා මෙහෙන් නික්ම යා යුතු නොවේද?
ඉන්පස්සේ ඇතිවුණේ දැඩි නිහඬතාවයක්. බෝසතාණන්ගේ කතාව අසා සිටි සුද්ධෝදන රජතුමාට තමා මෙතෙක් කල් කොතරම් උපාය යෙදුවත් කොතරම් වෙහෙස මහන්සි ගත්තත් අසිත සෘෂිතුමා ගේ සහ නිමිත්ත පාඨක බමුණු කී අනාවැකි හරි යන බව තේරුම් ගත්තා. ඒ වගේම එය කෙලෙසකවත් වලක්වන්නට නොහැකි බවත් වැටහුණා.
ඉක්බිත කඳුළු පිරි මුහුණින් පුත්‍රයාණන් දෙස බලා හිඳ “පුත ඔබ ඉල්ලූ වර දීමෙහි ශක්තියක් මට නැත මහානුභාවසම්පන්න දීර්ඝායුෂ්ක ඍෂිවරු පවා කළුරිය කළහ. ඔබේ අදහස මට වැටහේ. ගමනට ඔබට අවසර ඇත. ඔබ තුළ පවත්නා ලොව ජරා මරණාදී දුකින් මුදාලීමේ ශ්‍රේෂ්ඨ අදහස එසේම සඵල වේවා. සම්පූර්ණ වේවා.
මෙසේ පියරජුගෙන් අවසර ගත් බෝසතාණන් වහන්සේ පිය රජුට ගරු බුහුමන් දක්වා එතැනින් සිය මාලිගයට පැමිණියා. පසුදින පහන් වූ සැණින් රජ සියලු ශාක්‍ය ප්‍රභූන් රැස්කරවා සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්න බව තමා හා පුත්‍රයාත් අතර ඇතිවූ කතාව පවසා අවසාන මොහොතේ හෝ ඔහුව වළක්වාලීම සඳහා කුමක් කළ යුතු දැයි විමසා සිටියා. ඊට හේතුවක් තිබුණා. නිමිත්ත පාඨකයන් කියා තිබෙන පරිදි පැවිදි වීම හෝ සක්විති රජ වීම වයසේ එකුන් තිස් වැන්න වූ පිරුණු තැනදී වීමයි. මේ මොහොත වන විට ඒ වයස පිරෙන දිනට තව ඇත්තේ සතියක් පමණයි. මේ අප හට ලැබෙන අවසාන අවස්ථාවයි. ඒ දිනය ඉක්මෙන තෙක් කෙසේ හෝ කුමරු රඳවා ගත යුතුයැයි ශාක්‍යයෝ තරයේ කියා සිටියා. එයට කළ යුතු දෑද ඒ මොහොතේම නිශ්චය කරගත්තා.
උපකාරක ග්‍රන්ථ අරියපරියෙසන සූත්‍රය (සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » ඕපම්ම වර්ගය) ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.