අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 171

 

කිසා ගෝතමියගේ උදාන වාක්‍යය

විශ්වකර්ම දෙවියන් විසින් දිව්‍ය රාජයෙක් මෙන් සරසනු ලැබූ අප මහා බෝසතාණන් වහන්සේ ඒ හා සමානම අලංකෘත වූ රාජකීය රථයට නැගී මහත් යසසින් හා සිත්කළු රූසපුවෙන් යුතුව ඇතුළු නුවරට පිවිසියා. මේ අවස්ථාවෙහි කිසාගෝතමී නම් රජ කුමරිය තම මන්දිරයේ උඩුමහලෙහි සිටිමින් නගරයේ ඈත කෙළවර සිට මහා පිරිවරක් සමග පැමිණෙන සිදුහත් කුමාරයා දෙස ඇසිපිය නොහෙලමින් බලා සිටියා. ඇය සමහරවිට බොහෝ වෙලා ඔහු දකිනු සඳහාම ඒ සඳලු තලයට වී පෙරමග බලා ඉන්නට ඇති. නුවර පැදකුණු කරන බෝසතාණන් වහන්සේගේ රූසපුව දැක සතුටු සිතින් ඉපිලී ගිය ඇය උන්වහන්සේ තම මන්දිරය අසළට පැමිණෙන තෙක් බලා සිටියේ නොවිසිල්ලෙන්. ඒ මෙම ප්‍රීති වාක්‍යය බෝසතාණන් වහන්සේට ඇසීමට ගායනා කිරීමට.

නිබ්බුතා නූන සා මාතා නිබ්බුතා නූන සො පිතා නිබ්බුතානූන සා නාරී යස්සායං ඊදිසො පති

මෙබදු කුමරකුට යම් කතක් මව් වූවාද ඕ තොමෝ නිවුනා යි හගිමි. යම් පුරුෂයෙක් පියා වූයේද හේද නිවුනේ යි හගිමි. යම් ස්ත්‍රියකටද මෙවැනි හිමියකු සිටී ද ඒ බිරියද නිවුනා යි හගිමි. යන්න එහි කෙටි අරුතයි.

බෝසතාණන් වහන්සේ මේ උදාන වාක්‍යය අසා එහි අරුත ගත්තේ හරිම පුදුම විදිහට. උන්වහන්සේ මෙලෙස සිතන්නට වුනා . ඇය විසින් කියන ලද්දේ මේ අදහස විය යුතුය. මෙවැනි රූසපුවක් ඇති ආත්ම භාවයක් දකින මවකගේ හදවත නිවෙයි. පියෙක්ගේ හදවත ද නිවෙයි. බිරියගේ හදවතද නිවෙයි. එහෙත් කුමක් නිවුණු කල්හි හදවතට නිවීමක් වේද?බෝසතාණන් වහන්සේට මෙසේද මෙසේද සිතුණි. රාග ගින්න නිමුණු කල්හි හදවත නිමුණේ වෙයි. මාන දිට්ඨි ආදී කෙලෙස් ගින්දර නිවුණු කල්හි නියම වශයෙන් හදවත නිවුණේ වෙයි. එම නිසා ඇය මට අස්සවන ලද්දේ මා හැගි දහමකි. මම ද නිවීම හෙවත් නිබ්බාණය සොයමින් සිටියි. හැකි ඉක්මණින් ගිහි ගෙය අතහැර නික්මී පැවිදි ව නිවීම හෙවත් නිර්වාණය සොයන්නට වටී.

මෙලෙස බෝසතාණන් වහන්සේගේ රූපශෝභාවයෙන් වසඟයට පත්වූ අතිශය රූමත් වූ ශාක්‍ය කන්‍යාවිය විසින් ව්‍යංග අර්ථයෙන් කල ඇරයුම තණ්හා දිට්ඨි මාන වශයෙන් ගෙන ප්‍රපංච නොකොට අලුයම ඉවතලු කෙල පිඬක් සේ තම සිතෙන් ඉවත ලු උන්වහන්සේ ඇයට පඩුරු වේවා යි ලක්‍ෂයක් වටිනා මුතුහර ගෙලෙන් මුදා ඇය වෙත යවනු ලැබුවා. එය ලැබූ කිසාගෝතමී සිදුහත් කුමරු මා කෙරෙහි අනුරාගී හැගීමෙන් එවන ලදැයි සතුටු වූවා. බෝසතාණන් වහන්සේ මහත් ප්‍රීතියෙන් තම ප්‍රසාදයට පියමැන්නා. පියමැන තම සිරියහනේ සැතපෙමින් ගිහිගෙයින් නික්මයාම පිළිබඳවම සිතන්නට වුනා . ඒ සිතන අතර තුරම උන්වහන්සේ කෙටි නින්දකට පිවිසුණා. ටික වේලාවකින් නින්දෙන් පිබිදුණ බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේ යැයි කල්පනා කරනු ලැබුවා. එහෙත් මා හදාවඩා රැක බලා ගත් මාගේ සැපපහසුව ද අභිවෘද්ධිය තකා පමණ කළ නොහැකි මහත් ධන සම්භාරයක් වියදම් කළ රෑ දවාලේ මගේ යහපතම පතා නො පමණ වෙහෙස මහන්සි වෙමින් මගේ කරුණාබර පියාණන් වහන්සේට නොදන්වා උන්වහන්සේගෙන් අවසර නොගෙන නික්මයෑම අයුත්තක් බව උන්වහන්සේට තේරුම් ගියා වගේම එය අකෘතඥ බවත් වැටහුණා. එබැවින්දැන් පියාණන් වහන්සේ වෙත ගොස් දන්වමි යැයි සිතා මහ රෑම පියාණන්ගේ මාලිගාව වෙත පියමැන්නා.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.