අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 170
අපි නොදකින සතර පෙර නිමිති 02
තවත් එක් දිනක් බෝසතාණන් වහන්සේ පෙර සේම රාජකීය උයනට යන්නට සිතුවා. එදත් සුපුරුදු පරිදී රථාචාර්ය වරයා රාජකීය රථය ලස්සනට සැරසුවා. පිය රජතුමා වෙනදාටත් වඩා වැඩියෙන් යන මග දෙපස ගව්වක් දක්වා ආරක්ෂා විධිවිධාන තරකරනු ලැබුවේ කිසිම අසුභ දර්ශනයක් කුමරුන් ඇස නොගැටීමට. එහෙත් ඒ බාධක බාධකයක් වුනේ මිනිසුන්ට. දෙවියන්ට නෙවෙයි. එදත් දෙවියන් විසින් පෙර පරිදිම සසර කල කිරවන රෝගී පුද්ගලයෙකු මවනු ලැබුවා. දෙවියන් විසින් මවන ලද රෝගී පුරුෂයා දැක පෙර සේම විචාරා කළකිරීමට පත් වූ කුමරු ආපසු මාළිගවටම පැමිණියේ උයන් ක්‍රීඩාව ඉවතලමින්. රජතුමාටත් මෙය ලොකු ප්‍රශ්ණයක් වුනා. සමහරවිට ඇමතිවරු සේවයක්යෝ නොසැලිකිලිමත් වුනා කියලා නොසෑහෙන්න බැනුම් අහන්නත් ඇති. රජතුමා ද පෙර පරිදිම ආරක්‍ෂණ සංවිධාන තවත් වැඩිකොට තිගව්වක් ප්‍රදේශය දක්වා තර කළා. නැවතත් පෙර පරිදීම තවත් එක් දවසක් උයනට යන බෝසතාණන් වහන්සේ දේව නිර්මිත මළ සිරුරක් දැක සංවේගයට පත්ව පෙර පරිදීම ආපයින්ම ආපසු මලිගයටම පැමිණියා. මෙවර රජතුමා තවත් යොදුනක් පමණ ඔබ්බට ආරක්‍ෂාව තර කළා. ඔබ හිතන්න එපා මේ දේවල් මේ ආකාරයෙන්ම සිදුවුනේ අපේ බුදුහාමුදුරුවන්ට පමණක්මයි කියලා. නැහැ මෙතෙක් අප විසින් ලියු සියලු බුදුවරුන්ටත් මතු පහළවන බුදුවරුනටත් මේ කරුණු එක සේ සමානයි. එය ලෝකයේ ධම්ම නියාම යන යන නියාමනය යටතේ සිතුවන්නක්. තවත් දවසක බෝසතුන් වහන්සේ පෙරසේම උයනට යන්නට පිටත් වුනා. ඒ ගිහි ජිවිතයේ අවසාන උයන් ක්‍රීඩාව සඳහා බව උන්වහ්න්සේවත් දැනගෙන නොයින්නට ඇති. ඒත් ඒ බව දෙවිවරු දැන සිටියා. අතරතුරඑදත් ඒ යන අතරතුර දෙවියන් විසින් මවන ලද මනාව සිවුරු හැද පොරවූ පැවිදි රුවක් දැක මේ කවරෙක්දැයි රියදුරුගෙන් විචාරනු ලැබුවා. බුදු සසුන පවත්නා කාලයක් නොවන නිසා පැවිද්දෙකු හෝ පැවිදි ගුණ නොදන්නා රියදුරා දෙවියන්ගේ අනුහසින් දේවයිනි, මේ පැවිද්දෙක්යැයි හදුන්වා පැවිදි ගුණ ද වර්ණනා කරන්නට වුනා . ජිවිතයේ බොහෝදෙවල් වෙනස් වෙන්නේ බොහෝ විට එක ක්ෂණයකින්. බෝසතාණන් වහන්සේට ඒ පැවිදි රුවත් ඔහුගේ අරමුණත් පිළිබඳව සිත නැමුණේ පුදුමාකාරයට. සිත නැමුණා විතරක් නෙවෙයි සිත ඇලුනා. පැවිද්දට සිත ඇලුණු උන්වහන්සේ එදවස උයනට ගියේ පුදුම සතුටකින්. . හරියටම දීඝභාණක තෙරවරු සතර පෙර නිමිති එක දවසෙහි ම දැක අභිනික්මන් කළ බව කියනවා වගේ
එදා උන්වහන්සේට විශේෂ දවසක්. මීට පෙර දුටු පෙරනිමිති නිසා බොහෝ දුකට පත්ව සිටි උන්වහන්සේට දුකින් මිදිය හැකි දොරටුවක්ද මෙම සසරෙහිම සැඟව පවතින බව පෙනෙන්නට ඇති. උයන් සිරි විදිමින් මගුල් පොකුණෙහි ප්‍රීතියෙන් ගතකල උන්වහන්සේ නා හිරු බැස යත්ම එයින් නික්මිවුත් මගුල් ගල් පුවරුවෙහි අසුන් ගත්තා.
බෝසතාණන් වහන්සේව විස්කම් දෙවිඳු විසින් සැරසීම.
මේ ඔබ හට කියන්නට යන්නේ ලොව තවත් ධම්ම නියාමයක්. ඒ අභිනික්මනට පෙර බෝසත් වරුන්ව සක්දෙවිඳුගේ අනින් විස්කම් දෙවිඳු විසින් සැරසීම යන කාරණයයි. මෙය සම්මා සම්බුද්ධත්වයට පත්වෙන සියලු බෝසතන් වහන්සේලාට සාධාරණ වූ ධර්මතාවයක්. ඒ කරුණ නිසාම වෙන්නට ඇති බෝසතුන්ට එහිදී තමා අලංකාර කරවා ගන්නට කැමැත්තක් ඇතිවුනා . බෝසතාණන් වහන්සේ ගේ පිරිවර පිරිස නානා වර්ණ වස්ත්‍ර ද විවිධ ආභරණ ද මල් ගද විලවුන් ද රැගෙන උන්වහන්සේව පිරිවරා සිටිය. එහෙත් එය ඔවුනට අයිති කාර්යයක් නොවනබව ඔවුන්වත් දැන සිටියේ නැහැ. එකෙණෙහි සක් දෙවිදුගේ පඩු ඇබුල් අස්න උණුසුම් වෙන්නට පටන්ගත්තා. සක් දෙවිදු කවරකු මා සක් පදවියෙන් ඉවත් කරනු කැමැත්තෝ දැයි විමසනා විට සිදුහත් කුමරුන්ගේ අවසන් සරසන කාලය බව දැන විස්කම් දෙව්පුත් අමතා “සගය, අද මධ්‍යම රාත්‍රියෙහි සිදුහත් කුමරා මහාභිනිෂ්ක්‍රමනය කරන්නේය. මේ මොහුගේ අවසන් සරසීමයි. උයනට ගොස් බෝසතුන් වහන්සේ දිව්‍යාභරණයෙන් සරසව” යි නියම කරනු ලැබුවා. ඔහුද මැනවයි පිළිගෙන දිව්‍යානුභාවයෙන් එකනෙහිම උයනට පැමිණ බෝසතාණන් වහන්සේගේ කපුවාගේ වේශයෙන් ගොස් කපුවාගේ අතින් හිස වෙලුම් පිළිගෙන බෝසතාණන් වහන්සේගේ හිස වෙලන්නට වුනා .
බෝසතාණන් වහන්සේ විශ්වකර්ම දේව පුත්‍රයාගේ අත ස්පර්ශ වූ කෙණෙහිම මේ මිනිසකු නොව දිව්‍යය පුත්‍රයකු යැයි දැන ගත්තා. හිස වේලූ කෙණෙහිම ඔටුන්නෙහි එබ්බු මිණි කැට අයුරින් පිළි දහසක් පැන නැග්ගා. නැවතත් හිස වෙළත්ම නැවතත් පිළි දහස බැගින් පැන නැග්ගා. මෙලෙස දස වරක්ම හිස වේලනු ලැබුවා. මෙසේ හිස වෙළත් වෙළත් ම දශ දහසක් පිළි පැන නැග්ගා. මෙහිදී හිස කුඩාය පිළි බොහෝය, කෙසේ පැන නැග්ගේදැයි නොසිතිය යුතුයි. ඔවුනතුරින් සියල්ලටම වඩා මහත් පිලිය පූඩා මලක් පමණ වුනා . සෙසු පිළි මල් පමණ විය. බෝසතාණන් වහන්සේගේ හිස කෙසරු ගැවසී ගත් බක්මී මලක් මෙන් වුනා. සියලු ආභරණයෙන් සැරසී සිටි බෝසතුන් වහන්සේට සියලු වාද්‍යය විශේෂයන්හි දක්‍ෂ වූවන් තම තමන්ගේ කුසල භාවයන් දක්වද්දී බමුණන් ජය වේවා. සතුටු වේවා. ආදී වදන් කියද්දී ව න්දිභට්ටයෝ නන් අයුරින් සුබ වචන කියද්දී සතුන් නාදයෙන් බුහුමන් දක්වද්දී එතුමෝ සර්වාලංකාරයෙන් යුත් උතුම් රථයට නැග ගත්තා. මෙම කාලය තුළ යශෝදරා අග බිසව පුතකු බිහිකළ බව ඇසු සුදොවුන් මහරජාණෝ තම පුතුට සතුට දන්වනු පිණිස හසුනක් යවනු ලැබුවා. බෝසතාණන් වහන්සේට ඒ අසුන ලැබුණේ ඒ මොහොතේමයි. එය ඇසු සැණින් රාහුලයෙක් හෙවත් රඝුරාජ පුත්‍රයෙක් උපන්නේය. එයින් බන්ධනය වීයැයි උන්වහ්න්සේගේ මුවින් පිට වුනේ මේ වනවිටත් සසර දුකින් මිදීමට වනගත්විමට තීරණය කර තිබු නිසා වෙන්නට ඇති. පැමිණි සේවකයන් ද පියරජතුමා හට සිදුහත් කුමරු කී දෙය දන්වා සිටියා. රජතුමා පුතුන්ගේ වචනය අසා මෙතැන් සිට මුනුබුරාණන්ට රාහුල යන නාමය ම වේවා යි කියා සිටියා.
උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.