අපේ බුදුහාමුදුරුවෝ 17

 

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 14

මේ අතරතුර දීපංකර බුදුපියාණන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත වූ රහතන් වහන්සේලා  දාන ශාලාවේ දාන වළදා අවසන් වෙමින් සිටියේ. එක වරම ඇති වූ භුමි කම්පාවෙන්  ඒ දාන ශාලාවේ ඇප උපස්ථාන සඳහා සිටිය ලක්ෂ සංඛ්‍යාත වූ ගිහි පිරිසත් වෙවුලමින් බිම වැතුරුනා. පොලොව දිගටම සෙලවන්නට වුනා.  ඒ එක්කම දානශාලාවේ තිබු දහස් ගණන් භාජන එකිනෙක හැපී වැටි සුනු වී කැබලි වී යන්නට වුනා. මිනිසුන් තවත් භීතියෙන් භීතියට පත්වුනා. ඔවුන් හිතුවේ දේව කෝපයක් හෝ යක්ෂයන්ගේ බලපෑමක් කියලයි. බියෙන් සන්ත්‍රාශයෙන් ආකුල වූ සිත් ඇති ජනයා සියලු ලෝකධාතුන්ද, සක්වලද, අතීත වර්තමාන අනාගත යන කාල ද දිවෙසෙන් පෙනෙන දීපංකර බුදුරජාණන් ළඟ දනින් වැටි මෙසේ විමසන්නට වුනා.

“බුදුරජාණන් වහන්ස ලෝකයාට කුමක් වන්නේද? හැමදෙනාම බියෙන් ඇළලීලා. අපේ අතින් යම් වරදක් වුනාද? මෙය ලෝකයාට අයහපත් පෙරනිමිත්ත්ක්ද යහපත් පෙරනිමිත්තක්ද? මේ උපද්‍රවය දුරු කරණු සේක්වා !”

ඒ මහා කාරුණික වූ බුදුපියාණන් වහන්සේ ඔවුන්ව එදා මෙලෙස සනසනු ලැබුවා.

“මේ පෘථිවි කම්පාවෙන් බිය නොවන්න. මෙය වුවදුරු රහිත වුවක්. අද දිනයේ මා විසින් යම් කෙනෙකු මතු බුදුවනවා යැයි ප්‍රකාශ කලේද, හෙතෙම පෙර බුදුවරුන් සිත් සෙවුනා ලද පෙරුම් දම් විමසයි. බුද්ධත්වයට පාදක  වන්නාවූ සියලු ධර්ම විමසන කල්හි මෙලෙස අප ලොව පමණක් නොව දස දහසක් සක්වලම කම්පා වෙනවා. මහා හඬ නංවනවා. වෙවුලනවා. මේ එවැන්නක්. සිතේ බිය දුරු කරගන්න. තවත් බුද්ධ අංකුරයක දළුලෑමක්.”

මහා ජනයා බුදුරජුන්ගේ කතාව අසා සිතේ බිය දුරුකරගත්තා පමණක් නෙවෙයි මහත් වූ ශ්‍රද්ධාවකින් සොම්නසකින් සුවඳවත් වූ පුෂ්පයන් ද රැගෙන සුමේධ බෝසතාණන් සමාධි සුවයෙන් සිටි ඒ රුක් මුල වෙත දුව යන්නට වුනා. යලිත් බෝසතාණන් වහන්සේට මල් වලින් පුද වැඳ  පැදකුණු කොට රම්මවති නුවර වෙත යන්නට වුනා. දශ පාරමී ධර්ම විමර්ශනය කොට විර්යය දැඩි කොට අධිෂ්ඨානකොට වැඩසිටි අප මහා බෝසතාණෝ ආසනයෙන් නැගී සිටියා.

බෝසතාණන් වහන්සේ ආසනයෙන් නැගී සිටිත්ම දස දහසක් සක්වල දෙවියෝ රැස්වී දිව්‍යමය මල් ආදියෙන් පුදමින් මෙලෙස ප්‍රීති වාක්‍යය කියන්නට වුනා.

උතුමාණෙනි, ඔබ අද දීපංකර බුදුරජුන්ගේ පාමුල උතුම් වූ ප්‍රාර්ථනයක් කළා. ඒ ප්‍රාර්ථනය නිරුප්‍රදිතව සඵල වෙත්වා.!  බුද්ධත්වය කරා  පිය නගන්නා වූ මේ දීර්ඝ ගමනේ ඔබට  බියක් හෝ තැති ගැන්මක් නො වෙත්වා.! ඔබ සිරුරෙහි ස්වල්ප වූ හෝ රෝගයක් නො වැළදෙත්වා!. නිසි කල පැමිණි විට පෙරුම් සපුරා බුද්ධත්වය අවබෝධ කරත්වා!. මල් හා ගෙඩි හටගන්නා ගස් නියමිත කාලය පැමිණි කල මල් හා ගෙඩි ඵල ගන්වනු ලබයි. එමෙන්ම ඔබද කාලය නොයික්මවා බුද්ධත්වයට පත්වේවා! බුද්ධ ඤාණ නැමැති මලෙහි පිපීම ඒකාන්තයි.  පසළොස්වක පොහෝ දින යම් සේ චන්ද්‍රයා ඉතා පිරිසිදු ලෙස බබළයිද, එමෙන්ම ඔබද පිරුණූ මනදොළ  ඇතිව දස දහසක් සක්වල බබලනු මැනවි. රාහුගෙන් මිදුණු සුර්යයා ආලෝකයෙන් වඩාත් බබලයිද එමෙන්ම ඔබද ලෝකය සසරෙන් මුදවා මහා වීරයෙකු සේ ශ්‍රීයෙන් බබලනු මැනවි.! සියලු ගංගාවෝ මහා මුහුදට ගලන්නා සේ දෙවියන් සහිත ලෝකයා ඔබ වෙතට ඇදී එත්වා.! යැයි මංගල ස්තුති ගී පවත්වා තම තමන්ගේ දිව්‍යමය විමාන වලට යන්නට ගියා. සුමේධ තවුසාණෝ ද මම දස පාරමී දම් පුරා සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන්නෙමි යි විර්යය දැඩි කොට අහසට නැඟී හිමවතටම වැඩියා.

රම්ම නගර වැසි ජනයෝද ආපසු නගරයට පැමිණ දීපංකර බුදුරජුන් ප්‍රමුඛ මහසඟනට මහා දන් දුන්නා. දීපංකර බුදුරජාණන් ද ඔවුනට දම් දෙසා මහා ජනයා සරණ සීලාදී ගුණ ධර්මයන්හි පිහිටවන්නට වුනා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වයක් වුනා. දහම් දෙසන විට එක් කෙනෙකු දෙදෙනෙකු හතර දෙනෙකු වශයෙන් ධර්මය අවබෝධ කොටගත් අවස්ථා හරිම විරලයි. අඩුම වශයෙන් දසදහසක් විසි දහසක් සතළිස් දහසක් වශයෙන් විශාල ප්‍රමාණයක් එකවර ධර්මාබෝධයට පැමිණුනා. ඒ විතරක් නෙවෙයි ඒ කලේ යම් කෙනෙක් අරහත්වයෙන් තොරව සෝවාන් සකුරුදගාමී අනාගාමී ව කලුරිය කරයිද  ඔවුනට කෙලෙස් ඇත්තන් විසින් ගරුත්වයට ලක්වුණේ නැහැ. ඒ තරමටම අරහත්වය සුලභ පහසු විය. ඒ නිසාම දීපංකර බුදුපියාණන් වහන්සේට මහා ශ්‍රාවක සන්නිපාත තුනක් විය. එයින් නාරදකූඨ නම් පරම රමණීය පර්වතය අධිගෘහිත මහා බලගතු නාරද යක්ෂයා ඇතුලු දස දහසක් යක්ෂයන් දමනය ලස්සන කතාවක්. එය මතු දිනක වෙනම කතාවක් ලෙස ලියන්නම්.

මෙලෙස කෙල ප්‍රකෝටි ගණනින් දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කල දීපංකර බුදුපියාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වලඳා අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවී සේක.