අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 169
අපි නොදකින සතර පෙර නිමිති 01
ස්වභාව සෞන්දර්යට ප්‍රිය කළ අප මහා බෝසතාණෝ
මෙසේ දිනෙන් දින සති මාස ගෙවීගියා. අන්තපුර ස්ත්‍රීන් හා සමග කාලය ගතකරනවාට වැඩිය බෝසතාණන් වහන්සේ ප්‍රිය කලේ ස්වභාව සෞන්දර්යය හා කාලය ගත කිරීමට. ඒ සසරේ වැඩි කාලයක් ගතකලේ මහා වනපෙත් වල තවුස්දම් වඩමින් පාරමිතා පුරමින් සිටි නිසා වෙන්න ඇති. ඒ නිසා ඉඩ ලද සැමවිටම කලේ රාජකීය උයන්වෙත ගොස් ඒ ස්වභාව සෞන්දර්යයත් හා කාලය ගත කිරීමයි. එදත් එවැනිම තවත් දවසක්. සිදුහත් කුමරා එන බව ආරංචි වී ඔහුගේ රූපශ්‍රීය දැකීමට මිනිසුන් මග දෙපස රැස් වී පොර කකා සිටියා. ශුද්ධෝදන රජතුමා ඒ වන විටත් සසර කළකිරීම සඳහා භාජනය වන යමක් ඇද්ද ඒ සියල්ල මග දෙපසින් ඉවත් කරලයි තිබුණේ. එදින බෝසතාණන් වහන්සේ උයන් බිමට යනු කැමැත්තෙන් රථය සරසන ලෙස ඡන්න ඇමතියා හට කියනු ලැබුවා.
සතර පෙරනිමිති පෙළගැස්වූ දෙවිවරු
ඔහු මැනවැයි පිළිගෙන මාහැගි උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා කුමුදු පත්‍ර වර්ණ ඇති මංගල සෛන්ධව අශ්වයන් සිව් දෙනෙක් යොදා බෝසතාණන්වහන්සේට දන්වනු ලැබුවා. බෝසතාණන්වහන්සේ දෙව් විමනක් සමාන රථයට නැගී උයන දෙසට යන්නට පිටත්වුණා. බෝසත්වරයකුගේ බුද්ධත්වය කරා යන ගමනේදී දෙවියන් හටත් ඉටු කරන්න ලොකු කාර්යය භාරයක් තියනවා. දුරේ නිධානයේදී එවැනි බොහෝ තැන් අපි සඳහන් කළා. එදින සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මෙලෙස සිතන්නට වුනා . සිදුහත් කුමරුගේ අහිංසා බෝධියට දැන් සුදුසු කාලයයි. ඒ නිසා පෙර නිමිති දැක්විය යුතුයි. එලෙස සිතා එක් දිව්‍යය පුත්‍රයෙක් මහළු දිරාපත්, ගොනුස්සෙකු මෙන් වක් වූ කද, කටී, දණ, යන තැන්වලින් නැමුණු සැරයටියක් අතින් ගත් වෙවුලන ආකාරයෙන් පෙනී සිටියා. එහෙත් එම රූපය පෙනුණේ බෝසතාණන් වහන්සේට සහ රියදුරාට පමණක්මයි. ඒ නිසාම මහල්ලන් කුමරා යන මාර්ගයෙන් ඉවත් කරන්නට සිටි රාජ සේවකයනට ඔහුව පෙනුනේ නැහැ නෙවෙයි දෙවියන් විසින් පෙනෙන්නට සැලැස්සුවේ නැහැ.
සසර ගමනක් වෙනස්කල මහලු මිනිසා
එවිට බෝසතාණන් වහන්සේ රියදුරා අමතා යහළුව,මේ පුරුෂයා කවරෙක්ද? ඔහුගේ කෙස්වත් අන් අය හා සමාන නොවෙයි. ඔහුගේ කයද අන්‍ය පුරුෂයන්ගේ කය මෙන් නොවේ, යනුවෙන් පුදුමයෙන් විමසන්නට වුනා .
එවිට ඡන්න ඇමති ‘දේවයන් වහන්ස, මෙතෙමේ ජරාවටපැමිණි මහලු පුරුෂයෙක්යයි’ කියා කෙටි පිළිතුරක් දුන්නේ පුදුමයෙන්. ඇයි මෙතරම් ආරක්ෂකයන් සිටියදීත් මෙම මහලු මිනිසා කොහෙන් පැමිණියාද කියලා හිතන්නට ඇති. එවිට බෝසතාණන් ‘කිමෙක්ද යහළු රියැදුර, මේ තෙමේ ජරාවට ගිය පුරුෂයෙක්දැයි නැවතත් අසනු ලැබුවේ පුදුමයෙන්. එවිට ඡන්න රියදුරු ‘දේවයන්වහන්ස, එසේය, මෙතෙමේ ජරාවට ගිය කෙනෙක්. ඒ නිසා ඔහු තව වැඩි කලක් ජීවත් නොවන්නේයයි’ කියා සිටියා. ඒ අසා පුදුමයට පත්වුණ අප මහා බෝසතාණෝ ‘යහළු ඡන්න, කිමෙක්ද මමත් ජරාව ස්වභාවකොට ඇත්තෙම්ද? මා විසින් ජරාව නොඉක්මවනලද්දීදැයි, අසනු ලැබුවා. එවිට ඡන්න, ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම ජරාව ස්වභාවකොට ඇත්තෝ වෙමු. අපවිසින් ජරාව නොයික්මවන ලද්දේයැයි’ පැහැදිළි කොට දුන්නා. රියදුරුගේ පිළිතුර අසා මෙළොව ඉපදීමට නින්දා වේවා. උපන්නා හට මහළු බව පෙනෙන්නේයැයි සංවේගයට පත් සිතැති ව එතැනින් ම ආපසු හැරී එහෙනම් අද උයන් ක්‍රීඩාවට යාමෙන් කමක් නැත, දැන්ම ආපසුහැරී ඇතුළුනුවරට රථය ගෙනයවයි’ ඡන්නට අණ කරනු ලැබුවා.
උයන්කෙළියට ගිය සැණින්ම එය නිමාකොට සිදුහත් කුමරා ආපසු පැමිණි බව ඔහු කෙරෙහි නිරන්තරයෙන්ම, ඇස ගසා සිටි ශුද්ධෝදන රජතුමාට දැන ගැනීමට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. සිදුවූ දෙය අසා දැනගත් පියරජතුමා හට මහල්ලෙක් දැක පැවිදි වනේයැයි පෙර ඇසු වදනම සිහිපත් වුනා . තම පුතු කෙරෙහි අසීමිත ආදරයෙන් බැඳී සිටි රජතුමාට “මා නො නැසුව මැනවි”, “මා නො නැසුව මැනවි” යනුවෙන් කියවුණේ ඉබේටමයි. නාට්‍යය සංගීතාදිය පිළිවෙල කරව්. සැප සම්පත් විදින විට පැවිද්ද සිහි නොවන්නේයැයි ආරක්ෂා තව තවත් තර කොට සියලු දිශාවන්හි තව දුරටත් අඩ යොදුනක් තැන් රැකවරණ යොදනු ලැබුවා.
උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.