අපේ බුදුහාමුදුරුවෝ 16
සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 13
බුද්ධ කාරක ධර්ම විමසීම සහ යලිත් දෙතිස් පෙරනිමිත පහළවීම
දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ වචනයෙන් ඔද වැඩුණු අප මහා බෝසතාණන් වහන්සේ තව තවත් විර්යය වඩමින් මෙසේද සිතන්නට වුනා.
”මම ධ්‍යාන සම්පත්ති විෂයෙහි ප්‍රගුණයෙක් වෙමි. ෂඩ් අභිඥා ඤාණ විෂයෙහි පරතරට ගියෙහි වෙමි. දස දහසක් ලෝක ධාතුවේ බුදුසසුනේ මා සමාන තවුසෙකු නැත. සෘද්ධි බලයෙන් අසම සම වෙමි. මම බද්ධ පර්යංකයෙන් වැඩ සිටිත්ම යම් පෙර නිමිති පහල විද අදත් ඒ නිමිති දක්නට ලැබේ. (දෙතිස් පෙර නිමිති – අපේ බුදුහාමුදුරුවෝ 09 ) පෙර බෝසත් වරුන් පළක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකි සියලු දෑ අද ද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන්ම බුදුබවට පත්වන්නාහුය.
අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජුන්ගේ සහ දස දහසක් සක්වළ දෙවියන්ගේ වචන අසා වඩ වඩාත් උත්සාහවත් වෙමින් මෙලෙස සිතන්නට වුනා.
“බුදුවරයෝ සැබෑය, බොරුය යන දෙපරිද්දෙකින් පවත්නා වචන නැති හෙයින් නොවෙනස් වචන ඇත්තාහ. නොනිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි.”
“යම්සේ අහසෙහි උඩ දැමූ ගල් කැටක් ඒකාන්තයෙන් බිම වැටේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්යෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’
“යම්සේ සියලු සත්ත්‍වයන්ට මරණය ඒකාන්තයෙන් ඒකාකාරව පවතීද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’
“යම්සේ රාත්‍රිය අවසන්වූ කල්හි හිරු නැගීම ඒකාන්තයෙන් සිදුවේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’
“යම්සේ ගල්ලෙනෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’
’’යම්සේ ගර්භනීන්ගේ ගැබ්බර මිදීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’
සුමේධ තවුසාණන් මෙසේ නන් අයුරින් විමසා බලා මම ඒකාන්ත වශයෙන්ම බුදු වෙමි යයි ස්ථිර අධිෂ්ඨාන කොට බුද්ධකාරක ධර්මයන් කොහි ඇත්දැයි ඔබමොබ උඩ යට දස දිසා පමණක් නොව කාම ලෝක රූප ලෝක අරූප ලෝක පමණක් නොව භවාත්‍රයටද අයත් සියලුම ධර්ම එකිනෙක විමසා බලන්නට වුනා. දැන් ඔබට තේරවි මහත් වූ සමාධියක් නොවැඩු පුද්ගලයෙකුට මෙවැන්නක් කෙසේවත් කල නොහැක්කක් බව. එසේ බලන විට මිට පෙර පහල වූ සියලු බුදුවරු ද පුරුදු පුහුණු කල ඒ දස පාරමිතා ධර්ම ඇරෙන්නට වෙන කිසවක් පෙනෙන්ට තිබුනේ නැහැ. එතැන් සිට දාන පාරමිතාවෙන් පටන්ගෙන එකිනෙක දස පාරමී ධර්මයන් ඉහත දැක්වූ තිස් ආකාරයට මහා ඉර්ධි බල සම්පන්න මනසින්ද සසර පුරා ප්‍රගුණ කල සමාධියෙන්ද විමසන්නට වුනා.
මහ පොළව සළිත වී රම්ම නගර වැසියන් බිම ඇද වැටීම.
පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදුර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන් භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.
මෙසේ මහ පොළව කම්පා වනවිට රම්ම නගර වාසීන් පොළොවෙහි සිටින්නට නොහැකිව මහා කුණාටුවකින් පහරලත් මහා වෘක්ෂයන් සේ ඒ ඒ තැන්වල බිම වැටෙන්නට වුනා. කළ ආදී කුඹල් මැටි භාණ්ඩ බිම වැටි එකිනෙක හැපී සුණු විසිණු වුනා. බියපත් වූ රම්ම නගර වැසියෝ දීපංකර බුදුන් වැඩ සිටි දෙසට දුව එන්නට වුනා.