අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 157

 

නාමකරණ මංගල්‍යය

නම් තැබීම සහ ඵලාපල සඳහා බමුණන් එකසිය අටදෙනෙක් පැමිණීම.

එදා බෝසතුන් උප්පත්තියෙන් පස් වැනි දිනයයි. කුමරුන්ගේ හිස නහවා නම් තැබීම සදහා රජ මැදුර සියලු සුගන්ධයන්ගෙන් සුවඳවත් කොට ලදපස් මල් විසුරුවනු ලැබුවා. ඉන්පසු දිය නුමුසු කිරි බත් පිසවා ත්‍රිවේදය මනාව දත් බමුණන් එකසිය අටදෙනෙක් රජ මැදුරට කැඳවා අසුන්හි වඩා හිදවා මිහිරි බොජුන් වළදවා මහත් සේ සම්මාන කොට කුමරුනට කුමක් සිදුවන්නේ දැයි ශරීරාංග ලක්‍ෂණ විමසන්නට වුනා. ඔවුන් අතුරින් රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදන්ත යන බමුණන් අට දෙනා ප්‍රවීණයන් වූ නිසාම ඔවුනට රාජසභාවේ ප්‍රමුඛස්ථානය ලැබුණා. ඔවුන් සැවැදෑරුම් වේදාංග මන්ත්‍ර අනුව කුමරුන්ගේ ශරීර ලක්‍ෂණ විමසන්නට වුණා. මේ බමුණන් අට දෙනාම අංග ලක්ෂණ පරීක්ෂා කිරීමෙහි කෙළ පැමිණියන්. බෝසතුන් පිළිසද ගත් දිනයෙහි ද බෝසත් මව දුටු සිහිනය පරීක්ෂා කරනු ලැබුවේද මොවුන්මයි. ඔවුනතුරින් කොණ්ඩඤ්ඤ බමුණා හැර අනෙකුත් සත්දෙනා ඇගිලි දෙකක් ඔසවා මෙලෙස දෙවිදියකින් අනාවැකි ප්‍රකාශ කරනු ලැබුවා. ඒ මෙලෙසයි.

“මේ අංග සලකුණුවලින් යුක්ත වුවෝ ගිහි ගෙයි වසන්නෝ නම් සක්විති රජ වන්නෝය. පැවිදි වන්නෝ නම් බුදු වන්නාහ.” මෙසේ ප්‍රකාශ කළ බමුණෝ සක්විති රජුගේ ශ්‍රී විභූතිය වර්ණනා කරනු ලැබුවා.

ඔවුනතුරින් ලාබාලම වියේ සිටියේ කොණ්ඩඤ්ඤ නම් මානවකයයි. ඔහු විසින් බෝසතුන්ගේ සර්වප්‍රකාරයෙන් උතුම් වූ ශරීර ලක්ෂණ විමසාබලා ඒ අතර ඇති විශේෂිත ඌර්ණ රෝම ධාතුව ද සැළකිල්ලට ගෙන”මේ උත්තමයාණන්ට ගෘහ ජීවිතයේ විමසීමට හේතු කාරණා නැත. ඒකාන්තයෙන් කෙළෙස් ඉවත් කළ බුදු කෙනෙක් වන්නාහුයයි” ස්ථිර වශයෙන් දැන එකම ඇගිල්ලක් පමණක් දිගු කොට එලෙස එකම එක අනාවැකියක් පමණක් පලකළා. මේ කොණ්ඩඤ්ඤ බමුණා වනාහි මේ අන්තිම අත්බව ඇත්තෙක්. නුවණින් ද අනෙක් සත් දෙනා අභිබවා සිටිය කෙනෙක්.

ඉන්පස්සේ පැමිණියේ නම් තබන හෝරාවයි. එහිදී සියලු කරුණු සැළකිල්ලට ගත් බමුණන් මොහු තුන් ලොවටම අර්ථ සිද්ධිය කරන බැවින් ‘සිද්ධත්‍ථ’ යනුවෙන් නම් කරනු ලැබුවා.

පස්වග මහණුන් එළිදැකීම.

ඒ සියලු කටයුතු නිමවුණායින් පස්සේ ඒ බමුණෝ තමතමන්ගේ ගෙවල්වලට ගියේ යුහුසුළුව. එසේ ගොස් තම පුත්‍රයන් අමතා මෙසේ කිවා. ” අපිට අද ශුද්ධෝදන රජ්ජුරුවෝ මාළිගාවට එන්න කියලා තිබුණා. ඒ අලුත උපන් කුමාරයා පෙන්වන්නට. ඔහු එසේ මෙසේ කෙනෙක් නොවෙයි. අපේ ජිවිත කාලය තුලම දැක්ක සුවිශේෂ දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගෙන් පිරි ප්‍රථම පුද්ගලයා. සියල්ල දත් ඔහු ඒකාන්තයෙන්ම අනාගතයේ බුදු බවට පත්වන පින්වත් කුමරෙක්. “අපි දැන් මහල්ලෝ. ඒ නිසාම ඔහුගේ බුද්ධත්වය දැකගැනීමට ලැබීම හෝ නො වීම විය හැකිය. නුඹලා එතුමා සියල්ල දත් බවට පැමිණි කල්හි එතුමාගේ සසුනෙහි පැවිදි වන්න” යැයි පවසා ආයු ඇතිතාක් සිට මෙළොව අතහැර ගියා.

කොණ්ඩඤ්ඤ මානවකයා ඒ වනවිට නිරෝගීව තරුණ වියේ පසුවුණේ. පසුකලෙක බෝසතුන් වැඩිවිය පත්ව මහබිනික්මන් කොට පිළිවෙළින් උරුවේලාවට ගොස් “මේ භූමි භාගය ඉතා සිත්ගන්න සුළුය. මහා විර්යය කෙරෙනු කැමති කුල පුත්‍රයකු ව ප්‍රධන් වීර්යය කිරීමට ඉතා සුදුසුයැයි” එහි සිත් අලවා වාසයට පැමිණි කාලයේ කොණ්ඩඤ්ඤ බමුණා තෙම අනෙක් සත් බමුණන්ගේ පුතුන් වෙත ගොස් මෙලෙස කිවා. සිද්ධාර්ථ කුමරු පැවිදි දිවියට ඇතුළත් වුණා. එතුමාණෝ නිසැකයෙන් බුදුවනවා. ඉදින් ඔබලාගේ පියවරු ජීවත්ව සිටියෝ නම් අද ම පැවිදි වනවා නිසැකයි. ඉදින් ඔබලා කැමති නම් එනු මැනව. මම ඒ උත්තමයාණන් අනුව පැවිදි වන්නෙමි.” පවසනු ලැබුවා. එහෙත් ඒ සියලු දෙනාම එකම අදහස් ඇත්තන් වීමට නොහැකි වූණා. තිදෙනෙක් පැවිදි නොවූණා. ඉතිරි සතර දෙනා කොණ්ඩඤ්ඤ බමුණු දෙටු කොට පැවිදි වූණා. මොවුන් පස් දෙනා පසු කල පස්වග තෙරවරුන් නමින් හඳුන්වනු ලැබුවා.

නාමකරණ මංගල්‍යය

එදිනම රජතුමා පුත් කුමරු කුමක් දැක පැවිදි වන්නේදැයි බමුණන්ගෙන් විමසනු ලැබුවා. ඔවුන් පැවසුවේ මහලු, රෝගී, මළ, පැවිදි යන සිව් පෙර නිමිති දැක බවයි. එය අසා බොහෝ තැතිගත් රජතුමා “මෙතැන් සිට එවැනි අයට මෙගේ පුතු ළගට එන්ට ඉඩ නොදෙව්, මෙගේ පුතුට බුදු බවෙන් කම් නැත, මම මගේ පුතු දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයට අධිපති ව සතිසක් යොදුන් වට සිටීමට ප්‍රමාණවත් පිරිස පිරිවරා සක්විති රාජ්‍යය කරනු දකිනු රිසියෙමි”. කියා මෙලෙස රාජ ආඥාවක් නිකුත් කරනු ලැබුවා. ඉන්පසු එකී සිව් වැදෑරුම් පුරුෂයන්ට කුමරුන්ගේ ඇස් හමුවට පැමිණීම වැළක්වීම සදහා සිව් දිශාවෙන්හි ගව්වක් පමණ ආරක්ෂාව යොදවන්නට අණකරනු ලැබුවා.

එදා ඒ නාමකරණ මංගල්‍යයට සිව් දිශාවෙන් අසුහරදසක් පමණ වූ ඤාති කුල වලට අයත් ඤාතින් ඇවිත් සිටියා. ඒ අය අතර මෙලෙස කතාබහක් ඇතිවුනා. කුමරු බුදුවුවත් සක්විති රජ වුවත් අපට කම් නැත. “අප කුමරා වෙනුවෙන් එක එක පුත්‍රයා දෙමු”. ඉතින් ඔහු බුදු වී නම් ක්‍ෂත්‍රිය ශ්‍රමණයන් පිරිවරා ගෙන හැසිරේවි. රජවන්නේනම් ක්‍ෂත්‍රිය කුමාරවරු පිරිවරා හැසිරේවි. මෙසේ කතිකා කොටගත් ඔවුන් සිදුහත් කුමරා වෙනුවෙන් එක් එක් කුමරෙකු බැගින් අසුදහසක් කුමරුන් දීමට එකඟතාවය පලකරා.

උපකාරක ග්‍රන්ථ :- අපදානටඨකතා නිධානය / ජාතකට්ඨ කතා නිධානය