අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 156

 

බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව දැන අසා බැහැදැකීමට දෙව්ලොව සිට පැමිණි අසිතදේවල තවුසා

එලෙස අප මහා බෝසතාණන් වහන්සේ මෙලොව එලිය දුටු දිනයේ ම මාතංග පසේ බුදුහාමුදුරුවෝ ආයු සංස්කාර අතහැර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා.

බෝසතුන් මව් කුස පිළිසිඳ ගත කෙණෙහිම යම් සේ දෙතිස් පෙර නිමිති පහල වූයේ ද, එලෙස ම ඔහු මෙලොව උපන් කල්හිදී දෙතිස් පෙර නිමිති ලොව පහල වුනා. අප බෝසතාණෝ ලුම්බිණි උයනේ දී උපන් දවසෙම ඔහුගේ බුද්ධත්වය සඳහා මහෝපකාරී වන තවත් විශේෂිත වස්තුන් සතක් ලොව පහළවුනේ විශ්වධර්මතා මත. මේවා “සත සහජාත” නමින් හඳුන්වනු ලබනවා.

සත සහජාත

  1. යශෝධරා දේවිය
  2. ඡන්න ඇමති
  3. කාළුදායී ඇමති
  4. අජානීය හස්ති රාජයා
  5. කන්ථක අශ්ව රාජයා
  6. මහ බෝ රුක
  7. සතර මහා නිධාන ද පහළ වුනා.

නිධාන සතර ගව්ව අඩ යොදුන් තුන් ගව්ව හා යොදුන යන ප්‍රමාණයෙන් යුක්ත වුනා.

දෙනුවර වැස්සෝ බෝසතුන් රැගෙන මහත් හරසරින් කිඹුල්වත් පුරවරයටම නැවත පැමිණියා.

බෝසත් උපතින් උද්දාමයට පත් තව්තිසා දෙවියන් ප්‍රීති ඝෝෂා පැවැත්වීම.

එදින ම තව්තිසා වැසි දෙවියෝ කිඹුල්වත් පුර සුදොවුන් මහ රජුන්ට උපන් කුමරා බෝ මුල හිද බුදු වන්නේ යැයි සතුටු ව හිස වටා සළු සිසාරා ක්‍රීඩා පවත්වමින් නටමින් ප්‍රිතිඝෝසා පවත්වන්නට වුනා. සුදෝවුන් මහා රජුන්ගේ කුලුපග වූ අෂ්ඨ සමාපත්ති ලාභි කාලදේවල නම් තවුසා දිනපතා දහවල් ආහාරයෙන් පසු විවේකය ගත කලේ තව්තිසා භවනේ. තව්තිසා භවනට ගොස් දවල් කාලය ගත කරන ඔහුට සතුටින් ක්‍රීඩා කරන දෙවියන් දැක “කුමක් නිසා ඔබ සතුටින් ක්‍රීඩා කරන්නහුද මට ඒ කරුණ කියනු මැනවැයි” විමසා සිටියා. නිදුකාණෙනි, සුදවුන් මහරජාණන්ට පුතකු උපන්නා. එතුමාණෝ අද දිනයේ බෝ මුල හිද බුද්ධත්වය ලබා දම්සක් පවත්වනවා. අපි එතුමාගේ බුද්ධ ශ්‍රීය දැකීමත් දහම් ඇසීමටත් පින් කර ඇත්තෙමු. මේ කාරණයෙන් අපි සතුටු වූවෝ වෙමු යි” කියා සිටියා.

අසිතදේවල තවුසාගේ පැමිණීම

දෙවියන්ගේ වදන් අසූ අසිත තවුසා වහාම දෙව් ලොවින් බැස රජ මැදුරට පිවිස පැනවූ අසුනෙහි වැඩ හිද මහරජ, ඔබට පුතකු උපන්නේ නොවේ ද? ඔහු දකිනු කැමැත්තෙමි පවසා සිටියා. එවිට රජ සුසැදි කුමරුවන් ගෙන්වා තවුසාණන්හට වැදවීමට කිට්ටුකලා. ඒත් සිදුවුයේ නොසිතු දෙයක්. බිලිඳු බෝසතුන් වහන්සේගේ දෙපාදයෝ පෙරළී තවුසානන්ගේ ජටා මඩුල්ලෙහි පිහිටියා. එම අත්බැව්හි බෝසතුන් වහන්සේ විසින් වැදිය යුතු වෙනත් අයකු මෙම සක්වලෙහිම නැතිබව මීට පෙර ලිපිවල කියා තිබෙනවා. ඉදින් එය නොදැනීමෙන් බෝසතානන්වහන්සේගේ හිස තව්සාණන්ගේ පාමුල තැබුවේ නම් ඔවුන්ගේ හිස සත් කඩකට පැළී යනවා. මෙම කරුණු දැනගත් අසිත දේවල තව්සා බෝසත් කුමරු ගේ පා පියුම් ඇදිලි බැද වන්දනා කලා. මෙය දුටු සුද්ධෝදන පිය රජතුමා මාගේ පුතණුවන්ට මාගේ ගුරුවරයා ද වන්දනා කලේ යැයි ප්‍රමුදිත ව පලමු වරට බෝසත් කුමරු ගේ පා පියුම් වන්දනා කලා. මෙය වනාහි පියරජු බෝසතුන්ට කල පලමු නමස්කාරයයි.

අසිත දේවල තව්සාහට අතීතයෙන් කල්ප සතළිසක් ද අනාගතයෙන් කල්ප සතළිසක් ද වශයෙන් කල්ප අසූවක් සිහි කිරීමට සමත්. කුමරුන්ගේ අංග ලක්‍ෂණ දුටු තවුසාණෝ කුමරුන්ගේ අතීත පාරමිතාද දුටුවා. එවිට ඔහු බුදු වන්නේද නොහොත් නොවන්නේදැයි දිවසින් බලන්නාවිට, නිසැකවම බුදු වන්නේයැයි දැන සිනහ පහළ කළා. අනතුරු ව එතුමන් කලේ කුමරා බුද්ධත්වයට පත් කළ මට දක්නට ලැබෙන්නේදැයි නොලැබෙන්නේදැයි දිවැසින් විමසා බැලීමයි. එවිට තමාට දැකීමට නොලැබෙන බවද, ඊට පෙර කළුරිය කොට බුදුවරුන් සියයක හෝ දහසක පහළ වන කාලයකදී වුවද ධර්මාවබෝධය නොකළ හැකි අරූපී බඔ ලොව උපදිමි යැයි ද එහෙයින් බුදු සිරිය දකින්නට නොලැබෙන්නේයැයි මට වූයේ මහත් හානියකැයි සිතා හඬන්නට වුනා. මේ දුටු රජතුමා ඇතුළු පිරිස බියට පත්වී “අපගේ තවුස් උතුමාණෝ දැන් ම සිනාසී නැවත හඩන්නට වන්හ. ස්වාමීනි අපගේ කුමරුවන්ට කිසියම් අනතුරක් වන්නේදැයි” විචාරන්නට වුනා. එවිට තවුසා මෙලෙස පිළිතුරු දුන්නා. “නැත කුමරුවන්ට කිසි අනතුරක් නොවේ. නිසැකයෙන්ම එතුමාණෝ බුදු වන්නාහ.” එවිට “එසේ නම් ඔබ හැඩුවේ මන්ද?” යනුවෙන් විමසා සිටි කල්හි, “මේ මහා පුරුෂයන් වහන්සේ මතු බුදු වනු දකින්නට නො ලබන්නෙමි. එයින් මට මහත් හානියක් වන්නේය. මා පිළිබදව සිතා හඩමි යි” ඉමහත් දුකෙන් පවසා සිටියා. ඉන්පස්සේ ඔහු මාගේ කවර හෝ ඤාතියකු මෙතුමන් බුදු වනු දකින්නේදැයි බලන්නට වුණා. එවිට තමන්ගේ බෑණනුවන් වන නාලක දරුවා දුටුවා.

බුදුන් ලොව පහල වූ බව අසා සංඝ සාසනයට පිවිසීමට ගිහිගෙය හැර ගිය ප්‍රථම පුද්ගලයා නාලක

ඔහු තවත් පමාවුණේ නැහැ. වහාම නැගණියගේ ගෙටගොස් “ඔබගේ පුත් නාලක කොහිදැයි” අසා ස්වාමීනි ගෙහි සිටී කී විට “එසේනම් ඔහු කැඳවනු” යනුවෙන් කිවා. ළඟට පැමිණි නාලක අමතා මෙසේ කීවා. “දරුව, සුද්ධෝදන රජ කුලයෙහි පුතෙක් උපන්නා. එතුමා බුද්ධාංකුරයකි. හෙවත් බෝධිසත්වයන් වහන්සේ නමකි. පන්තිස් වසකින් පසු බුදු වන්නේය. ඔබ ඒ බුදුන් දකින්නෙහිය. අද ම පැවිදි වන්න.” අසූහත් කෙළක් ධනය ඇති කුලයක උපන් නාලක කුමරුවෝ මගේ මයිලණුවෝ මා අවැඩක නොයොදවන්නේයි සිතා කඩයෙන් කසාවත් ද මැටි පාත්‍රයක් ද ගෙන්වා ගෙන කෙස් රැවුල් බහා කසාවත් හැද මගේ පැවිද්ද ලෝකයෙහි උත්තම පුද්ගලයා උදෙසායි, බෝසතුන් වහන්සේ සිටි දෙසට මුහුණලා ඇදිලි බැද පාත්‍රය ථවිකයෙන් බහා උරයෙහි එල්බ ගෙන හිමවතට පිවිස මහණ දම් පුරන්නට පිටත් වුනා.

මෝනෙය්‍ය වත පූරණය කළ නාලක මහරහතන් වහන්සේ

විශේෂ හැකියාවන් විශේෂ ප්‍රාර්ථනා පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගණයට අයත් නොවන, එක්‌ බුද්ධ ශාසනයක්‌ තුළ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක්‌ පූරණය කළ භික්‌ෂුවක්‌ ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. නාලක තෙරණුවෝ පසු කාලයෙහි සම්බෝධියට පත් තථාගතයන් වහන්සේ වෙත එලබ නාලක ප්‍රතිපදාව අසා දැනගෙන නැවත හිමවතට ගොස් රහත් බවට පැමිණ ඉතා දැඩි සසුන් පිළිවෙතෙහි පිළිපන්නාහු, සත් මසක් ආයු විද රන්වන් පව්වක් ඇසුරු කොට සිටි ඉරියව්වෙන් ම නිරුපදිශේෂ හෙවත් ස්කන්ධ ශේෂයක් නැති නිවනින් පිරිනිවන් පානු ලැබුවා. උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි අති සුන්දර වූ කතා පුවත මෙම ලිපි පෙලේ ඉදිරියට ලියවෙනවා. එලෙස කල්ප කාලාන්තරයක් පැමිණි නාලක වත පිරූ නාලක මහා රහතත් වහන්සේ මෙලෙස තම ප්‍රර්ථනාව මුදුන් පමුණුවා ගැනීම උදෙසා එදින ගිහිගෙය අත්හැර ගිය හැටි හරිම පුදුමයි. ඒ තමයි මතුබුදුවන අප මහා සම්බුදුපියාණන් වෙනුවෙන් සසුන්ගතවිමට ප්‍රථමයෙන්ම ගිහිගෙය හැරදා ගිය සුවිශේෂ පුද්ගලයා. 

උපකාරක ග්‍රන්ථ :- ජාතකට්ඨ කතා නිධානය