අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 155

 

අප බෝසතාණන් වහන්සේ මෙලොව එළියදුටු දිනයේ මෙලොවින් සමුගත් 

මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. 02

තවදුරටත් අපේ බුදුහාමුදුරුවෝ මෙලෙස සම්මාසම්බුදුවරුන් සහ පසේ බුදුවරුන් අතර ඇති සුවිශේෂ වෙනස්කම් ගැන විශේෂ විස්තරයක් කරනවා.

පාරමිතා පිරීමෙන් පසු සම්මා සම්බුදුවරුන් ඉපදෙන්නේ කැත් කුලයක (ක්ෂත්‍රිය කුලය) හෝ බමුණු කුලයක. එහෙත් පසේබුදුවරු කැත් කුල බමුණු කුල, මෙන්ම ගැහැවි (ගෘහපති කුලය) කුලයෙත් උපත ලබනවා. බුදුවරුයකු හෝ පසේ බුදුවරුයකු සත්ධර්මය ලොවෙහි ශුන්‍ය කලෙක ලොව පහල වෙනවා. එහෙත් පසේබුදුවරු බොහෝවිට බුදුවරු පහළවන කල්පයේ සම්මා සම්බුදුවරු උපත ලැබීමට ආසන්නයේ ඒ කියන්නේ මිට ඉහතින් සඳහන් කල බුද්ධකෝලාහලයෙන් පසුවය උපත ලබනවා. සම්මා සම්බුදුවරු තමන් විසින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගන්නවා. අනුන්ටද අවබෝධයට මග පෙන්වනවා. පසේබුදුවරුත් එලෙසම තමන් විසින්ම සිවුසස් අවබෝධ කරගන්නවා. එහෙත් අනුන් හට අවබෝධකිරීම නොකරයි. වත්පිළිවෙත් සහ යම් ධර්ම කරුණු පමණක් කියාදෙයි. . අරුත් රසයම අත්විඳියි. දහම් රස නොවිඳියි. ඔවුන් හට සිව්සස් ආදී ලොව්තුරා කරුණු වහරට අනුව ගලපා විස්තර කොට පහදාදෙන්නට නොහැකියි.

පසේබුදුවරු දහම අවබෝධ කරගනී. ඉද්ධි, සමවත්, සිවු පිළිසිඹියා ආදියට පැමිණෙනු ලබයි. එහෙත් ගුණ වෙසෙස් බවෙන් සම්මා සම්බුදුවරුනට වඩා පහළ මට්ටමේය. එමෙන්ම සාවක මහරහත්වරුනට වඩා ඉහල මට්ටමේය.

අනුන් පැවිදි කරවා උසස් හැසිරීමෙහි (අභිසමාචාරික) හික්මවයි. සිතෙහි කෙලෙස් දුරුකළ යුතුය. පිරිසිදු කටයුතු ඇතිව වැරදිවලට නොපැමිණිය යුතුය. යනුවෙන් උපදෙස් පමණක් ලබා දෙමින්, “අද උපොසථ දිනයයි” පමණක් කීමෙන් පොහොය කරයි. ගන්ධමාන පව්වෙහි මඤ්ජුසක නම් රුකමුල රුවන්මය ශාලාවක එසේ පොහොය කරනු ලබනවා.

පසේ බුදුවරයෙකු විසින් පාරමී පුරාණයේදී නියත වශයෙන්ම වැඩිය යුතු ගතපච්චාගත වත.

ඉන් පස්සේ විශේෂයෙන්ම සියලුම පසෙබුදුවරුන් විසින් රැකිය යුතු “ගතපච්චාගත වත” පිළිබඳවද එම සුත්‍ර දේශනාවේම සඳහන් වනවා. ගතපච්චාගත වත කියන්නේ කුමක්ද? එනම් තමන් පිහිටා සිටින කමටහන පිණ්ඩපාත සහ අනෙකුත් බාහිර කටයුතු වලදී ගෙනයෑමේ සහ ආපසු ගෙනඒමයි. එයත් සතරාකාර ලෙස දක්වනවා.

  1. ඇතැම් පැවිද්දෙක් ගෙනයති. නමුත් ආපසු නොගෙනෙති.
  2. ඇතැම් පැවිද්දෙක් ගෙන එයි එහෙත් ගෙන යන්නේ නැත.
  3. ඇතැම් පැවිද්දෙක් ගෙන නොයති.ආපසූද නොගෙනෙති.
  4. ඇතැම් පැවිද්දෙක් ගෙන යති ආපසු එපරිද්දෙන්ම ගෙන යති. (ගතපච්චාගත වත)

මෙහි ඉහත සදහන් පැවිද්දන් පිබිදී සෑමළුවෙහි බෝමළුවෙහි වතාවත්කොට බෝරුකෙහි පැන් වත්කොට පැන්කල පුරවා පැන්හලෙහි තබා ආචාරිය-උපාධ්‍යාය වත් ඉටුකොට කුඩා වත් අසූ දෙකක්ද මහවත් දහහතරක්ද සමාදන්ව සිටිනවා. උන්වහන්සේලා සිරුරු කටයුතු කොට සෙනසුනට පිවිස පිඩු පිණිස විවේකීව අසුනක හිද වේලාව දැන සිවුරු හැද පටිය බැද සගල සිවුර උතුරුසළුවක් සේ කරෙහි දමා පාත්‍රය උරහිසෙහි එල්ලාගෙන කමටහන් මෙනෙහි කරමින් සෑමළුවට පැමිණ සෑයද බෝධියද වැද පිටත්වී ගම සමීපයෙහිදී සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන පිඩු පිණිස ගමට පිවිසෙනවා. බොහෝ විට එසේ පැමිණෙන ඔවුන් හට ඉහත 1, 2, 3, හි කියූ පරිදී කමටහනේ සිහිය යන අවස්ථාවෙහිදී හෝ ආපසු එන අවස්ථාවෙහිදී හෝ අවස්ථා දෙකේදීම බිඳී යනවා. ඊට හේතුව එසේ පිවිස ආහාර ලද මහණුන් වහන්සේලා පින්වත් උපාසකවරුන් විසින් සත්කාර කරන ලදුව උවටැන් කරන නිවසකට හෝ සම්භාවනීය සාලාවකට හෝ මග තොටදී පැමිණ ඔවුන් හා ආගිය තොරතුරු කතා කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් හෝ වෙනයම් කරුණු විමසා සිටීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම නිසා කමටහණෙන් බැහැර වීමයි. සමහර භික්ෂුන් වහන්සේලා මේ තත්ත්වය මගහරවා ගැනීමට මුවෙහි වතුර පුරවාගෙන යනබව සඳහන්. සමහර භික්ෂුන් වහන්සේලා එය බිඳුන අවස්ථාවන්හි නැවත ආරණ්‍ය වෙත ගොස් කමටහනේ පිහිටා යලි මුල සිට වඩින ඉතා ලස්සන අපගේ හෙළ දිවයිනේ බණ කතා මිට පෙර ලියා තිබෙන බව මතකේ තිබෙනවා. ( අපේ පැරණි බණ කතා ලිපි පෙලේ.) කෙසේ හෝ මෙහි සතරවෙනුව සඳහන් කර ඇති පරිදි පසෙබුදුවරුන් පාරමී පුර්ණයේදී මෙම “ගතපච්චාගත” වත නියමාකාරෙන් වඩා සිටීම අනිවාර්යය බව සඳහන්. එම නිසාම පිඩුසිඟා වඩින ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා සමග අනවශ්‍ය කතාවට යාමෙන් වැලකී සිටිය යුතු බව ඔබටම දැන් වැටහෙන්නට ඕනේ.

පසේ බුදුවරුන් වැඩ සිටිනා හිමාලයෙහි ගන්ධමාන පව්ව

ගන්ධමාදන පව්ව හිමාලයෙහි 1. සුළුකළු පව්ව, 2.මහකළු පව්ව, 3. නාවෙළුම , 4.සදගැබ ,5.හිරැගැබ, 6.රන් පස , 7. හිමවත, යන පව් හතම ඉක්මවා පිහිටීය. එම ගන්ධමාන පර්වතයෙහි නන්දමුලක නම් තැන පසේ බුදුවරයන් වසන තැනයි. එම ස්ථානයේ රන් ගුහාව, මැණික් ගුහාව, රිදී ගුහාව යැයි ගල් ලෙන් තුනක් තියෙනවා. ඒ තුන අතරෙන් මැණික් ගුහා දොරටුවෙහි යොදුනක් උස යොදුනක් පළල “මඤජුසක” නමින් හැඳින්වෙන මල් ගසක් තියෙනවා. පසේ බුදුවරුන් ලොව පහළවන කාලයට එම ගසෙහි සැම තැනම රන් මල් පිපෙන බව කියනවා. ඒ වගේම ඒ කාලයට දියෙහි මෙන්ම ගොඩබිමෙහිත් අති සුන්දර පුෂ්පයන්ගෙන් පිරි යනවා. මෙම පින් බිමේ ආවතේව කරුවන් නැහැ. එම නිසාම මෙම භුමිය පිසදමන සේ හමායන විශේෂිත සුළගින් එහි කසල ඉවත් වනවා. සමව හමන සුළගින් සියළු රුවන්මය වැලිගොඩැලි සමතලා කරනවා. දියපොද මුසුව හමනා සුළගෙන් අනෝතත්ත විලෙන් දිය ගෙනවුත් ඉසිනු ලබනවා. සුවදවත් සුළගින් හිමාලයෙහි සියළු සුවදවත් ගස්වලින් සුවද ගෙන එනවා. එක්රැස් කරන්නා සේ හමන සුළගින් මල් කඩා බිම හෙළනවා. අතුරා යන පරිදි හමන සුළගින් ඒ මල් හැමතැන විසුරුවනවා. හැමවිටම එහි ආසන පනවා තියෙනවා. පසේ බුදුවරයෙකු පහළවන දවසෙහි සහ උපෝසථ දවසෙහි ද සියළුම පසේ බුදුවරු රැස්ව ඒ ආසනවල හිදගනු ලබනවා. ඉක්බිතව එසේ පැමිණි කල නව පසේ බුදුවරයන් වහන්සේ එහි ගොස් පනවන ලද අසුනෙහි හිදිනවා. එමෙන්ම ඒ කාලයෙහි තවත් පසේ බුදුවරු පහළ වෙත්ද උන්වහන්සේලා රැස්වී පනවන ලද අසුන්වල අසුන්ගන්නවා. එහිදී යම් පසේබුදුවරයෙකු කිසියම් සමවතකට සමවැද නැගී සිටියිද දෙටු සංඝතෙරුන් වහන්සේ නවක පසේ බුදුවරයන් වහන්සේගෙන් සියළු පසේ බුදුවරුන්ට අනුමෝදන් වනු පිණිස අවබෝධය ලබන ලද්දේ කෙසේදැයි කමටහන විචාරනු ලබනවා. එවිට උන්වහන්සේ එයම තම උදාන ගාථාව ලෙස කියනු ලබනවා. එසේ උන්වහන්සේලා විසින් දේශනා කරන ලද අති සුන්දර උදාන වාක්‍යය වලින් මෙම ඛග්ගවිසාණ සුත්‍රයම පිරී පවතිනවා.

මාතංග පසේ බුදුහාමුදුරුවෝ.

ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනා නිධානයේ ඇති මේ සියලු කරුණු ඔබලාට විස්තර කලේ පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳව දැනුවත් කිරීමටත් ශ්‍රද්ධාව ඇති කිරීමටත්ය. මෙලෙස පාරමිතා පුරණය කරමින් අප බෝසතාණන් වහන්සේ ලොව පහළවීමට ප්‍රථම ඒ කාලයේම ලොව වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන ආපදානට්ඨ කථාවේ සඳහන් වනවා. උන්වහන්සේගේ නම මාතංග. එහි සඳහන් වන අයුරින් අප බෝසතාණන් වහන්සේගේ උපත පිළිබඳව අසා එය නැරඹීමට පමණි දේවතාවෝ මාතංග පසේ බුදුරජුන්ද බැහැ දැකීමට පැමිණෙනවා. ඒ මොහොතේ උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද සිට එයින් එලියට පැමිණි අවස්ථාවයි. මාතංග පසෙබුදුරජුන් ව බැහැ දකින ඒ දෙවිවරුන් නිදුකාණෙනි, නිදුකාණෙනි, ලෝකයෙහි සම්මා සම්බුදුවරයෙකු උපන්නා යනුවෙන් පවසා වැඳ අවසර ගෙන නික්ම නික්ම යනවා. ඉන්පස්සේ මාතංග පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආයුෂ විමසා බලද්දී ආයුෂ ක්ෂය වී ඇති බවත් දැනගන්නවා. පසේ බුදුවරු ආයුසංස්කාර අත්හැර පරිනිර්වාණය සඳහා වැඩම කරන තැනක් හිමාලයේ තිබුණා. එය හඳුන්වන්නේ මහා ප්‍රපාත පර්වතය නමින්. උන්වහන්සේ එතැනට වැඩමකොට පිරිනිවන්පාන ලද අනෙකුත් පසේබුදුවරුන්ගේ ඇටසැකිළි ආදිය ප්‍රපාතයට හෙළා ගල්තලාවේ හිඳ උදාන වාක්‍යයක් පවසා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑවා. ඒ තමයි මේ අතුරුකල්පයේ අන්තිම පසේබුදුරජුන්.

මාතංග පසේබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

උපකාරක ග්‍රන්ථ
සුත්තනිපාතට්ඨ කථා – ඛග්ගවිසාණ සුත්‍ර වර්ණනාව,
ආපදානටඨ කථා – ජිවිත සංඛ්‍ය ගාථා වර්ණනා – පිටුව 222
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්ථවිරයන් වහන්සේ