අපේ බුදුහාමුදුරුවෝ 141

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 36

අපේ බුදුහාමුදුරුවෝ පළමු කොටස නොහොත් දුරේ නිධානයේ අවසානය. 

මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද මව රකිත්වා. තවද සදමහරජ තොප රකීවයි” කියන්නට වුණා. මේ පිහිට ලදින් පෙර තමන් වනයෙහි විදි දුකද සිහිකොට රම්‍ය වූ වංකගිරි පර්වතය තුළ සැණකෙළි පවත්වන්නට වුණා. මද්‍රි දේවිය මේ පිහිට ලැබ පෙර තමා විදි දුක් සිහිකොට දරුවන් හා සමග සොම්නස් සිතැතිව සතුටටත් ආනන්දයටත් පැමිණියා.

ජිවිත අවදානමක් මැද්දේ පාරමිතා පුර්ණය සඳහා උදවු කල දරුවනට පුණ්‍යානුමෝදනා කිරීම.

සතුටු සිත් ඇති පින්වත් මද්‍රි දේවිය දරුවන් පැමිණි සතුටු සිත් ඇතිව අතිශයින් සතුටු වෙමින් මෙසේ දරුවන්ට පවසන්නට වුණා,

දරුවෙනි, ජූජක බමුණා ඔබ රැගෙන ගියබව දැනගත් පසු ඔබ පතමින් නිරතුරුවම එක්වේලක් පමණක් වළදන්නට වුණෙමු. බිම නිදාගන්නට වුණෙමු. මෙසේ මට මෙය ඔබ වෙනුවෙන් ඔබ බලපොරෝතුවෙන් දිනපතා කෙරෙන වෘතයක් විය. දරුවෙනි, මාගේ ඒ වත සමාදානය අද තොප හා සමෘද්ධ විය. මව කෙරෙන්ද පියා කෙරෙන්ද උපන් ඒ සොම්නස පාලනය කෙරේවා. සදමහරජ එය රකීවා. මා විසිනිදු තොප පියා විසිනිදු කරන ලද යම්කිසි පිනක් ඇද්ද ඒ හැම පිනෙන් ඔබ දෙදෙනා අජර අමර වේවා. දරුවෝ මව නිසා හටගත් සොම්නස ද පියා නිසා හටගත් සොම්නසද පාලනය කෙරේත්වා. මව්පියන් සතු පින ඔහුව පාලනය කෙරේවායි හඬනගා කිවා.

වෙසතුරු කුමරුගේ මව මද්‍රි දේවියට යවනු ලැබූ ආභරණ.

ඉන්පසු වෙසතුරු කුමරුගේ මව ඵුසති දේවියද “මෙතැන් පටන් මාගේ ලේලිය මේ වස්ත්‍රම හදීවා. මේ ආභරණ ද පලදීවයි” කරඩුවක දමා ලබා දුන්නා. යම් වස්ත්‍රයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එයට නිසි කපුපිළි ද කිහිරිපිළිද කොමුපිළිද කොදුම්බර රට නිපන් පිළිද නැන්දා වූ ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. ඉක්බිති යම් අලංකාරයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද, එබදු රන්මුවා ග්‍රීවාභරණද, අගුපලදනාද, මිණිමෙවුල් ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යැවුවා. ඉක්බිති යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වූද එබදු රන්මුවා ග්‍රීවාභරණද මිණිමුවා ග්‍රීවාභරණද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් ආභරණයකින් මද්‍රි දේවිය ශෝභමාන වුද එබදු රන් බුබුළු ද නන්පැහැ මැණිකෙන් කරන ලද තිලකාභරණ ද ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. යම් පළදනාවකින් මද්‍රිදේවි ශෝභමාන වූද එබදු රන්කසුකම් කළ තනපටද, රන් වොරසුද, මෙවුල්දම්ද, පාදාභරණ ද, ඵුසති දේවිය විසින් මද්‍රි දේවියට යවනු ලැබුවා. හුයෙන් ඇමුණු ආභරණ ද හුයක් නැති ආභරණද පරීක්ෂාවක් කර බලා සැරසී සිටි උතුම් රූ දැරූ රාජපුත්‍රී නදුන් වනයේ දෙවගනක් මෙන් ශෝහමාන ව බබළන්නට වුණා. ස්නානය කොට පවිත්‍ර ඇදුම් ඇදගත් සියළු ආභරණයන්ගෙන් සෑදුනු රජ දු තව්තිසා වැසි දිව්‍ය අප්සරාවක් මෙන් ශෝභමාන වුවා. 

එදින මද්‍රී දේවියගේ රූප සෝභාව තවදුරටත් අටුවාවෙහි මෙලෙස විස්තර කරනවා.

බිඹුපලවන් ලවනින් යුතු රාජපුත්‍රිය චිත්‍රලතා වනයේ හටගත් සුළගින් කම්පිත වූ කෙසෙල්ගසක් මෙන් ශෝභමාන විය. ඉදුණු නුගපල බිඹුපලවන්ලවන් ඇති ඒ රජ දු උපන් විසිතුරු පියාපත් ඇති අහස්හි පියාසලා යන කිදුරු ලිහිණියක මෙන් ශෝභමාන විය. ස්වර්ණමය ගෙල පලදනාවද අගුපලදනාවද මිණිමෙවුලද ස්වර්ණමය වූ වනයෙහි ඉදිගෙඩ්වලට සමාන වූ ගෙළ පළදනාව තවත් මාණික්‍යමය ගෙළ පළදනාවක් නළලත බදින බුබුළුද තිලකාභරණද නොයෙක් වර්ණ ඇති මාණික්‍යමය ආභරණ විශේෂ දෙකක් රන් හා රිදීමය මෙවුල පා පළදනාවන් නුලෙන් අමුණු හා නුලෙන් අමුණු නැති ආභරණ, මේ නූලෙහි අමුණන ලද හා නූලෙහි නො අමුණන ලද ආභරණ ඒ ඒ හිස්තැන් බලා සරසා සිටියා වූ උත්තම රූප ඇති මද්‍රිය නන්දන වනයේ දෙව්ලියක් මෙන් බැබළින. චිත්‍රලතා වනයෙහි හටගත් රන්කෙසෙල් ගසක් මෙන් ඒ දවස ඇය බැබලෙමින් සිටියාය. බිඹුපල හා සමාන වූ තොල්වලින් යුක්ත යම්සේ මිනිස් සිරුරෙන් හටගත් මානුසිනී නම් වූ විසිතුරු පියාපත් ඇතිව අහසෙහි සැරිසරන්නේ පියාපත් දිගුකර යන්නී ඉතා අලංකාරය. මෙසේ ඇය රතු පැහැයෙන් නුගගෙඩි හා බිඹුපල හා සමාන වූ තොල්වලින් බබලන්නීය. ඇයටද තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන හස්තියකු විය. ඒ මද්‍රි දේවිය තරුණ වූ ගැඹුරු වූ නාද ඇති ඊ පහර ඉවසනු සමත් රියහිස් වැනි දළ බර උසුලන ඇතුපිට නැගුණි. ඉක්බිත ඔවුන් දෙදෙනාම මහත් වූ යසසින් කදවුරට ගියහ.

වෙසතුරු රජතුමා ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත යලි රැගෙනයාමට රැස්වුණ පරිවාර සේනාව. 

සංජය රජු මසක් පමණ සැණකෙළි පවත්වා සේනාපතියා කැදවා දරුව, අප බොහෝ කලක් වනයෙහි විසුවෙමු. “කිම, මාගේ පුත්‍රයාගේ ගමන්මග සරසන ලද්දේදැයි” අසා “එසේය දේවයන් වහන්ස,ඔබවහන්සේලාට ගමන් ඇරඹීමට කාලයයි” කී කල්හි වෙස්සන්තර රජුට දන්වා සේනාව ගෙන පිටත් වුණා. වංකගිරියේ සිට ජයතුරා නුවර දක්වා වූ මග මනාලෙස අලංකාර කරන ලද සැටයොදුන් මගට මහත් පිරිවර සමග බෝධිසත්ත්වයන්වහන්සේ පිළිපන්නා. වෙස්සන්තර රජු යම්තැනක විසීද එතැන් පටන් ජයතුරා නුවර තෙක් ලදපස්මල් අතුරන ලද රාජමාර්ගය පිළියෙළ කරන ලැබුවා. ඉක්බිති සිවිරට යන්නා වූ වෙස්සන්තර රජු නික්මුණු කල්හි යහපත් දර්ශන ඇති සැටදහසක් යෝධයෝ හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජ නික්මුණු කල්හි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝ ද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝ ද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්මුණු කල්හි ඇත්රුවෝද අසරුවෝද රථාචාරීහුද පාබල සේනාද හාත්පසින් පිරිවරා ගත්තා. සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි දනවු වැසියෝද නියම්ගම් වැසියෝද රැස්වුණා . සිවිරට වඩන වෙසතුරු රජු නික්මුණු කල්හි හිස්වැසුම් ලූවෝ පලගදරුවෝ කඩුගත් අත් ඇත්තෝ සන්නාහ පොරවාගත් අය රජු පෙරටුකොට පිළිපන්නා.(වෙසක් සැණකෙළි කාලයේ මෙන් අලංකාර කරන ලදී ) 

වෙසතුරු රජුගේ තේජසින් සහ මෛත්‍රියෙන් සන්සුන්වූ වනසතුන් එකට රැස්ව කම්පාවීම.

සංජය රජු මෙලෙස මාසයක් පමණ පර්වත ක්‍රීඩා, වන ක්‍රීඩා පැවැත්වුවා. අප මහා බෝධිසත්ත්වයන්වහන්සේගේ තේජසින් විශාල වූ ආරණ්‍යයේ කිසිම නපුරු සතෙක් හෝ පක්‍ෂියෙක් හෝ කිසිවකුටත් පීඩා කලේ නැහැ. ඒ සෑම වනයකම යම් පමණ සැඩ සිව්පාවෝ වුහුද ඔවුන් බෝධිසත්ත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන්ද නොපෙලූවා. ඒ මුළු වනයෙහිම යම් පමණ ලිහිණියෝ වූවාහු ද ඔවුහු බෝධිසත්ත්වයන්වහන්සේගේ ගුණ තේජසින් ඔවුනොවුන් නොපෙලූවා. සිවිරට වර්ධනය කරන වෙස්සන්තර රජු එම වනයෙන් නික්ම ගියකල්හි ඒ මුළු වනයෙහි යම් පමණ සිව්පාවෝ වූවාහුද ඔවුහු එක් තැනක රැස්වුණා. සිවිරට වඩන වෙස්සන්තර රජු නික්ම ගියකල්හි ඒ හැම වනයෙහි යම් පමණ සියොතුන් වූවාහුද ඔවුහු සියල්ලෝමත් එක්රැස් වුණා. ඒ සැම ඉන්පසු මියුරු ලෙස කුජනය කලේ නැහැ. ඔවුන් එක්රැස්වී මෙතැන් පටන් අපට ඔවුනොවුන් අතර ලැජ්ජාවක් හෝ සංවරයක් හෝ නොවේ යැයි දොම්නස් වුණා. බෝධිසත්ත්වයන්වහන්සේගේ වෙන්වීමේ වියෝදුකින් මිහිරි නදින් පෙරසේ නාද නොකළා.

වෙස්සන්තර රජු ඇතුළු පිරිස ජයතුරා නගරය වෙත රැගෙන යාම සඳහා ආරක්ෂාව ලබාදුන් සැටදහසක් යෝධයෝ.

කෙසෙල් පුන්කලස් ධජ පතාක ආදියෙන් විසිතුරු වූ ලදපස්මල් විසුරුවා යම්තැනක වංකගිරියේ වෙස්සන්තර රජ වාසය කළේද එතැන් පටන් ජයතුරා නුවර තෙක් අලංකාර කරනු ලැබුවා. හිසෙහි පළදනා ඇති යෝධයෝ ඊතල පහරවල් වලක්වන සම් දරණ විසිතුරු දැල්වලින් මනාව යුධ ඇදුම්වලින් සැරසී මෙබදු මත්ඇතුන්ද එනකල්හි නොනවතින සුර යෝධයෝ වෙස්සන්තර රජු පෙරටුකොට ගියා. රජු සැටයොදුන් මග දෙමසකින් ගෙවා ජයතුරා නගරයට සැපත් වුයේ මනාලෙස අලංකාර කර පිළියෙළ කරන ලද නගරයට පිවිස ප්‍රසාදයට ගොඩවුණා. ආහාරපානවලින්ද ගීනැටුම්වලින්ද යන දෙකින් යුක්ත වූ බොහෝ පවුරු හා තොරණ් ඇති රම්‍ය වූ ජයතුරා නුවරට ඔවුහු පිවිසිය. සිවිරට වඩන රජකුමරහු නුවරට පැමිණි කල්හි රැස්වූ ජනපද වැසියෝද නියම්ගම් වැසියෝද බොහෝ ලෙස සතුටුවුණා. මහජනයාට ධනය දෙන්නාවූ වෙස්සන්තර රජු සිය නුවරට පැමිණි කල්හි පිළිහිස සිසෑරීම් පැවැත්වුණා. සතුටු බෙර හැසිරවූවා. රජුගේ අණ යැයි නගරයෙහි බෙර හැසිරුවුවා. සියළු සතුන් බන්ධනයෙන් මිදිය යුතු යැයි ඝෝෂා කළා. යටත් පිරිසෙන් බළලුන් ඇතුළුව සියළු සතුන් බෝධිසත්ත්වයන්වහන්සේ අණින් නිදහස් කරවුණා. වෙසතුරු රජු නගරයට පිවිසි දිනයේම අළුයම් වේලෙහි මෙලෙස සිතන්නට වුණා. රෑ පහන් වූ කල්හි මා පැමිණි බව අසා යම් යාචක කෙනෙක් පැමිණෙත්ද ඔවුන්ට මම කුමක් දෙන්නේම්ද? ඒ මොහොතේම ශක්‍ර දෙවිදුගේ ආසනය උණුසුම් වුණා. සක් දෙවිදුන් විසින් රජගෙදරට බටහිර හා පෙරදිග නිවාසවල තුනටිය තෙක් ප්‍රමාණයේ පිරෙන්නට තද සත්රුවන් වර්ෂාවක් වැස්සවනු ලැබුවා. එයින් මුළු නගරයෙහිම දනක් පමණ සත්රුවනීන් වැසී ගියා. පසුදා බෝධිසත්ත්වයන්වහන්සේ ඒ ඒ නිවෙස්වලට බටහිරින් හා පෙරදිගින් වැසි වසින ලද ධනය ඔවූන්ටම වේවායි ඔවුන්ට දී ඉතිරිය ගෙන්වාගෙන තමන්ගේ වාසස්ථානයේ ධනයත් සමග භාණ්ඩාගාරවල විසිරුවා දන්දීම ආරම්භ කරනු ලැබුවා. 

මේ කාරණය ප්‍රකාශ කරන ශාස්තෘන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා.

සිවිරට වසන වෙසතුරු රජු නුවරට පිවිසි කල්හි එකෙණෙහිම පැමිණි වලාකුළු ස්වර්ණමය වැසි වස්සුවා. ඉක්බිති ඒ ක්‍ෂත්‍රිය වූ නුවණැති පින්වත් අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ බොහෝ සේ දන්දී කය බිදීමෙන් මරණින් පසු එයින් චුතවුයේ දෙවැනි චිත්තයෙන් තුසිත පුරයෙහි උපන්නා.

නගර කාණ්ඩය නිමි

අප මහා බුදුපියාණන් විසින් ජාතක කතාවෙහි එන චරිත ගැලපීම. 

සම්මා සම්බුදු රජාණන්වහන්සේ මේ ගාථා දහසකින් සමන්විත මහා වෙස්සන්තර ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව මෙලෙස ගලපා වදාළ සේක. එකල්හි බමුණා වුයේ දෙව්දත්ය. අමත්තතාප වුයේ චිංචිමානවිකාවය. චේත පුත්‍රයා වුයේ චන්න ඇමතිය. අච්චුත තාපසයා වුයේ සැරියුත් තෙරුන් වහන්සේය.ශක්‍රයා වුයේ අනුරුද්ධ තෙරුන්ය.සංජය රජුනම් සුද්ධෝදන මහරජතුමාය.ඵුසති දේවිය නම් මහාමායා දේවියයි.මද්‍රි දේවිය නම් රාහුල මාතාවය.ජාලිය කුමරුනම් රාහුලය. ක්‍රිෂ්ණජිනා නම් උප්පලවණ්ණාය.ඉතිරි පිරිස බුදුපිරිසය.වෙස්සන්තර රජුනම් සම්මා සම්බුදු රජාණන්වහන්සේයි.

මහා වෙස්සන්තර ජාතකය නිමි