අපේ බුදුහාමුදුරුවෝ 14
සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 11
අභිනිහාරය
අනියත විවරණ පූරණය කරමින් පැමිණි බෝසත්වරයෙකු විසින් ප්‍රථමයෙන් ලබන නියත විවරණය නොහොත් මංගල නියත විවරණය අභිනිහාරය යනුවෙන් හඳුන්වනු ලබනවා. එය ආශ්චර්ය ජනක තවත් අපුරු මොහොතක්. එක් බුදුවරයෙකු තම අභිලාශය සමුර්ධිමත් කොට මංගල චාරිකාවේ වඩිමින් අවසන් ආත්මභාවය මෙලෙස සනිටුහන් කරද්දී තවත් මතු බුදු වරයෙකු තවත් දීර්ඝ ගමනාන්තයක් සඳහා පෙරුම් පුරනවා. සුමේධ තවුසාණන්ගේ හිස පාමුළ සිටිමින් දීපංකර බුදුපියාණන් වහන්සේ මෙලෙස යලිත් ඒ සාරලක්ෂයක් වූ රහතන් වහන්සේලා ඇතුළු දෙවු බඹුන් මිනිසුන් අමතන්න වුනා. එවැනි විශාල පිරිසකට ඇසෙන සේ අමතන්න බුදුවරයෙකුට ඇරෙන්න වෙනයම් කෙනෙකුට බැහැ.
“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍ය ඉතෝ කප්ප – බුද්ධෝ ලොකේ භවිස්සති”
යනුවෙන් මේ මා ඉදිරියෙ වන්දනමස්කාර කරමින් බිම වැතිර සිටින්නා වූ ජටාධාර මේ මහාපුරුෂයා දෙස බලන්න. මොහු මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් පසුව “ගෞතම” නමින් සම්මා සම්බුදු වීමට නියමිතයි.
’’ඒ ගෞතම තථාගතතෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යයද කොට දුෂ්කර ක්‍රියාවද කොට, අජපල් නුගරුක් මුල හිඳ එහිදී කිරිබතද පිලිගෙන නේරංජනා ගංගාව සමීපයට එළඹෙනවා.
නැවත ජිනරාජතෙම නේරංජනා ගංතෙරදී කිරිබත වළඳා දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් ඇසතු බෝමුල කරා පැමිණෙනවා.
මහා යසස් ඇති ගෞතම නරශ්‍රේෂ්ඨතෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කොටගනුලබනවා.
මුන්වහන්සේගේ මව මායා නම් වනවා. පියතෙම සුදොවුන් නම් රජ කෙනෙක්. මෙතෙම ගෞතම නම් වනවා.
කාමාදී ආසව නැති, රාගාදී කෙලෙස් ද නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති “කොලිත” ද, “උපතිස්ස” ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් ලබනවා. ආනන්‍ද නම් උපස්ථායක කෙනෙක් ගෞතමයන්ට උපස්ථාන කරනවා.
කාමාදී ආසව නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති ’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණාඒ’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් ලබනවා.. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ඇසතු රුකයයි කියනු ලබනවා.
’’චිත්ත’’ ද, ’’හත්‍ථාලවක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් ලබනවා. ” නන්‍දමාතා’’ ද, “උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් ද ලබනවා.
දහසක් සක්වල වල දෙවුබඹුන්ද, පරිවාර කොට පැමණි ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ද අසමවූ, මහර්ෂීවූ දිවකුරු බුදුරදුන්ගේ මේ විවරණය අසා සතුටු සිත්ඇතිව මේ තවත් බුද්ධාන්කුරයක් යයි බුදු යි(බුදුබව පතන බෝසතෙකැයි) කියා මහත් වූ ප්‍රීති ඝෝසා කරන්නට වුනා. අත්පොළසන් දෙන්නට වුනා. මහත් වූ සාදු කාරයෙන් දස දහසක් සක්වලම රැවු පිළිරැවූ දුන්නා. දෙවුන් බඹුන් මිනිසුන් මෙලෙස සිතන්නට වුනා. යම් හෙයෙකින් අපහට මේ සාසනයේදී මගඵල නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් අනාගතයේ මේ ගෞතම බුද්ධ සාසනයේ හෝ මගඵල ලැබිය හැකියි. ඒ මේ වගේ දෙයක්. ගංගාවකින් එතෙර වීමට යන මිනිසුන් සමුහයකට යම් තොටුපළක් මග හැරුනේද ඊට පසුව ආසන්නයේම හමුවන තොටුපළෙන් එගොඩවීමට හදනවා වගේ දෙයක්.
දීපංකර බුදුපියාණන් වහන්සේ මෙලෙස බෝසතාණන් වහන්සේගේ ගුණ වර්ණනා කොට නියත විවරණ ලබා දී මල් අටමිටකින් පුදා පැදකුණු කොට නැවත රම්මක නුවර දක්වා වඩින්නට දකුණු ශ්‍රී පාදය ඔසවනු ලැබුවා. ඒ එක්කම මහා සාදු කාරයක් දසත පැතිර ගියා. දීපංකර බුදුරජාණන් අනුව යමින් ඒ සාරලක්ෂයක් වූ රහතන් වහන්සේලාද, මිනිසුන්ද, නාග ගන්ධර්වයෝද සුමේධ තවුසාට වැඳ නමස්කාර කරමින් පැදකුණුකොට පසුකොට ගියා. ඒ විතරක් නෙවෙයි අහසෙහි රැස්ව සිටි කෝටි සංඛ්‍යාත දෙවිවරුනුත් වන්දනා කරමින් මල් විසුරුවන්නට වුනා. ඒ පුෂ්පයන්ගෙන් මුළු පරිසරයම වැසුනා. සුවඳවත් වුනා. බෝසත් ගමනක අසිරිය. ඔබද මාද එදත් ඉන්නට ඇති. එත් අපිට තවම තොටුපල මුණ ගැසී නැහැ මේ චණ්ඩ ඕඝයෙන් එතෙරවීමට.
ඒ දසබලදාරි දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂගනනක් වූ රහතන් වහන්සේලා පිරිවරමින් රම්ම නගර වැසියන්ගේ පුදසත්කාර ලබමින් දෙවියන්ගේ අභිනන්දනය ලබමින් සන්ද්‍යා කාන්තිය වළඳන ලද උතුම් රන්ගිරිකුළක් මෙන් මල්සුවඳ සුවඳසුණු සුවඳින් සුගන්ධවත් වූ ධජපතාක නංවන ලද සිල්සුවඳ බැඳී හදෙන් ගුමුගුමු නද ගන්වන ලද දුමින් අඳුරු වූ දෙවු පුරයක් මෙන් යසස් ශ්‍රීයෙන් ඔද වැඩුණු අති රමණීය රම්ම නුවරට පිවිසෙන්නට වුනා. මෝහ අන්ධකාරය දුරලා, ලක්ෂ සංඛ්‍යාත තරු පිරිවරා අඳුරු රාත්‍රිය එළිය කරන පුරා සඳක් මෙන් බුද්ධදිවාකරයාණෝ පැනවූ ආසනයේ වැඩ සිටියා. ඒ මහා සංඝ රත්නයද තම තමනට පැනවූ ආසන වල අසුන්ගත්තා. ඒ රඹගම් නුවරවැසි උපාසකවරු ශ්‍රද්ධාදීගුණ අසදෘශ සැප නිධාන වූ දානය බුදුපාමොක් බික්සඟනට පිළිගන්වන්නට වුනා.
එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ දෝරේ ගලා ගිය ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන් හිඳගනු ලැබුවා.