අපේ බුදුහාමුදුරුවෝ 139
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 34
අජානීය අශ්වයෝ හේසරාව කරනු ලැබුවා. නිම්වළලු හඩ මතුවුණා. දුවිල්ලෙන් අහස වැසුනා. චතුරංගනී සේනාව ගමන්හි යෙදුනා. නිල් තණබිම් හරහා ගමනෙහි යෙදුණු ඒ සේනාව විශාල වුණා. ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ දිය ඇති මල්රුකින්ද පලරුකින්ද වැසුණු මහා වනයට පිවිසුණා. ඒ වනයෙහි වට වූ ස්වර ඇති මියුරු හඩ ඇති නන්වන බොහෝ සියොත්හු ඍතු සමයෙහි පිපී රුක්හි හිද කුජනය කරන්නවුන් අනුව කුජනය කරත්. ඔවුහු සැටයෝදුන් දික් මග ගෙවා දවසක් හා රැයක් ඇවෑමෙන් යම් පෙදෙසක වෙසතුරු රජ වාසය කලේ නම් ඒ පෙදෙසට පැමිණියා.
අසපුව අසලට පැමිණි මහා සේනාව දැක වෙසතුරු කුමරු බියවීම.
ජාලිය කුමාරයා මුචලින්ද විල ඉවුරේ කදවුරු බදවා දහහතර දහසක් රථ ආවා වූ මාර්ගයට අභිමුඛව තබ්බවා ඒ ඒ ප්‍රදේශවල සිංහ,ව්‍යාඝ්‍ර, වැනි බිහිසුණු සතුන් ගැවසීගත් මාර්ගයන්හි ආරක්‍ෂාව යොදවනු ලැබුවා. ඇත් ආදීන්ගේ ශබ්දය මහත්විය. බෝධිසත්ත්වයන්වහන්සේ එම ශබ්ද අසා” කිම මාගේ සතුරෝ පියා ඝාතනය කොට මා සොයා ආවාහු” යැයි සිතා මද්‍රි දේවියද ගෙන පර්වතයට නැග සේනාව දෙස බලා මෙසේ පවසනු ලැබුවා.
” මද්‍රි දේවියනි,වනයෙහි යම්බදු මහා හඩක් ඇද්ද එය පිරික්සව. අජානේය අශ්වයෝ හේසරාව කරති. රථයන්හි නැගූ දද අග පෙනෙයි. ඒකාන්තයෙන් මොවුන් වනාහි වනයෙහි මුවසමූහයා වරදැලින් හාත්පස බැද වළට හෙළා එකෙණෙහි මරව, තලව ආදී විවිධාකාරයෙන් නපුරු හඩ නගමින් ඔවුනතුරෙහි හොද හොද මුවන් තියුණු ආයුධවලින් යම්සේ සැණින් මරාදමත්ද එසෙයින් අපවද නසතියි සිතමි. අපි නිදොස් වෙමු. රටින් නෙරපන ලදුව වනයෙහි සිරකරනු ලැබුවාහු සතුරන් අතට පත්වූයෙමි. දුර්වලයන් මරණ සැටි බලව. තමන්ගේ සේනාව කියා හෝ පරසේනාව කියා හෝ කල්පනා කරයි. මද්‍රිය, යම්සේ වනයෙහි වැද්දෝ මෘග සමුහයාව වරදැල් දමා හෝ වළවල්වලට හෙළා හෝ එවෙලේම නසන්නාහුය. දුෂ්ට මෘගයන් කියමින් නිග්‍රහ කරමින් තියුණු මෘගයන් මරණ ආයුධවලින් ඒ මුවන්ගෙන් හොද හොද මුවන් නසති. මොවුන් වනාහි ඒකාන්තයෙන් අපව අසභ්‍ය වචනවලින් නිග්‍රහ කරමින් තියුණු ආයුධවලින් නසත්. අපි ද නිවැරදිකාරයෝ වෙමු. රටින් නෙරපන ලද්දාහු වනයෙහි වසමු. මෙසේ මරණ සැටි බලව කියා තැතිගෙන පවසන්නට වුණා.
මද්‍රී දේවිය වෙසතුරු කුමරුගේ බිය දුරු කිරීම.
මද්‍රි දේවිය රජුගේ වචනය අසා සේනාව දෙස බලා එය තමන්ගේ සේනාව විය යුතුයැයි වෙසතුරු රජුන් අස්වැස්සුවේ නියම එඩිතර බිරිඳක් ලෙසින්.
“තණහුලෙක ගින්න ගැඹුරු දිය ඇති මුහුද මැඩිලිය නොහැකි සෙයින් සතුරන්හට ඔබව මැඩිලිය හැකි නොවෙත්. මේ බලකායෙන් සෙතක් වන්නේය. යම්සේ තණ ගිණිහුල ආදියෙන් ගෙනෙන ගින්න මහා සාගර සංඛ්‍යාත විශාල ජලකදක් මැඩපවත්වන්නට අසමත් වෙයි. රත් කරන්නට නොහැකි වෙයි. එපරිද්දෙන් ඔබව අභිභවනය නොකරත්. ශක්‍රයා විසින් ඔබට වරයක් දී මහරජ නොබෝකලකින් ඔබගේ පියා එන්නේයැයි කියන ලදී. මේ බලකායෙන් අපට යහපතක් වන්නේය.බිය නොවන්න.
ඒ මහා වීර්යවන්ත පින්වත් බිරිඳගේ වදන් ඇසු බෝධිසත්ත්වයන්වහන්සේ ශෝකය දුරුකොට ඇය සමග පර්වතයෙන් බැස, ” අපි පැවිද්දෝ වෙමු. අපට කවරෙක් කුමක් කරන්නේදැයි” සිත දැඩි කොටගෙන පන්සල් දොරටුවට පිවිසියා.
පළමුව පියරජ පමණක් වෙසතුරු කුමරු අභියසට පැමිණීම.
ඒ මොහොතේ වෙසතුරු කුමුරුගේ අසපුව ආසන්නයටම පැමිණි සිටි සංජය රජු ඵුසති දේවියට අමතා ” සොදුර, අපි සියළු දෙනාම එකට ගියකල්හි ශෝකය මහත් වන්නේය. මම පළමුව යන්නෙමි. එයින් ශෝකය නැතිකොට හුන්නේ යැයි සළකා නුඹ මහත් පිරිවරින් එන්නයැයි” කියා රථය නතරකොට පැමිණ මගට අභිමුඛව ඒ ඒ තැන්හි ආරක්ෂාව යොදා අලංකාර කරන ලද ඇතාපිට නැගී එයින් බැස පුතාගේ සමීපයට යන්නට පිටත්වුණා. පියමහරජ රිය නවත්වා සෙනෙවියන්ට නියෝග කොට හුදෙකලාව වනයේ වාසය කරන පුතු වෙත එළඹියා. ඇත්කදින් බැස ඒකංස කළ උතුරුසළු ඇතියේ ජනයා විසින් කරන ලද ඇදිලි ඇතියේ ඇමතියන් විසින් පිරිවරන ලදුයේ පුතු අභිෂේක කරන්නට පැමිණියා. එසද මහරජ ඒ අසපුවෙහි පන්සල් දොර හුන් රම්‍ය වූ ස්වභාව ඇති එකග සිත් ඇති ධාන්‍ය කරන කිසිවකින් බිය නැති වෙසතුරු කුමරු දුටුවා. වෙසතුරු රජු ද මද්‍රි දේවිය ද දරුවන් කෙරෙහි ගිජු වූ ඒ පියරජු එන්නා දැක පෙරමගට ගොස් ඔහුට වැන්දා. දේවයිනි මම ඔබ ලේලීය වන මද්‍රි වෙමියි කියා මද්‍රි බිසව මාමණ්ඩිගේ පා යුගල හිස තබා වැන්දා. පියරජු එහිදී ඇයව වැළදගෙන සෙනෙහසින් අත්ලෙන් පිට පිරිමැද්දා. ඉන්පසු දුපුතුන් දෙදෙනාම ඒ ශක්‍රයා විසින් දෙන ලද අසපුවෙහි වැළදගෙන හදවතේ හොවා ගෙන සිඹ මොළොක් අතින් ඔවුන්ගේ පිට පිරිමදින්නට වුණේ මහත්වූ සෙනෙහසින්.
ඉන්පසු හඩා වැළපී ශෝකය තුනිවු කල්හි රජුඔවුන් සමග පිළිසදර කථා කරමින් මෙසේ කීවා. “පුතණුවෙනි, කිම තොප සුවසේද? පුතණුවනි කිම දුක් නැද්ද? කිම වනමුල් පලයෙන් යැපෙව්ද? කිම අල හා පළවැල බොහෝ ඇද්ද? කිම මැසිමදුරුවෝ ද සර්පයෝද අල්ප වෙත්ද? චණ්ඩ මෘගයන්ගෙන් යුතු වනයෙහි පීඩා නැද්ද? පියාගේ වචනය අසා බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේ කිවා. දේවයිනි,අපගේ දිවිපැවත්මක් ඇත. එයද යම්තම් වනුයේය. සිගාකෑමෙන් පවත්වන අපගේ ජීවිතය වනමුල් පලවැලින් දිවිපැවැත්ම වෙයි. දුකින්ම දිවි පැවැත්වෙමු. මහරජතුමනි සම්පත් නැති දුප්පත් දිළිදු පුරුෂයා වනාහි එම දිළිදු බව විසින්ම දමනය කරයි. දක්‍ෂ රථාචාර්යයා අශ්වයකු දමනය කරන්නාක් මෙනි. දුප්පත්කම විසින්ම අපව දමනය කරයි. මහරජතුමනි, රටින් නෙරපන ලදුව වනයෙහි වසන ජීවශෝකී වූ අපගේ මව්පියන් නොදැක්මෙන් ශරීරයේ මස්ද කෘශ විය. පහනොවූ ශෝක ඇති අපට කුමන නම් සැපයෙක්ද? මෙසේද කියා නැවත දරුවන්ගේ තොරතුරු අසමින් මෙසේ කීවා.
ජාලිය ක්‍රිෂ්ණජිනා ජූජක බමුණාගෙන් නිදහස් කරගත් බව පැවසීම.
ඒ ජාලිය ,ක්‍රිෂ්ණජිනා දෙදෙරුවන් සිවිමහ රජුගේ දායාද නොලත් සම්පුර්ණ නොවූ මනදොළ ඇතිව ඉක්මන් වූ රුදුරු බමුණකු යටතට පත්විය. ඒ බමුණා ගවයන්ට පහරදෙන්නාක් මෙන් ඔවුන්ට පහරදෙයි. ඉදින් ඒ දරුවන් තතු දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ දනිව් නම් මේ රජදූට කියව. සර්පයකු විසින් දෂ්ට කරන ලද මානවකයන් හට බෙහෙත් කරන්නාක් මෙන් වහා අපට කියන්න.
එවිට මහරජ, ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනා බමුණාට ධනය දී නිදහස්කොට ගන්නා ලදහ. පුත,බිය නොවන්න.සැනසෙන්න. ධනය ගෙවා දරුවන් ගත්තේය. ඒ අසා බෝධිසත්ත්වයන්වහන්සේ ලබන ලද අස්වැසීම් මෙතෙකැයි කියන්නට බැහැ. එය අසා සතුටුව නැවතත් පියා සමග පිළිසදර කථාවේ යෙදුනා.
කියන්න, පියාණෙනි, සුවසේද? කිම පියාණෙනි දුක් නැද්ද? කිම පියාණෙනි, මාගේ මවගේ ඇස් කදුළින් නොපිරිහේද? පුත්‍ර ශෝකයෙන් අඩන්නියගේ ඇස් නොපිරිහෙයි.රජු කීවා. පුතණුවනි,මට රෝග නැත, තවද පුතණුවනි, මට දුක් නැත, තවද පුතණුවනි තොප මවගේ ඇස් නොපිරිහේ. එවිට වෙසතුරු රජු, කිම තොපගේ ධූර දරන්නෝ සුවසේද? කිම වාහන උසුලාද? කිම ජනපද සමෘද්ධ ද? වැසිද නොසිදේද? . මෙසේ කථාසල්ලාපයේ යෙදෙන අතරතුර ඒ දෙදෙනා අතර දෙබස මෙසේ යනවිට ඵුසති දේවියට තව දුරටත් සැඟවී සිටිය නොහැකි වුණා. දේවිය දැන් ශෝකය තුනීකොට ඇතැයි සිතමින් මහා පිරිවර සමග පුතා සමීපයට පැමිණියා. .මව්රජ දුවමින් පාවහන් නැතිව පා ගමනින් පැමිණෙන බව පර්වත දොරටුව සිටි වෙසතුරු යුවළ දුටුවා. පුතු කෙරෙහි ගිජු වූ ඒ මව එන්නී දැක වෙස්සන්තර රජු ද මද්‍රි දේවියද පෙරගමන්කොට ඇයට වඳිනු ලැබුවා.
ජාලිය ක්‍රිෂ්ණජිනා, වෙසතුරු යුවළ, පියරජ යුවළ සහ හැටදහසක් අමාත්‍ය මණ්ඩලය සිහි නැතිව වැටීම.
“ආර්යාවෙනි,මම තොපගේ ලේලිය මද්‍රි වෙමි. තොපගේ පා යුවළ වදිමියි”. මද්‍රි දේවියද නැන්දණියගේ පා යුගවල හිසතබා වැන්දා. ඔවුන් ඵුසති දේවියට වැදසිටි අතරතුර කුමාර කුමරියන් පිරිවර සමගින් පැමිණියා. මද්‍රිය දේවියද ඔවුන් එනමග බලමින්ම සිටියා. දුර සිට සුවසේ ආ දරුවෝ මද්‍රි දේවිය දැක මුවදෙන කරා දුව එන පැටියන් මෙන් හඩමින් පෙරට දුව ආවා.
මද්‍රි දේවිය දුරින් සුවසේ ආ දරුවන් දැක භූතාවේශ වූවකු මෙන් වෙව්ලමින් මහත් හඩින් හඩ හඩා කම්පා වී සිහි නැති වී බිම පතිත වුණා. කුමාරවරුද වේගයෙන් අවුත් සිහි නැතිව මව් මත්තේම වැටුනා. ඒ මොහොතේ මහත් වූ දරු සෙනෙහෙන් ලය පිරී තිබු ඇගේ දෙතනයෙන් කිරි ධාරා දෙකක් නික්ම ඔවුන්ගේ මුඛයටම පතිතවුණේ තවත් ආශ්චර්යයක් ලෙසින්. එසේ ඒ සා වූ අස්වැසිල්ලක් නොවන්නට දරුවෝ දෙදෙනා හදවත් වියළි නැසිය හැකි බවයි සඳහන් වන්නේ. වෙසතුරු රජුත් ප්‍රිය පුතුන් දැක ශෝකය දරාගන්නට නොහැකිව සිහි නැතිව එහිම වැටුණා. මව්පියවරුද සිහි නැතිව එහිම වැටුණා .
එසේම සහජාත වූ හැටදහසක් ඇමැතිවරු ද ඒ ශෝකී දර්ශනය බලන්නවුන්ගෙන් එක් අයෙක්වත් එය දරාගන්නට නොහැකිවුණා.
මහපොළව කම්පාවීම සහ ශක්‍ර දෙවිඳු විසින් පොකුරු වැසි වැස්සවීම.
මුළු අසපු පෙදෙසම යුගාන්ත වාතයෙන් කම්පා වූ සල්වනයක් මෙන් හඬ නැගුවා. ඒ මොහොතේ පර්වතයෝද හඩ නැගුවා. පොළොව කම්පා වුණා. මහා සමුද්‍රය කැළබිණ. සිනෙරු පර්වතය නැමී ගියා. කාමාවචර දිව්‍යතල සය දක්වාම මෙම කෝලාහලය පැතිර ගියා. මෙලෙස ක්‍ෂත්‍රියයන් සය දෙනාම සිය පිරිස් සමග සිහි නැතිව වැටුණා. ඔවුනතුරෙන් කිසිවෙක් නැගිට කිසිවකුගේ ශරීරයකට ජලය ස්වල්පයක් ඉසින්නට සමර්ථ නැතැයි සිතු සක් දෙවිදුන් පොකුරු වැස්සක් වස්වා පියවිසිහිය ගෙනදෙනුයයි සිතා ක්‍ෂත්‍රිය සමාගමයෙහි මතට පොකුරු වැස්සක් වැස්සවුවා. පොකුරු වැස්සේ විශේෂත්වය යමෙක් එහි තෙමනු කැමති වෙත්ද ඔවුහු තෙමෙනවා. යමෙක් එහි තෙමෙනු අකමැති නම් ඒ අය මතට ජලබිදුවක් වත් නොවැටෙයි. නෙලුම්පතකට වැටුණු ජලය මෙන් පෙරලී යයි. මෙසේ එය පොකුරු වනයෙහි වට වැස්සක් මෙන් විය. ක්‍ෂත්‍රියයෝ සයදෙනා හට සිහිය ආවේ ඒ මොහොතේ. ඤාති සමාගම මතටත් පොකුරු වැසි වස්සා. මහපොළොව නැවත නැවතත් කම්පාවුණා.
වෙසතුරු කුමරු අභිෂේක කරනු ලැබීම.
මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා. මුණුබුරෝද ලෙහෙලිද පුත්ද පියරජද මව්දේවියද එදින එකට රැස් වූවාහු ද අඩවාස ලොමුදැහැ ගැන්මක් වුණා. බිහිසුණු වනයෙහි එක්රැස් වූ සියලු රටවැසියෝ නගරවැසියෝ නියම්ගම් ජනපද වැසියෝ වෙසතුරු රජුගේ දෙපා ළග හඩා වැලප දේවයින් වහන්ස, ඔබවහන්සේ අපගේ නායකයා වෙත්වා. සියලු රටවැසියෝ වෙසතුරු රජුට හා මද්‍රි දේවියට වදිමින් ඔහු පාමුල වැටී මහරජතුමනි,ඔබ අපට අධිපති වන්න. ඔබ දෙදෙනා අපගේ රාජ්‍ය කරවයි ආයාචනා කලා. ඔබගේ පියා මෙහිම අභිෂේක කොට නගරයට කැදවාගෙන යනු කැමැත්තේ කුලසන්තක වූ ශ්වේතඡත්‍රය භාරගන්නයැයි ඉල්වා සිටියා.
ක්‍ෂත්‍රියයන් සයදෙනා පිළිබද කාණ්ඩය නිමි