අපේ බුදුහාමුදුරුවෝ 134

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 29

මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා.

ස්වාමිනි, ඔබ ඇයි අද නිහඬ? මාගේ සිත ඉතා අළුයම සිහිනයක් දුටු කලෙක මෙනි. අද වනකවූඩෝද නො හඩති. මාගේ දරුවෝ මළාහුද? කිම ස්වාමිනි, මාගේ දරුවෝ චණ්ඩ සිව්පාවෝ කෑවාහුද? ජනශුන්‍ය වූ ඕජස් නැති වනයෙහි මාගේ දරුවෝ කවරකු විසින් ගෙනයන ලද්දාහුද? එසේ නැතහොත් ඔබ විසින් සිවිරජුගේ සමීපයට දුතයන් ලෙස දූත මෙහෙයට යවන ලද්දාහුද? නැත්නම් ප්‍රිය තෙපුල් ඇති දරුවෝ නිදාගත්තාහුද? නැත්නම් ඔවුහු ක්‍රීඩාවෙහි යෙදී බැහැර ගියාහුද? ඔවුන්ගේ අදුන්වන් කේශයෝ නොපෙනෙති. රන්දැළින් විසිතුරු වූ අත්පා නොපෙනේ. හිමවත් පෙදෙසෙහි ඇත්ගිජුළිහිණියෝ නම් පක්ෂීන් සිටියි. ඔවුන් විසින් මාගේ දරුවන් ගෙනයන ලද්දාහුද? දරුවෝ කවරක්හු විසින් ගෙනයන ලද්දාහුද? මෙසේ කී කල්හි ද බෝධිසත්ත්වයන්වහන්සේ කිසිවක් නොකීවා. නොකීවාට වැඩිය දියහැකි පිළිතුරක් නොතිබෙන්නට ඇති.

ඇයි ස්වාමීනි, කුමක් නිසා මා සමග නොකියන්නේද? මාගේ වරද කුමක්ද? කියා මෙසේ කීවා. අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් නො දකිම්ද? ඒ දුකට වඩා ඔබ කථා නොකරන එක ඉතා දුකක්ය. හුළින් විදින ලද වනයක් මෙනි. අද මම ඒ දරුවන් නොදක්මි. ඔබද මා හා කථා නොකරයි. මේ දෙවැනි හුළද මාගේ ළය කම්පා කරවයි. රාජපුත්‍රයාණෙනි, අද මේ රාත්‍රිය මා හා කථා නොකරන්නාහු නම් පැහැව ගිය දිවි ඇති මා උදයේ මළ එකකු ලෙස දකින්න. ස්වාමිනි, රටින් නෙරපන ලද වනයෙහි වාසය කරන දරුවන් දකින්නට නැති මා සමග මේ දුක නොකියා සිටීම ඊටත් වඩා දුකකි. ඔබ වනාහි ගින්නෙන් දැවුනු මා නැවත දවන්නාක් මෙනි. තල්ගසින් වැටුනහුට මුගුරකින් ගසන්නාක් මෙන් නිහඩතාවයෙන් මා වෙහෙසට පත්කරන්නෙහිය. මේ මාගේ හදවත ආයුධයකින් විදින ලද්දක් මෙන්ද එසේම වනයක් මෙන්ද වේදනාවට පත්වෙයි. කම්පාවෙයි. 

වෙසතුරු කුමරු මද්‍රී දේවියගේ සිත වෙනතකට යොමු කිරීම සඳහා ඇයට අභූත චෝදනා කිරීම.

මහාසත්ත්වයෝ කර්කශ කථාවෙන් ඇගේ දරුශෝකය දුරු කරන්නෙමියි සිතා මෙසේ ඇසුවා.

“රුපශ්‍රියෙන් යුත් යසස් ඇති මද්‍රිරාජදේවිය, ඔබ වනමුල් පළවැල පිණිස උදයෙන්ම ගියා නොවේද? කුමන කරුණකින් ප්‍රමාදවී ආවාහුද? මද්‍රි දේවිය, නුඹ රූමත්ය,පැහැපත්ය,හිමවත වනාහි වනයේ හැසිරෙන බොහෝ තාපස විජ්ජාධරයන්ගෙන් යුක්තය. ඔබ විසින් කුමක් කරන ලද්දේ දැයි කවුරු දනීද? ඔබ අළුයම ගොස් කුමක් නිසා මේ සවස එන්නෙහිද? සිගිති දරුවන් දමා වනයට ගිය ස්ත්‍රීහු නම් ස්වාමිවරුන් සහිත නම් මෙසේ නොකරන්නාහ. මාගේ දරුවන්ගේ තොරතුරු මොනවාද? මාගේ ස්වාමියාට කුමක් වීද? යන මෙපමණක්වත් ඔබට සිතුනේ නැත. උදේම ගොස් සදඑළියේ එන්නෙහිය. මේ මාගේ දුගී බවෙහි දෝෂයක්මයැයි තර්ජනයකොට වංචාකර මෙලෙස පැවසුවේ ඇයගේ සිත වෙනතකට යොමු කිරීමට.

එම අභූත චෝදනාව නිසා දරුවන් අරඹයා ලතවිම මොහොතකට අමතකවීම.

මද්‍රි දේවිය ස්වාමියාගේ කථාව අසා මෙසේ කීය. යම් සිව්පා කෙනෙක් දිය බොන්නට විලට ආවාහුද ඔවුනතුරෙන් වෙසෙසින් නාදකරන සිංහයාගේද ව්‍යාඝ්‍රයාගේද අනිකුත් ඇත් ආදීන්ගේ කුරුළු සමුහයාගේද කුජනය ඒ නින්නාද කිම ඔබට නොඇසුනාහුද? ( ඒ ශබ්දය බෝධිසත්ත්වයන්වහන්සේ විසින් දරුවන්ව දන් දෙන ලද වෙලාවේ විය.) මහාවනයෙහි සැරිසරන මට පෙරනිමිති පහළ වී මා අතින් අල කණන හුල ගිලිහී වැටුණේය. දසරුවෙන් පලවැල පැස ගිලිහී වැටුණේය. එකල්හි මට කම්පා වී බියපත්ව වෙන වෙනම ඇදිලි බැදගෙන මෙයින් ශාන්තියක් වන්නේයැයි සිතා හැම දිශාවන්ටම වැන්දෙමු. අප හිමි රාජපුත්‍රයා සිංහයකු විසින් හෝ දිවියකු විසින් නොනසාවා.දරුවෝ ද වලස් වෘක යන සතුන්ගේ හිංසාවට පත්නොවෙත්වායි ප්‍රාර්ථනා කරමින් නමස්කාර කලෙමි. ස්වාමිනි, මම වනාහී මේ බිහිසුණු මහත් වූ නරක සිහිනයක්ද දුටුවෙමි. පල සහිත ගස් පල නැති ගස් ලෙසත් ගෙඩි නැති ගස් ගෙඩි ඇති ගස් ලෙසත් දකින්නී අපහසුවෙන් පළාපල ගෙන ගිරිදොරකඩට පැමිණියෙමි. ඒ මග අවුරමින් සිංහය, ව්‍යාඝ්‍රය, දිවිය යන සැඩ වනමෘගයෝ තිදෙනෙකි. ඔවුහු මට මග ඇවුරූහ. ඒ නිසා ප්‍රමාද වී සවස ආවෙමි. ස්වාමිනි මට සමාවෙන්න. ඉක්බිති බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව යන්නට වුණා.