අපේ බුදුහාමුදුරුවෝ 133
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 28
දරුවන් දන්දීමේ තොරතුර බඹලොව දක්වා පැතිරයාම සහ දෙවියන් මද්‍රි බිසවගේ පැමිණීමට බාධා කිරීම.
මහාපොළොව කම්පා කරමින් රජු විසින් බමුණාට තම දරුවන් දීම බඹලොව දක්වා පැතිර ගියා. එයින් බිදුණු හදවත් ඇති හිමවත් වැසි දේවතොවෝ බමුණා විසින් ගෙනයනු ලබන ඔවුන්ගේ විලාපය අසා මෙසේ කතිකාකර ගත්හ. ඉදින් මද්‍රි දේවිය කල්ඇතිව අසපුවට පැමිණියහොත් එහි දරුවන් නොදැක වෙස්සන්තර රජුගෙන් අසා බමුණාට දන් දුන් බව දැනගෙන බලවත් සෙනෙහසින් පසුපස්සේ දුවගොස් මහත් දුකකට පත්වියහැකියි. එලෙසෙ සිතූ ඒ දේවතාවෝ සිංහ,ව්‍යාඝ්‍ර,දිවි,යන වෙස්ගෙන මද්‍රි දේවියගේ ගමන්මග බාධාකරමින් ඇය නැවත අසපුවට එන මග අහුරා සිටියා. එහෙම කරලා නිකම්ම හිටියේ නැහැ. ඉර බැසයනතුරු මාර්ගයේ ඉඩ නොදී සිටීම නිසා යම්සේ සද එළියෙන් අසපුවට පැමිණේද එවිට සත්‍ය වශයෙන්ම කැළයේ වසන සිංහ ආදී සතුන්ගෙන් පීඩාවක් ඇයට නොවන ලෙස ඇයව ආරක්ෂා කරන්නටද කතිකා කරමින් මෙලෙස පැවසුවා.
” අපගේ රජදේවිය සන්ධ්‍යාවේ වනයෙන් නොඒවා. අප නිරන්තරයෙන් පරිභෝග කරන වනයෙහි චණ්ඩ මෘගයෝ ඇයට පීඩාවක් නොකරත්වා. සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ ඒ ශ්‍රීමතිය වෙහෙසට පත්කරන්නේනම් ජාලිය කුමරුන්හට පැවැත්මක් නැතිවෙනවා. ක්‍රිෂ්ණජිනා කෙසේ පවතීද? ඒ පින්වත් බිසෝ තොමෝ ස්වාමියාගෙනුත් දරුවන්ගෙනුත් යන දෙකොටසටම අහිමිවෙනවා. එමනිසා ඇයට ආරක්ෂාව මනාව සංවිධානය කරව්.”
වැසි දෙවියන් නපුරු සතුන් මෙන් මද්‍රි දේවිය එන මග පෙනීසිටීම.
ඉන්පසු ඒ දේවපුත්‍රයෝ යහපතැයි ඒ දේවතාවන්ට ප්‍රතිඥා දී සිංහ, ව්‍යාඝ්‍ර ,දිවියන් ගේ වෙස් ගෙන ඇය එන ගමන්මග පිළිවෙලින් සිටියා. මද්‍රි දේවිය මෙසේ සිතුවා. “මා විසින් නරක සිහිනයක් දකින ලදී. ඉක්මනින් මූලපලාදිය ගෙන අසපුවට යන්නෙමියි” කම්පාවෙමින් මූලපලයන් සොයා බලන්නට වුණා. ඉක්බිති ඇගේ අතින් අලවංගුව බිම වැටුණා. එසේම පසෙකින් එල්ලාගත් පැස ද වැටුණා. දකුණු ඇසද සෙලවෙන්නට වුණා. ඵල දරන ගස් ඵල නැති ඒවා ලෙසත්, ඵල නැති ගස් ඵල ඇති ලෙසත් පෙනෙන්නට වුණා. ක්‍රමක්‍රමයෙන් මද්‍රි දේවියට දස දිසාවම නොපෙනී ගියා. ඇය මේ කුමක් සිදුවන්නේදැයි බලා අද සිදුවන්නේ කලින් කිසි දිනක සිදු නොවූවක්යැයි මෙසේ සිතන්නට වුණා.
මද්‍රි දේවියට දස දිසා අමතකවීම.
“මා අතින් පොළොව කණින හුල ගිලිහුණි, දකුණු ඇසද සැලෙයි. පළ ඇති රුක් පළ නැති සේය. මට සැට දිශාවක් මුලාව පෙනෙයි. මා සවස් වේලෙහි හිරු අවරට ගිය කල්හි අසපුව දෙසට එනකල්හි සැඩ සිව්පාවෝ පෙරමග නැගී සිටියහ. හිරුද බැසයයි. අසපුවද ඉතා දුරය. දරුවන්ට යමක් මෙයින් ගෙනයම්ද ඔවුහු ඒ බොජුන් වළදන්නාහ. වෙස්සන්තර රජුන් මා නො එන්නා දැක සාගිනි ඇති හඩන දරුවන් සනසමින් අසපුවෙහි හුදෙකලාව හිදින්නේයැයි සිතමි. මාගේ බැගෑ වූ පින් නැති දරුවෝ සවස බොජුන් වේලෙහි කිරිබොන ඒ දරුවෝ කිරි නොලැබ නිදිතීයි සිතමි. බඩගින්නේ සිටින ඔවුන් මව්දෙන එනකම් පෙරමග පැමිණ සිටින වසුපැටවුන් මෙන් මා එනතෙක් පෙරමග බලා සිටිතීයි සිතමි. මාගේ දරුවෝ විල්පිට හංස පෝතකයන් මෙන් මා එනතෙක් බලා සිටිතීයි සිතමි. මාගේ දරුවෝ මා එනතෙක් අසපුව අබියස පෙරමග බලා සිටිතීයි සිතමි. එක් අඩිපාරක් ඇත.එය එකම මගය. දෙපසම විල් හා හෙල්ය. යම් මගකින් අසපුවට යන්නේමි නම් එබදු අන් මගක් නොදකිමි. ඇය වෙනත් මගක් නොදැන පළාපල පැස හිසෙන් බිමට බා ඇදිලි බැදගෙන වදිමින් මෙසේ කීවාය.
මද්‍රී බිසවගේ අධිෂ්ඨානය
“වනයේ මහා බලැති මුවරජහට නමස්කාර වේවා. දැහැමින් මට සොහොයුරෝ වව්. මා විසින් අයදනා ලද තෙපි මට මග ඉඩදෙව්. මා රටින් නෙරපන ලද සිරිමත් වෙසතුරු මහරජුගේ අඹු වෙමි. මම ඔහු රාම රජහට අනුගත වූ සීතා දේවිය මෙන් ඔහු ඉක්මවා වෙනකෙකු ගැන නොසිතමි. එපරිද්දෙන්ම මම ද වෙස්සන්තර රජුහට උපස්ථාන කරයි. තෙපිදු සවස ගොදුරු ගන්නා වේලෙහි තොප දරුවන් බලව්. මමද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් දකින්නෙමි. මේ අල හා පළවැල බොහෝය. මෙහි කෑ හැකි දේ බොහෝය. එයින් අඩක් තොපට දෙමි. මා විසින් අයදනා ලද තෙපි මට මාර්ගයේ ඉඩ දෙන්න. අප මව් රජුය, අප පිය රජුය තෙපි මට දැහැමින් සොහොයුරු වව්. මා විසින් අයදනා ලද තෙපි මට මාර්ගයේ ඉඩ දෙන්න. “
ඉක්බිති ඒ දෙවපුත්‍රයෝ වේලාව බලා දැන් මැයට මාර්ගය ඉඩ දිය යුතුයැයි දැනගෙන නැගිට පිටව ගියා. වැලපෙන්නාවූ ඇගේ බැගෑබවින් මුසුවූ බොහෝ මියුරුතෙපුල් වචන අසා සැඩ නපුරු වෙස් ගත් දේවපුත්‍රයෝ මගින් බැහැර වුණා. මද්‍රි දේවියද මෘගයන් ඉවත්ව ගිය කල්හි අසපුවට ගියා. එදිනද පුන්පොහෝ දිනයක්. ඇය සත්වන කෙළවර සිට යම්තැනක් පෙර දරුවන් දකීද ඒ තැන්වල දරුවන් නොදැක මෙසේ කීවාය.
පෙරමගට දරුවන් නොපැමිණි සොවින් භීතියෙන් කම්පනයට පත්වූ මද්‍රි බිසව.
පස් වැකුණු සිරුරු ඇති දරුසිගිත්තෝ පෙරනම් මව්දෙන පෙරමගට ආ වසුපැටවුන් මෙන් මා ඉදිරියට ආවාහු. මේ මේ තැන්හි පෙර සිටිති. පස් තැවරුණු සිරුරු ඇති දෙදරු බිළින්දෝ විලේ මතුපිට හංස පෝතකයන් මෙන් පෙරනම් මා ඉදිරියට එයි. ඒ දෙදරුවෝ කන් ඔසවාගත් මුවපොව්වන් මෙන් මා දැක සතුටු වෙයි. ප්‍රමුදිත වෙයි. යම් සේ මුවපොව්වෝ මව දැක කන් ඔසවා ගෙල දිගු කොට මව ලගට ගොස් තුටුපහටු වූවාහු හාත්පස දුවති. පනනුවන් මෙන් මාගේ ළය කම්පා කරයි. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.
පැටවුන් අතහැර ගොදුරට ගිය එළුදෙනක මෙන් මුවපෙල්ලක මෙන් කැදැල්ල හැරගිය කිරිල්ලියක මෙන් ගොදුරට ගිජු සිංහ දෙනක මෙන් දරුවන් හැරපියා අහර සොයා නික්මුණෙමි. යම්සේ එළුදෙන, මුවදෙන, මැදිරි සංඛ්‍යාත වූ කුඩුවෙන් මිදුණු පක්ෂියෙක් මෙන් තමන්ගේ පැටවා තබා ගොදුර සදහා යන්නීද එපරිද්දෙන්ම මම දරුවන් දමා ආහාර සෙවීමට ගියෙමි.
ඒ මට ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත. පර්වතයෙහි ඇතුන්ගේ පියසටහන් ලෙසින් මේ ඔවුන් ඇවිදි පියසටහන් පෙනෙයි. අසපුව අබියස වැලි සෑයවල් විසිරී ඇත. ඔවුන්ගේ ක්‍රීඩා කරන ස්ථානයෙහි එහෙමෙහෙ දුවනලද අඩි පාරවල් පෙනෙයි. ගොඩනගන ලද වෙලිගොඩවල් විසිරී ගොස් ඇත. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.
තවරාගත් වැලිවලින් ගැවසීගත් දරුවෝ වෙනදාට මා සිසාරා දිවයෙති. ඒ දරුවන් අද දක්නට නැත.
පෙර යම් දරු කෙනෙක් වනයෙන් එන මා දුරදීම දැක පෙරමගට එත්ද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද දක්නට නැත.
පෙර ඔවුන් අසපුවෙන් පෙරමගට අවුත් මව් එළුදෙන මව් මුවදෙන එනතෙක් බලාසිටිනා පැටවුන් මෙන් දුරසිට මා එනකම් බලා සිටී. අද ඒ දරුවන් පෙනෙන්නට නැත.
මේ ද ඔවුන්ගේ කෙළිබඩු වූ ගිලිහී වැටුණා වූ ඉදුණු ඵලය. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් අද දක්නට නැත.
මාගේ දෙතන් කිරියෙන් පිරී ඇත. ළය පැළෙනු වැනියි. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් අද මා නොදකියි.
එකෙක් මා හින සොයයි. අනිකා තනයෙහි එලබගනී. ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවන් අද නොදකිමි.
යම්දරු කෙනෙක් පස් වැකුණු සිරුරු ඇතිව සවස් වේලෙහි මාගේ ඇකයෙහි පෙරළෙත්ද ඒ දරුවන් අද නොදකිමි.
පෙර දවස යම් අසපුවක් කෙළි මඩලක් මෙන් මට වැටහුනේ වේද මේ ඒ අසපුවයි. අද ඒ දරුවන් නොදක්නා මට අසපුව භ්‍රමණය වෙන්නාක් මෙන් දැනේ. මේ කුමක්ද? අසපුව නිහඩව මෙන් මට වැටහෙයි. වන කවුඩෝද නො හඩති. මාගේ දරුවෝ මළාහු දෝ වෙත්දැයි? මේ කීම? නැතහොත් කවරෙකු විසින් ගෙනයන ලදද?
මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා.