අපේ බුදුහාමුදුරුවෝ 132
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 27
මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම රත්වුණා. කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී කදුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනානෙන් හැඩුවා. ඒ හඬ වනය පුර රැවු පිළිරැවු දෙන්නට ඇති. ඒ සියලු කැප කිරීම් නිසාම ඔබද මාද ඇතුළු ප්‍රකෝටි ගණනක දෙවු මිනිස් බඹුන් මේ බියකරු සංසාරේ යම්තමට හෝ දුගතියක නොවැටී යන්නට තරම් වාසනාව ලැබුවා.
ක්‍ෂත්‍රිය වූ වෙස්සන්තර රජු දරුවන් දන් දී පසුව දරුවන් හඩන හඩ අසා පන්සලට පිවිස බැගෑපත්ව වැළපෙන්නට වුණා.
” මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාටනම් හඩා කියත්ද? සවස ආහාර ගන්න වේලෙහි කවරෙක් ඔවුන්ට බොජුන් දෙත්ද? මාගේ දරුවෝ සාපිපාසා ඇතිව අද කාහට හඩා කියත්ද? සවස ආහාර ගන්න වේලෙහි මෑණියනි, බඩගිනියි අපට ආහාර දෙන්න කියා අද කාහට කියන්නහුද? පා ගමනින් යන පාවහන් නැති මාගේ නොදරුවෝ ගමනේදී මිරිකුණාහු ඉදිමුණු පයින් සැටයොදුන් මග කෙසේනම් යයිද? ඔවුන්ගේ විඩාහැරීමට කවරෙක් ඔවුන් අතට ගනිත්ද? මාගේ නිදොස් දරුවන්ට මා හමුවේදී පහර දෙන ඒ බමුණා කෙසේ නම් ලැජ්ජා නොවන්නේද? ඒ බමුණාට ලැජ්ජා නැත්තේමය. යමෙක් වනාහි මාගේ දාසියකගේ දාසයෙක් විද නැතහොත් අන් මෙහෙකරුවෙක් හෝ වීද ඕහට ද වඩා හීනතරයෙක් වීද ඕහට පවා ලැජ්ජා ඇති කවරෙක් පහර දෙන්නේද?
කෙමණෙහි බැදුණු මසකු මෙන් මා බලාසිටියදීම මාගේ ආදරණීය දරුවන්ට ආක්‍රෝෂ කරයි. පහරදෙයි. මෙසේ මහා බෝධිසත්ත්වයන්වහන්සේට දරුවන් පිළිබදව ආදරයෙන් සිතෙහි තර්ක විතර්ක ඇතිවුණා. මේ බමුණා මාගේ දරුවන්ට අතිශයින් වෙහෙසට පත්කරයි. බමුණාව ලුහුබැද ගොස් දිවිතොරකොට ඒ කුමාරවරුන් ගෙන එන්නමි. දරුවන්ට දෙන වධහිංසා මහා දුකකි. එය සුදුසු වුවක් නොවේ. මෙසේ දන් දී පසුතැවිලි වීම සත්පුරුෂයන්ගේ ස්වභාවය නොවෙයි සිතුවේය. යම්හෙයකින් දරුවෝ වෙහෙසෙත්ද ඒ වෙහෙස මට ඒකාන්තයෙන්ම බොහෝ දුක් ගෙන දෙන සුළුයි. ඉන්පසු බෝධිසත්ත්වයන්වහන්සේ පෙර බෝධිසත්ත්වයන්වහන්සේලාගේ ප්‍රවේණි ධර්මය, බෝධිසත්ත්වයන්වහන්සේලාගේ පරම්පරා ධර්මය සිහිපත් කරනු ලැබුවා.
දරුවන් දන්දී සොවින් වැලපෙන අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ සිත සදා ගැනීම.
සියලුම බෝධිසත්ත්වයන්වහන්සේලා ධන පරිත්‍යාගයෙන්, අංග පරිත්‍යාගයෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, දරුවන් පරිත්‍යාගයෙන්, බිරිද පරිත්‍යාගයෙන් යන මේ මහා පරිත්‍යාග පස කඩකර බුදු වූ කෙනෙක් නම් නැත. මමද ඒ කොටසට අයත් වෙමි. මා විසින්ද දූදරුවන් දන් නොදී බුදුවන්නට නොහැකිය සිතා, කිම! වෙස්සන්තර නුඹ අනුන්ට දාසපිණිස දුන් දරුවන්ගේ දුක්බව නොදන්නෙහිද? යම්හෙයකින් ලුහුබැද ගොස් ඔහුව මරා දමන්නෙමියි අදහසක් ඇතිකර ගත්තෙහිද, දනක් දී පසුතැවිලි වීම නම් නුඹට නුසුදුසු දෙයකි. මෙසේ තමන්ට නින්දා කරගෙන ඉදින් ඔහු දරුවන් මරන්නේද දෙන ලද කාලයේ පටන් මට කිසිවක් නොඇසේවායි මෙසේ දැඩි ලෙසේ අධිෂ්ඨාන කරගෙන පන්සලින් නික්ම පන්සල්දොර අසල ගල්තලාවේ රන්පිළිමයක් මෙන් සිටියා. පුජකයාද කුමාරයන්ට බැටදෙමින් ගෙන ගියා.
ජාලිය කුමාරයා වැළපෙමින් මෙසේ පවසනු ලැබුවා. “මේ ලෝකයේ ඇතැම් මිනිස් කෙනෙක් යමක් අබියස සිට මව යම්සේ නැද්ද ඔහු ද නැතැයි සැබෑවක්ම කීහ. ක්‍රිෂ්ණජිනාවෙනි! ධනය සොයන ඉතා රෞද්‍ර බමුණාට පියරජ විසින් අපි දෙනු ලදුම්හ. එන්න මියම්හ. ගවයන්ට මෙන් අපට පහර දේද, ඔහු ලග අපට ජීවිතයෙන් වැඩක් නැත.”
නැවතද බමුණා වැටී දරුවන් පළායාම .
නොදරුවන් දෙදෙනාට මහත් දුක් දෙමින් බමුණා ගෙනයන අතරතුරේ නැවතද බමුණා එක් විෂම තැනක පැටලී වැටුනේය. ඔවුන්ගේ අත්වලින් බැමි ගැලවී ගියේය. ඔවුහු පහරදෙන ලද කුකුළන් මෙන් කම්පාවෙන් පලාගොස් එකවේශයෙන්ම පියා සමීපයට ආවාහ. බැදගෙන යනු ලබන ක්‍රිෂ්ණජිනා දෙකුමාරයෝ බමුණා අතින් මිදී ඒ ඒ තැන්හි දිවගියහ. ඔහුගෙන් මිදුණු කෙණෙහිම යම්පැත්තක පියා සිටීද, එහි දුවගෙන ගියාහ. බමුණා වේගයෙන් නැගිට දණ්ඩක් ගත ඇත්තේ කල්ප විනාශයෙන් නැගී ගින්නක් මෙන් ගුගුරමින් අවුත් නුඹලා පැනයන්නට දක්ෂයි කියා අත්බැද නැවත ගෙන ගියේය. ක්‍රිෂ්ණජිනා පියරජුහට මෙසේ කියා වැලපුනේය. පියාණෙනි මේ බමුණා තමාගේ ගෙයි උපන් දාසියකට මෙන් වැල්කොනින් පහරදෙයි. පියාණෙනි මේ බමුණෙක් නෙවෙයි. බමුණෝ දැහැමි වෙති. පියාණෙනි යමෙක් බමුණු වෙසින් අපව කන්නට හෝ පිසින්නට ගෙනයයි. පියාණෙනි යකකු විසින් අපව කන්නට ගෙනයන කල්හි කුමට උපේක්ෂාවෙන් බලා සිටින්නේ ඇයි? පියාණෙනි ඔබ සැමදා සුවෙන් සිටින්න.
පළා පැමිණි ක්‍රිෂ්ණජිනාගේ ශෝකාලාපය අසා දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු ලේ බවට පත්වීම.
සියල්ල ඉවසාවදාරමින් සිටි බෝසතාණන්වහ්න්සේට ලාබාල කුමරිය වැලපෙමින් කම්පා වෙමින් යන කල්හි මහා බලවත් ශෝකයක් යලි උපන්නා. හදවත උණුසුම් වුණා. ඒ ගලාගෙන පැමිණි මහා සුසුම්දාරාවට නාසය නොසෑහෙන බැවින් මුඛයෙන්ද උණුසුම් ආශ්වාස ප්‍රාශ්වාස පිටකලා. ඒ මහා පිය සෙනෙහසට ඒ මොහොතේ කදුළු ලේ බවට පත්වී නේත්‍රයන්ගෙන් ගලා ගියා. ඒ ලේකඳුලින් දෙකොපුල් සිරුර තෙත් වෙද්දී අප මහා බෝසතාණන් අප වෙනුවෙන් සිත හදාගැනීමට මෙලෙස සිතන්නට වුණා.
දුක ස්නේහයේ දෝෂයක් බව දකිමින් යලිත් සිත සාදාගැනීම.
” මේ බදුවූ දුකක් සෙනෙහසේ දෝෂයෙන්ම උපදී. වෙන කරුණක් නිසා නොවේ. සෙනෙහෙ නොකොට මා මධ්‍යස්ථ වියයුතුයි. එබදු වූ ශෝකය හුලක්.” මෙසේ සිතා තමන්ගේ ඤාණබලයෙන් දුක බැහැර කරගෙන ස්වභාවික ස්වභාවයෙන්ම ගල්රුවක් සේ සිටියා. ගිරිදොරටුව විවර නොවූ නිසාම කුමරිය වැළපෙමින් යන්නට ගියා. අපේ මේ කුඩා පතුල් රිදෙයි. මාර්ගයද දුරය. දුෂ්කරයි. හිරුද පහතින් එලබෙයි. මේ බමුණා අපව ඉක්මන් කරවයි.
කිසිවෙකුගේ හව්හරණක් නැති දරුවන් දෙවියන්ට ආයාචනය කිරීම.
අවසානයේ කිසිම හවූ හරණක් නැති වූ දරුවන් සියලුම දෙවියන්ට යදින්නට වුණා. “පර්වතයෙහි උපන් දෙවියන්ටද වනයෙහි උපන් දෙවියන්ටද යටපත්ව හඩගා යදිමු. මේ විල්වලට අරක්ගත් දෙවියන්ද හිස් මුදුනින් වදුම්හ. සුන්දරවූ තොටුපොළවල් ඇති නදියෙහි උපන් දෙවියන් වදුම්හ. තෘණ දෙවියනි, ලිය දෙවියනි ඖෂධීය දෙවියනි, ගිරි දෙවියනි වන දෙවියනි අම්මාට අප නිරෝගී බව කියන්න. මේ බමුණා අප මරමින් ගෙනයයි. භවත්නි ඉදින් අප ලුහුබැද කැමතිනම් වහා අප අනුව එන්න. අප මෑණියන් මද්‍රි දේවියට කියන්න. මේ අඩිපාර අප කරා එයි. ඍජුව අසපුවට යයි. ඒ මාර්ගයෙන්ම එන්න ඔවුන් වහා දකින්නට ඇත්නම් යෙහෙකැයි කියන්න. අහෝ විපතකි දළමඩුලු ඇත්තිය. වනමුල්ඵල ගෙනෙන්නිය. අප නැති හිස් අසපුව දැක ඇයට මහත් වූ දුකක්ම වන්නේය. යමෙක් අපට ගවයන් සේ බැටදෙමින් ගෙනයාද ඒ ඉතා රුදුරු ධනය සොයන බමුණා විසින් බදනා ලද අපගේ තොරතුරු යම් මවක් නොදනීද ඒ මව විසින් වේලාව ඉක්මවා බොහෝ අල පලාපල ලද්දේය. අලමුල් පළවැල නෙළාගෙන සවස වනයෙන් ආ මව දක්නට ලැබේනම් හොදය. අම්මා දදුයෙල්බෑ මීයෙන් අනන ලද පළවැල මේ බමුණාට දෙන්නීය. එකල්හි ඒ පළවැල අනුභව කළ එහෙයින්ම තෘප්තිමත් වූ මේ බමුණා අපව ඉක්මනින් නොගෙනියයන්නේය. අපගේ පාද ඉදිමී ඇත. මේ බමුණා අපව වෙලමින් ගෙනයයි” කියා මවට ආදරය කරන ඒ දරුවෝ ඒ මහා මාර්ගයේ වැළපුනහ.
කුමාර කාණ්ඩය නිමි.