අපේ බුදුහාමුදුරුවෝ 131

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 26

ජූජක බමුණාහට දරුවන් දන්දීම.

ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා බෝසතාණන් වහන්සේගේ කදුළු වලින් ඔවුන්ගේ පිට තෙත් වී ගියා.

ඉන්පස්සේ අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ කුමාරයන් නැගිටුවා සනසා ” ජාලිය, කීම දරුව, ඔබ මාගේ දාන චේතනාව ගැන නොදන්නේද? මාගේ බලාපොරොත්තුව මස්තකප්‍රාප්ත කරන්නැයි “කියා වටිනා දෙයක් මිළ කරන්නාක් මෙන් එහිම සිට දරුවන් හට මිළ නියම කරන්නට වුණා. ඔබට හිතෙයි ඒ කුමක්නිසාද කියලා. ඒ වෙනකිසිවක් නිසා නෙවෙයි යම් කෙනෙකුට ඔවුන්ව දාස භාවයෙන් ගලවාගැනීමට හිතුනොත් ඒ සඳහා ගෙවිය යුතු මිළයි . උන්වහන්සේ පුත්‍රයා අමතා මෙසේ කීවා.

බෝසතාණන් වහන්සේ විසින්ම තම දරුවන් වහල්බවෙන් නිදහස්කර ගැනීමට මිළ නියම කිරීම.

දරුව ජාලිය, නුඔ දාස කමෙන් නිදහස් වනු කැමැත්තේනම් බමුණාට තික දහසක් දී නිදහස් වන්න. ඔබගේ නැගණිය වනාහි අතිශයින් රූමත්ය. කිසියම් පහත් ජන්ම ඇති කෙනෙක් බමුණාට කිසියම් මුදලක් දී ඔබගේ නැගණියට නිදහස්කරගෙන ජාතිභේදය කරන්නේය. අන්තැනක රජු විසින් හැර සියල්ලෙන් සියය බැගින් දීමට හැකි කෙනෙක් නම් නැත. ඒ නිසා ඔබගේ නැගණිය දාසබවෙන් නිදහස් කරගනු කැමැත්තේ බමුණාට දාසයන් සියයක්, දාසීන් සියයක්, ඇතුන් සියයක්, අශ්වයන් සියයක්, වෘෂභයන් සියයක්, රන්මසු සියයක් යන ලෙස සියල්ල සියය බැගින් දී නිදහස් කරගන්න.

මෙසේ දරුවන් මිළකර අස්වසා අසපුවට ගෙනගොස් කෙන්ඩියෙන් පැන් ගෙන, “එම්බා බමුණ මෙහි එවයි අමතා සර්වඥතා ඤාණයට හේතුවේවායි ප්‍රාර්ථනාකොට පැන් වත්කර, එම්බා බ්‍රාහ්මණය, මට දරුවන්ට වඩා සියගුණයකින් දහස් ගුණයකින් ශතසහශ්‍ර ගුණයකින් දෙව් බඔුන් මිනිසුන් මේ දුක් සහිත සංසාර සාගරයෙන් එතෙර කරවීම පිණිස සර්වඥතා ඤාණයම ප්‍රිය වන්නේය” කියා මහපොළොව කම්පා කරවමින් බ්‍රාහ්මණයාට සිය දරුවන් දන් දුන්නා. . සිවිරට වඩන වෙසතුරු මහරජ තම ප්‍රිය දරු දෙදෙනා වන ජාලිය ක්‍රිෂ්ණජිනාවන් බමුණාට එලෙස දන් දුන්නා.

මහපොළව කම්පාවීම.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ දාන පාරමිතාව මෙලෙස විස්තර දේශනා කරන්නට වුණා.

“යම්විටක දරුවන් දෙදෙනා දන් දුන් කල්හි මහපොළොව කම්පා වීද එකල්හි යම් බිහිසුණු බවෙක් වීද එකල්හි ලොමුදැහැ ගැන්මක් විය. යම්කලෙක සිවිරට වඩන වෙසතුරු මහරජ කළ බැදැදිලි ඇතිව සුවසේ විසූ දෙදරුවන් බමුණාට දන් දුන්නේද එදවස් යම් බිහිසුණු බවෙක් වීද එදවස් ලොමුදැහැගැන්මෙක් විය. එකල්හි දාන තේජසින් නද දෙන්නා වූ මහපොළොව කම්පා විය. සිනෙරු පර්වතරාජයා නැමුණේය. සියළු දෙවියෝ සාධුකාර දුන්හ. බඹලොව තෙක් ඒකකෝළාහල විය. හදිසි වර්ෂාවක් වැස්සේය. අකල්හි විදුලිය නිකුත් විය. හිමවත් වැසි සිංහාදිහු මුළු හිමවතම එකනින්නාද කළහ. මේ ආකාර බිහිසුණු බවක් විය..

සියුමැලි දරුවන්ට ගවයන්ට මෙන් තලමින් බමුණා රැගෙනයාම.

මහා බෝධිසත්ත්වයන්වහන්සේ දරුවන් දන් දී අහෝ! මා විසින් මනාකොට දන් දෙන ලදී යැයි සතුටු උපදවාගෙන දරුවන් දෙස බලමින් සිටියා. බමුණා වනරොදට පිවිස වැලක් අතින් කඩාගෙන කුමාරයාගේ දකුණ අත කුමරියගේ වම් අතේ බැද එම වැල් කෙළවර අල්ලාගෙන තලමින් වෙසතුරු රජු බලා සිටියදී ම දරුවන් ගෙන යන්නට වුණා. එහිදී ඔවුන්ට පහර දුන් තැන්වල සම බිඳුණා. එයින් ලේ වැගිරෙන්නට වුණා. පහරදෙන කල්හි ඔවුනොවුන් එකිනෙකා ආරක්ෂා කිරීමට පිට දෙන්නට වුණා. 

ජාලිය කුමරු බමුණාගෙන් මිදී බෝසතාණන් වෙතට පළායාම.

ඉන්පසු හදිසියේම එක් විෂම තැනක බමුණා කකුල පැකිළී බිම වැටුනා. කුමාරයන් ගේ මෘදු අත්වලින් තදවී තිබුණු වැල ගැලවී ගියේ ඒ මොහොතේ. ඔහු හඩමින් පැනගොස් බෝධිසත්ත්වයන්වහන්සේගේ සමීපයට පළාගියා. . කදුළු පිරි දෑසින් ජාලිය කුමරා පියා දෙස අහිංසක ලෙස බලමින්, බෝපත් සෙයින් වෙවූළමින් පියාණන්ට වදින්නට වුණා. පියාණන් වහන්සේගේ පාවැද මෙවදනන් පවසනු ලැබුවා. පියාණෙනි අම්මා ද පන්සලින් බැහැර නික්ම ගිහින්. පියාණෙනි ඔබද අපව බමුණාට දුන්නා. පියාණෙනි ඔබ අපව දෙන්න එපා. යම්තාක් අපගේ මව්තුමෝ ඒ ද එසද මේ බමුණා රිසිසේ අපව විකුණනවා නැත්නම් මරනවා. ඉන්පසු බමුණා ගේ නපුරු දේහ ලක්ෂණ මෙලෙස ප්‍රකාශ කරන්නට වුණා.

අසත්පුරුෂ බමුණාගේ දේහ ලක්ෂණ පවසමින් ජාලිය කුමරු නංගිව බේරාගන්නා ලෙස අයැදීම.

මේ බමුණා හට බකල වූ පාද ඇත්තේය. කුණු නිය ඇත්තේය.තවද එල්ලා හැලෙන පීඩිමස් ඇත්තේය. දිගු උඩුතොලුය, මහතොලුය. නිකුත් දළ ඇත්තේය. බුන් නාසා ඇත්තේය. සැළ බදු උදර ඇත්තේය. තුන් තැනකින් වක්වූ බිදුණු පිටකොදු ඇත්තේය. තවද වමරු සිය, තඹදැලි ඇතියේය. තඹවන් රැවුල,රන්වන් වැඩුණු කෙස්, කළුතල කැළැල් වලින් පිරීගිය සම රැලි ඇතියේය. කටහඬ වැනි හඬක් නිකුත්වන ඇටසන්ධිවලින් යුක්තය. බළල් ඇස් ඇතියේය. කටිය පිට කදට වකැ, විසුළු පා ඇතියේය. මහ සිරුර ඇතියේය. අදුන් දිවිසම් දරයි. මිනිස් වෙසින් හැසිරෙන මොහු යක්ෂයෙකි. අතිශයින් හිංසාකාරීය, බිය ගෙන දෙයි. මොහු අපගේ මස් කණු කැමතිව ඔබගෙන් පුත්‍ර ධනය ඉල්ලයි. පියාණෙනි මේ පිසාචායා විසින් ගෙනයනු ලබන අප දෙස කුමට උදාසීනව බලන්නේද? පියාණෙනි, මවුපියන්ගේ හදවත් දරුවන් කෙරෙහි මෘදු වෙයි. දරුවන්ගේ දුක නොඉවසයි. ඔබගේ සිත ගලින් කලේ යැයි සිතමි. එසේ නැත්නම් ලෝහයෙන් බඳනා ලද්දක් මෙනි. ඒ නිසාවෙන් අපහට මෙවන් දුකක් ඇති වූ කල ඔබට නොදනේන්නේද? එසේත් නැතිනම් නොදන්නා ලෙස සිටින්නේද? අතිශයින් නපුරු මෙම බමුණා විසින් නංගිවත් මාත් දැඩිකොට බැඳ සිටින බව ඔබට නොපෙන්නේද? පියාණෙනි ක්‍රිෂ්නජිනාව කිසිම දුකක් නොදනී. යම්සේ කිරි පිපාසයෙන් මුළා වූ මුවපෙල්ලක් රංචුවෙන් මගහැරී කිරිසොයමින් හඬනාමෙන් හඬයි. ඇය මව නොදැක හඬා වැලපී මරණයට පත්වේවි. ඒ නිසා මා පමණක් බමුණාට දෙන්න. මේ ක්‍රිෂ්ණජිනාව මෙහි රඳවාගන්න. මේ සියල්ල අසා සිටි මහා බෝධිසත්ත්වයෝ කිසිවක්ම පැවසුවේ නැහැ. ඒ ඔබ සහ අප වෙනුවෙන්මයි. ඉන් පස්සේ කුමාරයා මවුපියන් පිළිබඳව වැළපෙමින් මෙසේ කිවා. 

 මට ලැබෙන දුක් දුක් නොවෙයි. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් අම්මා නොදකී ද ඒ දුක මට පහරදීමෙන් ලබන වේදනාවට වඩා සියගුණයකින් දුකය. මට ලැබෙන දුක දුකක් නොවේ. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් පියා නොදකී ද ඒ දුක මට මෙයට වඩා දුක් දෙයි. මනා සොදුරු දැකුම් ඇති ක්‍රිෂ්ණජිනා කුමරියව නොදක්නා මව්තොමෝ සහ පියාණන් දුකින් බොහෝකලක් අසපුවෙහි හිද වැළපෙයි. ඒ අපේ මව්තුමෝ මුළුරැයක්ම අප සිහිකර බොහෝ දුකින් වැළපෙයි. ජලය ස්වල්පයක් ඇති කුඩා නදියක් මෙන් වියළී යයි.(අරුණ නැග එනවිටම වියළි මැරෙන්නේය යන අදහසින් කියන ලදී.)

මේ අඹ වෘක්ෂයෝ එළෙන අතු ඇති තික ගස්ය. නොයෙක් ආකාර ගස් ඇත. අද අප ඒ සියල්ල හැර පියා යන්නෙමු. මේ ඇසතු රුක්ය, පනාරුක්ය, හෙළකිද ඇසතු රුක්ය,නොයෙක් ආකාර පලු දරන වෘක්ෂයෝය. ඒ සියල්ල හැරපියා යන්නෙමු. පෙරයම් තැනක හිද ක්‍රීඩා කළේනම් මේ ඒ සියල්ල හැරපියා යන්නෙමු. මේ ගල් මුදුන්වල ඇති නොයෙක් වර්ගයේ මල් පෙර පැළදෙමුද ඒ හැම අද හැරපියා යන්නෙමු. මේ ගල් මුදුනෙහි නන්වැදෑරුම් ඵලජාති වේද ඒවා පෙර වැළදු ඒ හැම අද හැරපියා යන්නෙමු. පෙර යමකින් අප බොහෝ වේලා සෙල්ලම් කලේද, ඒ අපගේ පියා විසින් අපට සෙල්ලම් කිරීමට තනා දුන් ඇත්රූප, අශ්වරූප,ගවරූප, ආදී ඒ හැම දේ අද හැරපියා යන්නෙමු.

බෝසතාණන් වහන්සේ නිහඬබව රකිද්දී ජූජක බමුණා දරුවන්ට තලමින් හිරිහැර කරමින් රැගෙනයාම.

මෙසේ සිය නැගණිය සමග හඩාවැලපෙන දරුවන් දෙදෙනා පුජකයා අවුත් පහරදෙමින් රැගෙන ගියා. බමුණා විසින් ගෙනයනු ලබන ඒ කුමාරයා පියමහරජහට මෙසේ කියයි පියාණෙනි “අප නිරෝගී බව අම්මාට කියන්න. පියාණෙනි ඔබට සැපවේවා. මේ අපගේ සෙල්ලම් අලි, අශ්වයින් සෙල්ලම් හරකුන් ආදීය අම්මට දෙන්න අම්මා එයින් පුත්‍රශෝකය දුරුකර ගනී.

දරුවන් දන් දුන් බෝසතාණන් වහන්සේ දරාගත නොහැකි ශෝකයෙන් තනිව වැළපීම.

මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම පත්වුණා . කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී කදුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනානෙන් හැඩුවා. ඒ හඬ වනය පුරා රැවු පිළිරැවු දෙන්නට ඇති. ඒ සියලු කැප කිරීම් නිසාම ඔබද මාද ඇතුළු ප්‍රකෝටි ගණනක දෙවු මිනිස් බඹුන් මේ බියකරු සංසාරේ යම්තමට හෝ දුගතියක නොවැටී යන්නට තරම් වාසනාව ලැබුවා.