අපේ බුදුහාමුදුරුවෝ 130
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 25
බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින් දැන් දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින් සිටියා. අසපුවට එන අඩිපාර ඈතින් ඒ මහලු බමුණාගේ රුව මතුවුණා. මගබලමින් සිටි බෝධිසත්ත්වයන් වහන්සේට බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන දජය යලි ඔසවන්නාක් මෙන්, මුවට සිහින් සිනහවක් නැගුනා. පසුගිය ලිපිය අවසන් වුණේ එතැනින්.
ජූජක බමුණා පිළිගැනීමට පෙරමගට ගිය ජාලිය කුමරුට නපුරු ලෙස කතා කල බමුණා
මෙහි එව බ්‍රාහ්මණය කියා එම දසුනෙන් සතුටට පත්වු වෙස්සන්තර තාපසතුමා ජාලිය කුමාරයා හට මෙසේ කිවා.
“”ජාලිය නැගී සිටින්න පෙරගමන් කරන්න පැරණි දසුනක් මෙන් පෙනේ බමුණකු ලෙස පෙනේ, මගේ සිත සොම්නසින් පිරේ.”
එය අසා කුමාරයා කුමාරයා මෙසේ කිවා. ” පියාණෙනි, මමද දකිමි යමෙක් බමුණෙකු මෙන් පෙනේද ඔහු යදියෙකු ලෙසින් එයි. හේ අපට අමුත්තෙක් වන්නේය. මෙසේද කියා කුමාරයා ඔහුට ගරුසත්කාර දක්වන්නේ අසුනින් නැගිට බ්‍රාහ්මණයාට පෙරගමන්කොට පිටකර ගන්නටදැයි විමසුවා. බ්‍රාහ්මණයා ඔහු දෙස බලා මේ වෙස්සන්තර රජුගේ පුත්‍රයා වූ ජාලිය කුමාරයා බව දැන මුලසිටම පරුසවචනයෙන් කථා කරන්නෙමියි සිතා ඉවත්වන්න ඉවත්වන්න කියා අසුර ගැසුවා.
අනේ අහිංසක ජාලිය කුමාරයා කියූ සැණින් කීකරුව ඔහුගෙන් ඉවත්වුණා. ඉවත්ව ගොස් “මේ බ්‍රාහ්මණයා අතිශයින් ඵරුෂය. ඒ කුමක් නිසාදැයි ඔහුගේ ශරීරය ලක්ෂණ බලනවිට අසත්පුරුෂයන් කෙරෙහි පිහිටන අටළොස් පුරුෂ දෝෂයන් දුටුවා. . ඒ නපුරු බ්‍රාහ්මණයාද බෝසතුන් වෙතට පැමිණ පිළිසදර කථා කරමින් මෙලෙස අසන්නට වුනේ ඉතා කාරුණික ගුණවන්තයෙක් ලෙසින්.
” කිම භවතට රෝගයක් නැද්ද? කිම ඔබට දුකක් නැද්ද? කිම වනමල් වනඵලයන්ගෙන් යැපෙන්නෙහිද? කිම අලවර්ග හා පලාඵල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද දීර්ඝජාති සර්පයෝද අල්පද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ උන්ගෙන් හිංසාවක් නැත්තේද?
අප මහා කාරුණිකයන් වහන්සේද ඔහු සමග පිළිසදර කථා කරමින් මෙසේ පැවසුවා. “බමුණ අපට රෝග නැත්මය, තවද දුකක්ද නැත, වනමුල් වන ඵලයෙන් යැපෙමි. පළාපල බොහෝ ඇත. තවද මැසිමදුරැවෝද උරග ජාතිහුද අල්පම වෙති. සතුන්ගෙන් ගැවසී ගත් වනයෙහි අපට උන්ගෙන් හිංසා නැත. සත්මසක් කල් වනයේ වසන අප වසන තැනට බෙලිපහ හුණ දණ්ඩ ද ගිණිපුදන හැන්දද කමඩලාවද දෙවියන් විසින් ගෙන ආ බව වර්ණනා කරමින්” මේ බමුණාට පළමුකොට පෙන්නුවා.
“බමුණ තොපගේ පැමිණීම යහපත් එකකි, තවද මේ පැමිණීම නොමනා එකක් නොවේ. භවත ඔබගේ දෙපා සෝදා පන්සල ඇතුළට පිවිසෙන්න. තිබිරි, පියල්,මිහිය,කටුඑරමිණිය යන ඵලයෝද දඩුවෙල් බෑ මී ද ඇත. බමුණ හොද හොද දේ අනුභව කරන්න. මේ කළයේ පැන්ද සිහිල්ය. ගිරිකදුරුවලින්ගලා ආ ඒවාය. බමුණ තොප පානය කරනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න.
බමුණා ළමයින් ඉල්ලීම.
මෙසේද කියා මහා බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේද සිතුවා. “මේ බ්‍රාහ්මණයා කිසිම හේතුවක් නැතිව මේ මහා වනාන්තරයට පැමිණියේ නොවන්නේය. පැමිණි කාරණය ප්‍රමාද නොකොට ඔහුගෙන් විචාරන්නෙමියි සිතා මේ ගාථාව කීවා.
බමුණ තොප කුමන කරුණකින් හෝ කවර හේතුවකින් නම් මහා වනයට පැමිණියාහුද? එවිට බමුණා මෙසේ කීවා.
යම්සේ පිරුණු දියකඩ හැමකල්හි නොගෙවේද, එවන් තොප අයදනට ආවෙමි. මාහට තොප දරුවන් දාසයන් ලෙස දෙන්න.
එවිට අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ
බමුණ,දෙදරුවන් දෙමි. කම්පා නොවෙමි, ඔබ මාගේ දරුවන්ට ප්‍රධානියා වී, ස්වාමියා වී ඔවුන් රැගෙන යන්න.
එහෙම කියල නිකන් හිටියේ නැහැ. බලන්න බෝසත්වරයකුගේ, මහා දානපතියකුගේ, සත්පුරුශයකුගේ ලක්ෂණ. තව දුරටත් මෙහෙම කිවා.
“රජ දුව උදයේම වනයට ගියාය. සවස වනයෙන් ආපසු එයි. බමුණ, එක රැයක් මෙහි නතරවී සිට අලුයම යව. ඒ මද්‍රි දේවිය විසින් නහවා හිස සිඹ සනසන ලද මල්දම් පැළදි නොයෙක් සුවද කුසුමින් සදන ලද නොයෙක් සුවද විලවුන් ආලේප කරන ලද මගට අවශ්‍ය පළාපලද ඇතිව දරුවන් ගෙන යන්න.
එම කාරුණික වදන් අසා කපටි නපුරු ජූජක බමුණා මෙලෙස පිළිතුරු දුන්නා.
මද්‍රී දේවිය පිළිබඳව බමුණාගේ අඩු තක්සේරුව
” රජතුමනි, මෙහි එක් රැයක් සිටීම නොකැමැත්තෙමි. ගමනම මට රුචි වෙයි. මෙහි විසීම මට ලාභාන්තරායද වන්නේය. එහෙයින් යන්නෙමි. එමෙන්ම කාන්තාවෝ ඉල්ලීමට සුදුසු නොවෙති. ඔව්හු පිනට බාධා කරති. ලාභයටද බාධා කරති. මායා මන්ත්‍ර දනිති. හැමදෙයක්ම අවැඩ ලෙස සළකති. යාචකයන්ට ලැබෙන දෙයටද බාධා කරත්, ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාහු මොවුන්ට මව නොදක්වව. ඔවුන් දුටුනම් දානයට අන්තරාය කරන්නීය. රජතුමනි ඒ නිසා යන්නෙමි. තොප දෙදරුවන් කැදවන්න. ඒ දරුවෝ මව නොදකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්න. දරුවන් මා සමග එවන්න යැයි යදින්නට වුනා.
අනේ ඒ ආදරණිය බිරිඳ ගැන එලෙස අඩු තක්සේරුවක් කරනවිට අප මහා බෝසතාණන් වහන්සේට සිත නොරිදුණා වන්නට නුපුළුවන්. අප මහා බෝසතාණන් වහන්සේ තව දුරටත් මෙලෙස පැවසුවා.
දරුවන් තම පිය රජතුමාට පෙන්වීමට කියූ බස් ප්‍රතික්ෂේප කල කපටි ජුජකයා.
තොප මට පතිනිය වූ බිරිය දක්නට නොරිස්සුහුනම් නම් ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනාව මුත්තා සදමහරජුට දක්වව. සිත්කළු වූ පියතෙපුල් ඇති මේ දෙදරුවන් දැක ඔද වැඩි සතුටු වූ මහරජ තොපට බොහෝ ධනය දෙන්නේය. එවිට බමුණා
රජපුත්‍රය, මාගේ වචනය අසන්න. ඒ රජ මා දඩුවම් කිරීමට ඇමතියන් දෙන්නේ හෝ වෙයි. රජ මා විකුණන්නේ හෝ වෙයි. ඝාතනය කරන්නේ හෝ වෙයි. ධනය ද දාසයන්ද යන දෙකින්ම පිරිහුණු මම බැමිණිය විසින් ගැරහීමට ලක්වෙමි.
බෝසතාණන් වහන්සේ කාරුණිකව තව දුරටත් මෙලෙස කිවා.
සිත්කළු වූ ප්‍රියතෙපොල් ඇති මේ දරුවන් දැක සිවිරට වඩන දහමෙහි හැසිරෙන සිවි මහරජ ප්‍රීති සොම්නස් සිත් ඇතිව තොපට බොහෝ ධනය දෙන්නේය.
එම නිසා දරුවන් ඔවුන්හට පෙන්වන්න.
බෝසතාණන් වහන්සේගේ ඒ කාරුණික ඔවදන නපුරු ලෙස ඉවතලමින් ඒ ජූජක බමුණා තව දුරටත් මෙලෙස පැවසුවා.
“මහරජ, තොප මට යමක් කියවූ නම් එය නොකරමි. මම මේ දරුවන් බැමිණියගේ දාසමෙහෙවරට ගෙන යන්නෙමි. මට වෙන ධනයකින් ප්‍රයෝජනයක් නැත. මම මේ දරුවන් තමන්ගේ බැමිණියගේ දාසයන් ලෙස ගෙන යන්නෙමි.”
ජූජක බමුණාට බියටපත් දරුවන් පැන යාම.
මේ සියල්ල අසල සිට අසා සිටි දෙදරුවෝ නපුරු බමුණාගේ නපුරු බස් අසා වෙව්ලන්නට වුණා. බොහෝ තැතිගෙන ඒ මේ ඇත දුවන්නට වුණා. දරුවෝ ඔහුගේ ඒ නපුරු වචනය අසා පන්සල පිටුපසට ගොස් සැඟවුණත් එතැනත් අනාරක්ෂිත යැයි සිතමින් එතැනිනුත් පැනගොස් වනරොදක සැගවී එහිදීද පුජකයා අවුත් අල්ලා ගන්නා යැයි සිතමින් කම්පාවට පත්ව කිසිතැනක සිටින්නට නොහැකිව එහෙමෙහෙ දුවගොස් සතරැස් පොකුරු තෙරට ගොස් ගොරෝසු වැහැරී වස්ත්‍රය පොරවාගෙන වතුරට බැස නෙලුම්කොළයක් හිසට තබාගෙන ජලයේ සැගවී සිටිය. පුජකයාද දරුවන් නොදැක බෝධිසත්ත්වයන්වහන්සේට මෙලෙස අකාරුණික දොස් පවරන්නට වුණා.
වෙස්සන්තර රජුට අවලාද නැගු පවිටු ජූජක බමුණා.
“වෙස්සන්තරයෙනි, දැන්ම මට දරුවන් දෙනු. මම ඔවුන්ව ජයතුරා නගරයට ගෙන යන්නෙමි. දරුවන් මගේ බැමිණියගේ සේවකයන් ලෙස ගෙන යන්නෙමි” කියා ඉගියක් කර හරියටම බෝසතාණන් වහන්සේ දරුවන් පලවාහැර නොදන්නාක් මෙන් පෙන්නා සිටියා. ඒ විතරක් නෙවෙයි “ඔබ වැනි මුසාවාදියෙක් මේ ලොව නැතැයි සිතමි” කියා කී කල්හි මහා බෝධිසත්ත්වයන්වහන්සේ මහත් ලෙස කම්පා වුණා.
තම දාන පාරමිතාව පුරන්නට උදව් වෙන්නැයි ආයාචනය කරන අප මහා බෝසතාණෝ.
ඔවුන් පැන ගියහයි සිතා “බ්‍රාහ්මණය, එලෙස නොසිතන්න. මම දරුවන් රැගෙන එමියි” නැගිට පන්සල පිටුපසට ගොස් ඔවුන් වනරොදට පිවිසි බව දැනගෙන පියසටහන් අනුසාරයෙන් පොකුණුතෙරට ගොස් ජලයට බැස්ස පාසටහන් දැක ජලයට බැස සිටින්නාහු යයි දැන දරුව ජාලිය, ප්‍රිය පුත්‍රය එව මාගේ ප්‍රාර්ථනාව සම්පුර්ණ කරන්න. මාගේ ළය තෙත් කරන්න. මාගේ වචනය කරන්න.සංසාර සාගරයෙහි මට නිසල වූ ගමන් නැවක් වන්න. ජාති සාගරයෙහි පරතෙරට තරණය කරන්නෙමි. දෙවියන් සහිත ලොවැසියනුදු තරණය කරවන්නෙමි.” කියා පවනු ලැබුවා.
කුමාරයා පියාගේ හඩ අසා මෙසේ සිතුවා. ” බ්‍රාහ්මණයා මට කැමති දෙයක් කලාවේ, පියා දෙවරක් කතා කරනතෙක් නොසිටිනනේමි යයි” හිස ඔසවා නෙලුම්කොළ බැහැර කර ජලයෙන් ගොඩ අවුත් බෝධිසත්ත්වයන්වහන්සේගේ දකුණු පාදය ලග වැදවැටී වළලුකරය තදින් අල්ලාගෙන හඬන්නට වුණා. ඉක්බිති බෝධිසත්ත්වයන්වහන්සේ ඔහුට මෙසේ කිවා, දරුව, ඔබගේ නැගණිය කොහිද?දරුව මේ සත්ත්වයෝ බියක් ඇතිවූ විට තමන්ව රැකගනිති. ඉක්බිති මහසත්ත්වයෝ මා විසින් දරුවන් සමග කතිකාවක් කලේ වන්නේයයි දැනගෙන “එන්න නැගණිය
එන්න නැගණිය ක්‍රිෂ්ණජින” යැයි හඬ ගැසුවා. අප මහා කාරුණිකයන් වහන්සේ තවදුරටත් දරුවන්හට මේ උතුම් පාරමිතා පුරණයේ අගය වටහා දෙමින් මෙලෙස අයැද සිටියා.
දරුවන්ගේ කඳුළු බෝසතුන්ගේ පාදයත් බෝසතාණන් වහන්සේගේ කඳුළු දරුවන්ගේ පිටත් පුරා ගලායාම.
දරුව ප්‍රිය දියණියනි. මාගේ දාන පාරමිතාව සම්පුර්ණ කරන්න. මාගේ ළය තෙමන්න. මාගේ වචනය කරන්න. සසර සයුරෙහි මට නිසල ගමන් නැව වන්න. ජාති සාගරයෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නගාලන්නෙමි.ඕ තොමෝද පියා සමග කථා දෙකක් නොකරන්නෙමි. ඒ මොහොතේදීම ඇය ගොඩ අවුත් බෝධිසත්ත්වයන්වහන්සේගේ වම් පා ලග වැටී වළලුකරය තදින් අල්ලාගෙන හඬන්නට වුණා. ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා බෝසතාණන් වහන්සේගේ කදුළු වලින් ඔවුන්ගේ පිට තෙත් වී ගියා. මෙය ලියනවිට මටත් ඉකිගසමින් හැඬුනා. මම නොදැනුවත්ව හෝ සිතෙන් කයෙන් වචනයෙන් අප මහා බුදුපියාණන් වහන්සේ හට වරදක් කළා නම් පළමුවත් දෙවනුවත් තුන්වනුවත් සමාව අයැද සිටියා.