අපේ බුදුහාමුදුරුවෝ 129

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 24 

වෙස්සන්තර තාපස තුමාගේ අසපුවට නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක මීට ඉහත කියූ පරිදී රැය පහන් කරන්නට නැවතුනේ මද්‍රි දේවිය පසුදින පලවැල නෙලීමට යනතෙක් සැඟවී සිට දරුවන් වෙසතුරු තාපසයන්ගෙන් ඉල්ලාගෙන පළා යාමටයි. එහෙත් මවු සෙනෙහස කියන්නේ ඊට වැඩිය බල සම්පන්න දෙයක්. බෝසත්වරු බුදුවනතෙක් ඔහුගේ දරුවන් රැක්කේ යශෝධරාවරු. ඔවුනට හැම දෙයම ඉවෙන් වගේ දැනුනේ බෝසත්වරයෙකුගේ පළමු ආරක්ෂකයා ඇයම වීමෙන්.

මද්‍රි දේවිය දුටු නපුරු සිහිනය.

එදාත් ඒ වගේමයි. ජූජක බමුණා මාන බලන ඒ බියකරු රාත්‍රියේ මද්‍රී දේවිය විශේෂ හීනයක් දුටුවා. එය මෙබදු එකක්. 

එක් කාලවර්ණ පුරුෂයෙක් කසාවන් රෙදි දෙකක් හැද කන්දෙකෙහි රතුමාලා පැළද ආයුධ අතැතිව තර්ජනය කරමින් ඇවිත් පන්සලට පිවිස මද්‍රි දේවියගේ ජටාවෙන් අල්ලාගෙන ඇද බිම හෙළා ඇය හඩා වැලපෙද්දී ඇගේ ඇස්දෙක ගලවා, අත්දෙක කපා, පපුව පළා ලේ බිදු වගුරුවමින් හෘදයමාංශය ගෙන නික්ම යාමයි. ඇය ඒ මහා වනාන්තරයේ දරුවන් සමග තනිව යාබද අසපුවේ රාත්‍රී පහන් කරන්නේ වෙසතුරු කුමරා සමග ගිවිසගත් ගිවිසුම නිසාවෙන්. ඒ බ්‍රහ්මචාරී වීමට. සිහිනයෙන් බිය වැදුණු ඈ “මා විසින් පවිටු සිහිනයක් දකින ලදී.

මද්‍රි දේවිය රාත්‍රියේ හදිසියේ තම කුටියට තනිව පැමිණීම බ්‍රහ්මචර්යා සීලයට සුදුසු නොවන්නක් ලෙස බෝසතාණන් වහන්සේ සිතීම.

වෙස්සන්තර රජු හා සමානව සිහින විස්තර කරන්නාවූ වෙන කෙනෙක් නැත. ඔහුගෙන් විචාරන්නෙමි ” යයි සිතා බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ සිටින්නාවූ පන්සලට ගොස් දොරට තට්ටු කරන්නට වුණා. එවිට බෝධිසත්ත්වයන් වහන්සේ මේ කවරෙක්දැයි අසන්නට වුණා. ස්වාමිනි, මම මද්‍රි දේවියයි, ඇය සෙමින් පැවසුවා. පුදුමයට පත් වූ බෝසතාණන් වහන්සේ ” සොදුර, අපගේ පොරොන්දුව කඩකර කුමක් නිසා විකාලයේ මෙහි ආවෙහිද? යනුවෙන් ප්‍රශ්න කරන්නට වුණා. එවිට අවිහිංසක ඇය “ස්වාමිනි කෙලෙස් සිතකින් පැමිණියා නොවෙයි, තවද ම විසින් පවිටු සිහිනයක් දක්නා ලදී” කියා ඇය දුටු සිහිනය දුටු අයුරින්ම බෝධිසත්ත්වයන් වහන්සේට පැවසුවා.

බෝධිසත්ත්වයන් වහන්සේ සිහිනය පරික්ෂා කර බලා ” මාගේ දාන පාරමිතාව සම්පුර්ණ වනවා. මෙම හීනයට අනුව හෙට මා වෙත යදියෙකු පැමිණ දරුවන් ඉල්වන්නේය.” යනුවෙන් එහි අර්ථය වටහාගත්තා. එය ලෞකික ජිවිතයක් ගත කරන්නෙකුට බියගෙනදෙන සිහිනයක් වුවත් බුදුබව පතන්නෙකුට තම අවසාන පාරමිතාව සඵල කරන සුභඵල සිහිනයක්ම වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. තමන්ගේ බිරිද දරුවන් සමග මත්තෙහි තවත් කෝටිගණනක දරු දැරියන්ද බිරින්දෑවරුන්ද මේ මහා සංසාර දුකෙන් සදාකාලික ගලවාලන සම්මා සම්බුද්ධත්වය උදෙසා සෑම බෝසත්ත්වරයෙකු විසින්ම කල යුතු අවසාන පරිත්‍යාගය වීම නිසාමයි. ඒ නිසාම ඔහු මද්‍රි දේවිය සනසා සිතෙහි බිය දුරුකර ඒ මටසිලුටු මනසට කිසිවක් සඳහන් නොකර පිටත්කර හැරියා.

ඇය එම බස් අසා තම කුටියට ගියත් ඒ භයංකාර සිහිනය සිතේ හොල්මන් කරන්නට ඇති. ඇය ඒ නොනිදි රාත්‍රිය පහන්වූ පසු සියලු වැඩ නිමවා දරුවන් දෙදෙනා වැළදගෙන හිස සිඹ, ” අද ම විසින් නරක සිහිනයක් දකිනා ලදී. දරුවෙනි, ප්‍රවේශම් වන්නැයි” අවවාද දී ස්වාමීනි දරුවන් හොදින් බලාගන්නැයි මහාබෝධිසත්ත්වයන් වහන්සේට දරුවන් භාරදී අවශ්‍ය උපකරණ රැගෙන කදුළු පිසමින් මුල් පළාපල සදහා වනයට පිවිසියා. ඒ අතරතුර පුජකයාද දැන් මද්‍රි දේවිය වනයට යන්නට ඇතැයි සිතමින් කදුගැටයෙන් බැස අඩිපාර දිගේ අසපුව දෙසට පියමැන්නා.

 බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින් දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින් සිටියා. අසපුවට එන අඩිපාර ඈතින් ඒ මහලු බමුණාගේ රුව මතුවුණා. මගබලමින් සිටි බෝධිසත්ත්වයන් වහන්සේට බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන ධූරය යලි ඔසවන්නාක් මෙන්, මුවට සිහින් සිනහවක් නැගුණා.