අපේ බුදුහාමුදුරුවෝ 128

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 23

ආරක්‍ෂාවට සිටි කුලී හේවායා මග කියූ මග අනුව පූජක බමුණා වෙස්සන්තර තපස තුමා සොයමින් ඉදිරියටම ගමන් කළා. ඔහු කියූ මග සලකුණු අනුව යමින් සිටි ඔහුට ඔහු කියූ අයුරින්ම ඒ යන මග අතරමග සිටින අච්‍යුත නම් තවුසා ඔහුට මුණ ගැසුණා. ඔහු දුටු ජූජක බමුණා තවුසා සමග පිළිසදර කථාවේ යෙදුණේ ඉදිරි ගමන ගැන තොරතුරු ඔහුගෙන් තවදුරටත් දැනගන්නා අටියෙන්.

ජූජක බමුණා 

“කිම, භවත ඔබ නිරෝගීද, ඔබට දුකක් නැද්ද? ඔබ වනමුල් පලාපලයන්ගෙන් යැපෙන්නෙහිද? මෙහි මුල් හා පලවැල බොහෝ ඇද්ද? මෙම වනයෙහි මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝද අල්පව සිටිත්ද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?

අච්‍යුත තවුසා ඔහු හට මෙලෙස පිළිතුරු දෙන්නට වුණා.

බමුණ, මට රෝග නැත. තවද මට දුක්ද නැත. වනමුල් පළවලින් ජීවත්වෙමි. මුල් හා පළවැල බොහෝය. තවද මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝද මෙහි අල්පමය. චණ්ඩ මෘගයන් සිටින වනයේ මා හට හිංසාවක් නැත. අවුරුදු බොහෝ ගණනක් අසපුවේ වසන මට උපන් සිත්කළු නොවන රෝගයක් නුදුටිමි. බමුණ, ඔබට යහපත් ගමන් වේවා. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවනය කරන්න පන්සල ඇතුළට පිවිසෙන්න.බමුණ තිඹිරි පලය,පියල්පලය,මිහිරි කටු එරමිණිය දඩවැල් බෑ මීයේය යන මේවා මෙහි ඇත. යහපත් දේ වළදන්න. මේ පැන්ද සීතලය,ගල්කුසින් ගලා ආ ඔයෙන් ගෙනෙන ලදය. බමුණ, ඉදින් තෙපි රිසියව් නම් එයින් ගෙන පානය කරව. පුජකයා කියන්නට වුණා.

කපටි ජූජක බමුණාට අවශ්‍ය වුණේ කෑමක් නෙවෙයි. වෙස්සන්තර කුමරු ඉන්නා දිශාව මොහුගෙන් නිවැරදිව දැනගැනීමටයි. ඔහු නැවතත් කතාවට මුලපිරුවා.

ඔබ විසින් යමක් දෙමියි කීවේනම් ඒ දෙන ලදමය වේවා. මා විසිනිදු එය පිළිගන්නා ලදමයි. සියල්ල පඩුරු කරන ලදය. රජුගේ ප්‍රිය පුත්‍රයා සිවීන්ගෙන් වෙන්ව වසන බව ඔබ නොදහුද? මම ඔහු දක්නට ආමි. ඉදින් දන්නේ නම් මට කියන්න ඔහු ඉන්නා දිශාව. මම ඔහු දැකීමට ආවෙමි යි තාපසයා පැමිණි කාරණය වසා මෙලෙස කිවා. එහෙත් ඒ තාපස තුමාට මොහු පැමිණියේ වෙස්සන්තර තාපස තුමාව බැහැදැකීමට පමණක් නොවන බව හැඟී ගියා. 

“මොහු වෙසතුරු රජ දකින්නට එන්නේ පිනක් කරගනු පිණිස නොවෙයි. මොහු රජුගේ දේවිය පතාගෙන ආවා වන්නටත් පුළුවන. ක්‍රිෂ්ණජිනා දාසියකොට ජාලිය දාසයාකොට ගන්නට රුචිවන බව වන්නටත් පුළුවන්. සමහරවිට මව සහ දෙදරුය යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයේ වනැයි මට හැඟෙනවා.” යනුවෙන් සිතමින් තවදුරටත් ඔහුව අධෛර්යමත් කිරීමට මෙලෙස කියන්නට වුණා.

” එම්බා බ්‍රාහ්මණය වනයේ වසන වෙස්සන්තර රජුහට භවභෝග සම්පත් නැත. පෙර පරිදී ධන ධන්‍යද නැත. දුප්පත්ව සිට ජීවත්වෙයි. ඔබ ඔහුගේ සමීපයට ගොස් කුමක් කරන්නෙහිද? “

කපටි වයෝවුර්ධ ජූජක බමුණාට ඔහුවත් ලේසියෙන්ම මෙලෙස රවටනු හැකි වුණා. 

එම්බා තාපසය, ඔබ මා කෙරෙහි තරහා ඇතිකරගන්න එපා. එවැනි දේ වලින් මට වැඩක් නැත .මට වනාහි වෙස්සන්තර රජු ගෙන් කිසිවක් ඉල්වනු කැමැත්තේ නොවෙමි. උතුමන්ගේ දැකීම යහපත්ය. මොවුන් සමග විසීමද සැපතකි. මම ඔහුගේ ඇදුරු බමුණා වෙමි. යම්කලෙක සිවීන් විසින් නෙරපන ලද්දේ ද එතැන්පටන් මා ඔහුව නොදකින ලද්දේය. ඒ නිසා මම ඔහු දැකීමට ආවෙමි. ඔහු වසන තැනක් දන්නේ නම් මට කියන්න. 

මම ඔහුගේ ගුරුවරයා යන වචනය අසා ඒ තාපසයාද ඔහුට රැවටුණි. ! “මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගත්කරන්න යැයි පළාපල ආදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නට අත දිගුකර මෙසේ කියන්නට වුණා. බමුණ,යම්තැනක වෙසතුරු රජදරුවන් සැමගේ වාසය කෙරේද,තෙල පෙනෙන පර්වතය ගන්ධමාන නම් වේ. හේ තාපස විලාශයද දෙහෙටිල්ලද ගිණිපුදන හැන්දද දළමඩුළුද දරනුයේ අදුන්දිවිසම් දරනුයේ බිම හොවී ගිනිදෙවිය පුදයි. එහි නිල්වන් වූ නොයෙක් පළ දරණ වෘක්ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අදුන්කුළු මෙන් පැනෙති. මෙම අඩිපාර නිමවෙන්නේ ඔහුගේ අසපුව අසලින්.”

“පුජකයා අච්චුත තාපසයා විසින් කියන ලද මාර්ගයෙන් ගොස් සතරැස් පොකුණ වෙත පැමිණ මෙසේ සිතන්නට වුණා. ” අද බොහෝ සවස් විය. දැන් මද්‍රි දේවිය වනයෙන් එන්නීය. කාන්තාවෝ වනාහි දානයට විරුද්ධ වුවෝ වෙති. හෙට ඇය වනයට ගිය කල්හි අසපුවට ගොස් වෙස්සන්තර රජුගෙන් දරුවන් ඉල්වා ඇය පැමිණෙන්නට පළමුව දරුවන් රැගෙන නික්ම යන්නෙමි.” ජූජක බමුණා මෙලෙස සිතමින්, එයට නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක වැතුරුනේ හෙට දවස ගැන සිහින මවමින්.