අපේ බුදුහාමුදුරුවෝ 126
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 21
ජූජක බමුණා දරුවන් ලබාගැනීමට වෙස්සන්තර රජ සොයමින් පිටත්වීම.
මෙසේ මා ආපසු එනතෙක් පරිස්සම් වන්නැයි අවවාද දී මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව දෙසට හැරී අවසන් වතාවට ඇය දෙස බලා කදුළින් පිරුණු දෙනෙතින් යුතුව වෙසතුරු රජු මීට පෙර විසූ ජයතුරා නුවරට දසිදාසියන් සොයමින් ජූජක බමුණා පිටත්ව ගියා. ඔහු ඒ වනවිටත් දැන සිටියේ නැහැ රජතුමා සියල්ල අතහැර වනගත වී සිටිබව. ඒ කෙසේවෙතත් මේ සියල්ල මෙසේ සිදුවන්නේ දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් බෝසතාණන් වහන්සේ හට අවසාන පාරමිතා පුර්ණය සඳහා බව අට්ඨ කතාවන්හි සඳහන් කාරණා අනුව මැනැවින් පැහැදිළි වෙනවා.
ජයතුර නගර වැසියන් ජූජක බමුණාට ගල් ගසා පැන්නීම.
ඔහු ජයතුරා නගරයට ගොස් රැස්ව සිටිය ජනයාගෙන් වෙස්සන්තර රජු කොහේදැයි විමසුවා. එවිට සිදුවුනේ ඔහු හීනෙකින්වත් නොසිතු දෙයක්. ඒ වනවිටත් වෙසතුරු රජුව අධික ලෙස දන්දීමේ හේතුවෙන් ඔහුගේ සියලු දේ ඉල්ලාගත් බමුණන් කෙරෙහි රටේ සාමාන්‍ය මහජනතාව මහත් කෝපයකින් සිටියේ. එවිට වැසියෝ බමුණ, රජතෙම අඹුදරුවන් ගෙනගොස් වංකගිරියේ වාසය කරයි. තොපවිසින් අධික දානයෙන් පෙළන ලද රජ සියරටින් නෙරපන ලද්දේ වංකගිරිය පර්වතයේ වාසය කරයි. මෙසේ අපගේ රජතුමාව විනාශකොට නැවතද ආවාහු ඔහොම හිටු කියා” ගල්මුගුරු ගස් අතැතිව බමුණාව ලුහුබඳින්නට වුණා. ඔහු දේවතාවන් විසින් මෙහෙය වූ නිසාම එයින් මිදී වංකගිරියට යන මාර්ගයට නිරුපද්‍රිතව පිවිසියා.
මහා වනයේ අතරමංවූ ජූජක බමුණා දඩයම් බල්ලන් විසින් වටකරනු ලැබීම.
කාමයෙහි ගිජු වූ ඒ බමුණා බැමිණිය විසින් චෝදනා කරන ලද නිසා වනමුර්ගයන් ගැවසීගත් කඟවෙහෙනුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයක වින්දයුතු යම් දුකක් ඇත්ද ඒ දුක විඳිමින් වෙසතුරු රජු සොයමින් ඉදිරියටම පියමැන්නා. මෙලෙස ඒ බමුණා බේලුව සැරයටියද ගිණිපුදන කෙනෙස්සද කමඩලාවද ගෙන වෙසතුරු රජ වෙසෙතැයි අසා දැනගත් ඒ මහා ආරණ්‍යට ද පිවිසියා. එහෙත් ඒ වනවිටත් මිට ඉහත කි පරිදී මිත්‍ර රජවරුන් විසින් වෙසතුරු රජුගේ ආරක්ෂාව පිණිස ඔහුටත් හොරෙන් ඉතා පළපුරුදු දක්ෂ විශ්වාසවන්ත කුලී හේවායෙක් යොදවා තිබුණ. ඔහු හිටියේ දඩයම් බල්ලෝ රෑනක් පිරිවරාගෙන. ඒ බල්ලන්ට හොරෙන් කාටවත් ඒ ප්‍රදේශයට ඇතුළු වන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.
ඒ වනවිටත් අන්ත අසරණ වී සිටි ජූජක බමුණා මහාහඩින් හඬන්නට වුණා. මම මංමුළා වුණා. හරිමගින් දුරුව ගියා. භෝග සම්පතින් ගිජු වූ සංයමයක් නැති ඒ බමුණා වංකගිරියට යන මග මුළා වුණා. මහජනයා විසින් පසුපස ඒමේ දුකද, වනයට පිවිසීමේ දුකද, නිවැරදි මග සොයාගැනීමට නොහැකි වූ දුකද නිසා ඔහු තව තවත් හඬන්නට වුණා. මෙසේ වනයේ අතරමංව දසත ඇවිදිමින් සිටින අතරතුර ආරක්ෂාව පිණිස සිටි සේවක පුරුෂයාගේ සුනඛයෝ ඔහුව වටකරගත්තා. වහාම ආරක්ෂාව පිණිස අසළ තිබූ ගහකට නැගගත් ඔහු සුනඛයින් විසින් පිරිවරන ලදුව ගසේ සිටිමින් මෙලෙස ගාථාවෙන් කියන්නට වුණා.
රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජයගන්නාවූ අපරාජිත වූ බිහි අභය දෙන්නාවූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නේද?
හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ කොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බදු වෙසතුරු මහරජු හු කවරෙක් මට දැන් කියන්නේද?
විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මග මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග ඇති මනරම් ඇසතු රුකක් යම්සේ නම්, එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහෙදැයි කවරෙක් මට දැන කියන්නේද?
විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්ගයේ ක්ලාන්ත වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගි මනරම් නුගරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහිදැයි කවරෙක් මට කියන්නේද?
විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගිමනරම් අඹරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජු කොහේදැයි කවරෙක් මට දන්වන්නේද?
විඩාපත් ජනයාගේ වෙහෙස හරණ වූ මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවන ඇති මහමග නැගී මනරම් සල්රුකක් යම්සේ එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද?
විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමග වෙහෙසට පත් වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගී මනරම් රුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු රජු කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද?
මහා වනයේ මංමුළා වූ මෙසේ වැලපෙන මට යමෙක් “මම දනීමි යි කීනම් හේ මට සොම්නස් දනවන්නේය.
මහවනයේ මංමුළා වූ මෙසේ වැළපෙනා මට යමෙක් මම දනිමියි කි නම් හේ වදනින් බොහෝ පින් රැස් කරන්නේය.
ඔහුගේ ඒ වැළපීම් හඩ අසා ආරක්ෂාව පිණිස තබන ලද දඩයක්කාරයකු ලෙස වනයෙහි ඇවිදිමින් සිටි සේවකයා මෙලෙස සිතුවා.
වෙසතුරු රජුගේ ආරක්ෂාවට යොදවා තිබූ කුලී හේවායා ජූජක බමුණාව මැරීමට අදහස් කිරීම.
“මේ බ්‍රාහ්මණය වෙස්සන්තර රජු වසන තැන සදහා වැළපෙයි. මොහු වනාහි හොද දෙයකට පැමිණි කෙනෙකු විය නොහැකියි. මොහු නියත වශයෙන්ම එන්නට ඇත්තේ මද්‍රි දේවිය හෝ දරුවන් ඉල්ලීමටයි. ඔහුව මෙහිම මරා දැමිය යුතුයි.” යනුවෙන් ඔහුගේ සමීපයට ගොස් බ්‍රාහ්මණය තට ජීවිතය නොදෙමි කියා දුන්න ඇද තර්ජනය කරනු ලැබුවා.
ඔහු තව දුරටත් මෙසේ කිවා.
බමුණ තොප විසින් අතිදානයෙන් පෙළන ලද රජතෙම සියරටින් නෙරපන ලද්දේ වංකගිරියේ වාසය කරයි. බමුණ තොප විසින් අධික දානයෙන් මඩනා ලද වෙසතුරු රජ අඹුදරුවන් කැටිව ගොස් වංකගිරියේ වසයි. නුවණ නැති නොකටයුතු කරනසුලු තොප දියෙහි මත්සයකු සොයන කෙනෙකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි. බමුණා තා මරා තාගේ හිස සිද අක්මා සහිත හදමස් කපාගෙන තාගේ මසින් මාර්ග දේවතාවන්ට පන්තසකුල නම් බිලිපුජාවක් කරමි. බමුණ, තාගේ හදමස් කපාගෙන තාගේ මසිනුදු මස් තෙල්වලින් හිස්මොලවලින් ද හෝම කරන්නෙමි. බමුණ ම විසින් තාගේ මසින් කරන ලද ඒ මනාව යාගකරණ ලද මනාව පුදන ලද කවර හේතුවක් නිසාද? ඒ හේතුවෙන් තොප රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නොගෙන යන්නේය.
ජූජක බමුණාගේ වහසිබස් හමුවේ රැවටුන ආරක්ෂක කුලී හේවායා.
හෙතෙම ඔහුගේ වචනය අසා මරණභයින් තැතිගත්තේ බොරු ගොතමින් මෙසේ කියන්නට වුනා. චේත පුත්‍රය ! මාගේ බස් අසව, බමුණාද දුතයාවද නොමැරිය යුතු වෙයි. ඒ කරුණෙන් දුතයා නොමරති. මේ සනාතන ධර්මයකි. හැම සිවීහු සන්හිදුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසිවෙයි. ඔහුගේ මවද දුබලය. නොබෝ කලකින්ම ඇගේ ඇස් පිරිහෙයි. මම ඔවුන් විසින් මෙහෙයන ලදුවෙමි. චේත පුත්‍රය, මාගේ බස් අසව වෙසතුරු රජපුතු ගෙන යමි. ඉදින් දනීනම් මට කියව.
මෙය ඇසු කුලී හේවායා මොහු වෙස්සන්තර රජුව නැවත රැගෙන යන්නේයැයි සොම්නසට පත්ව සුනඛයින් බැද තබා බ්‍රාහ්මණයාව බස්සවා අතු අතරේ හිදුවා මෙසේ කීවා. බමුණ මාගේ ප්‍රිය වෙසතුරු රජ හට ඔබ ප්‍රිය දුතයෙකි. තට තුටුපඩුරු කොට මේ මී පුරවන ලද ලබුකබල ද මුවකලඹද දෙමි.කැමති සැපත් දෙන වෙසතුරු රජු යම්තැනක වෙසේද එදෙස තට කියමි.