අපේ බුදුහාමුදුරුවෝ 124
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 19
සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව
වෙසතුරු කුමරු මුචලින්ද විළ අසලට පැමිණීම
මම ඔබ හට මිට පෙරද කී සක් දෙවිඳු බෝධිසත්ත්වයන් වහන්සේට නිරතුරුවම ආරක්ෂාව රැකවරණය ලබා දුන්නා පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පවා ඒ ඒ අවස්ථාවල ඒ ඒ ආත්මභවයන්හි ලබා දුන්නා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔහු කෝටි සංඛ්‍යාත දෙවු මිනිසුන් මෙම සසරින් එගොඩකරන මතු බුදුවරයෙකු නිසා. ඒක හරියට විශ්වය තුලින්ම උන්වහන්සේට උන් වහන්සේගේ නිලයට නිල වශයෙන් ලැබූ වගකීමක් වගේමයි. එදත් ඒ වගේම තියෙන්නට ඇති. රමණීය හිමවත පාමුල මුචලින්ද විල තිබු තැනි තලාව ආසන්නයට අප මහා බෝසතාණෝ නොහොත් වෙසතුරු කුමරු පැමිණියේ දරු පවුලත් සමග හිස් අතින්. සුඛෝපභෝගී රජ මාළිගාවක සිටි එම කුමර කුමරියන් ගස් ගල් යට කෙසේ ජිවත් වන්නද?
සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව
ඒ මොහොතෙහි ශක්‍ර දේවේන්ද්‍රයා ආවර්ජනා කර බලමින් ඒ කාරණය දැනගෙන මහාබෝධිසත්ත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබවත් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බවත් සිතා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවනු ලැබුවා. “දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් මවා එවයි” ඔහුට අණ කරනු ලැබුවා. ඒ කියූ සැණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එම භුමියේ පෙනී සිටියා. ඉන් අනතුරුව අඹු සැමියන් වෙනුවෙන් පන්සල් දෙකක් සක්මන්මළු දෙකක් රාත්‍රීස්ථාන, සහ දිවස්ථාන මවනු ලැබුවා. ඉන් පස්සේ සක්මන් මළුවේ කෙළවර ඒ ඒ තැන්වල නොයෙක් මල්ගස් ද කෙසෙල් වනයක් ද මවනු ලැබුවා. එලෙස සියල්ල යුගල වශයෙන් මැවුවේ ඇයිද යන්න ඔබට පසුව වැටහේවි. ඒ සියල්ල එසේ සිදුකර සියලු පැවිදි පිරිකරද සපයා දී “යම් කෙනෙක් පැවිදිවෙනු කැමැත්තේ ද මෙය ගනීවායි” අකුරු ලියා එම අසපුවට ඇතුළුවන දොරටුව මත එල්වා තැබුවේ පැමිණි සැණින් බෝසතාණන් වහන්සේට එය දැක ගැනීමටයි. ඒ සියල්ල අවසන් කර තවත් අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටුකලා. ඒය දෙවිකෙනෙකුට හැර අපහට කල නොහැක්කක්. එනම් අමනුෂ්‍යන් ද බියජනක ශබ්දයන් ද රවුද්‍ර මෘගයන් ද පක්ෂීන් ද ඉවත්කරවා එම ස්ථානය තුල ඔවුන්හට සුරක්‍ෂිතව විසිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. එම සියලු කටයුතු නිම කල විශ්වකර්ම දෙවිදුන් ඒ වෙත පැමිණීමට අඩිපාරක්ද මවා එතැනින් අතුරුදන් වුණා.
වෙස්සන්තර කුමරු හා මද්‍රී බිසව ඇතුළු දරුවන් තවුස් වෙස් ගැනීම.
බෝධිසත්ත්වයන් වහන්සේ ද ඒ අඩිපාර දැක පැවිද්දන් වාසයකරන තැනක් වන්නේයැයි සිතා මද්‍රි දේවිය ද දරුවන් දෙදෙනා ද අසපුව අසල තබා දොරටුව අසලට පැමිණ එහි වූ දැන්වීම බලා ශක්‍රයා විසින් තමා වෙනුවෙන් මවන ලද්දක් යැයි දැනගෙන පන්සල් දොර විවෘත කර ඒ තුලට පිවිස කඩුව ද දුන්න ද ඉවත්කර සළු ගලවා තවුස් වෙස් ගෙන හැරමිටිය රැගෙන පන්සලෙන් නික්ම සක්මනට නැග ඒමේ අත ඇවිද පසේ බුදුකෙනෙකුන්ට සමාන සංයමයකින් දරුවන් හා බිරිද සමීපයට ගියා. මද්‍රි දේවිය එදාද වර්තමානයේ යසෝධරා වගේම මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ පාලග වැටී හඩා ඔහු සමග අසපුවට පිවිස තමන්ගේ පන්සලට ගොස් තවුස් වෙස් ගත්තා. පසුව දරුවන්වද තාපස කුමාරවරුන් කළා. මෙලෙස මෙම ක්‍ෂත්‍රියෝ සතරදෙනා වංකගිරි පර්වතයෙහි වාසය කළා.
මද්‍රී බිසව වෙසතුරු කුමරුගෙන් ඉල්ලු වරය.
බලන්න ආදරණිය බිරිඳකගේ ලක්ෂණ. මද්‍රි දේවිය මහා බෝධිසත්ත්වයන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලනු ලැබුවා. එය ඉතාමත් අහිංසක ඉල්ලීමක්.
“ස්වාමිනි, ඔබවහන්සේ මින් ඉදිරියට පළාපල සොයා නොගොස් අවුත් දරුවන් සමග මෙහිම සිටින්න. මම පළාපල ගෙන එන්නෙමි.”
එතැන් පටන් ඇය වනයෙන් පළාපල ගෙනවුත් තුන්දෙනාව පෝෂණය කරන්නට වුණා.
වෙසතුරු කුමරු මද්‍රී දේවියගෙන් ඉල්ලු වරය
ඒ එක්කම මහා බෝධිසත්වයන් වහන්සේත් ඇගෙන් වරයක් ඉල්ලුවා. “මද්‍රීය අපි මෙතැන් පටන් පැවිද්දෝ වෙමු. ස්ත්‍රිය වනාහි බ්‍රහ්මචරියාවට කිලුටයි. මෙතැන් පටන් ඔබ නුසුදුසු වේලාවෙහි මා සමීපයට නොඑන්න. ඕ තොමෝ යහපතැයි පිළිගත්තා. හැමදාම වගේම එදත් ඇය උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙවෙයි ලොව්තුරා බුද්ධත්වය වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් රති සැප අත්හළේ ඉතාමත් තරුණ වයසේදී. මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ මෛත්‍රී අනුභාවයෙන් හාත්පසින් යොදුන් තුනක් තුළ විසු සියළු තිරිසන්ගත සත්ත්වයෝ පවා ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රීය සහගත සිත් ඇත්තෝ වුවා. මද්‍රි දේවියද උදෑසනම පිබිද පරිහරණයට අවශ්‍ය පැන්ද සුදානම් කර තබා මුවදෝනා පැන් ද ගෙනවුත් දැහැටි දඩු දී අසපුව ඇමද දරුවන් දෙදෙනාව පියා සමීපයේ රදවා පැස බිම කණින යකඩයත්, කෙක්කත් ගත් අත් ඇතිව වනයට පිවිසුණා. ඉන්පසුව වනමුල් පළාපල ද රැගෙනවුත් පැස පුරවා සවස් වෙලාවේ අවුත් පන්සලෙහි පළාපල තබා දියනා දරුවන් දිය නැහැවීම කරවා රාත්‍රී ආහාරය පිළියල කරනු ලැබුවා. ඒ සියල්ල අවසානයේ ඔවුන් සතරදෙනාම පන්සල දොරටුවේ අභියස සිට පළාපල අනුභව කරනු ලබනවා. ඒ සියල්ල අවසානයේ මද්‍රි දේවිය පොරොන්දු වූ පරිදී දරුවන් දෙදෙනාද රැගෙන තමන්ගේ පන්සලට නික්ම යනවා. මෙය තමයි දවසේ දින චරියාව වුණේ. මේ අයුරින් අසපුව තුල සත්මසක් ජීවිතය සතුටින් සෙමින් ගතකලා. වනයට පිවිසීමේ කොටස නිමි.