අපේ බුදුහාමුදුරුවෝ 122
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 17
අසල රාජ්‍යන්හි රජවරු පරිත්‍යාග කල රජකම පවා අත්හල වෙස්සන්තර කුමරු.
මීට පෙර කී ලෙස හැටදහසක් වූ රජවරුන් ඇතුළු පිරිස වෙස්සන්තර ඇතුළු රජ පවුල අනාථව පැමිණි බව අසා මහත් වූ දුකෙන් පැමිණ විවිධ ප්‍රශ්න අසන්නට පටන්ගත්තා.
” දේවයිනි !කිම නිරෝගී ද? දුකක් නැද්ද? කිම තොපගේ පියමහරජ නිරෝගීද? සිවිරට වැසියන්ට දුක් නැද්ද? මහරජතුමනි ! ඔබගේ සේනාව කොහිද? කිම සතුරන් විසින් යටත්කරන ලද ද? අසුන් නැතිව රිය නැතිව මෙරටට පැමිණියාහුද? ඉක්බිති ඒ රජවරුන්ට මහාබෝධිසත්ත්වයන් වහන්සේ තමන් පැමිණි කාරණය පැහැදිලි කරන්නට මෙලෙස කිවා.
රටින් නෙරපුබව කියා සත්‍ය ප්‍රකාශ කල වෙසතුරු කුමරු.
“සබදිනි, මට රෝගයක් නැත. මට දුක් නැත. මාගේ පියමහරජ නිරෝගීවෙයි. සිවිරට වැසියනටද දුකක් නැත. යම්හෙයකින් මම රියහිස් බදු දළ ඇති, බර උසුලන, සියලු යුද්ධ වලදී නියම භූමිය හදුනන, සම්පුර්ණ ශ්වේතවර්ණ වූ හැම ඇතුනටම උතුම් වූ ඇතු දන් දුන්නෙමි. රත්පලසකින් වසන ලද මද වැහෙන සතුරන් මඩිනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාසය මෙන් සුදු වූ සේසත් සහිත වූ බුමුතුරුණු, උඩුවියන්, ජවනිකා සහිත ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් සහිත වූ රජුව උසුලන අග්‍රයානය වූ අපගේ හස්තියානය බමුණන්ට මම දුනිම්ද ඒ කාරණයෙහිලා සිවිරට වැසියෝ මට කිපියහ. මා පියරජුද කෝප වූ සිත් ඇත්තේ මා රටින් නෙරපීය. එබැවින් වංකගිරියට යමි.”
මිත්‍රවරුනි, අපහට වනයේ විසීමට සුදුසු පෙදෙසක් දැන කියව.
එය ඇසු රජවරු මෙලෙස කියන්නට වුණා.
රජකම භාරගන්නා ලෙස ආරාධනය කල චේතිය රටවැසියන්.
මහරජුනි, ඔබගේ පැමිණීම අපහට මැනවි , තවද ඔබ නිදොස්ය. මෙලෙස පැමිණි ඔබ අපට ඉසුරු වන්න. ඔබහට තොප රිසි යමක් ඇත්නම් කියන්න, මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුකයකු බැවින් පලා ද, නෙලඹල ද, මී ද, මස් ද, පිරිසිදු හැල්බත් ද, වලදන්න. අපි සියල්ල පිළියෙළ කර දෙන්නෙමු. රට වඩන මහරජුනි, ඉදින් ඔබව එරට රටවැසියන්ට එපාවීනම් චේතිය රටවැසියන් විසින් පිරිවරන ලදුව මෙහිම රජකම් කරන්න. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ ය, සමෘද්ධ ය, විශාල ය, මේ රජයට අනුශාසනා කරන්නට අදහස් කරත්වා යයි කීය.
එවිට මහාබෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන්ව අස්වසමින් මෙලෙස පිළිතුරු දුන්නා.
රටින් නෙරපන ලද මට රාජ්‍යානුශාසනාවට කැමැත්තෙක් හෝ බුද්ධියක් නැත. කරුණාවෙන් මාගේ බස් අසන්න. යම් හෙයිකින් රටින් නෙරපන ලද වෙසතුරු හට චේතිය රටේ වැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හයි සිවිහුද බලකාය ද නියම්ගම් වැසියෝද යන යම්කෙනෙක් දැනගත්තා වෙත්ද ඔවුහු සැමදෙන නොසතුටු වනවා ස්ථිරයි. ඒ විතරක් නෙවෙයි. මා නිසා ඔබ රාජ්‍යයන් අතර අසමගිය ද නිරතුරුව වන්නේය. ඒ නිසාම එකිනෙකා අතර කලහවිවාද ඇතිවීමද වැළක්විය නොහැකියි. එවැනි සිවි වැසියන්ගේ කලහයද විග්‍රහයද මට රුචි නෙවෙයි. තවද එම නිසාම කර්කශ කලහයද පහරදීමට නොමදව සිදු වන්නේය. එසේ ඇතිකල්හි එකල මා නිසා බොහෝදෙනා නැසෙන්නේය. හැමදෙනා විසින් සම්මාදන් වී කරන ලද යමක් ඇද්ද තෙලහැම තොප විසින් දෙන ලදමැ මා විසිනුදු පිළිගන්නා ලදම වේවා. පියමහරජ මා නෙරපීය. එහෙයින් මම වංකගිරියට යමි. සබදිනි, වනෙහි යම්තැනක් වසමෝද එහි අපට නිසි පෙදෙසක් කියනු.
මෙසේ ඒ රජවරුන් මහා බෝධිසත්ත්වයන් වහන්සේ වෙතින් නොයෙක් අයුරින් රාජ්‍යය භාරගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එයට කැමැති වුණේ නැහැ. ඊටපස්සේ ඔහුට ඒ රජවරු බොහෝ සත්කාර කරන්නට වුණා. මේ සියලු කතාබහ සිදු වුණේ ප්‍රධාන නගරයෙන් පිටත ශාලාවක් තුලයි. ඊට හේතු වුණේ මහා බෝධිසත්ත්වයන් වහන්සේ නගරයට පිවිසෙන්ට අකමැති වූ නිසාවෙන්. එනිසා රජ යුවල සිටි ඒ ශාලාව අලංකාරකොට තිරයකින් වටකොට මහා ආසනයක් සුදානම් කර ආරක්ෂාවද යොදා සියල්ලෝම පිරිවරා ගත්තා. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ එක්දිනක් එක් රාත්‍රියක් ඔවුන් විසින් ආරක්ෂා කරන ශාලාවේ වාසයකොට ඔවුන්ගේත් සිත නොරිදවා පසුදා උදෑසනම යන්න තීරණය කළා.
රාජකීය බෝජන සංග්‍රහය
පසුදා උදෑසන රාජකීය භෝජන සංග්‍රහයක් ඔවුන් විසින් රජකෙනෙකුට සුදුසු අයුරින් සකසා තිබුණා. නොයෙක් අග්‍ර රසයෙන් පිරිපුන් භෝජන අනුභවකොට ඒ රජවරුන් විසින් පිරිවරමින්ම ඔහු ශාලාවෙන් නික්ම ගියා. හැටදහසක් පමණ ක්ෂත්‍රියෝ ඔහු සමග පසළොස් යොදුන් මාර්ගය ආසන්නයට පැමිණුනා. පැමිණ ඒ භාග්‍යවන්ත ලොව දුකෙන් මුදවාලීම උදෙසා සියල්ල අතහැර අසීරු ගමනක් යන සියුමැලි පිවිතුරු රජ පවුලට වාසය කිරීමට සුදුසුම වනගත පෙදෙස පිළිබඳව මෙලෙස විස්තර කරනු ලැබුවා.
“එම පුදන ලද ගිනි ඇති එකග සිත් ඇති රාජර්ෂිහු යම්තැනක සන්සිදෙත් ද එයට යන භාරිය දක්ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට අපි කියම්හ. මහරජුනි, තොපි දරුවන් හා භාර්යාව සමග යම්තැනක වාසය කරන්නාහු නම් එයට නිසි පර්වතය ගන්ධමාදන නම් වේ. කදුළු පිරුණු නෙත් ඇති වැලපෙන මුහුණු ඇති චේතිය රටේ රජු වෙස්සන්තර රජුට අනුශාසනා කළහ. මහරජුනි ,මේ මගින් ඍජුව උතුරු දිග බලා යව.තොපට යහපතක්ම වේවා.”
ඉන්පසු වෙසතුරු රජ ඇතුළු ඒ කුඩා පවුල කිසිදිනක නොගිය මහා වනපෙත අතරින් ඉදිරියටම පියවර තැබුවේ ඔබ අප වෙනුවෙන්මයි.