අපේ බුදුහාමුදුරුවෝ 121.
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 16
බෝධිසත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ සහ මසක පුරා යායුතු ගමන්මග දිනකට කෙටි කල දෙවිවරු.
මග දෙපස හමුවන මිනිසුන් දුක්වී හඬා වැටීම.
මිට ඉහත ලිපියේ කී පරිදිම කුමරා සහ කුමරිය විසින් දරුවන් දෙදෙනා උකුලමත තබාගෙන තෙරක් නැති මහා වනය තුලින් ඉදිරියටම ගමන්කලා.
ඔවුන් ඉදිරි මාර්ගයෙහි හමුවන මිනිසුන් දැක වංකගිරිය කොහේදැයි අසනා සෑම විටකම තව දුරයි තව දුරයි යනුවෙන් මිනිසුන් පවසන්නට වුණා. අනුමග ද පෙරමග ද ඉදින් කිසි මිනිස් කෙනෙක් එන්නේනම් වංකගිරිය කොහිදැයි ඔවුන් වෙතින්ද මාර්ගය විමසනු ලැබුවා. ඒ මිනිසුන්ද ඔවුන් යන දුර දැක වංකගිරිය දුරයි කියා ශෝකයෙන් හඬන්නට වුණා.
බෝධිසත්ත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ.
ඒ යන මහා අතර තවත් පුදුමයක් වුණා. මග දෙපස සියලු ගස් බෝධිසත්ත්වයන් වහන්සේගේ ආනුභාවට පලබරවෙලා. ඒ පලබරින් යුත් ගස් දැක දරුවෝ කෑ ගසමින් හඬන්නට වුණේ වෙහෙසත් බඩගින්නත් නිසා. හරිම පුදුමයි. බෝධිසත්ත්වයන් වහන්සේගේ ආනුභාවයෙන් පලබර වූ ගස් නැමී ඔවුන් අත් ලගට එන්නට වුණා. රජයුවල එයින් මනාව පැසුනු ගෙඩි කඩාගෙන ඔවුන්ට දුන්නා. මෙම අසිරිය දැක මද්‍රි දේවිය පුදුමයෙන් පුදුමයට පත්වුණා. එය බුදුරජුන් මෙලෙස දේශනා කළා.
“ඉදින් දරුවෝ මහවනයෙහි පලගත් ගස් දකිත් ද දරුවෝ දෙදෙන ඒ පල පිණිස හඩයි. වැළපෙන දරුවන් දැක කම්පා වූ මියුරු පලයෙන් යුතු මහා වෘක්‍ෂයෝ තුමු නැමී දරුවන් ට සමීප වෙති.”
සියළු අගපසගින් හොබිනා මද්‍රි දේවිය නොවූවිරූ ලොමුදහගන්වන මේ පුදුමය දැක “වෙසතුරු රජුගේ තෙදින් වෘක්‍ෂයෝ තමන්ම නැමුනාහ. මේ වූ කලී ලෝකයේ අපුර්ව වූ ලොමුදහ ගන්වන අසිරියක්ම විය” යනුවෙන් උදම්අන්නට වුණා.
මසක පුරා යායුතු ගමන්මග දිනකට කෙටි කල දෙවිවරු.
ජයතුරා නගරයෙන් රුවන්ගිරිතල පර්වතයට දුර යොදුන් පහක්. එතැන සිට කොන්නිමාර නම් වූ නදියට තව යොදුන් පහක්. එතැන් සිට ආරඤඡරගිරි පර්වතයට යොදුන් පහක්. එයින් දුනනිවිටඨ බ්‍රහ්මණ ගමට පස්යොදුනක්. මෙලෙස ඒ මාර්ගය කි නොකී නගර සමග ජයතුරා නගරයේ සිට තිස්යොදුනකි. ඒ කියන්නේ අවම වශයෙන් මසක විතර ගමනක්. තවත් පුදුමයක්. දෙවියන් විසින් ඒ දීර්ග ගමන කෙටි කරනු ලැබුවා. දෙවියන් විසින් මාර්ගය හකුලනු ලැබුවා. එබැවින් ඒ දීර්ඝ වූ ගමන එක් දිනකින් නිමා කොට ඔවුන් මාතුල නගරය වෙත පැමිණිය. දෙවියෝ දරුවන් කෙරෙහි කරුණාවෙන් මග හැකිලු නිසා නික්මුණු දවසේම චේතිය රටට පැමිණියා. ඒ කියන්නේ ජයතුරා නගරයෙන් උදේ ආහාර වෙලාවේ නික්ම සවස්භාගයේ චේතිය රටේ මාතුල නගරයට පැමිණියා. හැම සිදුවීමක්ම හරිම පුදුමයි ආශ්චර්යයි.
රජවරු සහ කුමාරවරු හැට දහසක් බෝධිසත්වයන් වහන්සේ වෙතට හඬාවැටෙමින් පැමිණීම.
ඔවුන් ඒ දීර්ඝ ගමන නිමාකොට සමෘද්ධ වූ විපුල වූ බොහෝ වූ මස් රස සහිත ආහාර ඇති ජනපදවලින් යුත් චේතිය රටට පැමිණියහ. චේතිය රටේ කාන්තාවෝ ස්ත්‍රී ලක්‍ෂණයෙන් පරිපුර්ණ මද්‍රි දේවිය දැක මහත් පුදුමයෙන් පිරිවරා ගත්තා.
“මේ බිසෝ ඉතා සියුමැලිය. එසේ නමුත් පා ගමනින් යයි. මේ බිසෝ පෙර දවස හිදොඵවෙන්ද රන්සිවි ගෙයින්ද ඇවිද ගිය ඒ මද්‍රි දේවිය අද වනයේ පා ගමනින්ම යයි.”
මහජනයා ඒ මද්‍රි දේවියද වෙස්සන්තර රජ ද දරුවන්ද අනාථයන් ලෙස පැමිණ ඇති බව දැක ගොස් රජුට සැලකළහ. හැටදහසක් රජවරු හඩා වැළපෙමින් මහාබෝධිසත්වයන් වහන්සේ ලගට පැමිණියා.