අපේ බුදුහාමුදුරුවෝ 107
මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 02
වෙස්සන්තර රජුගේ මව සහ මහා මායා දේවිය
මෙයින් අනු එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූණා. උන්වහන්සේ පිළිබඳව මිට ඉහත අප විසින් දීර්ග විස්තරයක් කළා. උන්වහන්සේ බන්ධුමති නුවර ඇසුරු කොට ක්‍ෂේම වූ මිගදායෙහි වැඩ වසන කාලයේ බන්ධුමතී නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාට කිසියම් රජකු විසින් ඉතා වටිනා සදුන් අරටුවකුත් ලක්ෂයක් වටිනා රන්මාලයකුත් තුටු පඬුරු වශයෙන් එවනු ලැබුවා. රජතුමා ඒ රන්මාලය තම බාල දියණියටත් සඳුන් අරටුව තමාගේ දෙටු දියණියටත් තෑගි වශයෙන් දුන්නා. ඒ දියණියන් දෙදෙනාම මහත් වූ සිල්වත් ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් වූ භක්තියකින් දැහැමි සිල්වත් ජිවිතයක් ගත කල දානාදියට ඉමහත් කැමැත්තක් ඇති කුමරියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම එකවර තීරණය කලේ මේ වටිනා ත්‍යාගයන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට නොගෙන එකල ලොව පහල වී සිටි විපස්සි බුදුහාමුදුරුවන්ට පුජා කිරීමටයි. දැන් අප අතරෙත් එහෙම අය ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්නටත් බැරි නැහැ. බලන්න මේ ප්‍රාර්ථනා වල බලවත්කම. වැඩිමහල් කුමරිය ඒ ඉතා වටිනා සඳුන් අරටුව සියුම් ලෙස සදුන් කුඩු කරවා කරඩුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සදුන් කුඩු ගදකිලියෙහි විසුරුවා “ස්වාමීනි,අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමියි” ප්‍රාර්ථනා කලා. බාල නැගෙණිය ඒ රන් මාලය උණුකරවා රන්නුලකින් තැනු පපුවැස්මක් තනා තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර මත පුදා (පැතිකඩ) ස්වාමිනි යම් දිනක රහත්බවට පත්වනතෙක්ම මෙම පලදනාව මගේ ශරීරයෙන් ඉවත් නොවේවා යනුවෙන් ප්‍රාර්ථනා කළා. ශාස්තෘන් වහන්සේ ඔවුන් දෙදෙනාටම අනුමෙවෙනි බණ දේශනා කලා. ඒ දෙදෙනාම දිවි ඇති තෙක් සිට දෙව්ලොව උපන්නා.
ඔවුන් අතරින් බාල දියණිය ඒ කිවේ රනින් කල පැතිකඩ පුජා කල දියණිය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී රජුගේ දියණිය වී උපන්නා. සිතුවමකින් කලාක් මෙන් උරස්මාලයකින් සැරසීගත් පපුපෙදෙසෙකින් යුක්තවූ බැවින් උරච්චදා නම් වූ කුමාරිකාව වී සොලොස්වියේදී ශාස්තෘන් වහන්සේ භුක්තානුමෝදනා ධර්මදේශනයක් අසා සෝවාන් පලයෙහි පිහිටා පසුකාලෙක භුක්තානුමෝදනාව අසද්දීම පියා සෝවාන්ඵලයට පත් දවසේම රහත්බවට පත්ව පැවිදිවී පිරිනිවන්පෑවා. බාල සොහොයුරියගේ සසර ගමන එලෙස එතැනින් අවසන් වුණා.
මම මීට පෙරත් කිවා වගේ හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධශාසනයක පිරිවර වරෙක කල්‍යාණ මිත්‍රයෝ, වරෙක යහළු යෙහෙළියෝ, වරෙක සහෝදර සහෝදරියෝ වරෙක එකම ජනපදයක ගම්වැසියෝ, වරෙක එකම රජකෙනෙකුගේ සෙනෙවිවරු බිසෝවරු. ඉහතින් කී අයුරින් කිකී රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවයින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් සත්දෙනෙක් ලැබුණා.
- සමණී 2. සමණගුත්තා 3. භික්ඛුණී 4. භක්ඛදායිකා 5. ධම්මා 6.සුධම්මා 7. සංඝදාසි යන සත්දෙනායි.
ඔවුන් අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පිළිවෙලින්
- ඛේමා 2. උප්පලවණ්ණා 3. පටාචාරා 4. ගෝතමී 5. ධම්මදින්නා 6.මහාමායා 7. විශාඛා යනුවෙනුයි.
ඔවුන් අතරින් සුධර්මා දියණිය තමයි විපස්සි බුදුරජාණන් වහන්සේට සඳුන්සුනු පුජා කොට බුදුකෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කළේ. ඇය මේ අත්මභාවයේ කිකී රජතුමාට දාව සුධර්මා රජ කුමරිය ලෙස ඉපිදී තව තවත් පිංකම් කොට සඳුන්සුනු පුජාවේ පුණ්‍යාණුබල මහිමයෙන් රත්සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසුකලෙක ශක්‍රදෙවිදුන්ගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍යමහිමයෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන “ඵුසති” දේවියද, අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහමාය දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. දැන් මෙතැන සිට දිගහැරෙන්නේ ඒ සුධර්මා දේවිය ඵුසති දේවිය වශයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අගමෙහෙසිය වී ආයුෂ ඇතිතාක් කල් දෙවු සැපවිඳ දෙව්ලොවින් චුතවී වෙස්සන්තර රජුගේ මෑණියන් දක්වා පැමිණි මනහර කතා පුවතයි.