අපේ බුදුහාමුදුරුවෝ 102
සම්මා සම්බුදුවරයෙකුහටම පමණක් මතුකරලිය හැකි අධිමුක්තිය නොහොත් හද යට සැඟවුණු ප්‍රාර්ථනය!
අවසන් නියත විවිරණය ලබාදුන්
කස්සප බුදුහාමුදුරුවෝ 05
සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් දිනකට දෙවරක් උදෑසන හා සවස මිනිසුන් උදෙසා ධර්මය දේශනා කිරීම සිරිතක්. එහෙම නොවෙන දවසුත් ඇති. ඒ සෑම දේශනාවටම පෙර එහි රැස්වූ දෙව් මිනිසුන් හා ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ඔවුන්ගේ සිත් සොළොස් ආකාරයකින් බලා වදාරමින් ඔවුනට ගැළපෙන අයුරින් ධර්ම දේශනා කරනු ලබනවා. එය අනුපිළිවෙල කතා යනුවෙන් හඳුන්වනවා. එනම්
- දාන කථං – දන්දීම පිලිබඳ කථා,
- සීල කථං – සීලය පිළිබඳ කථා,
- සග්ග කථං – සප්ත කාම ස්වර්ගය පිළිබඳ කථා,
- කාමානං ආදීනවං – පංචකාම රසාස්වාදයෙහි වරද පෙන්නා දෙන කථා,
- නෙක්ඛම්ම ආනිසංසං – පංචකාම රසාස්වාදයෙන් වෙන්වීමෙහි අනුසස් පැහැදිළි කරන කථා,
මෙලෙස අනුපිළිවලින් දෙව් මිනිස් දෙවර්ගයම ක්‍රම ක්‍රමයෙන් සාමුක්කංසික නොහොත් චතුරාර්ය සත්‍යය දේශනා කරා රැගෙන එන්නේ ඔවුන්ටවත් නොදැනෙන්නට ඔවුන්ගේ සසර පුරුදු පාරමිතා අවදි කරමින්. ඒ සදහාද ඒ පුද්ගල ස්වභාවය පිලිබඳ විමසීමක් කලයුතු වන්නේ දෙව් මිනිස් දෙවර්ගයටම අයිති සත්ත්වයෝ රූප කායෙන් මෙන්ම මානසික ආකල්පවලින් චරිත වලින් නා නා විධ වන නිසා. ඒකාකාර දෙදෙනෙකු සොයාගැනීමට අපහසු නිසා. එමනිසා ඒ ඒ මානසික තත්ත්වයන් අනුව සත්ත්වයන් වර්ග සතකට බෙදෙනවා.
- රාග චරිත
- ද්වේශ චරිත
- මෝහ චරිත
- සද්ධා චරිත
- විරිය චරිත
- විතක්ක චරිත
- බුද්ධි චරිත යනුවෙන්
ඉහත තත්වයන් සළකා බලා එකිනෙක සත්ත්වයන්ගේ චරිත ලක්ෂණ අනුව ඒ එකිනෙක සත්ත්වයා හට ප්‍රත්‍ය දහම් තෝරා ගෙන දේශනා කිරීමට විශාරදත්වය ඇත්තේද සම්මා සම්බුදුවරුන්හට පමණක්මයි. සාරිපුත්තාදී මහා ප්‍රාඥ මහා රහතුන්හට පවා එය දුෂ්කර කාර්යයක් බවයි පෙළෙහි ඇත්තේ.
එසේනමුත් ඉහත කියන ලද චරිත ලක්ෂණ වලටද වැඩි විශේෂ ලක්ෂණ තුන් වර්ගයක් සත්ත්ව සන්තානයේ පවත්නා බව බුදු දහමේ සඳහන් වෙනවා. එනම්
- අධිමුක්ති,
- ආශය,
- අනුශය යනුවෙන්.
මෙහි
1.අධිමුක්ති නම් හද යට සැඟවුණු අන්අයට අප්‍රකට ප්‍රාර්ථනයයි.
2. ආශය නම් උඩුහිතේ ප්‍රකට ලෙස ක්‍රියාත්මක වෙමින් පවත්නා අදහස්ය.
3. අනුශය නම් හද පත්ලේ නිදන්ව පවතින තණ්හා, මාන, දිට්ඨි යන දුබලකම්ය. ඒවා සමහර විට ඒ ඒ අයටද අප්‍රකටය.
මේ සියල්ලත් සමග ඔවුන්ගේ පංච ඉන්ද්‍රිය ධර්ම නොහොත්
1. සද්ධා
2.විරිය
3. සති
4. සමාධි
5. පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම වැඩි ඇති අකාරය සම්මා සම්බුදුවරයකු විසින් බලනු ලබන්නේ සම්මා සම්බුදුවරයෙකුටම පමණක් විශේෂයෙන් අයත්වන ෂඩ්අසාධාරණ ඤාණ අතුරින් එක් විශිෂ්ට ඤාණයක් වන ඉන්ද්‍රිය පරෝපර්‍යත්ති ඤාණය මගින්. මෙලෙස අතිවිශේෂ අධ්‍යනයකින් පසුව බුද්ධ දේශනාව ඒ ඒ පුද්ගල සන්තානයන්ට අනුරූපව විශේෂ අංග නවයකින් සිදුකරනු ලබයි. එම නිසා මෙම සුවිශේෂ දේශනා ශෛල්‍යයකින් යුතු සාසනය නවාංග ශාස්තෘ සාසනය යන නමින්ද හඳුවනවා. එය
- සුත්ත
- ගෙය්‍ය
- ව්‍යොකරණ
- ගාථා
- උදාන
- ඉතිවුත්තක
- ජාතක
- අබ්භූතධම්ම
- වේදල්ල යනුවෙන් හඳුන්වනවා.
දැන් ඔබට තේරෙන්නට ඕනේ සම්මා සම්බුදුවරයෙකු විසින් කරන්නා වූ ධර්ම දේශනයක් අවසානයේ අධික ලෙස මිත්‍යදෘෂ්ටින්ගෙන් එළඹ සිටි බොහෝ දෙනා පවා අරහත්වයට පත්වුණේ කොහොමද කියලා.
එදා ජෝතිපාල මානවකයා හමුවේ ක්‍රියාත්මක වුණෙත් ඒ අනුපිළිවෙල කතාවමයි. එතැන් සිට සුත්‍ර දේශනාවේ ඒ පිළිබඳව කර ඇති වර්ණනාව දෙස බලමු.
“ජොතිපාල තරුණ තෙමේ වනාහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවීමට නිසිවූ සිහි කිරීමට සුදුසුවූ කතාව කොට නිමවා එක් පැත්තක හිඳගත්තේය.
“ආනන්දය, එක් පසෙක උන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ ‘ස්වාමීනි, තරුණවූ මේ ජොතිපාල තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දේශනා කරණ සේක්වායි.’ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කීය.
ආනන්දය, එකල්හි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජ තෙමේ ඝටීකාර කුම්භකාරයාටද ජොතිපාල මානවයාටද දහම් කතාවෙන් කරුණු දැක්වූයේය. කරුණු ගැන්වූයේය. කරුණෙහි සිත් තියුණු කරවූයේය. පැහැදවූයේය.
“ආනන්දය, එකල්හි භාග්‍යත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද්දාවූද කරුණු ගන්වන ලද්දාවූද, එහි සිත් තියුණු කරවන ලද්දාවූද පහදවන ලද්දාවූද ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල මානව තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්බුදුන්ගේ දේශනාවට ඉතා සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට වැඳ, පැදකුණු කොට ගියාහුය.
මෙලෙස බණ අසා පිටත්වුණ ජෝතිපාල නොහොත් අප මහා බෝසතාණෝ ඝටීකාර යහළුවගෙන් මෙහෙම විමසුවා.
ඔබ බණ අස අසා ඇයි ගෙදර යන්නේ? මහණ වෙන්නට සිතක් පහල වෙන්නේ නැද්ද, මට නම් අදම පැවිදි වෙන්න හිතෙනවා. එවිට ඝටීකාර යහළුවා මෙලෙස පිළිතුරු දුන්නා.
මිත්‍රය මට එය කල හැක්කක් නොවෙයි. මගේ මාපිය දෙදෙනාම මහලුයි අන්ධයි. මම ඒ අයව රැක බලාගන්නවා. ඒ නිසා මට තවම පැවිදි දිවියට ඇතුලත් වෙන්න බැහැ. එවිට අප මහා බෝසතාණෝ මෙහෙම කීවා. අනේ එහෙමනම් බුදුහාමුදුරුවන්ට කියලා මාව මහණ කරවන්න. මට තවත් ගිහි ජිවිතයේ රැඳී ඉන්න උවමනාවක් නැහැ. අනේ මට මහණ වෙන්න අවසර ඉල්ලා දෙන්න.
ඝටීකාර මානවකයා යලිත් ආරාමය වෙත හැරුණා. යලිත් කස්සප බුදුන් වෙත පැමිණියා. එය මෙලෙස සුත්‍ර දේශනාවේ සටහන් වෙනවා.
පැමිණ, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ. ආනන්දය, එක් පසෙක හුන්නාවූ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ට ‘ස්වාමීනි, මේ ජොතිපාල මානවක තෙමේ මාගේ යහළුවෙකි. ප්‍රිය යහළුවෙක. භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදි කරන සේක්වායි කීය.’
“ආනන්දය, ජොතිපාල මානවක තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් සමීපයෙහි මහණකම් ලැබී උපසම්පදාව ලැබී.
ඉක්බිති ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදු රජතෙමේ ජොතිපාල මානව උපසම්පදාවූ නොබෝ කලකින් උපසම්පදාවී අඩමසකින් වෙහලිංගයෙහි කැමතිතාක්කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එහි චාරිකාව සඳහා වැඩියේය. පිළිවෙළින් චාරිකාවෙහි වඩිනුයේ බරණැස යම් තැනෙක්හිද එහි පැමිණියේය.
මෙලෙස අප මහා බෝසතාණන් වහන්සේගේ හද යට වැළලී තිබු අප්‍රකට ප්‍රාර්ථනය යලි ගොඩගන්නට ඒ මහා විර්යයාණන් වහන්සේ සමත් වුණා.
මම මෙලෙස බුද්ධ දේශනාව පිලිබඳ කෙටි විස්තරයක් කලේ මෙම ලිපි පෙළ කියවන මාගේ මිත්‍රයන් වන සහ නොවෙන අන්‍යාගමික මිතුරන් සඳහායි. සමහර කතෝලික මිතුරන් මගෙන් ඉතා උනන්දුවෙන් ධර්ම කාරණා අසමින් භාවනා කිරීමට පවා උත්සාහ දැරීම මටත් විශාල සතුටක් ගෙනදෙන්නක් වුණා. ඔවුන් අතරද සමහර විට මෙවැනිම පාරමිතාවන් පුරන්නන් විය හැකියි. අවාසනාවකට අද සම්මා සම්බුදුවරයෙක් නැහැ එය කියා දෙන්න මෛත්‍රියෙන් !!