අපේ බුදුහාමුදුරුවෝ 101
මතු බුදුවරයෙකු බුදුවරයෙකු වෙත බලෙන් රැගෙන ගිය කල්‍යාණ මිතුරා ඝටීකාර 1
අවසන් නියත විවරණය ලබාදුන්
කස්සප බුදුහාමුදුරුවෝ 05
අධික ලෙස කාර්යය බහුලතාවය නිසා සියවෙනි කොටසෙන් පසුව ටික දිනකට ලිවීමට නොහැකි වුණා. එයට සමාවෙන්න. අද දිනයේත් රාත්‍රී දොළහ ආසන්නයේ ලිවිම පටන්ගත්තද කොතරම් දුරට එය නිම කරගත හැකි වේදැයි තවමත් දන්නේ නැහැ. පසුගිය අවසන් කොටස අවසන් කලේ මෙලෙසින්.
ඝටීකාර මිත්‍රයා
“යහළු ජොතිපාලය, (අප මහා බෝසතාණන් වහන්සේ) භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ වැඩසිටින්නේ මේ ආසන්නයේ. අපි උන්වහන්සේ බැහැ දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය . එබැවින් යමු’යි කිවා.
ජෝතිපාල නම් වූ අප මහා බෝසතාණන් වහන්සේ.
‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැත, මට එන්නට බැරිය. ඔබම යන්න.”
හරිම පුදුමයි කල්‍යාණ මිත්‍රත්වය කියන එක. එලෙස පසුබට වෙන කෙනෙක් හෝ මොනයම් විපතකදී උවදුරකදී මිතුරා හැර යන කෙනෙකු නෙවෙයි. ඔහු බෝසතාණන් වහන්සේව කස්සප බුදුරජාණන් වහන්සේ වෙතට ගෙනියන්න නොයෙකුත් උපක්‍රම කල්පනා කළා. එහෙත් ඔහු ඒ වනවිටත් දැන සිටියේ නැහැ ඔහුගේ ප්‍රිය මිතුරා මෙම කල්පයේම බුදුබවට පත්වෙන ගෞතම බුදුන්බව. ඒ එක්කම ඔහු දැන සිටියේ නැහැ කස්සප බුදුන් වෙතට නොපැමිණ ඒ බුද්ධත්වය සාක්ෂාත් කරනොගත හැකි බව. ඔහුට අනඝි අදහසක් පහල වුණා. ඒ කස්සප බුදුන් වැඩ සිටි ආරාමය අසල සිටි මනහර දිය පොකුණට දිය නාන්ට යන්නට ජෝතිපාලත් සමග. එය මෙලෙස ඝටිකාර සුත්‍රයේ සඳහන් වෙනවා.
“එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, ජොතිපාල මානවක තෙමේ, ‘යහලුව එසේය’ කියා, ඝටීකාර කුම්භකාරයාහට උත්තර දුනි. ඉක්බිති ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද, ජොතිපාල මානවකතෙමේද (කුරුවින්ද පාෂාණයෙන් කළ) නහන සුණු ගෙන දිය නෑමට ගඟට ගියාහුය.
ස්වභාව ධර්මයේ අසිරිය සෞම්‍යබව කොතරම් තද සිතක් වුවද සුමට කිරීමට සමත්. ඒ සුන්දර දිය ජලාශයේ දියනෑමෙන් අනතුරුව ඝටීකාර මිත්‍රයා නැවතත් තම උත්සාහය මුදුන්පත් කරගන්නට උත්සාහ දැරුවේ මෙලෙසින්.
ඝටීකාර මිත්‍රයා
“යහලුව ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමය මේ ළඟය. මිත්‍ර ජොතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම යහපතයයි සම්මත වූයේමය. (එබැවින්) යමුයි,’ කීය.
“මෙසේ ඝටීකාර කොතරම් ඇවටිලි කරනු ලැබුවත් ජොතිපාල නම් අප මහා බෝසතාණන් වහන්සේ නැවත නැවතද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ මෙලසයි.
‘යහලුව ඝටීකාරය, මුඩු ශ්‍රමණයා දැකීමෙන් කුමන වැඩෙක්ද, එයින් වැඩක් නැතැයි, කීය. දෙවනුවද තෙවනුවද ජෝතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීවා. ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද, එයින් වැඩක් නැතැයි’ යනුවෙනුයි.
එතැන් පටන් සියල්ලම වෙනස් වුණා. තම මිතුරාව හොඳින් බැරිනම් නරකින් බුදුන් වෙත ගෙනයායුතු බව ඝටීකාර මිත්‍රයා තේරුම් ගත්තේ සංසරගත යුතුකමක් ඉටුකරන්නට ලද අවස්ථාවක් වගේ. ඔහු එක්වරම බෝසතාණන් වහන්සේගේ දියරෙද්දෙන් අල්ලාගෙන නැවතත් කස්සප බුදුන් වෙත යාමට පැමිණෙන ලෙස බල කරන්නට වුනා. එහෙත් අප මහා බෝසතාණන්ගේ ඉරියව්වකවත් වෙනසක් සිදුවුනේ නැහැ. අවසානයේ ඝටීකාර කුඹල් කරුවට තමන්ගේ කුලය සහ ජීවිත අනතුරත් අමතක වූ ලෙසක් වුණා. ඔහු එක වරම පැන අප මහා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තා. එය ඉහල වංශක්කාර රාජ කුමාරයෙකුට රටේ පහත යැයි පිළිගත් කුඹල් කරුවෙකු විසින් කොහෙත්ම මොනයම් කාරණයක් නිසාවත් කල හැකි ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසාම ඔහුට මරණීය දණ්ඩණයට පවා නියම වෙන්නට තිබුණා යනුවෙන් මට හිතෙනවා. හැබැයි ඒ ක්‍රියාව මේ කතාව වෙනස් මගකට යොමුකලා. බෝසතාණන් වහන්සේ සිතුවේ අප සිතු විදිහට නෙවෙයි. එය මෙලෙස සුත්‍ර පිටකයේ සඳහන් වෙනවා.
ආශ්චර්යකි. පුදුමයකි. (එනම්) යම් කාරණයකින් මේ ඝටීකාර කුම්භකාර තෙමේ පහත් ජාති ඇත්තෙකුවද ස්නානය කළ හිසින් යුත් අපගේ කෙස් වැටිය ඇල්ලීමට තරම් සිතීද, ඒ කාන්තයෙන් මේ කාරණය සුළු දෙයක් නොවන්නේය’, කියා සිතීය. එසේ සිතා ඝටීකාර කුම්භකාරයාගෙන් ‘යහලුව ඝටීකාරය, ඒ කාරණය මෙතරම් උසස් දෙයක්දැයි, (ඇසීය.) ‘යහලුව ජොතිපාලයිනි, ඒ කාරණය එතරම් උසස් දෙයකියි’ උත්තර දුනි. ඒ මාගේ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම එසේම යහපත්යයි සම්මත කරන ලද්දේ වෙයි. ‘යහලුව ඝටීකාරය, එසේනම් (කෙස් වැටිය) මුදව. යන්නෙමැයි’ (කීය).
“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද ජොතිපාල තරුණ තෙමේද භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ඝටීකාර කුම්භකාර තෙමේ භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳ ගත්තේය.
මෙන්න මෙහෙම මහා සටනක් කරලා ඒ මතු බුදුවෙන කල්‍යාණ මිතුරාව කස්සප බුදුහාමුදුරුවන් වෙතට ගෙන එන්නට ඉඩ හැර කස්සප බුදුහාමුදුරුවෝ නිහඬ වී බලා සිටියේ අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ බලය පෙන්වීමටත් ඔහුට ඒ යුතුකම සිදුකිරීමට ඉඩහැරීමටත් කියලයි මට හිතෙන්නේ.