අපේ බුදුහාමුදුරුවෝ 100

 

පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අවසන් නියත විවිරණය ලබාදුන්
කස්සප බුදුහාමුදුරුවෝ 04

අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙලේ අද සියවෙනි කොටස. මම පටන් ගන්නා අවස්ථාවේ කොහෙත්ම සිතුවේ නැහැ මෙය මෙතරම්ම දිග ලිපිපෙලක් වේවි කියලා. එහි අවසානය ගැන තාමත් හිතාගන්නට බැහැ. ඒ කෙසේවෙතත් මේ ලිපි පෙළ මේ තාක් දුරට ලිවීමට හැකි වුයේ මෙය කියවන මාව නිරන්තරයෙන්ම දිරිමත් කරන ඔබ නිසා. ඒ නිසාම මෙය අවස්ථාවක් කරගැනීමට සිතුවා ඔබට ස්තුති කරන්නට. ඇත්තෙන්ම ඔබ සැමට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නේ හද පත්ලෙන්මයි. ඒ එක්කම තවත් සතුටක් වන්නේ මෙම අවසාන ලිපි පෙළ කල්‍යාණ මිත්‍රත්වයෙ අරුත කියා දෙන කතාවක් වීමයි. එය ඔබගේ කල්‍යාණ මිත්‍රත්වයට තුටු පඬුරක්ම වේවා !!!

මිට ඉහත ලිපියේ සම්මා සම්බුදුවරයෙකුටම පමණක් ආවේණික හසිතුප්පාද සිනහව පිළිබඳව චිත්ත විග්‍රහය සුත්‍ර අනුසාරයෙන් හා අභිධර්ම අනුසාරයෙන් ලියනු ලැබුවා. එය මිනිස් සිතට නොපෙනෙන එහෙත් සම්මා සම්බුදුවරයකු විසින් දේශනා කොට පැහැදිළි කරන ලද්දක්. ඒ සිනහව පිළිබඳව දැක්වූ චිත්ත විග්‍රහයම බුදුදහමේ ගැඹුර අර්ථවත් බව කය සහ මනසෙහි සෑම ක්‍රියාකාරිතවයක් කෙරෙහිම බුදුදහම මගින් කෙරෙන නවීන විද්‍යාවට එහා ගිය දැනුම් සම්භාරය සොයාගැනීමට ප්‍රමාණවත් යැයි ඔබට දැන් හැඟෙන්නට ඕනේ. මෙතැන් පටන් ලියවෙන්නේ හසිතුප්පාද සිනහවේ බාහිරින් දිස්වෙන ආශ්චර්යයි.

මිට පෙර ලිපිය අවසන් වුයේ “ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකට විය.” යනුවෙන්. සමහරවිට එය ඔබට තේරෙන්නට හෝ නොතෙරෙන්නට ඇති. මේ පැහැදිලි කිරීම යම් නොදන්නා අයෙක් සිටිනම් ඒ පින්වතුන් සඳහායි.

භාග්‍යවතුන් වහන්සේ විථිසංචාරය කරන අවස්ථාවේ පිටුපසින් ලගින්ම වඩින්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒ එක්කම අනෙකුත් මහා තෙරවරුත් පසුපසින් වඩිනවා මිසක බුදුරජාණන් වහන්සේට ඉදිරියෙන් වඩින්නේ නැහැ.  සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නමක් මෙවැනි  හසිතුප්පාද සිනහවක් නැගූ කල පසු පසින් පැමිණෙන සමහර තෙරුන්ට අවබෝධ වුණ බව පසුගිය ලිපියේ අවසානයේ පල කරනු ලැබුවා. එය  සිදුවන්නේ මෙලෙසයි.

යම් විටක භාග්‍යවතුන් වහන්සේ නමක් සිවු දළදාවන් පෙනෙන සේ මද සිනහා පාන විට  උන්වහන්සේගේ ශ්‍රී දළදාවන්ගෙන් චාතුර්ද්වීවික මහා මේඝ මුඛයෙන් අකුණු සහිත විදුලියක් මෙන් බබලමින් මහතල් කඳක් පමණ වූ රශ්මිමාලා නැගී තෙවරක් උතුම්වූ සිරස පැදකුණු කොට නැවත දළදාවන් වෙත පැමිණ අතුරුදහන් වනු ලබනවා. ඒ සළකුණින් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යමින් සිටියදීම සිනහ  පහල කල බව දැනගන්නවා. එදත් ඒ දෙය එලෙසම සිදුවුණා. බුදුකෙනෙකු එලෙස හිනැහෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එහි නිධාන කතාව අසා දැනගැනීමට ආයුෂ්මත් ආනන්ද තෙරුණුවෝ කල්පනා කළා.

ඉන්පසුව ආයුෂ්මත් ආනන්ද තෙරුන් සිව්ර එකාංශකොට පොරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද ඒ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්‍යවතුන් වහන්සේට මෙලෙස කිවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගතවරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.

බුදුරජාණන් වහන්සේ

“ආනන්දය, මම ඔබට පෙර වූවක් කියන්නම්. මේ ප්‍රදේශයෙහි සමුර්ධවූ සම්පත් ඇති, සැපතින් පිරී ගියාවූ බොහෝ ජන සමූහයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් වේහලිංග නම් නියම්ගමෙක් වුනා.

“ආනන්දය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ ඒ වේහලිංග නම් නියම්ගම ඇසුරුකරමින්  වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කරමින් වාසයකලා”

එවිට මෙය ටිකක් දීර්ග දේශනාවක් බව දැනගත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ  දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේට මෙලෙස කීවා; “ස්වාමීනි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ හිඳිනාසේක්වා.

එවිට භාග්‍යවතුන් වහන්සේ “මේ බිම් කොටස අර්හත්වූ සම්‍යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභෝග කරණ ලද්දේ වන්නේයයි” පවසමින් පැණවූ අස්නෙහි වැඩහිඳිමින් ආනන්ද හාමුදුරුවන්ට මෙලෙසින් ඒ අතීත කතා ප්‍රවෘත්තිය දේශනා කරන්නට වුනා.

“ආනන්දය, පෙර දවස මේ ප්‍රදේශයෙහි ධනයෙන් පිරුණු සැපතෙන් පිරීගිය බොහෝ ජනයන් ඇති, මිනිසුන්ගෙන් ගහණවූ වෙහලිංග නම් නියම්ගමක් වුණා.

“ආනන්දය, මේ වේහලිංග නම් නියම්ගම ඇසුරුකොට භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ වැඩ සිටියා. ආනන්දය, මෙහි  භගවත් අර්හත් කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ ආරාමයද පිහිටා තිබුණා. ආනන්ද, මෙහි වැඩහුන්නාවූ භගවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද අනුශාසනාද කරනු ලැබුවා. “

“ආනන්දය, වේහලිංග නම් ගමෙහි භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භකාරයෙක් ජිවත් වුණා. ඔහු කාශ්‍යප සම්‍යක් සම්බුදුන්ගේ අග්‍රවූ උපස්ථායක ද වුණා.

“ආනන්ද, ඝටීකාර නම් කුම්භකාරයා හට යහළුවූ ජොතිපාල නම් තරුණයෙක්ද සිටියා. ඔහු ඉතාමත් ප්‍රියවූ යහළුවෙක්. ඒ කාලයෙහි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මානවකයාට මෙලෙස ආමන්ත්‍රණය කළා.

“යහළු ජෝතිපාලය, භාග්‍යවත්වූ අර්හත්වූ කාශ්‍යප සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේ වැඩසිටින්නේ මේ ආසන්නයේ. අපි උන්වහන්සේ බැහැ දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය . එබැවින් යමු’යි  කිවා.

“ආනන්දය, මෙසේ කීකල්හි ජෝතිපාල මානවක තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙලෙස පිළිතුරු දෙනු ලැබුවේ බුදුන් දැකීමට යාමට හිත තුල තිබු ප්‍රභල අකැමැත්ත ප්‍රකාශ කරමින්. ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැත, මට එන්නට බැරිය. ඔබම යන්න.”

ඝටීකාර දෙවනුවත් තෙවනුවත් මෙලෙසින්ම ඇවිටිලි කලත් ජෝතිපාල මානවකයාගෙන් ලැබුනේ එකම පිළිතුරයි.  ‘මිත්‍ර ඝටීකාරය, ඒ මුඩු ශ්‍රමණයා දැකීමෙන් කවර නම් ප්‍රයෝජනයෙක්ද, ඉන් කම් නැහැ.  මට නම් කොහොමටවත් එන්නට බැරිය. ඔබම යන්න.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේට “ඒ මුඩු ශ්‍රමණයා” යනුවෙන් නින්දා අපහාස කල ජෝතිපාල මානවකයා කවුරුදැයි ඔබ දන්නවාද? ඒ තමයි ගෞතම බුදුරජුන් නමින් බුදුවීමට පාරමී පෙරූ අප මහා බෝසතාණන් වහන්සේ.  ඒ තමයි කල්ප කාලාන්තරයක් බුද්ධත්වය සඳහා පෙරුම් පුරමින් පැමිණි අප මහා බෝසතාණන් වහන්සේගේ අවසන් නියත විවරණය ගත යුතු ආත්මභාවය. සසර කොතරම් ප්‍රයෝගකාරිද? එවන් පුණ්‍ය මහිමයක් කරපින්නා පැමිණි බෝසත් වරයෙකුගේ චිත්ත සන්තානය ඒ තරමටම  වෙනස් කල හැකි නම් අප ගැන කුමන කතාද? එයම සිත තබාගෙන අදටත් ධර්මයට ගරහණ ඇතැම් යාලුවන්හට නින්දා පරිභව කිරීම වෙනුවට ඔවුන්ව ධර්ම මාර්ගයට අවතීර්ණය කරගන්නට උත්සාහ ගන්න. මොකද සමහරවිට ඔවුන් ඔබට කලින් ධර්මය අවබෝධ කරගැනීමට මෙන්ම මේ අති භයංකාර ඝෝර සසරෙන් එතෙර වන්නට තරම් පින් ඇති අය වෙන්නට පුළුවන්. එයම තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. එයම තමයි අප කාගේත් විමුක්ති මාර්ගයේ දොරටුව වන්නේ. එයම තමයි පරම යුතුකම වන්නේ.

බුදුපියාණන් වහන්සේත් එය මෙලෙස සෝතාපත්ති මාර්ගාංගයක් ලෙස පෙළ ගස්වා තියෙනවා.

  1. කල්‍යාණ මිත්‍ර ඇසුර.
  2. ඒ මගින් සත්ධර්මශ්‍රවණය,
  3. ඒ තුලින් යෝනිසෝමනිසිකාරය,
  4. අවසානයේ ධම්මානුධම්ම පටිපදාවට මගින් සෝතාපත්ති මාර්ගයට පිවිස මෙම සසරින් එතෙර වීම සඳහා උඩුගම් බලා පිහිණීම.

ඔබ වෙතින් ඔබ යහළුවන් හට කොතරම් මේ යුතුකම ඉටු වුනාද? එලෙස ඔබගේ කල්‍යාණ මිත්‍රත්වය ඔබටම මැන බලන්නට පුලුවන්.