භාග්‍යවතුන් වහන්සේ විසින් මේ (සච්චක ) නිගණ්ඨයාට ( චූළසච‍්චකසුත‍්ත, මහාසච‍්චකසුත‍්ත) සූත්‍ර දෙකක් වදාරණ ලදී. පළමු සූත්‍රය එක් බණවරෙක. දෙවන සූත්‍රය දෙදෙඩ බණවරකි. මෙසේ අඩු තුන් බණවරක් අසාත් මේ (සච්චක ) නුවටුවා අධිගමයට නො පැමිණියේය. සරණයෙහි නො පිහිටියේය. මොහුට භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් දහම් දෙසූ සේක්ද, අනාගතයෙහි යහපත සඳහාය. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක. මොහුට දැන් වැඩක් නැත. එහෙත් පිරිනිවනින් පසු අවුරුදු දෙසීයක් ඇවෑමෙන් තම්බපණ්ණි දීපයේ බුදු සසුන පිහිටන්නේ ය. එහි මොහු එක් කුලගෙයක ඉපිද, පැවිදිව ත්‍රිපිටකය උගෙන විදසුන් වඩා සිව්පිළිසිඹියා පත් රහත්බවට පැමිණ කාලබුද්ධ රක්ඛිත නම් ක්‍ෂීණාශ්‍රවයන් වන්නේ ය. මේ අනාගත වාසනාව සම්පත බලා දහම් දෙසූ සේක්.
හෙතෙමේ ද තම්බපණ්ණි දිවයිනේ සසුන් පිහිටි කල දෙව්ලොවින් චුතව දකුණුගිරි වෙහෙර ගොදුරු ගමෙහි එක් ඇමති කුලයක උපන්නේ, පැවිදි වීමට සුදුසු සමයේ පැවිදිව, ත්‍රිපිටක බුද්ධවචනය අසා උගෙන, සංඝ සමූහයා පිරිවර කොට ඇතිව උපාධ්‍යායන් වහන්සේ දක්නට ගියේය. ඉක්බිති උපාධ්‍යායයන් වහන්සේ අතවැසියාට චෝදනා කරමින්, ත්‍රිපිටක ධර්මධරව පැමිණි ඔහු සමග කථා නො කළේය.
හෙතෙම සවස්භාගයේ තෙරුන් සමීපයට ගොස් ස්වාමීනි, මා ත්‍රිපිටක ග්‍රන්ථධරව ඔබවහන්සේ සමීපයට ආ වේලේ සිනා සී කථාවක්වත් නො කරයි. මගේ කවර දෝෂයක්දැයි විචාළේය. උපාධ්‍යායයන් වහන්සේ මෙසේ වදාළහ. ඇවැත් බුද්ධරක්ඛිතයෙනි, ඔබ ත්‍රිපිටකධාරී වූ පමණින් ප්‍රවෘජ්‍යා කෘත්‍යය සම්පූර්ණ කළේයයි සිතන්නේද, ස්වාමීනි කුමක් කරන්නේද, ‘සමූහවාසය අත්හැර, ප්‍රපඤ්චයන් සිඳ වාකිරිගල විහාරයට (වාත=වා, කසිතපබ්බතවිහාරං – කිරිගල්පව් වෙහෙර) ගොස් මහණදම් පුරව. හෙතෙම උපාධ්‍යායයන් වහන්සේ ගේ අවවාදය පිළිගෙන එසේ විදසුන් වඩා සිව්පිළිසිඹියාපත් මහරහත් බවට පැමිණ රාජපූජිතව මහා සඟ ගණ පිරිවරා සෑගිරි) පව්වෙහි විසීය.
එකල තිස්ස මහාරජු උපසම්පදා කර්මය කරවන්නේ චේතිය පර්වතයේ රාජලෙණෙහි වසයි. සද්ධාතිස්ස රජු තෙරුන්ගේ උපස්ථායක භික්‍ෂුවක් මගින් මෙසේ දැන්වීය. ‘යම් කලෙක බුද්ධරක්ඛිත හිමියන් දහම් පැන විසඳන්නේ ද, එ දවස මට ද දැනුම් දෙන්නැයි කීය. අද මගේ පැණ විසඳන දවසයි. බණ ද කියන දවසයි. මේ පණිවුඩය රජුට දෙන්නැයි කීහ. තෙරුන් වහන්සේ ද එදින ධමශ්‍රවණය සඳහා භික්‍ෂූන් රැස්වූ කල්හි, භික්‍ෂු සංඝයා පිරිවරා කණ්ටක චෛත්‍ය මළුවට පැමිණ සෑය වැඳ කලුතිඹිරි රුක්මුල සිටියේය. ඉක්බිති එක් පිණ්ඩපාතික තෙර නමක් කාළකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් විචාළේය. ස්ථවිරයෝ ඇවැත්නි, අද බණ කියන දවස නොවේද, එසේය ස්වාමීනි. අද බණ කියන දවසයි. එසේනම් ආසනයක් ගෙන එන්නැයි කියා, මෙහිම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන්නෙමියි, ඒ ගසමුලම අසුන් පණවා දුන්හ. ස්ථවිරයන් වහන්සේ පූර්වගාථා වදාරා කාළකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාව ඇරඹීය.
උන්වහන්සේ උපස්ථායක තෙරණ ඒ බව රජුට දැන්වීය. රජු පූර්ව ගාථාව අවසන් වන්නට කලින්ම එහි පැමිණියේය. පැමිණ අප්‍රසිද්ධ වේශයෙන් පිරිස් කෙළවර සිට තුන්යම පුරා ධර්මය අසා, තෙරුන් වහසේ ‘ඉදමවොච භගවා’යි කී කල්හි රජු සාධුකාර දුන්නේ ය. තෙරුන් වහන්සේ ඒ රජු බව දැන මහරජ, කොයි වෙලේ ආවේද ඇසීය. ස්වාමීනි, පූර්වගාථා අවසන් වන්නට පෙර පැමිණියෙමි යි කීය. මහරජ, ඔබ විසින් මහා අමාරු දුෂ්කර කාරියක් කළේය. නැත ස්වාමීනි, එවැනි දුෂ්කර කාර්යයක් නොවේ. යම්කිසි අයුරකින් ආර්යයන් වහන්සේ බණ දේශනාව ඇරඹු තැන් සිට එක පදයක්වත්, මට අමතක වී ගියේ නම් මේ තම්බපණ්ණි දීපයේ එක් කෙවිටක් ගහන ප්‍රමාණයකද මගේ රජ බවක් නොවේවයි දිවුළේය.
ඒ සූත්‍රයෙහි බුදුගුණම විස්තර කර දක්වන ලදී. එහෙයින් රජතුමා විචාළහ. ස්වාමීනි, බුදුගුණ මෙතෙක්මද, නොහොත් තවත් ඇත්ද, මහරජ, මා විසින් කියන ලද්ද ටිකය. නොකියූ බුදුගුණ බොහෝය. උපමාවක් කිව මැනවි. අමුණු දහසක් පමණ වූ හැල්කෙතක එක හැල් කරලකට වඩා ඉතිරි හැල් බොහෝ වෙත්ද, එපරිද්දෙන් මා කී ගුණ ටිකය. ඉතිරි ගුණ බොහෝය. ස්වාමීනි, තවත් උපමාවක් කිව මැනවි. මහරජ, යම්සේ සැඩ පහරින් පිරුණු මහා ගංගාවෙහි, ඉඳිකටු සිදුරක් තරම් කාණුවක් ගිය දිය ටිකක් වේද ඉතිරි දිය බොහෝ වේ ද එපරිද්දෙන් මා විසින් කී ගුණයෝ ටිකය. මා විසින් නොකී ගුණයෝ බොහෝ වෙති. ස්වාමීනි, තවත් උපමාවක් කියනු මැනවි. මහරජ, වැහිලිහිණි අහසේ පියාසර කරන තැන් බොහෝ වේද, අහස බොහෝ වේද, ස්වාමීනි, කුමක් වදාරයි ද, වැහිළිහිණියා පියාපත් සරණ තැන් ඉතා ටිකය. අහස බොහෝය. එපරිද්දෙන් මහරජ, මා කී බුදුගුණ ඉතා මදය. සෙසු ගුණයෝම බොහෝය.
ස්වාමීනි මනාකොට පැහැදිලිව කියන ලද්ද අනන්ත වූ බුදුගුණ අනන්ත වූ අහස සමගම සසඳන ලදහ. අපි ඔබවහන්සේට පැහැදුනෙමු. එසේ වුවත් සුදුසු පූජාවක් කරන්නට නො හැක්කෙමි. මගේ මේ දුගී පූජාවෙක. මේ සියක් යොදුන් තම්බපණ්ණි දිවයිනේ රාජ්‍යය ඔබවහන්සේට පුදමි. මහරජ, ඔබ විසින් පැහැදුනු ආකාරය කරන ලද, අපට තොප දුන් රජය තොපටම දෙමි. මහරජ, දැහැමෙන් සෙමෙන් රජය කරනු මැනවි.