Ape Budu Hamuduruwo 01-50

පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවානම්
මා හට කමා කරනු සේක්වා!!
සාදු සාදු සාදු !!

“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නේමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සදහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මනෝරි අතපත්තු මහත්මිය ඇතුලු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත් ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැපසහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!

අපේ බුදුහාමුදුරුවෝ 01

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 01

( බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්‍රී ආත්ම භාවය යැයි අනුමාන කරනු ලබන වෘත්තාන්තය )

බුදු කෙනෙකුගේ ගුණ සමුදාය තවත් බුදුන් වහන්සේනමක් විසින් අනිකක් නො වදාරමින් කල්පයක් මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහිම නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කීම අවසන් නොවන බව දක්වා තියෙනවා. ඒ උත්තරීතර වූ බුද්ධ ගුණය අනන්තය. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද නොදන්නා වූ බොහෝ බුදු ගුණ ද තියනව බව සඳහන් වෙනවා. එසේනම් අප ගැන කුමන කතාද? මෙම උත්සාහය අප බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ කාලය තුල කරනු ලැබූ කැප කිරීම්, පරිත්‍යාග, උට්ඨාන වීර්ය අප වෙනුවෙන් පෑ මහා කරුණාව ආදී අනේක විදි ගුණ ධර්ම පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමය. ඒ මගින් අපගේ බුදු පියාණන් වහන්සේගේ මෙන්ම නියත විවරණ ලබා දුන් අනෙකුත් බුදුපියාණන් වහන්සේලා පිළිබඳවද ඔබ නොදත් බොහෝ කරුණු දැන ගත හැකිවනු ඇත. එමගින් බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ඒ අවබෝධය තුලින් හදපත්ලෙන් නැගෙනා මහත් වූ ගෞරවාදරයෙන් ම මින් මතුවට පසඟ පිහිටුවා වැඳීමට මෙන්ම, සියලු ප්‍රත්‍යන් දොහොත් මුදුනින්  පිළිගැන්වීමටද පසුබටු නොවනු නොවනුමානය.

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 01

මේ කතාව ලියන්න ප්‍රථම බොහෝ වෙලා කල්පනා කළා. ඊට හේතුව සැළකිය හැකි මුලාශ්‍රයක් නැති කමයි. ඒත් සුප්‍රසිද්ධ ධර්ම කථිකයන් වහන්සේලා විසින් නිරන්තරයෙන්ම දේශනා කරනු ලබන මෙම කතා වස්තුව ත්‍රිපිටකයේ හෝ අට්ඨ කතාවන්හිද පන්සීය පනස් ජාතක කතාවන්හිද  නැති සුප්‍රසිද්ධ කතාවක්. මා විසින් කරනු ලැබූ පෞද්ගලික සොයා බැලීම් වලදී සංස්කෘත කෘතීන් තුනක රූපවතී යනුවෙනුත්, අපේ ජාතක පොතේ නැති ’ඉති බිසෝ ජාතකය’ යනුවෙන් හැදින්වෙන ජාතක කතාවෙහි ඉති කුමරිය ලෙසත්, ජනකාල මාලි, සීමා විසෝදනී පාඨ යන කෘති වලත් අන්තර්ගත බව දැන ගන්නට ලැබුණා.

අපේ අටවිසි බුදුවරුන්ටත් පෙර සොළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් පාරමී දම් සපිරූ බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලොව පහළ වී සිටියා. නියත විවරණ ලබාදුන් දීපංකර බුදුපියාණන් වහන්සේත් සිටින නිසා ඒ බුදුහාමුදුරුවන්ට පුරාණ දීපංකර බුදුහාමුදුරුවෝ කියලත් තවුසා පුරාණ දීපංකර බුදුන්ට තෙල් ගෙන ගොස් පුජා කිරීම සිදු කළා.

එක් දිනක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයා ගන්නට බැරි වුණා. ඒක නිසාම දීපංකර තාපස තුමාට  රජමාලිගාවට තෙල් සොයාගෙන යන්න සිදී වුනා. එකල රූපවතී නොහොත් ඉති කුමාරි මේ රජ මැදුරේ සිටි කුමාරිකාවක්.  ඇගේ සිය ඥාති සොයුරා තමයි  පුරාණ දීපංකර බුදුන්වහන්සේ. ඇය ඒ වනවිටත් බොහෝ පින්දහම් කරමින් සිටියේ. ඒ බුදු බව අපේක්‍ෂාවෙන්. එක සංසාරෙන් ගෙනා පාරමිතාවක් නිසා කුමන ලිංගත්වයක් ලැබුවත් අධිෂ්ඨානය හීන වෙන්නේ නැහැ. ඒ වනවිටත් නියත විවරණ ලබන්න පාරමිතා සම්පුර්ණ වී තිබුනේ නැහැ. ඇය ඒ වනවිටත් බඩගින්නේ සිටි දරුවෙකුට තම පියයුර කපා බඩගින්න නිවාලන්න දන් දී තිබූ බව රූපාවති ඉංග්‍රීසි පරිවර්තනයේ මම කියවූවා. ඒ කෙසේවෙතත් ඒ තරම් උදාර ස්ත්‍රියක් වූ කුමාරිකාව  නොපැකිළිව අබ තෙල්  ගෙනවිත් තාපසයා වෙත දෙනු ලැබුවා. එම අවස්ථාවේ දී ඇය විසින් තමන් තුළ ද මතු බුදු බව ප්‍රාර්ථනා කිරීමට ඇති අතිමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුන්ට දැනුම් දෙන ලෙසත් පවසනු ලැබුවා. එලෙස රජ මැදුරේ කුමරියක වී පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේට සිද්ධාර්ථ තෛලය පූජා කළේ, අප ගෞතම බුදුපියාණන් වහන්සේමයි.

අපේ දීපංකර බුදුපියාණන් වහන්සේ ඒ පණිවිඩය පුරාණ බුදුපියාණන් වහන්සේට දැන්වුවත් ඇයගේ ස්ත්‍රී භාවය නියත විවරණයකට බාධාවක් බව උන්වහන්සේ දන්වා සිටියේ මතුවට ලැබීමට ඇති නියත විවරණ  පුර්ණය සඳහා අවැසි ස්ත්‍රී ආත්මයෙන්  මුදවන්න වෙන්න ඇති. පලවෙනි නියත විවිරණයට කියනවා “අභිණිහාරය” කියලා.  ඒ සඳහා අංග අටකින් පරිපූර්ණ විය යුතුයි.  ඒ තමයි

(1) මනුස්සත්ත,
(2) ලිංගසම්පත්ති,
(3) හේතු,
(4) සත්ථාර දස්සන,
(5) පබ්බජ්ජා,
(6) ගුණසම්පත්ති,
(7) අධිකාර,
(8) ඡන්දතා යන අංගයි.

ලිංගසම්පත්ති යනු පිරිමි බවය. පිරිමියකු මිස ගැහැනියක් කවදාවත් බුදු වෙන්නේ නැහැ. ඒ නිසා ස්ත්‍රී නපුංසක පණ්ඩකාදීන් ව සිට කරන ප්‍රාර්ථනය සිදු වන්නේ නැහැ.  ප්‍රථම ප්‍රාර්ථනය පුරුෂත්වයේ සිට ගෙන ම කළ යුතු ය. බුදු බව පතනු කැමති ස්ත්‍රීන් විසින් පිරිමි බව පතා පින් කොට පිරිමියකු වී බුදු බව පැතිය යුතු බව උන්වහන්සේ වදාරා සිටියා.

මේ කාරණය කන වැකුණු ඉති කුමරිය ශෝකයටත් කම්පනයටත් පත්වුණා. පුජා කිරීමට සැකසූ අබ තෙල් තම ශරීරයේ වත්කොට ගිනි තියාගත්තා.

අපේ බුදුහාමුදුරුවෝ 02

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 02

ඇත්තෙන්ම “අපේ බුදුහාමුදුරුවෝ යන ලිපි පෙළ මම ලියන්න පටන්ගන්න හිටියේ ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දුරේ නිධානයෙන්. දුරේ නිධානය කියන්නේ ප්‍රථම නියත විවරණයේ සිට බෝසතුන්ගේ මෙලොව බිහිවීම දක්වා ඇති කොටසට. එත් හදිසියේම ගෞරවනීය අරියවිමල හිමිපාණන් වහන්සේ පළමුදා කතා කොට මොනයම් හෝ හේතුවකට ඉති කුමාරිගේ කතා වෘත්තාන්තය මගෙත් එක්ක කිවා. එවිටයි මට හිතුනේ මම පටන් ගන්න ඕනේ මෙතනින් කියලා. උන්වහන්සේටත් අප්‍රමාණ පින්.

ඒ එක්කම,  තවත් එක් පණිවිඩයක් විශේෂයෙන්ම පුරුෂ අධිපත්වයෙන් හිස උදුම්මාගත් සමහර ගිහි පැවිදි පුරුෂ පාර්ශවයටත් මෙයින් ලැබෙනවා.  ඒ තමයි කල්ප කෝටි ගණනක් පෙරුම් පුරමින් ලොව්තුරා බුද්ධත්වය සඳහා යන බෝසතුන් වහන්සේලාටත් නියත විවරණ ලබනාතුරු ස්ත්‍රී අත්මභාවයෙන් ගැලවීමක් නොවන බව. එය සනාථ වන්නේ විශ්වාසණීය  මුලාශ්‍රයක් නැති රුපවතියගේ නොහොත් ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දීපංකර විවරණයේ දී අභිණිහාරයට පරිපූර්ණ විය යුතු ලිංගසම්පත්ති යන කරනාවෙනුයි. එයත් සිතේ තබාගෙන ඉතිරිය කියවන්න.

ස්ත්‍රීභාවය බුදුබව සඳහා ලබන නියත විවරණයට බාධාවක් බව කන වැකුණු ඉති කුමාරි නොසිතු ලෙස ඇති වූ ශෝකයෙන් හා කම්පනයෙන් බුදු හාමුදුරුවන් වෙනුවෙන් සැකසු අබ තෙල් වතෙහි ලා ගිනි තබා ගැනීමට උත්සාහ කරා කියන තැනින් තමයි ඉවර කලේ. ඒත් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙය දිවසින් දැක බුද්ධ ආනුභාවයෙන්  ගිණි ඇවිලෙන්න ඉඩ හැරියේ නැහැ. ඇය ගිනි තබාගන්න කොතරම් උත්සාහ කලත් ගිණි ඇවිලුණේ නැහැ. සිය දිවි නසා ගැනීම බුද්ධත්වයට හෝ ස්ත්‍රී භාවයෙන් නික්මයාමට ආධාරයක්  නොවන බව මහා කාරුණිකයන් වහන්සේ ඉමහත් වූ මෛත්‍රියෙන් බුද්ධ වචනයෙන් ඇය හට ශ්‍රවණය වෙන්න සැලැස්සුවා. ඉන් පසුවයි ඇයට  සිහි එළඹුනේ. ඒ මොහොතේම ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙත යන්නට පිය මැන්නා.

ඒ බුදුවරයෙකුගේ සහ මතු බුදුවරු දෙදෙනෙකුගේ අහඹු හමුවක්. ඒ මතු බුදුවරුන් දෙදෙනාගේ කෙනෙකු ස්ත්‍රියක් කෙනෙකු පුරුෂයෙක්. දීපංකර බෝසතාණන් වහන්සේ ලෞකික භූමියෙන් නික්ම ලෝකෝත්තර ශ්‍රී විභූතිය විදහාපාමින් තපසෙකු ලෙස එක් පසෙක. අපේ බෝසතාණන් වහන්සේ ලෞකික ශ්‍රී විභූතියෙන් අගතැන්පත්ව දිව්‍යමය ස්ත්‍රී රූපයකින් රාජ කුමරියක් ලෙස තවත් පසෙක. එහෙත් දෙදෙනාගේම චිත්ත සන්තානයේ අරමුණු ඒකක්ව දෙපසක. ඒ බුද්ධත්වය. පුරාණ දීපංකර බුදුන් මෙම දෙපාර්ශවයටම අනුග්‍රහ කරමින් සවණක් රැස් විහින්දවමින් නිහඬව.  

ඉති කුමාරිගේ නිලිපුල් දෑසින් කඳුළු කැට දෝරේ ගලනවා.

පුරාණ බුදුපියාණන් වහන්සේ හඬ අවදිකලා.

නැගෙණිය, ඔබ අද කඳුළු සලන්නේ තුන් ලෝකයක් නිවා සැනසීමට. ඒ වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි ඔබ මතු දිනක ප්‍රථම නියත විවරණ ලබන්නේත් මේ ඔබ ඉදිරියෙන් සිටිනා තාපස තුමාගෙන්.  එවැනි නියත විවරණයන් සඳහා මින් ඉදිරියට ඔබ ස්ත්‍රී ආත්මයෙන් මිදිය යුතයි.

ඉති කුමරියේ හඬ අවදි කලේ මේ වෙලාවේ – අවසරයි භාග්‍යවතුන් වහන්ස, ඒ සඳහා කලයුත්තේ කුමක්ද ? 

පුරාණ දීපංකර බුදුපියාණන් – ඔබ වැනි සුකුමාල ස්ත්‍රියකට එය පහසු කටයුත්තකුත් නෙවෙයි. එහෙත් ඔබ මෙතෙක් කල් පිරූ  පාරමී ඒ සුකුමාලත්වය පරයා යාවි. ඔබ මතු බුදුවන බෝසත් වරියක්. ඒ බෝසත් ගුණය ශක්තිය මොට කරන්න ස්ත්‍රිභාවයට බැහැ. එම නිසා මෙම කරණයත්  ඔබට පාරමිතාවක් වේවි. 

ඉති කුමරිය – එසේමයි භාග්‍යවතුන් වහන්ස. එය මොනයම් අභියෝගයක් වුවත් ජයගැනීමේ චිත්ත ශක්තිය බලය මා සතුයි.

පුරාණ දීපංකර බුදුපියාණන් – පින්වත් නැගෙණිය මෙය හොඳින් අසන්න. නැළියක් පුරවා අබ ඇට ගන්න. ගවුවකට එක අබ ඇටයක් බැගින් දමමින් යන්න. අවසාන අබ ඇටය හෙලන තැන මුණ ගැසෙන නිවසෙහි පුරුෂයා හා විවාහ වන්න. එන සෑම බාදක ප්‍රශ්න අමතක කොට ඔහුට හොඳින් සළකන්න. යම් දිනයක් ඒවි ඔහුගේ මුවින්ම ඔබට ආශීර්වාද කරන. ඒ ආශීර්වාදය වන්නේ මින් මතු ආත්මභවයන්හි  ස්ත්‍රියකට ආවේනික දුක් නොවිඳ  පිරිමි ආත්ම භාවයක් ලබන්න යනුවෙනුයි. ඒ ආශීර්වාදය සඵල වන්නේ ඔහුගේ පුණ්යවන්තභාවය නිසා නොව ඔබගේ දසපාරිමිතා ගුණය ඒ කාලයේදී ඉස්මතු වීමෙන්.

සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ යුතු වනවා. ඒ සියල්ලටම මුල්වන  අධිෂ්ඨාන පාරමිතා සහ වීර්ය පාරමිතාවන් සසර පුරා වඩා සිටි ඒ බෝසත් චරිතයට එය අභියෝගයක් වුනේ නැහැ කොහොමටවත්. 

ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේට  පසඟ පිහිටුවා වැන්දා. ඊට පස්සේ දීපංකර තවුසාණන් හටත් වැන්දා. ඒ සුකුමාල පාද පෙරට තියා නැගී සිටින විට මුළු පෘතුවි තලයම සෙලවී යන්න ඇති. ඒ තරම් ම අධිෂ්ඨාන ශක්තියක් ඒ ඉදිරියට තිබු පියවරේ ගැබ්වෙලා තිබුනා. මෙය කියවන ඔබත් ගැහැණියක් විය හැකියි. අධිෂ්ඨානය ප්‍රබලම නම් ස්ත්‍රීභාවය බුද්ධත්වයට පැමිණීමට පවා බාධාවක් වන්නේ නැහැ.

අපේ බුදුහාමුදුරුවෝ 03

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 03

පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙතින් නික්ම රජමාළිගයට ගිය ඇය තම අභිලාශය ඉෂ්ඨ කරගන්න යායුතු දුෂ්කර ගමන යෑමට සැරසුණා.  ඇය සුකුමාලත්වය පසෙකළා මහා පෞරුෂත්වයකින් ඒ භාරදුර කටයුත්ත සඳහා පිටව ගියා.  ඒ කියූ ආකාරයට දින සති මාස පසු කරමින් අබ ඇට ගව්වුවට එක බැගින් දමමින් යන්න කොතරම් කාලයක් ගතවන්න ඇතිද?  ඒ මෘදු පාද ගැන හිතන්න. ලේ වැගිරෙන්න ඇති.  අවසානයේ අන්තිම අබ ඇටය ඉතිරි වන තෙක් ඒ සංසාරික ප්‍රාර්ථනාව ලුහුබැන්දා. අවසානයේ ඒ දෛවෝපගත අබ ඇටය ඉතිරි වුනේ රජමාලිගාවක් අසල නෙවෙයි. එඬේරෙකුගේ දුප්පත් පැලක් ඉදිරියේ. ඇය ඒ දූගී පැල්පතට ගියත් කිසිවෙක් හිටියේ නැහැ. දැන් වගේ දොරවල් වසා තිබුනෙත් නැහැ. අනෙක එඬේරුකුගේ ගෙදර මොනවද ගන්න තියෙන්නේ.

අවසානයේ  නුහුරු දෑතින් අවුල් වී තිබුන මුළු නිවසම පිළිවෙල කළා. ගෙදර ඉතිරිව තිබූ ධාන්‍ය වලින් රෑට කෑමත් සදා නිමකළා. කළුවර වැටෙන්න ආසන්නයේ තමයි  දවසේ වැඩ නිමවී ඒ වියපත් ගොපල්ලා නිවසට පැමිණියේ. ප්‍රථමයෙන්ම ඔහු හොඳටම බිය වුනා. මෙතරම් තේජාන්විත ස්ත්‍රියක් දැකීමෙන් බිය වීම පුදුමයට කරුණක් නෙවෙයි. ඇය කාරුණිකව දන්වා සිටියා ඇයව තමන්ගේ බිරිඳ ලෙස සලකන හැටියට. ටික වේලාවකට පසු  වෙනයම් අනතුරක් නැති බව තහවුරු කරගත් ඔහු ඇයගේ ආරාධනය පිළිගත්තා.

ඔහු සේවය කලේ ඒ පළාතේ සිටි ධනවත්ම සිටුවරයා ළඟ. ඔහු කලේ සිටුවරයාගේ  සතුන් බලාකියා ගැනීමයි. පසුදින ඔහු සේවයට යනවිට ඉති කුමරිය ඔහුට බත් මුලක් බැඳ දෙන්න අමතක කරේ නැහැ. ඒ නිසාම ඔහුට එදා සිට සිටුවරයාගේ මාළිගාවෙන් දිවා අහාරය ඕනේ උනේ නැහැ. ඔහු ඒ වෙනුවට වේලාසන ගෙදර යාමට අවසර ඉල්ලුවේ අලුත් බිරිඳක් ගෙදර ඉන්න නිසා. එක අහලා සිටුවරයට හොඳටම තරහා ගියා. එහෙනම් හෙට ඉඳන් උඹ ගෙදරම හිටපන් කියල රැකියාවෙන් පහකළා. ඒ කාලේ එහෙමයි. තීරණය සාධාරණ උනත් නැතත් නැවත වෙනස්වීමක් වෙන්නේ නැහැ. ඔහු පහුවදා ගෙදර ආවේ රැකියාවත් අහිමි වෙලා.

ඉති කුමරියගේ ප්‍රඥාවට විර්‍යයට පුණ්‍ය බල මහිමයට ඒවා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇය ඔහුට මෙහෙම කිවා.  හෙට ගිහින් හොයාගෙන එන්න පුරන්වී අතහරිනු ලැබූ හිස් ඉඩමක්. එවිට ඔහු කිවා. මට මේ පළාතේ ඉඩම් හොයන්න දෙයක් නැහැ. අඟලක් ගානේ දන්නවා සත්තුත් එක්ක ඇවිදලා. එවිට දේවිය මෙහෙම කිවා. එහෙනම් ඔබ හෙට උදෙන්ම ගොසින් ගම්වාසීන්ට කියන්න ඒ පුරන් වෙච්ච් ඉඩමට තමන්ගේ ගවයන් ගෙනත් බඳින්න මම බලාගන්නම් කියල. ඔහුද ඉතාමත් කීකරුව ඒ පණිවිඩය ගමට ලබා දුන්නා. අවසානයේ ගවයන් දහස් ගණනක් එම භුමියේ බඳිනු ලැබුවා. ඔවුන්ගේ පයට පෑගීමෙනුත්, ගව මුත්‍රා වලිනුත්  ඒ පස බුරුල් වුනා පමණක් නෙවෙයි ගොම තැවරීමෙන් භුමිය සාරවත් වෙන්න පටන් ගත්තා. මිනිසුන්ගෙන් ඒ සඳහා යම් දීමනාවකුත් ලැබෙන්න ඇති. දැන් අවශ්‍ය බීජ පමණයි. කුමරිය ඒකටත් පිලියමක් යෙදුවා. හෙට යන්න ඔබ සේවය කල සිටුවරයා ලඟට. ඔබ කල සේවයට ගරු කිරීමක් වශයෙන් බිත්තර වී ටිකක් ඉල්ලන්න ණයට. ඔහුත් ඒ කියූ අයුරින්ම මාළිගයට ගොස් සිටුතුමා හට කාරණය සැලකොට සිටියා. ඒ වනවිටත් ඔහුගේ තරහා හිතෙන් තුරන් වී තිබුනේ නැහැ. ඔහු සරු බිත්තර වී වෙනුවට අයින් කොට තිබු බෝල් වූ බිත්තර වී ඔහුට දෙනු ලැබුවා. කවමදාවත් වගා කටයුතු කොට පළපුරුද්දක් නොතිබූ ඔහු ඒ ගැන නොදැන ගෙදර ගෙනවිත් පසුව පස සකස් කොට සිටවනු ලැබුවා.

අවසානයේ ඒ බොල් වී අතර හොඳ තත්වයේ තිබූ වී පැල වෙනවා. ඒ ගොයම පැසුනට පස්සේ ඒවා කපලා ගොයම් කොලයක් ගහන්න කියලා කුමරිය කියනවා. ගොපල්ලත් එලෙසම කරනවා. කුමරිය ඒ වී ටිකෙන් ටික පාගන්න පටන්ගන්නවා. ඇයගේ පුණ්‍ය මහිමයට වී ඇට වලින් පිටවෙන්නේ මුතු ඇට. ඒ මුතු සිටු වරයට දීලා වී වලට මාරුකරගන්නවා. එලෙස පාගන හැම වී ඇටයක්ම මුතු බවට පත්වෙනවා. අවසානයේ සිටුවරයාගේ ධාන්‍යාගාරයේ වී නැතිවෙනවා මුතු වලට මාරු කරන්න. ඔවුන් ඒ මුතු විකුණා කුඩා සිටු මාලිගාවක් ගන්නවා පිරිහුණ සිරුවරයකුගේ. මෙලෙස දවසින් දවස දියුණුවට ගොස් රටේ ධනවත්ම සිටුවරයා බවට පත්වෙනවා. 

පුණ්යමහිමය කියන දේ හරිම පුදුමයි. එය තමන්ගේ සෙවනැල්ල වගේ පසු පසින් එන දෙයක්. සුපුරුදු ලෙස මුදල් නිසා අන්ධභාවයට පත්වන සිටුවරයාට  මුල අමතකවෙන්න වැඩි කලක් යන්නේ නැහැ. ඔහු තම ධනයෙන් බලයෙන් අනියම් ස්ත්‍රියන් සමග කම් සැප ලබන්න පුරුදු වෙනවා. ඔහු කොතරම් සල්ලාලයෙක් වුනාද කිවහොත් අවසානයේ ඔහු නැවතත් දුප්පතෙකු බවට පත්වෙනවා. ඉති කුමරිය මේ සියලු දුක් පීඩා සොලතැවුල් උපේක්ෂාවෙන් විඳදරාගන්නේ දස පාරමිතා පුරන්නා වූ අර්ථයෙන්. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දීත් ඉති කුමරිය ඔහුට නොපිරිහෙලා සියලු යුතුකම් ඉෂ්ඨ කරන්නේ මෛත්‍රියෙන්. ඉති කුමරිය ඔහුව ගොපලු ජිවිතයෙන් මුදවා සිටුවරයෙකු දක්වා ගෙනා මග ඔහුට සිහිවන්නට වන්නේ අවසානයේ. සිතේ තමා කෙරෙහිම  ඇතිවුන කලකිරීම ඔහුටම දරාගන්නට බැරිවෙනවා. ගැහිණියක් වී ඉපදීම තුල ඇයට  ලද කරදර සෝතැවුල් දුක් පීඩා ද, තමාගේ දහසකුත් එකක් වැරදි තිබියදීත් ඇය විසින් කල සියලු යුතුකම් ගැන ද සිතා ඇය මෙතෙක් කල්  බලාපොරොත්තු ව සිටි කෙටි වචන පෙළ වා තලයට එක්  වෙනවා.

රූපාවතිය ඔබ මෙතෙක් දුක් වින්දේ ගැහුණු ආත්මයක් ලද නිසා. මා හට නොපිරිහෙළා යුතුකම් ඉටුකළ පිනෙන් ඔබ මතු ඉපෙදෙන සෑම ආත්ම භාවයකදිම පිරිමියෙක් වී ඉපෙදෙන්නට කියා පතනවා. ඇයට ඇති වූ  නිරාමිෂ සතුට ඔබට සිතාගන්නට පුළුවන් ඇති. ඉන්පසු ඇය එම ආත්මභාවයෙන් මිදී  කල්ප කාලාන්තරයක් බොහෝ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල සැරිසරා  අමරවතී නම් නුවර සුමේධ නමින් උප්පත්තිය ලබනවා. ඊළඟට කොටස එතැන් සිට.


අපේ බුදුහාමුදුරුවෝ 04

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 01

දූරේ නිධානය

දූරේ නිධානය, අවිදූරේ නිධානය, සහ සන්තිකේ නිධානය වශයෙන් අප සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ නියත විවරණ කාලයෙහි සිට පරිනිර්වාණය දක්වා වූ කාලය තුල වූ කතා පුවත් කොටස් තුනකට බෙදා දක්වනවා. දුරේ නිධානය කියලා කියන්නේ නියත විවරණ ලැබූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ආත්මභාවයේ පටන් තුසිත දෙවු ලොවෙන් චුත වූ කාල පරිච්ඡේදය දක්වා වූ කාලය තුල සිදු වූ කතා පුවත හඳුන්වන නාමයයි. තුසිත දෙවුලොවෙන් නික්ම ඇසතු බෝමුල බුදුවීම දක්වා වූ කතා පුවත් අවිදූරේ නිධානය හෙවත් නුදුරු හේතුව වශයෙන් හඳුන්වනවා.   සන්තිකේ නිධානය වශයෙන් හඳුන්වන්නේ යම් තැනක බුදුරජුන් වැඩ සිටියාද ඒ ඒ තැන්වල සිදු වූ කතා නිධානයි.

ඔබට දැන් කියා දෙන්න උත්සාහ කරන්නේ ඒ දීර්ඝ නිධාන කතා පුවතේ පළමු කොටස වන අවිදූරේ නිධානයයි. මේ සඳහා කොතරම් කාලයක් යයිද, ඒ සඳහා මම කොතරම් දක්‍ෂවේද යන කරුණු තවමත් අවිනිශ්චිතයි. එත් යම් කරුණක් පමණක් නිශ්චිතයි. එනම් ඔබ මේ කතාව මුල සිට අග දක්වා සංයමයකින් යුතුව කියවනු ලැබුවහොත් පළමු සෝතාපත්ති අංගය වන බුදුන් කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්ධාවට යම් පමණකින් පත්වන බවයි.

මෙය රසවත්ව කියවිය හැකි ගලාගෙන යන බෝසත් චරිතාපදානයක් මෙන්ම අධ්‍යාපනය සඳහා ද  අවශ්‍ය තැන්වල යම් යම් කරුණුද ඇතුළත් කිරීමට සිත කිවා. උදාහරණයක් වශයෙන් “දශාකාර ශබ්දයෙන් තොර නොවූ අමරාවතී නගරය” යනුවෙන් කී මොනවද “දශාකාර ශබ්ද” යන්න පැහැදිලි කිරීමට දන්නා අයුරින් උත්සාහ කරනවා. එය කතා රසයට බාධාවක් වුවත් නොදත් දේ දැනගැනීමට උපකාර වේවි

සුමේධ තවුසා ලොව පහළවීම.

මහා කල්ප ලක්‍ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දැකුම්කලු, මනරම්වූ, දශ ශබ්දයකින් තොරනොවූ, ප්‍රණීත ආහාරපානයෙන් යුත් අමරවතී නම් නුවරක් වුනා.

දශවිධි ශබ්ද

  1. ඇත් හඬ,
  2. අස් හඬ,
  3. රිය හඬ,
  4. බෙර හඬ,
  5. මිහිඟු හඬ,
  6. වීණා හඬ,
  7. කවි ගීත හඬ, 
  8. සක් හඬ,
  9. රථ හඬ,
  10. කමින් බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන හඬ, යන්නයි.

ඒ නගරය සියලු නගරාඞ්ගයෙන් යුක්තයි.  සියලු කර්‍මාන්ත ඇති, සත් රුවණින් සමන්විතවූ, නොයෙක් දේශවලින් පැමිණි නොයෙක් වෙස් ගත් ජනයාගෙන් ගැවසීගත්,’’අමරවතී’’ නම් නුවර දෙව් නුවරක් මෙන් සමෘද්‍ධවී. විශේෂයෙන්ම පින්කම් කරන්නවුන්ට නිජභූමියක් වුනා.

ඒ අමරවතී  නුවරෙහි නිදන්කළ කෝටි ගණන් නොයෙක් ධනය ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, වේද මන්ත්‍ර දන්නා, ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණි,  ග්‍රන්ථ දසදහසකින් යුත් ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ කුල ධර්‍මයෙහිද පරතෙරට ගිය ’’සුමේධ’’ නම් බමුණෙක් හිටියා.  ඔහු මවු පිය දෙපසින්ම කුලවත්. ඒ කියන්නේ පිරිසිදු මවු කුස ඇති සත්කුල පරපුර දක්වාම කුලය නිසා නින්දා නොලබපු තැනැත්තෙක්.  ඔහුගේ රුපශෝභව දුටු දුටුවන් වසඟ කරවන සුළුයි. ඔහු අනිත් ශිල්ප ඉගෙන නොගෙන ඉගෙන ගත්තේ බමුණු දහම පමණයි. එබැවින්ම ඔහු බමුණු ධර්මයෙන් එහා ගිය පණ්ඩිතයෙක් වුනා. ඒ සුමේධ පණ්ඩිතයාගේ දෙමවුපියන් කුඩා කලම මිය ගිහින්. නිසි වයස පැමිණි කල ඔහුගේ භාණ්ඩාගාරික ඇමති, ලේකම් පොත ගෙනවිත් කුමුරුනි මෙපමණ මවට අයත් ධනය ය, මෙපමණ පියාණන්හට අයත් ධනය ය මෙපමණ මුතුන් මිමුත්තන් හට අයත් ධනය ය, මෙය පරිභෝග කල මැනවි යනුවෙන් කියන්නට වුනා.

හරිම පුදුමයි පාරමිතා ශක්තිය. ඔහු එයින් වසඟයට පත්වුණේ නැහැ. ධනය, ලාභ සත්කාර, කිර්ති ප්‍රශංසා, දැසි දස්සන් මේ සියල්ලම  මහා සැප සම්පත් ලෙස පෙනුනට දුක් කෙළවර කිරීමට බාධාවක් වනවා මෙන්ම දුකින් පෙළීමට රෝග නිධානයද වන බව දකින්නට වුනා. ඔහු එකවරම භාණ්ඩාගාරිකට පිළිතුරක් ලබා දුන්නේ නැහැ. නිහඬ වුනා. අද රාත්‍රිය තීරණයකට එළඹිය යුතුය යන සිතිවිල්ලෙන් නිහඬවම එතැනින් ඉවත් වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 05

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 02

එදින රාත්‍රිය නිසැක වශයෙන්ම සුමේධ පඬිතුමාට  නොහොත් අපගේ බෝධිසත්ත්වයන් වහන්සේට දීර්ඝ රාත්‍රියක් වන්නට ඇති. ඔහු කලේ නිදන කාමරයට යාම වෙනුවට මාළිගාවේ ඉහළම මාලයේ ඇති නිසල කුටියකට පිවිස පලක් බැඳ සිටිමින් මෙලෙස සිතන්නට වීමයි.

මගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත් මරණයෙන් මෙලොව හැර යාමේදී කිසිවක් ගෙනයාමට නොහැකි වී තියනවා. සියල්ලම අතහැර ගිහින්. එසේනම් මෙම ධනය රැස් කිරීමේ සුරැකීමේ ඵලය කුමක්ද? ඒ සඳහා වැය කරන කාලය මරණයත් හා සමග ගෙනයාහැකි ධනයක් රැස් කිරීමට යොදවන්න ඕනේ. ඒ විතරක් නොවේ. මෙම ජීවිතය ඉපදීම ලෙඩවීම වයසට යාම, මරණය යන මේ උවදුරන් ස්වභාව කොට ගත්තක්. එසේනම් මෙය පිටුදැකිය හැකි ධර්මයක් වේද එය සොයා යා යුතුයි. හරියටම එය මේ වගේ දෙයක්.  දුක තිබේනම් එයට ප්‍රතිපක්ෂව සැප තියනවා වගේ උණුසුම ඇති කල්හි සීතල ද ඇති සේ, පාපය ඇති කල්හි කුසලයද ඇති සේ මේ සියලු  දුක් ගෙනදෙන ඉපදීමක් ඇත්ද එයට ප්‍රතිපක්ෂව සියලු දුකින් තොර නොඉපදිමක්ද, නිවනක්ද  තිබිය යුතුම බවයි.

එසේම අසුචියෙන් ගිලුණු  මිනිසෙකු පිරිසිදු ජලාශයක් දැක වත පිරිසිදු කර ගැනීමට එහි නොයන්නේ නම් එය ජලාශයේ දෝෂයක් නොව ඔහුගේම දෝෂයක් වන්නාසේම, රෝගී වූ මිනිසෙකු ඒ රෝගය සුවකලහැකි වෛද්‍යවරයා  වෙත නොයන්නේනම් ඒ වෛද්‍ය වරයාගේ වරදක් නොව ඔහුගේම වරදක් සේම, කෙළෙස් රෝග දුකින් පෙළෙන පුරුෂයා ඒ රෝග දුකින් මිදෙන නිවන් මග දක්වන ගුරුවරයා වෙත නොයන්නේනම් එය ගුරුවරයාගේ වරදක් නොවන බව සිතා මෙලෙස නොයෙක් උපමා උපමෙයන් සිහියට නගමින් සිත සකසා ගනිමින්  ඒ මහා නෙක්ඛම්ම නික්ම යාමට තීරණය කරනු ලැබුවා. 

ගිහිගෙයින් නික්මීම.

මෙසේ සිතමින් සියලු වස්තුකාමයන්ද රාගාදී ක්ලේශ කාමයන්ද අතහරිමින් ඔහුටවත්  සිතා ගැනීමට බැරි තමා සතු ප්‍රමාණ කල නොහැකි අපමණ ධන සම්පත් දුගී මගී යාචකයනට දන් දෙන්නට නියම කොට ඒ මනරම් අමරවතී නුවරටත්, මාළිගාවටත් සමුදුන්නා. ඒ ඝෝෂාකාරී අමරවතී නුවරට සමු දී හිමවත පාමුල ඇති ධම්මික නම් පර්වතයට පිය නගන්න වුනා. මෙතෙක් කලක් අතට පයට ලැබුණු සියලුම සත්කාර වෙනුවට තමා විසින්ම සියල්ල සපයාගත යුතු බව මතක් වෙන්නත් ඇති. එහෙත් දුක කෙලවර කිරීමේ සතුට ඒ සියලු අභියෝගයන් ඉවතලන්නත්  ඇති. දැන් ඔබට පෙන්න ඕනේ බෝසත්වරයෙකුගේ සෑම  ආත්ම භවයක ම දස පාරමිතා එකක් නොව දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා ආදී වශයෙන් සියල්ලම වගේ වැඩෙන ආකාරය.

සක්දෙවිඳුගේ අසුන රත්වීම සහ මනරම් අරන්‍යයක් මැවීම.

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී ශක්‍ර දෙවිඳුගේ ආසනය උණුසුම් වන්නට වුනා. ඒ ඇයිදැයි විමසා බලද්දී තමයි සුමේද කුමාරයාගේ  ගිහිගෙයින් නික්මීම දකින්නට ලැබුනේ.

සක්දෙවිඳුගේ සිත ප්‍රීතියෙන් පිනා ගියා. ඒ මතු බුදුවන තවත් බෝධිසත්ත්වයෙකුගේ ප්‍රථම නියත විවරණ සඳහා ගිහිගෙයින් නික්මීම සඵල වීම යන කාරණය දැකීමෙන්. එහෙත් අනේකවිධි සැප සම්පත් විඳිමින් ගතකල රජ මාලිගයකින් නික්ම කිසිත් හවුහරනයක් නැති මහා වනයක් වෙත යන මෙම ඓතිහාසික ගමනට උදවු කිරීම  අත්‍යාවශ්‍ය කාරණයක්ම මෙන්ම තමන්ගේ යුතුකමක් ලෙසද වැටහුණා.  දෙවු රජ තව මොහොතක්වත් ප්‍රමාද වුනේ නැහැ. ඒ මොහොතේම  විශ්වකර්ම දෙවිපුත් එහි කැඳවනු ලැබුවා. ඉන්පසු සුමේධ පඬිතුමා ආරණ්‍ය ගතවීම සඳහා ගිහිගෙයින් නික්ම හිමවතහි ඇති ධම්මික පර්වතය වෙත පිය නගන බවත් ඔහුට වාසය කිරීමට සුදුසු ආරණ්‍යයක්  තනා දෙන ලෙසටත් නියම කරනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ධම්මික පර්වතය වෙත ගමන් කරනා කාලය අතර තුර සක්දෙවිඳුගේ අණ පරිදී විශ්වකර්ම දෙවියන් විසින් සිත්කළු අසපුවක්ද, ආරක්ෂා සහිත පන්සලක්ද, මනරම් දෝෂ පසකින් තොර සක්මන් මලුවක්ද මවනු ලැබුවා. මෙම අසපුව මවන ලද්දේ අභිඤ්ඤා බලය සහ විපස්සනා බලය ලබා ගැනීමට සුදුසු ලෙසම කියලයි දේශනාවේ තියෙන්නේ. 

සක්මන් මලුවක ඇති දොස් පස.

  1. තද බව සහ විසම බව. – එම නිසා සක්මනේ ගමන් කරන්නාගේ පා රෙදෙයි. සිතෙහි එකඟ බවක් නොලබයි. කමටහන සඵල නොවේ.
  2. ඇතුලත ගස් ඇති බව – සක්මනේ ඇතුලත හෝ මැද හෝ කෙළවරේ හෝ ගසක් තිබීමෙන් අමතක වීමකින් හෝ නළලෙහි හෝ හිසෙහි ගැටීමෙන් කමටහනට බාධා ඇතිවිය හැක.
  3. කැලෑවෙන් වැසුණු බව – තණ ගස්වැල් ආදියෙන් ගැවසුණු සක්මනෙහි සක්මන් කිරීම නිසා උරග ආදී සත්තු පෑගීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීම වගේම ඔවුන් දෂ්ට කිරීමෙන් විපතට පැමිණීමද විය හැක.
  4. ඉතා ලුහුඬු බව – රියනක් හෝ රියන් භාගයක් පමණ පළලින් යුතු සක්මනෙහි සක්මන් කරන්නෙකුගේ පය පැටලීමෙන් නිය, පය හෝ ඇඟිලි බිඳිය හැකිවීම.
  5. ඉතා විශාල බව – ඉතා විශාල සක්මනෙහි සක්මන් කරන්නා ඔබමොබ දුවයි. සිතෙහි එකඟ බවක් නොලබයි. විශාල බව පස්වෙනි දෝෂයයි.

මෙම දෝෂ පහෙන් තොර වූ සක්මන් මලුවක්ද  මවා බෝසතාණන් වහන්සේගේ පැමිණීමට පෙරාතුව විශ්වකර්ම දේවරාජෝත්තමයන් වහන්සේ අන්තරස්දහන වුණා.


අපේ බුදුහාමුදුරුවෝ 06

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 03

අසපුවෙහි අලංකාරය

හිමවතෙහි පැවති ධම්මික පර්වතය කොහොමත් ස්වභාව සෞන්දර්යක ශ්‍රේෂ්ටත්වය පරිවාර කොට වැජබුන අති රමණීය නිර්මාණයක්. එම රමණීයත්වයට දිව්‍යමය පහස ලබාදෙමින් නිමවුන ඒ අසපුව පසෙකින් සක්මන ද ඒ සක්මන වටා මලින් හා ඵලින් පිරිණු ගස් පෙළින් සැඳුම්ලත් සිත්කළු ජලාශයන්ද, දරුණු සිවුපා, බියජනක පක්ෂි ආදීන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක පවුරු හා  කාය විවේකාදියට යෝග්‍ය විසිතුරු සක්මන් මළුවේ දෙකෙළවර එල්බ සිටින පුවරුද,  හිඳිම සඳහා සක්මන මැද සමතලා ශිලා පුවරුවකින්ද සමන්විත වුවා. ඒ විතරක් නෙවි ඒ අති රමණීය දිව්‍යමය ආරාමය තුල තවුසන් සඳහා අවශ්‍ය දළ  වැහැරී සිවුරුද, පැන් තාලි පැන් කල,ගිණි හලෙහි අඟුරු, කබල්, දර ඇතිරිලි ආදී තවුස් පිරිකර සියල්ල මවා තිබුණා. ඒ වගේම ඇතුළුවන ප්‍රධාන දොරටුව අසළ පුවරුවක ” යම් කිසි කෙනෙක් පැවිදි වෙනු කැමැත්තෙනම් මෙම තවුස් පිරිකර ගෙන පැවිදි වේවා”  යනුවෙන් ද සටහන් කිරීමට විස්කම් දෙවුපුතු අමතක කලේ නැහැ. 

සුමේධ පණ්ඩිතයෝ හෙමින් හෙමින් දියවැල් ඇසුරු කරමින් පර්වත මුදුනට පිය නැග්ගේ මං මුලානොවිමට වගබලා ගනිමින්. ඔහු මෙසේ තම වාස භවනට සුදුසු තැනක් සොයායමින් සිටියදී මෙම දිව්‍යමය අසපුව මුණගැසුණේ දිව්‍යමය ආනුභාවයෙන්ම  වෙන්න ඇති. පසෙකින් ගලා යන දියපහර, වනමල් වලින් ගහන රුක්ෂලතා, ඵලවැල පිරුණු ගස්වැල් මැදින් ඒ මනරම් අසපුවට වැටි ඇති කුඩා අඩිපාර දිගේ ගියේ සිතේ ඇතිවුන  ප්‍රීතියෙන්. මනහර කැටයෙම්න් යුතු ඒ විශාල දොරටු විවර වී තිබුණත් කිසිවෙක් පෙනෙන්නට නැති බව දැන ගත්තා. කිහිප වතාවක්ම තට්ටු කලත් කිසිම ශබ්දයක් නැති බැවින් හෙමින් හෙමින් සක්මන් මලුව වෙත පියමැන්නේ සක්මනින් සිටිනවාද කියා සොයා  බැලීමට. එහෙත් සක්මන් මළුවේ අතුරා තිබු රිදී පැහැති වැලිමත කිසිම පා සටහනක් නැහැ. ඔහු නැවතත් අසපුව වෙත පියමැන්නේ මෙම වාසභවනේ වාසය කරන පැවිද්දන් ගමට පිඬුසිඟා ගොස් පැමිණ වෙහෙස නිසා පන්සල ඇතුලේ ඇති යයි සිතමින්. බොහෝ වෙලාවක් ප්‍රධාන දොරටුව අසල සිට කිසිම ශබ්දයක් නැති නිසාම ආරාමය තුලට ඇතුළු වුනා. ඇතුළුවන විටම විශ්වකර්ම දෙවියන් විසින් පුවරුවක ලොකුවට සටහන් කර තිබු සටහන නෙත ගැටුනා.

” යම් කිසි කෙනෙක් පැවිදි වෙනු කැමැත්තෙනම් මෙම තවුස් පිරිකර ගෙන පැවිදි වේවා” 

එය දුටු විගස මේ සියල්ලම තමා වෙනුවෙන් ම පිළියෙල වූ බව පසක් වීමට ඔහුට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. ඔහු ඒ චීවරය දෙසත් තම කසී සළු දෙසත් මාරුවෙන් මාරුවට නෙත යවනු ලැබුවා. සසර පුරුද්දටද කොහෙද තමා හැඳ සිටි කසී සළුපිළි  වල ඇති දෝෂ නවයකුත්,  චාම් චිවරයෙහි ඇති දොළොස් ආකාර ගුණාංගත් පෙනෙන්නට පටන්ගත්තා.

දෝෂ නවයකින් යුතු සළුව අතහැරීම

  1. වටිනා බව
  2. ස්ත්‍රී ආකර්ශනය
  3. පරිභෝගයෙන් ඉක්මණින් කිලිටිවිම
  4. පරිභෝගයෙන් දිරාපත්වීම
  5. නැවත සොයාගැනීමට අපහසු බව.
  6. තවුස් පැවිද්දාට නොසරුප් බව
  7. සතුරන්ට නොගත හැකි සේ ආරක්ෂා කල යුතු වීම
  8. සිරුරරට ආභරණයක් වීම
  9. උරහිසට අධික බර බව

දොළොස් ගුණයකින් යුතු සිවුර

  1. මිළ අඩු බව, සුන්දර බව, කැප බව.
  2. සිය අතින්ම කල හැකි බව.
  3. පරිභෝගයේදී හෙමින් කිළිටිවීම, සෝදන කල ප්‍රමාදයක් නැති බව.
  4. පරිභෝගයේදී දිරාගියද නොමැසියයුතු බව.
  5. නැවත පිළිසකර කිරීමේදී පහසුවෙන් කල හැකි බව.
  6. තවුස් පැවිද්දාට සාරුප්‍යය බව.
  7. සොර සතුරන්ට සුදුසු නොවනබව
  8. පාරිභෝජනයේදී ආභරණයක් නොවීම.
  9. දැරීමේදී සැහැල්ලු බව
  10. සිවුරු පසෙහි අපිස් බව
  11. වැහිරී ලබාගැනීමේදී දැහැමි බව නිවැරදි බව.
  12. වැහැරි සිවුර නැසී ගියද ආශාවක් නැති බව දොළොස්වන්නයි.

අවසානයේ ඒ දොස් සහිත සළුපිළි එකිනෙක බිම පතිත වුනේ යලිත් කිසිදිනක වත නොපලදන ස්ථිර අධිස්ඨානයෙන්.


අපේ බුදුහාමුදුරුවෝ 07

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 04

මෙතෙක් වත දරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සළුපිළි හිස්වැසුම් වේද මේ සියල්ල මුණි වැලෙහි බහා තබා දිව්‍යමය හස්තයකින් මවන ලද කොටකරඩු මල් දමක් වැනි වූ රතු වූ වැහිරි සිවුර ගෙන හැඳ ඒ මත්තෙහි රන්වන් වැහැරී සිවුරක් පොරවා දොඹ මල් ඇතිරිල්ලක් වැනි කුර සහිත අඳුන් මුව සම එකාංග කොට ජටා මඩුල්ල මුදා කෙස්වැටිය සමග නිසල බව සදහා හරහිද්ද ගසා මුතුලැල් සමග සාල්ලෙහි පබුලුවන් කෙණ්ඩිය බහා තෙතැනකින් නැමුණු කද ගෙන කදෙහි එක් කොණක කෙන්ඩියද, අංකුෂ පැස හා ත්‍රිදණ්ඩාදිය ද එල්ලා කද් බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයෙටිය ගෙන පන්සලින් නික්ම සක්මන් මළුව වෙත පිය මනින්නට වුනා.

මෙලෙස ගෙනා කද බර සක්මන මැද  තිබු ගල් තලාවේ බහා තබා සක්මන් මළුවේ ඔබ මොබ සක්මන් කරමින් තමන්ගේම පැවිදි වේශය දෙස බලමින් මෙසේ සිතන්නට වුණා.  “මගේ මනදොළ සඵල වුනා. මේ පැවිද්ද ඉතාමත් පැහැපත්.මේ පැවිද්ද වනාහි බුද්ධාදී සියලු උතුමන් පසස්නා ලද්දක්. මගේ ගිහි බන්ධන සිඳීණී. අභිනික්මණ කළෙමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදී. මහණ දම් පුරමි. මග ඵල ලබමි.”  

මෙසේ සිතමින් පැමිණ සක්මන මැද නිමවූ ගල් තලාවේ රන් පිළිමයක් මෙන් හිඳිමින් අට වැදෑරුම් පැවිදි සැපය ගැන සිතන්නට වුනා.

අට වැදෑරුම් පැවිදි සැපය.

  1. ධන ධාන්‍ය අයිතිය නැති බව.
  2. නිවැරදි පිඬු සිගීමෙන් අහර සෙවීම.
  3. නිවුණු ආහාර වැළඳීම.
  4. රජවරු රටවැසියන් පෙලා කහවුණු ලබා ගනිද්දී එවැනි රට වාසින් පෙලීමේ ආශාවක් නැති බව.
  5. පරිභෝග වස්තුවල කැමැත්තක් නැති බව.
  6. සොරුන් පැහැර ගනිතැයි බියක් නැති බව.
  7. රජ ඇමති ආදීන් හා සබඳතා නැති බව.
  8. සිවු දිගින්ම නිර්භය බව.

මෙසේ දවස් භාගයක්ම පැවිදි සුවය ගැන මෙනෙහි කරමින් සිටිමින් ගත කොට සවස් කාලයේ නැවතත් පන්සල වෙතට පිය මැන්නා.

ඒ පන්සල මවා තිබුනේ අමුතුම ආකාරයට. හිමවත සිට ගලාගෙන පැමිණි මද වියලි සුළඟ රැගෙන පැමිණි පිරිසිදු වාතය ට ගිරි මුදුන්වල වැවෙන නානාවිදී  පුෂ්පයන්ගේ සුවඳ තැවරිලයි තිබුනේ. ඒ සුවඳ මුළු පන්සලම  සුවඳවත් කරමින් එක් පසෙක සිට අනෙත් පසට ගලා ගියා නිරන්තරයෙන්ම. තවුතිසා වෙහි පැවති මල් වර්ගයක් ඒ සුළඟ වැදී රිදී සීනුවක හඬ නංවනු ලැබුවා. ඊට අමතරව ඒ සදෙවූ සල් ගස්  වල පිපි සල්මල් රැය පුරා විදිලුබුබුළු දල්වලා වගේ එලිය දෙනවා. ඒ එළියෙන් මුළු පරිසරයම දැල්විලා. ඔබ මොබ ඇවිදින රන් මුවන්ගේ ඇඟ විනිවද පේනවා. මෙම සදෙවූ අසපුවේ සිරි නරඹමින් පැමිණි සුමේධ තවුසා එහි ඇති වැල් හාන්සි පුටුවක දිගාවුණා. දිගා වෙලා මෙලෙස හිතන්න පටන්ගත්තා.

එදා රාජ රාජ අමාත්‍යවරු හඬා වැටී නැවත නැවත ඇවිටිලි කරද්දීත් රජකම අත් හැරියා පමණක් නෙවෙයි කැමති කෙනෙකුට කැමති ලෙස ගෙනයන්න කියා සියලු භාණ්ඩාගාර විවර කරණු ලැබුවා. ඒ ගිහිගෙයි ආදීනව දැක ප්‍රමාණ කල නොහැකි දනය සහ යසස අතහැර වනයට පිවිස නිවන් මග සොයන්නට පැවිදි වූ මට තවත් විහාර කුමකටද? මෙතැන් පටන් තව දුරටත් ප්‍රමාදීව විහාරවාසීව හැසිරීම සුදුසු නොවේ. දැන් මම කාය හා  චිත්ත විවේකය වර්ධනය කරන්නට පටන් ගන්න ඕනේ. මෙම බෙලිඵල වර්ණයෙන් පිරියම් කරන ලද  රිදී මෙන් බිත්ති ඇති කොළ සෙවිළි කල පියස්ස පරෙවි පිය වර්ණ ඇති මෙහය මගේ රජ ගෙදර තිබු ගිහි  සැපයටත් වඩා සැප ඇති තැනකි. නිවන් මගට බාධාවක්.  ඒ නිසා මෙතැනින් ඉක්මණට නික්මෙන්න ඕනේ. මෙලෙස සිතමින් පන්සලේ ඇති දෝෂ අටක් දකින්නට වුනා.

දෝෂ අටකින් යුතු පන්සල.

  1. එය නිම කිරීමට මහත් උත්සාහයෙන් දැව ආදී ද්‍රව්‍ය රාශියක් සෙවිය යුතු බව එකකි.
  2. තණකොළ මැටි ආදිය වැඩුණු වැටුණු පසු නැවත ප්‍රතිසංස්කරණය කල යුතු බව තවකෙකි.
  3. සෙනසුන් වනාහි වැඩිමහල්ලන්ට ලැබිය යුතුය. අවේලාවෙහි නැගිටවන කල්හි සිතේ එකඟ බවක් නැති වෙයි. මෙසේ නොකල්හි නැගිටිය යුතු බව එකකි.
  4. ශිතෝෂ්ම වැළකීම නිසා සිරුරෙහි ඇති වන සුකුමාල බව එකකි.
  5. ගෙය තුල සිටින්නාට දොස් සහිත දෙය කිරීමට පහසුය. මෙසේ වරද සැඟවිය හැකි බව පස්වෙනි දෝෂයයි.
  6. මමත්වයෙන් අල්ලා ගැනීම සයවෙනි දෝෂයයි.
  7. ගෙයක හිමිබව දෙවැන්නෙකු සමග සිටීමකි. මේ සත්වෙනි දෝෂයයි.
  8. උකුණු මකුණු හිකනළු ආදී ගෘහස්තයන්හි වෙසෙන නානාවිධි සතුන් අටවෙනි දෝෂයි.

මේ සියල්ල ගැන මනා ලෙස මෙනෙහි කරමින් හෙට උදැසනම මෙම පන්සල අතහැර දස ආනිසංසයෙන් හෙබි රුක්මුලට යායුතු බව තීරණයට එළඹුනා.


අපේ බුදුහාමුදුරුවෝ 08

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 05

දිව්‍යමය අසපුව අතහැර යාම.

මෙසේ එදින රාත්‍රිය පුරාවට තමා  විසින් කරන ලද අභිණික්මන ගැන සිතමින්, සියලු පහසුකමින් යුතු වූ ගෘහයකට කොටුවීම සත්‍ය ගවේෂණයට පළිබෝධයක් ලෙස සිතා පාන්දර යාමයේම ඒ අසපුවෙන් නික්මෙන්නට තීරණය කරනු ලැබුවා. තපස් පිරිකර ද රැගෙන එළියට පැමිණි සුමේධ තාපස තුමා තවුතිසා පුෂ්පයෙන් එලිය කල ඒ කුඩා මාවත ඔස්සේ අසපුව හැරදා වනය තුලට පියමැන්නේ තවත් පියවරක් ඉදිරියට තබමින්.

එදින පාන්දර යාමයේ ඉතා හොඳින් වැඩුණු රුක්මුලක් හමුවී විඩා නිවීම සඳහා එහි නතර වුවා. එවිටම සංසාරයේ බොහෝකල් නිවන් මග සොයා ගිය කල පිහිට වූ සෙවන දුන් ඒ ඒ වෘක්ෂයන්ගේ පොදු  ආනිසංස දහයක් මතකයට එන්නට පටන් ගත්තා. එය මෙලෙසයි.

දශ ආනිශංසයෙන් යුතු රුක් මුල.

  1. සුළු ඇරඹුමක් පමණක් ඇති බව එකකි. ( රුක් මුල වෙත් පැමිණීම පමණකි.)
  2. සම වුවද අසම වුවද පරිභෝගයට සුදුසුය.
  3. අනුන් විසින් නැගිට විය නොහැකි බව තෙවැන්නැයි.
  4. තම වරද සැඟවිය නොහැකි බව සිව් වැන්නයි.
  5. රුක්මුලදී එළිමහනේ මෙන් කය රූක්ෂ නොවේ. මෙය පස්වැන්නයි.
  6. මමත්වය අල්ලා නොගන්නා බව සයවෙනි ගුණයයි.
  7. ගෙවල් පිළිබඳව ආලය අත්හැරීම හත්වෙනි ගුණයයි.
  8. බොහෝ දෙනෙකුට සාධාරණ වූ ගෘහයේ මෙන් ප්‍රතිසංස්කරණයක් නැතිවීම අටවෙනි ගුණයයි.
  9. රුක්මුල වඩන්නාට ප්‍රීති සහිතව විසිය හැකි බව නව වැන්නයි.
  10. රුක්මුල් සෙනසුන් හි ගිය ගිය සැම තැන එක හා සමාන සුලං සෙවන සනීපය නිසා එක් රුක් මුලක් ගැන පමණක්ම අපේක්ෂාවාක නැති බව දශ වැනි ආනිශංසයයි.

පිණ්ඩපාතය සඳහා ග්‍රාමයට පැමිණීම.

ඉන් අනතුරුව දහවල් පිණ්ඩපාතය උදෙසා මිනිස් වාසයක් කරා සෙමින් සෙමින් පියමැන්නා. ඒ වනවිටත් දීපංකර බුදුරජාණන් වහන්සේගේ  ලොව පහල වීම ආසන්නයටම පැමිණි සිටියේ. ඒ නිසාම  නිවන් සොයා යන්නන් ගෙන් සියලු ගම් දනවු පිරී පැවතුනා. එහෙයින්ම සුමේධ තවුසාගේ පැමිණීමද ඒ ග්‍රාමයට අලුත් දෙයක් වුයෙන් නැහැ. ඔවුන් හැකි උපරිම අයුරින් ඉමහත් වූ ශ්‍රද්ධාවෙන්  ඔහුට දානය පිළිගන්වනු ලැබුවා.

ඒ ප්‍රණීත ආහාර රැගෙන නැවතත් රුක්මුල වෙතට පැමිණි බෝධිසත්වයන් නැවතත් වහන්සේ මෙලෙස සිතන්නට වුනා. මම ආහාර ලැබීම සඳහා පැවිදි වුවෙකු නම් නොවේ. මෙම ප්‍රණීත ආහාර මානය හා පුරුෂ මදය වඩවයි. ආහාරය මුල් කොටගෙන ඇතිවෙන දුක්වලද කෙළවරක් නැත. මම මින් ඉදිරියට සියලුම වැපුරූ ධාන්‍ය  හා පැල සිටවූ ධාන්‍ය අත හැර හෙට සිටම කැලයේම ඇති ස්වයං ජාත ඵල අනුභවයෙන් ජීවත් වනවානම් කොතරම් හොඳද? ඔන්න ඔය ලෙසයි අප මහා බෝසතුන් ඒ රාජ මාළිගාවත් දිව්‍ය මාළිගාවත් පිණ්ඩපාත දානයත් අතහැරියේ. 


අපේ බුදුහාමුදුරුවෝ 09

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 06

පිඬු සිඟා වැඩීමෙන් ලද ප්‍රණීත අහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව වැළඳු සුමේධ තවුසාණන් ඒ ශාන්ත පරිසරයේ වූ රුක්‍ෂ මුලයක වැඩ සිටිමින් එතැන් පටන් වැපුරූ හෝ සිටවන ලද පැල වලින් හට ගන්නා ආහාර අතහැර කැලයේම ඇති වූ විවිධ අනිසංසයන්ස්වගෙන් යුතු සවයංපතිත ඵලවැල වළඳමින් මෙම සසරින් මිදෙන අයුරු සොයමින් ප්‍රධාන විර්යය කරන්නට වුනා. මෙසේ භාවනායෝගිව සිත වැඩීමෙන් දින සතක් ඇතුළත ධ්‍යාන අෂ්ඨ සමාපත්ති සහ පඤ්ච අභිඤ්ඤා උපදවා ගන්නට සමත්වුනා.

සුමේධ තාපසයෝ මෙසේ අෂ්ඨ සමාපත්ති ,  පඤ්ච අභිඤ්ඤා බල ලබාගෙන සමවත් සුවෙන් කල්ගත කරන කල්හි දීපංකර බුදුරජාණෝ ලොව පහල වූහ. ඒ බුදු රජුන්ගේ පිළිසිඳ ගැනීම, ඉපදීම, බුදුබවට පත්වීම, දම්සක් පැවැත්වීම යන අවස්ථා වලදී දස දහසක් සක්වළ කම්පා විය. වෙවුලීය. මහා හඬින් ශබ්ද නැගීය. එසේම දෙතිස් පෙරනිමිති පහළවිය. එහෙත් සුමේධ තවුසාණන් සමවත් සුවෙන් සිටි හෙයින් ඒ ශබ්ද නො ඇසූහ. ඒ පෙර නිමිතිද නුදුටුහ.

දෙතිස් පෙර නිමිති

  1. දසදහසක් සක්වළ කම්පිත ප්‍රකම්පිත වේ.
  2. දසදහසක් සක්වළදෙවියෝ එදින එක් සක්වළකට රැස්වේ.
  3. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරුණේ ය.
  4. සිර කරනු ලැබූ සියලු සත්ත්වයෝ විලංගු, සිරගෙවල් ආදියෙන් මිදුණාහ.
  5. අධි ශීත, අධි උෂ්ණ සම වේ.
  6. සුළං කුණාටු ඇති නොවේ.
  7. ගංගාවෝ ගලා නොයත්.
  8. එකෙණෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපේ.
  9. තුරු ලිය ඵල බර වේ.
  10. ආකාස ගත වුද පොළවෙහි වුද සියලු රුවන් දිළිසේ.
  11. මිනිස් හා දිව්‍ය තුර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වේ.
  12. නා නා වර්ණ මල් වරුසා අහසින් වසී.
  13. මහා මුහුදු රළ සංසිදී ලුණු රස පහවගොස් මිහිරි රැසක් ඇතිවේ.
  14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්‍ය විමන්වල නැටුහ. ගැයුහ. වැයුහ. කොඩිදැමුහ. ඔවුහු ක්‍රීඩා කළහ. එකෙණෙහිම මහකවුළු දොර තෙමේම විවරවිය. නිරයවල ගිනි නිවේ.
  15. බුද්ධාන්තරයකුත් දියත්තක් නොලත් ප්‍රේත ලෝකයෙහි පිපාසය පහවේ.
  16. හිරු දීප්තිමත්ව බබලයි. සියලු තාරකාවෝ පෙනෙති.
  17. වැසි නො වැසම පොළොවෙන් ජල දහර උඩට නගී.
  18. තරු සමූහය සමග නැකත් තරු අහසේ බබළයි.
  19. සඳ විසාවේ නැකත් හා යෙදේ.
  20. පෘථිවියේ ගුහාවල වාසය කරන සත්ත්වයෝ එකවර නික්මෙති.
  21. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටු වුවන් වේ.
  22. උපතින්ම අන්ධවුවන් හට පෙනීම ලැබුණි. බිහිරෝ ශබ්ද ඇසුහ. මානසික ආබාධිතයනට සිහි එළඹුණි. කොර වුවෝ පයින් ගමන්කළහ.
  23. සියලු සත්ත්වයන්ගේ රෝග හා සාගිනි දුරුවේ.
  24. සියලු බය දුරුවේ.
  25. දුහුවිලි ඉහළට නොනැගේ.
  26. අමිහිරි සුවඳ නැති වී මිහිරි සුවඳ හමා යයි.
  27. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙවු බඹුන් පෙනේ.
  28. සියලු නිරය මිනිසුන්ට පෙනේ.
  29. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහණ වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල ආලෝකයක් උපදී.
  30. බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහස මෙන් විය.
  31. නිත්‍ය වෛරී සත්ත්වයෝ පරම මෛත්‍රී සිත් ලැබුහ. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණහ. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්‍රීඩා කළහ.ගෙවලමියෝ බළලුන් හා සෙල්ලම් කළහ.
  32. එක් ක්ෂණයෙහි සත්වයන් චුති ප්‍රතිසන්ධි නොවේ.

දෙතිස් පෙර නිමිති පහළවීමට හේතු.

එහි දසදහසක් සක්වළ එක පැහැර කම්පා වීම සර්වඥතාඥාන ප්‍රතිවේධයට පෙරනිමිත්ත ය. අන්ධයෝ රූප දැකීම දිවැස් ලැබීමට පෙරනිමිත්ත ය. බිහිරෝ ශබ්ද ඇසීම දිවකන ලැබීමට පෙරනිමිත්ත ය. සිහිමුළා වූවෝ සිහි ලැබීම සතිපට්ඨාන ප්‍රතිලාභයට පෙරනිමිත්ත ය. පිල්ලු පයින් ගමන් කිරීම සතර ඍද්ධිපාද ප්‍රතිලාභයට පෙරනිමිත්ත ය. බැමි ඉබේම සිඳී යෑම අස්මිමාන ඡේදයට ද, ගෝර නිරාගිනි නිවී යෑම එකොළොස් කෙලෙස් ගිනි නිවීමට ද, තිරිසනුන්ට කිසි බියක් නො වීම සිව්බඹ විහරණ ප්‍රතිලාභයට ද, සියලු රෝග ඉබේම පහව යෑම සිව්සස් ලාභයට ද, තූර්‍ය්‍ය භාණ්ඩයෝ තමතමන් ම නාද පැවැත්වීම දහම් බෙර ඇසීමට ද, දසදිසාවෝ පහන් වීම විමුක්ති සුවයෙන් සුවපත් වීමට ද, සිසිල් සුළං හැමීම දෙසැටක් මිත්‍යාදෘෂ්ටි නැති කිරීමට ද, නො කල් වැසි වැසීම මහා ධර්‍ම වර්‍ෂාවට ද, පක්‍ෂීන් තුටුපහටු ව පොළොවට බැස සිටීම අවවාද අසා මහජනයාගේ දිවිහිමි කොටැති සරණාගමනයට ද, ගංගාවන්හි ජලය නිසල වීම චතුවිශාරද ඤාණ ලැබීමට ද, සාගරයේ කරදිය ජලය මිරිදිය වීම නිවන් එකම රසයෙන් යුක්ත වීමට ද, ගස්වැල්හි මල් පිපීම විමුක්ති කුසුමින් යුක්ත බවට ද, අහසේ දිව්‍ය තූර්‍ය්‍ය නාද වලින් නාද වීම බුදුව උදන් ඇනීමට ද, සියලු දසදහසක් ලෝක ධාතුව අතිශයින් සෞභාග්‍යමත් වීම ආර්‍ය්‍ය සෞභාග්‍යයක් ඇති බවට ද පෙරනිමිති ය. සෙසු විශේෂතා සෙසු බුදුගුණ ලැබීමට පෙරනිමිති ද වේ.


අපේ බුදුහාමුදුරුවෝ 10

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 07

මේ කාලය තුල දීපංකර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ තුසිත දිව්ය ලෝකේ දෙවු සැප විඳිමින්.  නිසි කාලය පැමිණි කල දස දහසක් සක්වළ දෙවිවරුන් පැමිණ දීපංකර බෝසතාණන්හට “මහා වීරයාණනි, මේ ඔබට බුදුවීමට කාලයයි”. මවු කුස ඉපදී දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කරන මෙන් ආරාධනය කරන්නට වුනා. ඒ බෝසතාණන් වහන්සේද එම ආයාචනය එක්වර පිළිනොගෙන පස්මහ බැලුම් බලා එය සුදුසු කාලයම බව දැන  දෙවිවරුන්ට ප්‍රතිඥා දී දෙවිවරුන් ව පිටත් කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව තුසිත දෙව් ලොව නන්‍දන නම් වනයට පිවිසියා. සියලු ම දේව ලෝකවල නන්‍දන වනයක් ඇතයි කියනු ලැබේ. එහිදී දෙවියෝ “මෙයින් චුත ව සුගතියට යන්න, මෙයින් චුත ව සුගතියට යන්න” යැයි කරන ලද කුසල් සිහිගන්වමින් එහි ඇවිදිමින් ම චුත වුනා.

දෙවු ලොවෙන් චුතව රම්මවති නුවර සියලු සැප සම්පතින් අනූන වාසුදේව නරදේව සුදේව නම් රජකුලයෙහි සුමේධා දේවියගේ කුසයෙහි  යහපත් වූ නුවණින් යුතුව පිළිසිඳ ගනු ලැබුවා. මෙසේ සිහි නුවණින් යුක්ත ව මව් කුස පිළිසිඳීම බුදුවරුන්ගේ ධර්‍මතාවක්. දෙව් ලොවින් චුත වීම, මව්කුස තුල පිළිසිඳ ගැනීම, මව්කුස තුල වැඩ හිඳීම හා මව්කුසින් බිහි වීම යන සිව් තැනෙහි සිහිනුවණින් යුක්ත වන්නේ මහා බෝසත්වරු පමණි. පසේ බුදුවරයෝ මුල් අවස්ථා තුනේ දී සිහිනුවණින් යුක්ත වෙති. බිහිවන අවස්ථාවේ දී සිහිනුවණින් තොර වෙති. අගසවු දෙනම මුල් අවස්ථා දෙකෙහි දී සිහිනුවණින් යුක්ත වෙති. මව්කුස තුල වැඩහිඳීම හා බිහිවීමේ දී සිහිනුවණින් තොර වෙති. අසූමහා ශ්‍රාවකයෝ පළමු අවස්ථාව වන දෙව් ලොවින් සිහිනුවණින් චුත වෙති. නමුත් ඉතිරි අවස්ථා තුනේ දී සිහිනුවණින් තොර වෙති.

දීපංකර බෝධිසත්වයෝ මව්කුස පිළිසිඳ ගැනීමේ දී දෙතිස් පූර්‍ව නිමිති පහළ වුනා. ඒ පිළිබඳවපැහැදිළි කිරීමක් 9 වෙනි කොටසේ සිදුකරනු ලැබුවා.

ඉක්බිති දිවකුරු කුමරා මහ සැපතින් සංග්‍රහ ලබමින් ක්‍රමයෙන් සොඳුරු යෞවනයට පැමිණ තුන් ඍතුවට හොබනා හංසා, කොංචා, මයුරා නම් ප්‍රාසාද වල දෙව්ලොවක වන් සුර සැප විඳිමින් තම උයන් කෙළි සඳහා යන අවස්ථාවෙහි ක්‍රමයෙන් ජීර්ණ ව්‍යාධි මරණ සංඛ්‍යාත තුන් දේවදූතයන් දැක හටගත් සංවේග ඇතිව ආපසු  සුදසුන් නුවර සම්පත් වලින් බබළන රම්මවතී නම් නුවරට පිවිසියා. ඉන් අනතුරුව හතරවෙනි වරත්  ඇත්කරුවා කැඳවා මෙසේ කීය. “දරුව, මම උයන බැලීමට යන්නෙමි. ඇත් යානා සරසව්”  ඔහු “මැනව යි දේවයිනි” පිළිතුරු දී ඇතුන් සුවාසූදහසක් සරසනු ලැබුවා. ඉක්බිති විස්කම් දෙව්පුත් නන්පැහැ වතින් බෝසතුන් හන්දවමින් මුතු හෙබූ කෙයූරාභරණ පළඳවා සුන්දර කනකකටක, මකුට, කණ්ඩලබර කොට සුවඳ කුසුම් මාලාවන්ගෙන් කොණ්ඩය සරසවනු ලැබුවා.

 සෑම බෝසත්වරයකුට ම අවසන් ගිහි ඇඳුම් පැලඳුම් හැන්ද වීම දෙවියන් විසින් කරනු ලබන්නේය. ඒ දිවකුරු කුමරු ද දෙව් කුමරුවකු මෙන් සුවාසූ දහසක් ඇතුන් පිරිවැරූ උතුම් මඟුලැතු අරා හිඳ මහබලසෙන් පිරිවරා උයනට පිවිස ඇතුපිටින් බැස උයන සැරිසරා පරම සොඳුරු දැකුම් ඇති සිලාතලයෙහි හිඳ පැවිද්දට සිත ඉපදවන්නට වුනා.  එකෙණෙහි ම සඳවැසි ක්‍ෂීණාස්‍රව මහබඹහු අෂ්ට පරිෂ්කාර ගෙන බෝසතුන් ඇස් හමුවෙහි පහළ වුනා.  මහපුරිස්‍හු ඔහු දැක මේ කුමක් දැයි විමසා ශ්‍රමණ පරිෂ්කාර යැයි අසා අබරණ බඩු මුදා භාණ්ඩාගාරිකයා අතට දී මඟුල් කඩුව ගෙන මකුටය සහිත කෙස් සිඳ අහසට විසිකරනු ලැබුවා. එවිට සක්දෙව් රජ රන් කරඬුවකින් ඒ කේශමකුටය පිළිගෙන සිනේරුව මුදුනෙහි තුන් යොදුන් පමණැති ඉඳුණිල්මිණිමුවා මකුට චේතිය කරණු ලැබුවා.

එවිට දීපංකර මහපුරිස්‍හු දෙවියන් දුන් අරහත් ධජ කසාවත් දරා සළු සඟල අහසට විසි කරනු ලැබුවා. එය බඹහු පිළිගෙන බඹලොව දොළොස් යොදුන් සියලු රත්නයන්ගෙන් යුත් චෛත්‍යයක් නිම කොට එහි තැන්පත් කරන ලදී. පැවිදි වූ දිවකුරු කුමරුන් අනුව කෝටියක් දෙනා පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහසත්හු දසමසක් ප්‍රධන් වීර්‍ය්‍ය වැඩූහ. අනතුරුව වෙසක් පුණුපොහෝ දා එක්තරා නුවරකට පිඬු පිණිස ගියහ. එදා ඒ නුවර දෙවියන්ට බලි පිණිස දිය නුමුසු කිරිබත් පිසූහ. මිනිස්සු පිරිස් සහිත පිඬු පිණිස පැමිණි බෝසතුන්ට ඒ කිරිබත් පිදූහ. එය කෝටි සංඛ්‍යාත සියලු භික්‍ෂූන්ට ප්‍රමාණවත් විය. මහසතුන්ගේ පාත්‍රයෙහි දෙවියෝ දිව්‍ය ඕජා බහාලූහ. එය වළඳා එම සල් උයනෙහි ම දහවල් දවස ගෙවා සවස විවේකයෙන් නැගී පිරිස පිටත් කොට සුනන්‍ද නම් ආජීවක දුන් අටතණමිට ගෙන පුලිල (ගිවුළු/ පළොල්) රුක් බෝධිය වෙත ගොස් පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා අනූ රියන් බෝකඳට පිට දී පර්යංකයෙන් හිඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට බෝමුල වැඩසිටියා. එදින රාත්‍රියේ මාර පරාජය කොට කල්ප කාලාන්තරයක් පෙරුම්පිරූ බුද්ධත්වයට පත්වුණ සේක.


අපේ බුදුහාමුදුරුවෝ 11

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 08

දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම සහ සම්බුදු සිංහනාදය

බුද්ධත්වයෙන් පසුව දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ සිංහනාද පවත්වා සත්සතියක් බෝධි මුලයේ කල්ගෙවා සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් සුනන්දාරාමයේ දම්සක් පවත්වා කෙළ සියයක් දෙවිමිනිසුන් හට ධර්මාමෘතය පොවා චාතුර්ද්වීපික මහා මේඝයක් සේ දහම් වැසි වස්සවමින් මහජනයාගේ සසර බැමි සිඳිමින් ජනපද චාරිකාවේ යෙදෙන්නට වුනා.

රහතන් වහන්සේලා හාරලක්ෂයක් සමගින් රම්ම නුවරට වැඩම කරවීම.

හරිම පුදුමයි බුදුවරු අතරත් ඇති සුවිශේෂතා. අපේ බුදුහාමුදුරුවෝ දම්සක් පවත්වා පස්වග මහණුන් ඇතුළු සියයකටත් වඩා අඩු පිරිසක් සමගිනුයි චාරිකාව ආරම්භ කලේ. කපිලවස්තු පුරයට එනවිටත් රහතන් වහන්සේලා හිටියේ විසිදාහයි. ඒ දසබලධාරී දීපංකර බුදුහාමුදුරුවෝ උපන් බිම වූ පරම රමණීය රම්ම නුවරට වැඩියේ රහතන්වහන්සේලා හාරලක්ෂයක් පිරිවරාගෙන.  එසේ වැඩමකොට සුදර්ශන මහා විහාරයේ වැඩ වසන්නට වුනා.

 රම්ම වැසියන් දානයට ආරාධනා කිරීම

එය අසා ඒ නගරයේ සහ ඈත කුඩා ගම්වල ගම්වැසියන් ගිතෙල් වෙඬරු බෙහෙත් ද  හඳනා, පොරෝනා වස්ත්‍රාදියද රැගෙන උතුරුසළු සහිතව සුවඳ මල් ආදියද අතැතිව බුඳුන් දහම් සඟුන් වැඩසිටි දිශාවට නැඹුරුව ළං ළං වෙත්ම වඩ වඩාත් ගෞරව නමස්කාර කරමින් පැමිණ බණ අසන්නට වුනා. අවසානයේ මහත් ගෞරවයෙන් ඒ සියලු ගම් වැසියන් හෙට දිනයේ සිට තම ගම් දනව් කරා දානය සඳහා වැඩම කරනාමෙන් ආරාධනය කරමින් යන්නට ගියා.

පසුදින මුළු නගරයම මහා උත්සවශ්‍රීයෙන් බැබලුණා. මිනිසුන් පාන්දර යාමයේ සිට පිබිද බුදුන් ඇතුළු ලක්ෂ හතරකට වැඩි රහතන් වහන්සේලා උදෙසා දානය පිළියල කොට තබා මුළු නගරයම සරසන්නට පටන්ගත්තා. ඔවුන් පළමුව මේ අසදෘශ මහා දානය සඳහා මඩුවක් තනන්න වුනා. හිතන්න හාරලක්ෂයක් බුදුන් ඇතුළු මහ රහතන් වහන්සේලාට වහල සෙවිලි කල මඩුවක්. අපි පංච මහා අධිඨාන පුජාව වෙලාවේ එක්දහස් දෙසීයක් වූ මහා සංඝ රත්නයට රුවන්වැලි සෑ සළපතල මළුවේ තනපු ටෙන්ට් එක මතක් වුනා. එය කරනු ලැබුවේ  පින්වත් හමුදාවේ පනහකට වැඩි බට පිරිසක්. ඒත්  පැවතුන අධික සුළං නිසා එලිවනතුරා වෙහෙස මහන්සි වී අටවපු මඩුව නැවත උදෑසන ගලවන්න වුනා. මෙය ලක්ෂ හතරකට මඩුවක් එක රැයෙන්. එහෙමයි මිනිස්සු මහත් ශ්‍රද්ධාවෙන් වැඩ කලේ.

දාන ශාලා නිර්මාණය  සහ නගර සැරසිළි

ඒ මඩුව විමල කෝමල කිලුපුලින් සෙවිලි කොට සිවුදෑගඳින් පිරිබඩකොට ලදපස්මල් සුවඳ කුසුම් විසුරුවා මඩුවෙහි සිවුකොණ සිසිල් දිය පිරවූ සැළි තබවා කෙසෙල්පතින් වසා මණ්ඩපය මත දෑසමන්මල්  ද සම පරම සුන්දර දැකුම් ඇති සෙල්වියන් බැඳ රන් රිදී කාරකායෙන් සරසා එහි ගඳදුම් මල්දම් පත්දම් රුවන්දම් එල්වා දුමින් සුවඳවත් කොට ඒ මුළුමහත් රම්‍ය වූ රම්ම නගරය පුරා කැන් සහිත කෙසේල්ද, මලින් සැරසු පුර්ණඝට ද තබා නන්වන් ධජපතාකාදිය ඔසවා මහාවිදිය දෙපස තිරපවුරින් වටකොට දීපංකර බුදුන්වහන්සේ වඩින මග අලංකාර කරමින් දියෙන් බිඳී ගිය තැන් පස් දමා විසම සමකොට මුතුවන් වැලි විසිරුවයි. ලදපස්මල් ඉසියි. කැන් සහිත කෙසෙල් පුවක් ගස් සිටුවයි. මල්, පළතුරු සුවඳ, සුවඳ දුම් හා එක්ව මුළු නගරයම සුවඳවත් කළා. ලක්ෂ ගණනක මිනිසුන්ගෙන් නගරයම පිරී ඉතිරී ගොස් හරියට වෙසක් දිනට අපේ රටේ අසිරිය වගේ සෑම තැනම දන්සල් තොරන් පාවඩ.

සුමේධ තවුසාණන් රම්ම නුවරට අහසින් පැමිණීම.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී තමයි අප මහා බෝසතාණන් වහන්සේ වන සුමේධ තවුසාණන් සමාධි සුවයෙන් දින ගණනකට පසු බැහැර වුනේ. ඒ දීපංකර බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්විමේදීත් දම්සක් නාදය පවත්වද්දීත් මහපොළව කම්පාවුවත් දෙතිස් පෙරනිමිති පහල වුවත් සුමේධ තවුසාණන්  ඒ කිසිවක් දුටුවේ නැහැ සමවත් සුවෙන් සිටීම නිසා. එදින එතුමන් අහසින් රම්ම නගරය මතින් ගමන් කරමින් සිටියේ. මේ මහා අසිරිය සහ ජන ගංගාව දැක මහජනයා හට  පෙනෙන ලෙසම අහසින් පොළවට බැස” දරුවනි මේ කුමක් සඳහා පෙර සූදානමක් දැයි” ප්‍රශ්න කරනු ලැබුවා.


අපේ බුදුහාමුදුරුවෝ 12

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 09

මීට පෙර කී පරිදි සුමේධ තවුසාණන් රම්ම නගරය උඩින් අහසින් යමින් සිටියදී නගරයේ උත්සවශ්‍රීය දැක මිනිසුන් බලා සිටියදීම අහසින් බැස  මෙම උත්සවයට හේතු විමසන්නට වුනා. ඒ වනවිටත් රම්ම වැසියන් මහා සෘධි බලසම්පන්න සුමේධ තවුසාණන් ගැන හොඳින් දැන සිටියා. එවිට ඔවුන් මෙලෙස කියන්නට වුනා.

ස්වාමිනි ඔබ නොදන්නේද? දීපංකර බුදුරජාණන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධියට  පැමිණ දම්සක් පවත්වා  සුදස්සන මහා විහාරයෙහි වැඩ සිටිමින්  ජනපද චාරිකාවේ යෙදෙනවා. අපි සැවොම එහි ගොස් උන්වහන්සේට අපේ නුවරට වඩින ලෙස ආරාධනය කළා. අද උන් වහන්සේ  සාර ලක්ෂයක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන රම්ම නුවරට වඩිනවා. අපි මේ ඒ වඩින මග සරසනවා.

එවිට සුමේධ තවුසාට මෙහෙම හිතුනා. බුද්ධ යන මේ ශබ්දයද දුර්වලයි. බුදුඋපත ගැන කියනුම කවරේද? ඒ නිසා මමත් මේ මිනිසුන් සමග එක්ව මේ බුදුන් වඩින මග පිරිසිදු කරන්නට ඕනේ. එහෙම හිතලා උන්වහන්සේ ඒ පිරිසට මෙහෙම කිවා.

“භවත්නි, ඔබලා මේ මග භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම පිරිසිදු කරන්නේ නම් මටත් එයින් කොටසක් දෙන්න. මමත් ඔබලා සමග බුදුන් වඩින මග පිරිසිදු කරන්නම්. “

මෙය ඇසූ රම්ම වැසියෝ මෙලෙස සිතන්නට වුණා සුමේධ තාපසයෝ මහා සෘධිබල සම්පන්න මහා ආනුභාව ඇත්තෙක් උන්වහන්සේට එක් ක්‍ෂණයකින්  මුළු නගරය වුවද සැරසීමට පුළුවන්. ඒනිසා අපි උන්වහන්සේට ඉතා අසීරු කොටසක් දෙමු. මෙසේ සිතා එම නගර වැසියන් පිරිසිදු කිරීමට අසීරු දියෙන් බිදුණු අති විෂම එක් පෙදෙසක් සලකා මේ කොටස ඔබ වහන්සේ විසින් පිරිසිදු කර ලබාදෙනමෙන් ඉල්ලා සිටියා. මෙය ඇසු සුමේධ තව්සාණෝ බුද්ධාලම්බන  ප්‍රීතිය උපදවා මෙසේ සිතන්නට වුවා, මේ කොටස සෘධි ප්‍රතිහාරයෙන් එක් මොහොතකින් පරම දර්ශනීය කිරීමට තරම් මම මේ මොහොතේ සමත් වෙනවා. එහෙත් බුදුන් වෙනුවෙන් කිසිම කායික වෙහෙසීමක් නොමැතිව නිකන්ම නිකම් සෘධි බලයෙන් මෙවැනි දෙයක් කොට මා හට සතුටක් නොලැබේවි.  ඒ නිසා මගේ දෑතෙන්ම පස් කපා සුදු වැලි අතුරා අසම වූ තැන සමකොට බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගැනීම සදහා හැකි පමණ ඉක්මණින් සකසන්නට ඕනේ.

මෙසේ සිතා තම දෑතින්ම එම මඩ වගුරු ගොඩකිරිමටත්, සුදු වැලි අතුරන්නටත් මග දෙපස සරසන්නටත් පටන්ගත්තා. එසේ උන්වහන්සේ තමාට පැවරූ රාජකාරිය ඉවර කිරීමට මත්තෙන් දීපංකර බුදුරජානන්වහන්සේ වැඩමකරවීමට  ආරාධනා කිරීම සඳහා රම්ම වාසින් බුදුරජුන්ගේ සුගන්ද කුටිය අසලට පැමිණුනා.

 ඒ වන විටත් එම කුටිය පරිවාර කොටගෙන සාරලක්ෂයක් පමණවූ මහානුභාව තේජාන්විත රහතන් වහන්සේලා එහි වැඩ සිටියා.  හරියටම දහසක් පෙතිවලින් යුත් දාස්පතිය මලක් වාගෙයි අහසෙහි රැස්ව සිටි

දෙවියන්ට පෙනුනේ.  ඒ පිරිවරා සිටි රහතන් වහන්සේලාගේ මහා ගුණමහිමයෙන් බිඳක් අට්ඨාකතාවෙහි මෙලෙසයි සඳහන් වුයේ. 

පිරිවරාගත් ඒ භික්‍ෂුහු මෙබඳු වූහ.

අල්පේච්ඡ වුහ සන්තුෂ්ටයහ. ව්‍යකෘතහ. වචනක්‍ෂමයහ. ප්‍රවීචිගතයහ.අසංසට්ඨයහ.විනීතයහ.පගර්හිතයහ. සියල්ලෝම සීලසම්පන්න වෙති. සමාධියෙහි ධ්‍යනයෙහි දක්‍ෂවුවෝ වෙති. ප්‍රඥාවිමුක්තියෙන් යුක්ත වෙති. චරණයෙන් යුක්ත වුවෝ වෙති. ක්‍ෂීණාශ්‍රවයෝය. වසීප්‍රාප්තයහ. සෘද්ධිමත්හුය. යසස් ඇත්තෝය. ශාන්ත ඉන්ද්‍රිය ඇත්තෝය. දමනයට පත්වූවෝය. පුනර්භවය ක්‍ෂය කළාහුය.

ඒ අතරින් සුගන්ද කුටිය අසලට පැමිණි රම්ම වැසියන් කිහිපදෙනෙකු දොර වසා සිටියදීම වන්දනා කොට බුදුරජුන්හට ආරාධනය කරන්නට වුවා. ස්වාමීනී, ඔබවහන්සේගේ පැමිණීම උදෙසා සියලු කටයුතු සුදානම් කොට අවසන්.  ඒ වදන් පවසා තත්පර කිහිපයයි ගතවුයේ.   ඒ විශාල දොරටුව ඉබේ විවෘත වුනේ බුදුවරුන් විසින් කිසිදිනක දොරවල් තම ශ්‍රී හස්තයෙන් විවෘත නොකරන නිසාමයි. දශබලධාරී බුදුරජාණන්වහන්සේ බඳුවදමල් පැහැති දෙපොට සිවුර තිමඬුලු වසා හැද ඒමත රන්පමුදමකින් මල්කළඹක් වටකරන්නාක්මෙන් විදුලියක් වන්  ශශ්‍රික කායබන්නධය බැද රන්ගිරි කුලක් මත ලාරස ඉසින්නනාක් මෙන් රන් සෑයක් පබළු දැලකින් වසන්නාක් මෙන්ද රන් ඇගැයක් රත් කම්බිලියකින් පළදවන්නාක් මෙන්ද සරාසඳ රත් වලාවකින් වසන්නාක් මෙන්ද, ලාරසින් තෙත් කැලෑ මල සමපැහැති උතුම් රතු පාංශුකූල චීවරය පොරවා ගඳකිළි දොරෙන් රන් ගුහාවකින් සිංහයෙක් මෙන් නික්ම ගඳකිළිය ඉදිරියේ පෙනී සිටියා. එසැණින්ම ඒ සාර ලක්ෂයක් වූ මහරහතන් වහන්සේලා පසග පිහිටුවා වන්දනා කරන්නටත්  ඉන් පසුව පේලියන් පේලිය රහතන් වහන්සේලා නැගී සිටින්නට වුවා.

මේ මහත් වූ පෙළහර මුළු අහස්තලයම වසා සිටි දෙවි බබුන් දැක්කේ මෙතෙක් ලොව පහලවූ විශාලතම පුෂ්පය එකිනෙක පෙති විහිදන්නාක් මෙන්.

ඒ මහා කාරුණික වූ බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට මේ රම්ම නුවර මෙතරම් උත්සවශ්‍රීයෙන් බබළමින්  දෙව් බබුන් රහතුන් විසින් පරිවාරකොට ගත්තේ ලොවෙහි තවත් විශේෂ දිනයකට බව වැටෙහි ගියා. එනම් මෙතැන් පටන් සාරසංඛ්ය කල්ප ලක්ෂයක් ඉක්මවා මිනිසුන් දෙවුන් බබුන් කෙලකෝටි  ගණනින් නිවන් මගට පමුණුවන තවත් මතු බුදුවන මහා සම්මාසම්බුදුවරයෙකුගේ අභිනීහාරය නොහොත් ප්‍රථම නියත විවරණය ලබා දෙන දිනය මෙදින බව දැන සිටීමෙන්. පෙරමග බලා ඒ මහත් කර්තව්‍යට දකුණු ශ්‍රී පතුල ඒ භුමිය ස්පර්ශ කල මොහොතේ මුළු පෘථිවියම වෙව්ලා යන්නට ඇති.  දෙව් බබුන් විසින් අහසේ සිට මදාරා මල් විසුරුවන අතර ඒ භාග්‍යවතුන් වහන්සේ වීතරගාව වීතරගයින් සමග වීතදෝෂිව වීතදෝෂින් සමග වීතමෝහීව වීතමෝහීන් සමග ෂඩ් අභිඥාලාභී ක්‍ෂීණාශ්‍රවයෙන් හාරලක්ෂයක් පිරිවරා අනුපමේය වූ බුද්ධ ලීලාවෙන් තරු කැල පිරි වැරු සරා සදමෙන් සෙමෙන් සෙමෙන් ඉදිරියට පිය මනින්ට වුණා.  සුමේධ තාපසයෝද ඒ සරසා පිළියෙළ කල මගින් වඩිනා දීපංකර බුදුන් දුටුවා. උන්වහන්සේ පිරිවරාගෙන එන සාර ලක්ෂයක් වූ රහතන් වහන්සේලාගේ කසාවතින් මුළු පුරයම බබළන්නට වුණා.  අහසේ සහ පොලවේ රැදී සිටින ලක්ෂ සංඛ්‍යාත දෙවි මිනිසුන්ගෙන් සාදු කාරයෙනුත් දස දහසක් බෙර හොරණෑ  හක් වාදනයෙනුත් මුළු පුරවරයම ගිගුම් දෙන්නට වුනා.  එත් සුමේධ තවුසාණන් හට මේ වනකොටත් තමාට පැවරූ භුමි භාගයේ මඩින් පිරුණු සුළු කොටසක් නිමකර ගන්නට බැරිවුනා.  දෙතිස්වර ලකුණින් හෙබි අසු අනුලකුණින් අනුරඤ්ජිත  ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් සශ්‍රීක වූ ඉදුනිල්මිණි  වන් අහසේ නන්බඳු විදුලිය මෙන් සවනක් බුදු රැස් විහිදුවන රුවින් අග තැන්පත් බුදුන් දෙස දෑස් අල්වා බලා සිටිමින් මා විසින් දස බලයන් වහන්සේට ජිවිත පරිත්‍යාග කරන්නට වටින්නේයැයි සිතා භාග්‍යවතුන් වහන්සේ මඩ ගොඩින් නොවඩින සේක්වා. සාරලක්ෂයක් මහ රහතුන් වහන්සේලා සමග මාගේ පිට මතින්ම වඩින සේක්යයි සිතා කෙස් වැටිය මුදා හැර අඳුන් දිවිසම් ජටාමදුලු වැහිරි සිවුරු කළු මඩෙහි අතුරා ඒ මඩ මතම වැතිරී නමස්කාරකරගෙන සිටියා. මෙසේ මඩ මත වැතුරුනාවූ සුමේධ තව්සානෝ ඇස් හැර ලග ලග වඩින දීපංකර බුදුරජුන්ගේ සම්බුදු සිරිය බලමින් මෙසේ සිතන්නට වුණා,” ඉතින් මම කැමති නම් සියලු කෙලෙස් නසා රහත් බවට පත්ව සඟ පිටියේ නවකයෙකු වී රම්‍ය නගරයට පිවිසිය හැකි එහෙත් එසේ අප්‍රසිද්ධ වෙසින් කෙලෙසුන් නසා තමා පමණක් තනිවම නිවනට පැමිණීම ප්‍රමාණවත් නොවේ දීපංකර බුදුරජුන් මෙන් උතුම් සම්මා සම්බුදු බවට පැමිණ මහා ජනයා දහම් නැවට නංවා සංසාර සාගරයෙන් එතෙරකොට පසුව පිරිනිවන්නේනම් කොතරම් හොදද ඉක්බිතිව අෂ්ට ධර්මයන් සම්පුර්ණ කොට තිබු ඒ සුමේධ තව්සාණෝ බුදුබව ප්‍රාර්ථනා කරමින් අභිනීහාරය සදහා සියලු සුදුසුකම් සම්පුර්ණකොට ඒ දසබල ධරයන් වහන්සේ වඩිනා තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියා.


අපේ බුදුහාමුදුරුවෝ 13

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 10

අපේ බුදුහාමුදුරුවෝ මේ වනවිටත් ඔබගේ නිවන වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි කාල පරිච්ඡේදය මිනිසෙකුට නොව බුදුවරයෙකුට වුවද සිතා අවසන් කල නොහැකි තරම් දීර්ඝ කාලයකි. එම දීර්ඝ කාල පරිච්ඡේදය බුදුබව පතන ආකාරය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එනම් මනො ප්‍රණිධාන වාග් ප්‍රණිධාන, මහා ප්‍රණිධාන (කාය ප්‍රණීධාන) වශයෙනි. විවරණ වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ නියත විවරණ සහ අනියත විවරණ ලෙසය. එලෙස අනියත විවරණ සඳහා මේ වනවිටත් මනො ප්‍රණිධාන එනම් සිතින් පමණක්‌ බුදුබව පතමින් අසංඛ්‍ය කල්ප ලක්‌ෂ හතක් පසුකොට අවසන්ය.  සම්මුඛ වූ බුදුවරු සංඛ්‍යාව එක්‌ලක්‌ෂ විසිපන්දහසකි. වාග් ප්‍රණිධාන වශයෙන් පැමිණි කාලය අසංඛ්‍ය කල්ප ලක්‌ෂ නවයකි.  බුදුවරු සංඛ්‍යාව තුන්ලක්‌ෂ අසූහත් දහසකි. මෙලෙස සම්පුර්ණ කල කල්ප ප්‍රමාණය අසංඛ්‍ය කල්ප දහසයකි. සියලු බුදුවරු සංඛ්‍යාව පන්ලක්ෂ දොළොස් දහසකි. දැන් ඇත්තේ නියත විවරණ සම්පූර්ණ කර ගැනීමයි. ඒ සඳහා සම්මුඛ විය යුතු බුදුවරුන් ගණන විසිහතරෙකි. කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකි.

ඒ මහා ශ්‍රී විභූතියෙන් යුතු දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත රහතුන් පිරිවරමින් පැමිණ  නමස්කාර  කරමින් බිම වැතිරී සිටි සුමේධ තවුසා ඉදිරියේ නතර විය. එක් චිතක්ෂණයකින් අතීත වර්තමාන අනාගත ගණනය කල නොහැකි කාල යාත්‍රාවක පැමිණි ගමනද යායුතු ගමනද දර්ශනය විය. බෝසතාණන් වහන්සේගේ ප්‍රාර්ථනයද, විර්යයද දර්ශණය විය. දැන් ඇත්තේ ප්‍රථම නියත විවරණය සඳහා ලබා තිබිය යුතු අෂ්ට ධර්ම සම්පුර්ණ වේ ඇත්දැයි බැලීමය. එනම්

මනුස්සත්තං ලිංගසම්පත්ති – හෙතුසත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණසම්පත්ති  – අධිකාරො ච ඡන්දතා

අට්ඨධම්ම සමෝධානා – අභිනීහාරෝසමිඣතී

බුදුබව පතන්නාහු අෂ්ට ධර්මයකින් යුක්ත විය යුතුය. එනම් මිනිසත් බව, ලිංග සම්පත්තිය, හේතු සම්පන්න වීම, බුදුකෙනෙකු හමුවීම, පැවිදිවීම, අධිමානසික ගුණයෙන් යුක්ත වීම. ජිවිත පරිහරණය, කැමැත්ත හා සම්බන්ධ විර්යය යන මේ අටකින් යුක්ත වුවන්ගේ ප්‍රාර්ථනය සඵලවේ.

  1. මනුස්සත්තං – මිනිසත් භවයෙහි සිට බුදු බව පතන්නහුගේ ප්‍රාර්ථනය සඵල වේ. නාගයකු, ගුරුළකු, දෙවියෙකු විසින් කරනු ලබන බුදුබව ප්‍රාර්ථනය සඵල නොවේ.
  2. ලිංගසම්පත්ති – මිනිසත් භාවයෙහි දී පුරුෂයකු කරන ප්‍රාර්ථනාව ම සඵල වේ. පණ්ඩක, නපුංසක, උභාතෝව්‍යාඤ්ජනකයන් කරන බුදු බව ප්‍රාර්ථනා සඵල නොවේ.
  3. හෙතු – පුරුෂයෙකු වුවද එම අත් බැව්හි රහත් බවට හේතු සම්පත් ඇත්තහුගේ ප්‍රාර්ථනාව ම සඵල වේ. එයින් අන් අයකෙගේ ප්‍රාර්ථනාව සඵල නොවේ.
  4. සත්ථාරදස්සනං – රහත් වීමට හේතු සම්පත් ඇත්තා වුවද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි ප්‍රාර්ථනා කරන්නහුට සඵල වේ. බුදුරජුන් පිරිනිවී කල්හි චෛත්‍යය, බෝධි මූල ළඟ ප්‍රාර්ථනා කරන්නා හට සඵල නොවේ.
  5. පබ්බජ්ජා – බුදුරජුන් සමීපයෙහි බුදුබව පැතුවද පැවිදි වේශයෙන් සිටියහුට ම සඵල වේ. ගිහි වේශයෙන් සිටියහුගේ ප්‍රාර්ථනය සඵල නොවේ.
  6. ගුණ සම්පත්ති – පැවිද්දකු වුවද පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්ති ලභියකුම විය යුතුය. ධ්‍යාන ගුණයෙන් වියුක්ත වුවන්ගේ ප්‍රර්ථනා සඵල වේ.
  7. අධිකාරෝ – ධ්‍යාන ගුණයෙන් යුක්ත වුවද සිය ජීවිතය බුදුරජුන්ට පරිත්‍යාග කල කෙනෙකු හෙවත් අධිකාරය විශේෂ පරිත්‍යාග කල අයෙකු විය යුතුය. මේ අධිකාරය කලහුගේම ප්‍රාර්ථනය සඵල වේ.
  8. ඡන්දතා – ජීවිත පරිත්‍යාග කලද බුද්ධ කාරක ධර්ම හෙවත් පෙරුම් දම් පිරීම සඳහා මහත් කැමැත්තක්, මහත් උත්සාහයක්, මහත් පරිශ්‍රමයක්, මහත් ගවේෂණයක් ඇත්තා හටම ප්‍රාර්ථනය සමෘද්ධි වේ. මේ කරුණෙහි ලා චන්ද අභිලාෂ මහත් බවට උපමාවකි. බුදුබව පතන්නෙකුට මෙවැනි සිතක් තිබිය යුතුය. එනම් සම්පුර්ණ සක්වළ ගැබ එකම ජලාශයක් වුවත් තම බාහු බලයෙන් පිහිනා එතෙරට යන්නට සමත් විය හැකි සිත් ඇත්ද එවැන්නෙකු බුදුබවට පත්වේ. තවත් බොහෝ උපමා ඇත. එහෙත් මෙය ප්‍රමාණවත් යැයි සිතේ.

ඒ අප මහා බෝසතාණන් වහන්සේ මේ වනවිට මේ අෂ්ට ධර්මද සම්පුර්ණ කොට අවසානය. දැන් ඔබ බුදුන්වහන්සේ හට  පසඟ පිහුටුවා දවසකට වඳින වාර ගණන සිතන්න. උන්වහන්සේ වෙනුවෙන් පුදනු ලැබූ පුජා භාණ්ඩයන්හි මිල ගණන් බැලු වාර ගණන සිතන්න. පුදනු ලැබූ මල් ගණන සිතන්න. ඔබට සෑහීමකට පත්විය හැකිද? ඒ කෘතගුණ කෙලෙස නිම කරම්ද?


අපේ බුදුහාමුදුරුවෝ 14

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 11

අභිනිහාරය

අනියත විවරණ පූරණය කරමින් පැමිණි බෝසත්වරයෙකු විසින් ප්‍රථමයෙන් ලබන නියත විවරණය නොහොත් මංගල නියත විවරණය අභිනිහාරය යනුවෙන් හඳුන්වනු ලබනවා. එය ආශ්චර්ය ජනක තවත් අපුරු මොහොතක්.  එක් බුදුවරයෙකු තම අභිලාශය සමුර්ධිමත් කොට මංගල චාරිකාවේ වඩිමින් අවසන් ආත්මභාවය මෙලෙස සනිටුහන් කරද්දී තවත් මතු බුදු වරයෙකු තවත් දීර්ඝ ගමනාන්තයක් සඳහා පෙරුම් පුරනවා.  සුමේධ තවුසාණන්ගේ හිස පාමුළ සිටිමින් දීපංකර බුදුපියාණන් වහන්සේ මෙලෙස යලිත්  ඒ සාරලක්ෂයක් වූ රහතන් වහන්සේලා ඇතුළු දෙවු බඹුන් මිනිසුන් අමතන්න වුනා. එවැනි විශාල පිරිසකට ඇසෙන සේ  අමතන්න බුදුවරයෙකුට ඇරෙන්න වෙනයම් කෙනෙකුට බැහැ. 

“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං

අපරිමෙය්‍ය ඉතෝ කප්ප – බුද්ධෝ ලොකේ භවිස්සති”

යනුවෙන්  මේ මා ඉදිරියෙ වන්දනමස්කාර කරමින් බිම වැතිර සිටින්නා වූ ජටාධාර මේ මහාපුරුෂයා දෙස බලන්න. මොහු මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් පසුව  “ගෞතම” නමින් සම්මා සම්බුදු වීමට  නියමිතයි.

’’ඒ ගෞතම තථාගතතෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යයද කොට දුෂ්කර ක්‍රියාවද කොට, අජපල් නුගරුක් මුල හිඳ එහිදී කිරිබතද  පිලිගෙන නේරංජනා ගංගාව සමීපයට  එළඹෙනවා.

නැවත ජිනරාජතෙම නේරංජනා ගංතෙරදී කිරිබත වළඳා දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් ඇසතු බෝමුල කරා පැමිණෙනවා.

මහා යසස් ඇති ගෞතම නරශ්‍රේෂ්ඨතෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණු කොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කොටගනුලබනවා.

මුන්වහන්සේගේ  මව මායා නම් වනවා. පියතෙම සුදොවුන් නම් රජ කෙනෙක්.  මෙතෙම ගෞතම නම් වනවා. 

කාමාදී ආසව නැති, රාගාදී කෙලෙස් ද  නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති “කොලිත” ද, “උපතිස්ස” ද යන  අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් ලබනවා. ආනන්‍ද නම් උපස්ථායක කෙනෙක් ගෞතමයන්ට උපස්ථාන කරනවා.

කාමාදී ආසව නැති කළ, සන්හුන් සිත් ඇති, එකඟවූ සිත් ඇති ’’ඛෙමා’’ ද, ’’උප්පලවණ්ණාඒ’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් ලබනවා.. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ඇසතු රුකයයි කියනු ලබනවා. 

’’චිත්ත’’ ද, ’’හත්‍ථාලවක’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් ලබනවා. . ” නන්‍දමාතා’’ ද, “උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් ද ලබනවා.

දහසක් සක්වල වල දෙවුබඹුන්ද, පරිවාර කොට පැමණි ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ද අසමවූ, මහර්ෂීවූ දිවකුරු බුදුරදුන්ගේ මේ විවරණය  අසා සතුටු සිත්ඇතිව මේ තවත් බුද්ධාන්කුරයක් යයි බුදු යි(බුදුබව පතන බෝසතෙකැයි) කියා මහත් වූ  ප්‍රීති ඝෝසා කරන්නට වුනා. අත්පොළසන් දෙන්නට වුනා. මහත් වූ සාදු කාරයෙන් දස දහසක් සක්වලම රැවු පිළිරැවූ දුන්නා. දෙවුන් බඹුන් මිනිසුන් මෙලෙස සිතන්නට වුනා. යම් හෙයෙකින් අපහට මේ සාසනයේදී මගඵල නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් අනාගතයේ මේ ගෞතම බුද්ධ සාසනයේ හෝ මගඵල ලැබිය හැකියි. ඒ මේ වගේ දෙයක්. ගංගාවකින් එතෙර වීමට යන මිනිසුන් සමුහයකට යම් තොටුපළක් මග හැරුනේද ඊට පසුව ආසන්නයේම හමුවන තොටුපළෙන් එගොඩවීමට හදනවා වගේ දෙයක්.

දීපංකර බුදුපියාණන් වහන්සේ මෙලෙස බෝසතාණන් වහන්සේගේ ගුණ වර්ණනා කොට නියත විවරණ ලබා දී මල් අටමිටකින් පුදා පැදකුණු කොට නැවත රම්මක නුවර දක්වා වඩින්නට දකුණු ශ්‍රී පාදය ඔසවනු ලැබුවා. ඒ එක්කම මහා සාදු කාරයක් දසත පැතිර ගියා.  දීපංකර බුදුරජාණන් අනුව යමින්   ඒ සාරලක්ෂයක් වූ රහතන් වහන්සේලාද, මිනිසුන්ද, නාග ගන්ධර්වයෝද සුමේධ තවුසාට වැඳ නමස්කාර කරමින් පැදකුණුකොට පසුකොට ගියා. ඒ විතරක් නෙවෙයි අහසෙහි රැස්ව සිටි කෝටි සංඛ්‍යාත දෙවිවරුනුත් වන්දනා කරමින් මල් විසුරුවන්නට වුනා. ඒ පුෂ්පයන්ගෙන් මුළු පරිසරයම වැසුනා. සුවඳවත් වුනා. බෝසත් ගමනක අසිරිය. ඔබද මාද එදත් ඉන්නට ඇති. එත් අපිට තවම තොටුපල මුණ ගැසී නැහැ මේ චණ්ඩ ඕඝයෙන් එතෙරවීමට.

ඒ දසබලදාරි දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂගනනක් වූ රහතන් වහන්සේලා පිරිවරමින් රම්ම නගර වැසියන්ගේ පුදසත්කාර ලබමින් දෙවියන්ගේ අභිනන්දනය ලබමින් සන්ද්‍යා කාන්තිය වළඳන ලද උතුම් රන්ගිරිකුළක් මෙන් මල්සුවඳ සුවඳසුණු සුවඳින්  සුගන්ධවත් වූ ධජපතාක නංවන ලද සිල්සුවඳ බැඳී හදෙන් ගුමුගුමු නද ගන්වන ලද දුමින් අඳුරු වූ දෙවු පුරයක් මෙන් යසස් ශ්‍රීයෙන් ඔද වැඩුණු අති රමණීය රම්ම නුවරට පිවිසෙන්නට වුනා. මෝහ අන්ධකාරය දුරලා, ලක්ෂ සංඛ්‍යාත තරු පිරිවරා අඳුරු රාත්‍රිය එළිය කරන පුරා සඳක් මෙන් බුද්ධදිවාකරයාණෝ පැනවූ ආසනයේ වැඩ සිටියා. ඒ මහා සංඝ රත්නයද තම තමනට පැනවූ ආසන වල අසුන්ගත්තා. ඒ රඹගම් නුවරවැසි උපාසකවරු ශ්‍රද්ධාදීගුණ අසදෘශ සැප නිධාන වූ දානය බුදුපාමොක් බික්සඟනට පිළිගන්වන්නට වුනා.

එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ දෝරේ ගලා ගිය ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන් හිඳගනු ලැබුවා. 


අපේ බුදුහාමුදුරුවෝ 15

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 12

ඒ මොහොතේ රම්ම නුවරේ දීපංකර බුදුන් ඇතුළු ලක්ෂ හතක් පමණ සංඝ පිරිසට දානය පිළිගන්වනවා. එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ  ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන් වැඩ සිටියා. මෙය විවරණයෙන් පසු සෑම බුදුවරයෙකු විසින්ම අනුගමණය කරනු ලැබූ ධර්මතාවක්. අහසේ සිටි දස දහසක් සක්වලින් පැමිණි දෙවි වරුන් තවමත් ප්‍රීති ඝෝෂා නගමින් මෙලෙස කියන්නට වුනා.

“මහා වීරයාණන් වහන්ස ඔබ වහන්සේ නියත වශයෙන්ම බුදුවනවා. බුදුවරුන්ගේ වචනය සත්‍යයි. නොපසබස්නා වීර්යයෙන් උත්සාහ කරන්න. මේ ලෝක සත්වයන් මේ සංසාර දුකෙන් එතෙර කරනා බුද්ධ අංකුරයක් පැළයක්, බීජයක් වන්න. මෙලෙසම නියත විවිරණ ලැබ බුදුවූ බුදුවරුන් අප කොතෙකුත් දැක තිබෙනවා . ඔබ වහන්සේටත් ඒ ආශීර්වාදය අද ලැබුනා. සාදු සාදු සාදු !”

සුමේධ තවුසාණන් මෙම දෙවුන් බඹුන්ගේ ප්‍රීති වාක්‍ය අසා තව තවත් ප්‍රීතියෙන් පින ගොස්  තව දුරටත් පිරිය යුතු දස පාරමී ධර්ම මෙනෙහි කරන්නට වුනා.

 පාරමිතා ප්‍රභේද සාමාන්‍යයෙන්  පාරමිතාව එකක් වුවත් 

  1. පාරමිතාව ය,
  2. උප පාරමිතාව ය,
  3. පරමාර්ථ පාරමිතාව

යනුවෙන් කොටස් තුනකට බෙදා වෙනකොට දක්වනවා.  ඒ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ දක්වන ආකාරය මත.  මෙහි ඔබගේ අවබෝධය සඳහා  දාන පාරමිතාව පමණක් ඒ තුන් ආකාරයට වැටෙන අයුරු මෙලෙස විස්තර කරනු ලබනවා.
“පුත්තදාරධනාදි උපකරණ පරිච්චාගො දාන පාරමී, අත්තනො අංග පරිච්චාගො දාන උපපාරමී. අත්තනො ජීවිත පරිච්චාගො දානපරමත්ථ පාරමී”.

පාරමිතාව

තමා රැස්කළ ධනය වතු පිටි ඉඩකඩම් යානවාහන ඇතුළු සියලු භාණ්ඩ උපකරණ  මෙන්ම දරු දැරියන් අඹුවන් හරකභාන වැනි තමන් සතු සජීවී වස්තුන්ද පරිත්‍යාගය දාන පාරමිතාව නම් වෙනවා. 

උප පාරමිතාව

ලේ – මස් – ඇස් – කන් – අත් – පා ආදී තමාගේ ශරීරාවයව පරිත්‍යාගය දාන උප පාරමී නම් වෙනවා.
දෙවෙනි දාන පාරමිතාව යනු එහි තවත් තේරුමක්. 

පරමාර්ථ පාරමිතාව

අන් අයගේ යහපත වෙනුවෙන් තමා ගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමාර්ථ පාරමී නම් වෙනවා. . උසස් දාන පාරමිතාව ය යනු එහි තේරුම යි.

ලොවුතුරා සම්බෝධිය සහ පාරමිතා අනුග්‍රහය

සාමාන්‍යයෙන් එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනට බෙදා කියනුයේ ත්‍රිවිධ බෝධීන්හට අනුග්‍රහ වශයෙන්. ලොවුතුරා බුදු බවට නොහොත් සම්මා සම්බුද්ධත්වයට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය, දාන පරමාර්ථ පාරමිතාව ය යන මේ තුනම පිරිය යුතු ය.

ප්‍රත්‍යේක සම්බෝධිය නොහොත් පසේ බුදුබව සහ පාරමිතා අනුග්‍රහය

ප්‍රත්‍යේක සම්බෝධියට නොහොත් පසේ බුද්ධත්වයට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව ය, දාන උප පාරමිතාව ය යන දෙක පිරිය යුතුය.

ශ්‍රාවක බෝධිය සහ පාරමිතා අනුග්‍රහය

ශ්‍රාවක බෝධියට පෙරුම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය.  

දාන පාරමිතා තුන ම පිරිය හැකි තැනැත්තෝ ලොව්තුරා බුදු බවට පැමිණෙති. පළමුවන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණෙති. පළමුවන දාන පාරමිතාව පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්‍රාවක බෝධියට පැමිණෙති. ශීල පාරමිතාදී ඉතිරි පාරමිතා නවයෙහි මේ ප්‍රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතු ය.

  දස පාරමී

  1. දාන පාරමිතාව
  2. ශීල පාරමිතාව
  3. නෙක්ඛම්ම පාරමිතාව
  4. පඤ්ඤා පාරමිතාව
  5. විරිය පාරමිතාව
  6. ඛන්ති පාරමිතාව
  7. සච්ච පාරමිතාව
  8. අධිෂ්ඨාන පාරමිතාව
  9. මෙත්තා පාරමිතාව
  10. උපේක්ඛා පාරමිතාව

දැන් ඉහතින් දැක්වූ තුන් ආකාරයට මෙම දස පාරමිතා සම්මා සම්බුදු බුදුවරයෙකු විසින් වැඩිය යුතුය.
එවිට එය තිස්ආකාර වේ.

1.දාන පරමී
2.දාන උප පාරමී
3.දාන  පරමත්ථ පරමී
4.ශිල පාරමී
5.ශීල උප පාරමී
6.ශිල පරමත්ථ පාරමී
7.නෙක්ඛම්ම පාරමී
8.නෙක්ඛම්ම උප පාරමී
9.නෙක්ඛම්ම පරමත්ථ පාරමී
10.පඤ්ඤා පාරමී
11.පඤ්ඤා උප පාරමී
12.පඤ්ඤා පරමත්ථ පාරමි
13.විරිය පාරමී
14.විරිය උප පාරමී
15.විරිය පරමත්ථ පාරමී
16.ඛන්ති පාරමී
17.ඛන්ති උප පාරමී
18.ඛන්ති පරමත්ථ පාරමී
19.සච්ච පාරමී
20.සච්ච උප පාරමී
21.සච්ච පරමත්ථ පාරමී
22.අධිෂ්ඨානපාරමී
23.අධිෂ්ඨාන උප පාරමී
24.අධිෂ්ඨාන පරමත්ථ පාරමී
25.මෙත්තා පාරමී
26.මෙත්තා උප පාරමී
27.මෙත්තා පරමත්ථ පාරමී
28.උපේක්ඛා පාරමී
29.උපේක්ඛා උප පාරමී
30.උපෙක්ඛා පරමත්ථ පාරමී

දැන් සුමේධ තවුසන් සැරසෙන්නේ මෙම කරුණු සමාධි සුවයට පිවිස නැවත නැවත මෙනෙහි කිරීමටය.


අපේ බුදුහාමුදුරුවෝ 16

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 13

බුද්ධ කාරක ධර්ම  විමසීම සහ යලිත් දෙතිස් පෙරනිමිත පහළවීම

දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ වචනයෙන් ඔද වැඩුණු අප මහා බෝසතාණන් වහන්සේ තව තවත් විර්යය වඩමින් මෙසේද සිතන්නට වුනා.

” මම ධ්‍යාන සම්පත්ති විෂයෙහි ප්‍රගුණයෙක් වෙමි. ෂඩ් අභිඥා ඤාණ විෂයෙහි පරතරට ගියෙහි වෙමි. දස දහසක් ලෝක ධාතුවේ බුදුසසුනේ මා සමාන තවුසෙකු නැත. සෘද්ධි බලයෙන් අසම සම වෙමි. මම බද්ධ පර්යංකයෙන් වැඩ සිටිත්ම යම් පෙර නිමිති පහල විද අදත් ඒ නිමිති දක්නට ලැබේ. ( දෙතිස් පෙර නිමිති – අපේ බුදුහාමුදුරුවෝ 09 ) පෙර බෝසත් වරුන් පළක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකි සියලු දෑ අද ද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන්ම බුදුබවට පත්වන්නාහුය.

අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජුන්ගේ සහ දස දහසක් සක්වළ  දෙවියන්ගේ වචන අසා වඩ වඩාත් උත්සාහවත් වෙමින් මෙලෙස සිතන්නට වුනා. 

“බුදුවරයෝ සැබෑය, බොරුය යන දෙපරිද්දෙකින් පවත්නා වචන නැති හෙයින් නොවෙනස් වචන ඇත්තාහ. නොනිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි.”

“යම්සේ අහසෙහි උඩ දැමූ ගල් කැටක් ඒකාන්තයෙන් බිම වැටේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්යෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

“යම්සේ සියලු සත්ත්‍වයන්ට මරණය ඒකාන්තයෙන් ඒකාකාරව පවතීද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

“යම්සේ රාත්‍රිය අවසන්වූ කල්හි හිරු නැගීම ඒකාන්තයෙන් සිදුවේද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

“යම්සේ ගල්ලෙනෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

’’යම්සේ ගර්භනීන්ගේ ගැබ්බර මිදීම ඒකාන්තද, එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි’’

සුමේධ තවුසාණන් මෙසේ නන් අයුරින් විමසා බලා මම ඒකාන්ත වශයෙන්ම බුදු වෙමි යයි ස්ථිර අධිෂ්ඨාන කොට බුද්ධකාරක ධර්මයන් කොහි ඇත්දැයි ඔබමොබ උඩ යට දස දිසා පමණක් නොව කාම ලෝක රූප ලෝක අරූප ලෝක පමණක් නොව භවාත්‍රයටද අයත් සියලුම ධර්ම එකිනෙක විමසා බලන්නට වුනා. දැන් ඔබට තේරවි මහත් වූ සමාධියක් නොවැඩු පුද්ගලයෙකුට මෙවැන්නක් කෙසේවත් කල නොහැක්කක් බව. එසේ බලන විට මිට පෙර පහල වූ සියලු බුදුවරු ද  පුරුදු පුහුණු කල ඒ දස පාරමිතා ධර්ම ඇරෙන්නට වෙන කිසවක් පෙනෙන්ට තිබුනේ නැහැ. එතැන් සිට දාන පාරමිතාවෙන් පටන්ගෙන එකිනෙක දස පාරමී ධර්මයන් ඉහත දැක්වූ තිස් ආකාරයට මහා ඉර්ධි බල සම්පන්න මනසින්ද සසර පුරා ප්‍රගුණ කල සමාධියෙන්ද විමසන්නට වුනා.

මහ පොළව සළිත වී රම්ම නගර වැසියන් බිම ඇද වැටීම.

පාරමී ධර්ම, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් ගිතෙල්, මීතෙල්, ආදී දෙතෙලක් එක් රස කොට අනන්නාක් මෙන් ද මහා මේරු පර්වතය මහා සමුදුර කළඹන්නාක් මෙන් ද විමර්ෂණය කරන්නට වුනා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ගණ වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනා ලද බට දඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුනා. කුඹුල් සකක් මෙන්ද, තෙල් යන්ත්‍රයක් මෙන්ද  උක් දඬු යන්ත්‍රයක් මෙන්ද සෙලවුනා, රැවුදුන්නා, තෙල් යන්ත්‍රයෙහි සක මෙන්  භ්‍රමණය වන්නට වුනා. දස දහසක් සක්වලම කම්පාවන්නට වුනා.  

මෙසේ මහ පොළව කම්පා වනවිට රම්ම නගර වාසීන් පොළොවෙහි සිටින්නට නොහැකිව මහා කුණාටුවකින් පහරලත් මහා වෘක්ෂයන් සේ ඒ ඒ තැන්වල බිම වැටෙන්නට වුනා. කළ ආදී කුඹල් මැටි භාණ්ඩ බිම වැටි එකිනෙක හැපී සුණු විසිණු වුනා. බියපත් වූ රම්ම නගර වැසියෝ දීපංකර බුදුන් වැඩ සිටි දෙසට දුව එන්නට  වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 17

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 14

මේ අතරතුර දීපංකර බුදුපියාණන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත වූ රහතන් වහන්සේලා  දාන ශාලාවේ දාන වළදා අවසන් වෙමින් සිටියේ. එක වරම ඇති වූ භුමි කම්පාවෙන්  ඒ දාන ශාලාවේ ඇප උපස්ථාන සඳහා සිටිය ලක්ෂ සංඛ්‍යාත වූ ගිහි පිරිසත් වෙවුලමින් බිම වැතුරුනා. පොලොව දිගටම සෙලවන්නට වුනා.  ඒ එක්කම දානශාලාවේ තිබු දහස් ගණන් භාජන එකිනෙක හැපී වැටි සුනු වී කැබලි වී යන්නට වුනා. මිනිසුන් තවත් භීතියෙන් භීතියට පත්වුනා. ඔවුන් හිතුවේ දේව කෝපයක් හෝ යක්ෂයන්ගේ බලපෑමක් කියලයි. බියෙන් සන්ත්‍රාශයෙන් ආකුල වූ සිත් ඇති ජනයා සියලු ලෝකධාතුන්ද, සක්වලද, අතීත වර්තමාන අනාගත යන කාල ද දිවෙසෙන් පෙනෙන දීපංකර බුදුරජාණන් ළඟ දනින් වැටි මෙසේ විමසන්නට වුනා.

“බුදුරජාණන් වහන්ස ලෝකයාට කුමක් වන්නේද? හැමදෙනාම බියෙන් ඇළලීලා. අපේ අතින් යම් වරදක් වුනාද? මෙය ලෝකයාට අයහපත් පෙරනිමිත්ත්ක්ද යහපත් පෙරනිමිත්තක්ද? මේ උපද්‍රවය දුරු කරණු සේක්වා !”

ඒ මහා කාරුණික වූ බුදුපියාණන් වහන්සේ ඔවුන්ව එදා මෙලෙස සනසනු ලැබුවා.

“මේ පෘථිවි කම්පාවෙන් බිය නොවන්න. මෙය වුවදුරු රහිත වුවක්. අද දිනයේ මා විසින් යම් කෙනෙකු මතු බුදුවනවා යැයි ප්‍රකාශ කලේද, හෙතෙම පෙර බුදුවරුන් සිත් සෙවුනා ලද පෙරුම් දම් විමසයි. බුද්ධත්වයට පාදක  වන්නාවූ සියලු ධර්ම විමසන කල්හි මෙලෙස අප ලොව පමණක් නොව දස දහසක් සක්වලම කම්පා වෙනවා. මහා හඬ නංවනවා. වෙවුලනවා. මේ එවැන්නක්. සිතේ බිය දුරු කරගන්න. තවත් බුද්ධ අංකුරයක දළුලෑමක්.”

මහා ජනයා බුදුරජුන්ගේ කතාව අසා සිතේ බිය දුරුකරගත්තා පමණක් නෙවෙයි මහත් වූ ශ්‍රද්ධාවකින් සොම්නසකින් සුවඳවත් වූ පුෂ්පයන් ද රැගෙන සුමේධ බෝසතාණන් සමාධි සුවයෙන් සිටි ඒ රුක් මුල වෙත දුව යන්නට වුනා. යලිත් බෝසතාණන්  වහන්සේට මල් වලින් පුද වැඳ  පැදකුණු කොට රම්මවති නුවර වෙත යන්නට වුනා. දශ පාරමී ධර්ම විමර්ශනය කොට විර්යය දැඩි කොට අධිෂ්ඨානකොට වැඩසිටි අප මහා බෝසතාණෝ ආසනයෙන් නැගී සිටියා.

බෝසතාණන් වහන්සේ ආසනයෙන් නැගී සිටිත්ම දස දහසක් සක්වල දෙවියෝ රැස්වී දිව්‍යමය මල් ආදියෙන් පුදමින් මෙලෙස ප්‍රීති වාක්‍යය කියන්නට වුනා.

උතුමාණෙනි, ඔබ අද දීපංකර බුදුරජුන්ගේ පාමුල උතුම් වූ ප්‍රාර්ථනයක් කළා. ඒ ප්‍රාර්ථනය නිරුප්‍රදිතව සඵල වෙත්වා.!  බුද්ධත්වය කරා  පිය නගන්නා වූ මේ දීර්ඝ ගමනේ ඔබට  බියක් හෝ තැති ගැන්මක් නො වෙත්වා.! ඔබ සිරුරෙහි ස්වල්ප වූ හෝ රෝගයක් නො වැළදෙත්වා!. නිසි කල පැමිණි විට පෙරුම් සපුරා බුද්ධත්වය අවබෝධ කරත්වා!. මල් හා ගෙඩි හටගන්නා ගස් නියමිත කාලය පැමිණි කල මල් හා ගෙඩි ඵල ගන්වනු ලබයි. එමෙන්ම ඔබද කාලය නොයික්මවා බුද්ධත්වයට පත්වේවා! බුද්ධ ඤාණ  නැමැති මලෙහි පිපීම ඒකාන්තයි.  පසළොස්වක පොහෝ දින යම් සේ චන්ද්‍රයා ඉතා පිරිසිදු ලෙස බබළයිද, එමෙන්ම ඔබද පිරුණූ මනදොළ  ඇතිව දස දහසක් සක්වල බබලනු මැනවි. රාහුගෙන් මිදුණු සුර්යයා ආලෝකයෙන් වඩාත් බබලයිද එමෙන්ම ඔබද ලෝකය සසරෙන් මුදවා මහා වීරයෙකු සේ ශ්‍රීයෙන් බබලනු මැනවි.! සියලු ගංගාවෝ මහා මුහුදට ගලන්නා සේ දෙවියන් සහිත ලෝකයා ඔබ වෙතට ඇදී එත්වා.!   යැයි මංගල ස්තුති ගී පවත්වා තම තමන්ගේ දිව්‍යමය විමාන වලට යන්නට ගියා. සුමේධ තවුසාණෝ ද මම දස පාරමී දම් පුරා සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන්නෙමි යි විර්යය දැඩි කොට අහසට නැඟී හිමවතටම වැඩියා.

රම්ම නගර වැසි ජනයෝද ආපසු නගරයට පැමිණ දීපංකර බුදුරජුන් ප්‍රමුඛ මහසඟනට මහා දන් දුන්නා. දීපංකර බුදුරජාණන් ද ඔවුනට දම් දෙසා මහා ජනයා සරණ සීලාදී ගුණ ධර්මයන්හි පිහිටවන්නට වුනා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වයක් වුනා. දහම් දෙසන විට එක් කෙනෙකු දෙදෙනෙකු හතර දෙනෙකු වශයෙන් ධර්මය අවබෝධ කොටගත් අවස්ථා හරිම විරලයි. අඩුම වශයෙන් දසදහසක් විසි දහසක් සතළිස් දහසක් වශයෙන් විශාල ප්‍රමාණයක් එකවර ධර්මාබෝධයට පැමිණුනා. ඒ විතරක් නෙවෙයි ඒ කලේ යම් කෙනෙක් අරහත්වයෙන් තොරව  සෝවාන් සකුරුදගාමී අනාගාමී ව කලුරිය කරයිද  ඔවුනට කෙලෙස් ඇත්තන් විසින්   ගරුත්වයට ලක්වුණේ නැහැ. ඒ තරමටම අරහත්වය සුලභ පහසු විය. ඒ නිසාම දීපංකර බුදුපියාණන් වහන්සේට මහා ශ්‍රාවක සන්නිපාත තුනක් විය. එයින් නාරදකූඨ නම් පරම රමණීය පර්වතය අධිගෘහිත මහා බලගතු නාරද යක්ෂයා ඇතුලු දස දහසක් යක්ෂයන් දමනය ලස්සන කතාවක්. එය මතු දිනක වෙනම කතාවක් ලෙස ලියන්නම්.

මෙලෙස කෙල ප්‍රකෝටි ගණනින් දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කල දීපංකර බුදුපියාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයු වලඳා අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවී සේක.


අපේ බුදුහාමුදුරුවෝ 18

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 01

දිපංකර බුදුන් වහන්සේ පිරිනිවි වර්ෂ ලක්ෂයක් යනතෙක්  උන්වහන්සේගේ සසුන පැවතුනා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිවයාමෙන් උන්වහන්සේගේ සාසනය ද අතුරුදහන් වුනා. දිපංකර බුදුන්ගේ පරිනිර්වාණයෙන් එක් අසංඛ්‍යයක් ගෙවි එක් කපක කොණ්ඩඤ්ඤ නම් ශාස්තෘන්වහන්සේ කෙනෙක් ලොව පහල වුනා.  ඒ භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පුරා බෝධිඥානය මෝරවා තුසිත ලොව ඉපිද එහි ආයුතාක් කල් වැඩ සිට දේව ආරාධනයෙන් පසු පස්මහ බැලුම් බලා  දෙවු ලොවින් චුතවී රම්මවති නම් නුවරක සුනන්ද නම් රජ කුලයේ සුජාතා නම් දේවියගේ කුසෙහි පිළිසිද ගත්තා.

එදත් දීපංකර බුද්ධවංශයේ කී ආකාරයට දෙතිස් පෙළහර ඇතිවුනා. ඉපදීම සිට බුදුවීම දක්වා වූ කාලයේ ඇතිවූ  සියලු විශේෂ සිදුවීම් සියලු බුදුවරුන්ගේ බොහෝදුරට එක හා සමාන වුනා.  ඒ කොණ්ඩඤ්ඤ  බුදුරජාණන් වහන්සේ අවුරුදු දස දහසක් ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත්   “රාම”, “සුරාම”,  ’’සුභ’’ ය යන උතුම් ප්‍රාසාද තුනක් තිබුනා. එහි නැටුම් ගැයුම් වැයුම්හි දක්ෂ ඉතා අලංකාර ඇඳුමින් සරසන ලද පරිවාර අඟනෝ තුන් ලක්‍ෂයක් පමණ දිනපතා නැටුම් ගැයුම් වැයුම් පවත්වනු ලැබුවා.  බිරිඳ ’’රුචිදේවී’’ නම්. පුත් තෙම ’’ජිනසේන’’ නම් වුනා.  අවසානයේ  සතර පෙරනිමිති  දැක ගිහිගෙයින් නික්ම දසමසක් මුලුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය හෙවත් බුදුවීම පිණිස වෙර වෑයම් කොට බුද්ධත්වයට පත්වුනා.

සෑම බුදුවරයෙකුටම අවිජහිත ස්ථාන සතරකි. “අවිජහිත ස්ථාන” යනුවෙන් අදහස් කරන්නේ “අත් නොහරින ස්ථාන” යන්නයි. 

අවිජහිත ස්ථාන සතර

  1. සෑම බුදුවරයෙකුටම බෝධිපර්යංකය අත් නොහරින ස්ථානයකි. එනම් බුද්‍ධගයා බෝධිමණ්ඩලයයි.
  2. එසේම සියළු බුදුවරු ඉසිපතන මිගදායෙහි දම්සක් දෙසති. මෙය ද අත් නොහල ස්ථානයකි.
  3. මාතෘ දිව්‍යරාජයා ඇතුලු දෙවිවරුනට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට පා තැබූ ස්ථානය, එනම් සංකස්ස පුර වනාහී අත් නොහල ස්ථානයකි.
  4. දෙවුරම් ගඳකිළියෙහි ඇඳ පා පිහිටි තැන් සතර යන මේ ස්ථාන සතර සියළු බුදුවරයන් විසින් අත් නොහැරූ ස්ථාන සතර වුනා. එය කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ටත් පොදුවුනා.

උන්වහන්සේ කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නොහැකි ගුණ ඇති, ළංවිය නොහැකි ලෝකනායක තවත් බුදුවරයෙක් වුනා.

උන්වහන්සේ ඉවසීමෙන් පොළවට බඳු උපමා ඇත්තේද, සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේද, සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේද,වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 19

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 02

අනන්ත සතරකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තියනවා. 

අනන්ත සතර

එනම් සත්ත්ව ජාතීන්ද, අහසද, සක්වළවල්ද, බුද්ධ ඥානයද යන මේ සතර අනන්ත බවයි. මේ තවත් එවන් බුදුවරයෙකුගේ අතීත කතාවයි.

ත්‍රිපිටකයේ කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශ කතාව පටන් ගන්නේ ලස්සන ගාථාවකින්. මම හිතන්නේ එය සෑම බුදුවරයෙකුටම සාධාරණයි. ඒ නිසා එහි තේරුම ලියන්න හිතුනා.

දීපඞ්කරස්ස අපරෙන, කොණ්ඩඤ්ඤො නාම නායකො;
අනන්තතෙජො අමිතයසො, අප්පමෙය්‍යො දුරාසදො.

මෙහි “දීපඞ්කරස්ස අපරෙන,” කියන්නේ දීපංකර බුදුන්ට පසුව යන තේරුමයි. ” කොණ්ඩඤ්ඤො නාම” යන්නෙන් අදහස් කරන්නේ සිය ගෝත්‍රයෙන් ලැබුණු නම් ඇති යන්නයි. “අනන්තතෙජො” යනුවෙන් අදහස් කරන්නේ සිය සිල් ගුණ පින් තෙදින් අපමණ තෙද ඇති එනම් යටින් අවිචිය ද උඩින් භාවාග්‍රයද සරසින් අපමණ ලෝකධාතු ද අතර එක් පුද්ගලයෙකු හෝ උන්වහන්සේගේ මුව බලා සිටීමට සමතෙක්නම් නැත්තේය යන බවයි.

“අමිතයසො” යනු අපමණ පිරිවර ඇත්තේය යන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ වසර ලක්ෂයක් වූ පිරිනිවන් කාලය තෙක්  හික්ෂු සාසනයට එක්වූ භික්ෂු සංඝයාගේ ගණන මෙතෙකැයි සීමාවක් වුනේම නැහැ. . එහෙයින් “අමිතයසො” යැයි කියනු ලැබුවා.

කොණ්ඩඤ්ඤ  බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක සන්නිපාත

කොණ්ඩඤ්ඤ  බුදුහාමුදුරුවන්ටත් මහා ශ්‍රාවක සන්නිපාත තුනක් තිබුනා.  කොණ්ඩඤ්ඤ  ශාස්තෘන් වහන්සේ බුදුබවට පත්ව පළමු වස සඳවතී නුවර අසල චන්ද්‍රා රාමයෙහි වාසය කළා. එහි සුචින්ධර නම් මහසල් බමුණාගේ පුත් චන්ද්‍රමානව නම් කීර්තිධර බමුණු පුත් සුභද්ද නම් තරුණයාද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දස දහසක් සමග උන් වහන්සේ වෙතින් පැවිදිව රහත් වුනා. ඉන්පසු කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ පොසොන් පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්ෂයක් පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය පළමු සන්නිපාතයයි.

ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදු පුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්ෂයක් මැද පාමොක් දේශණා කරන්නට වුනා. එය දෙවැනි සන්නිපාතයයි.

පසුකල දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරනසේක් අනුකෙළක් පිරිවර ඇති උදේත නම් රජතුමා පැවිදි කරනු ලැබුවා. ඒ පිරිස සමග ඔහු ප්‍රධාන කොට ඇති අනූ කෙළක් මහා සඟරුවන  සමග භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශණා කරනු ලැබුවා. එය තෙවැනි සන්නිපාතයයි.

ඊට අමතරව මෑත භාගයෙහි මහා මංගල සමාගමයෙහි දසදහසක් සක්වළ දෙවියෝ සියුම් ආත්මභාව මවාගෙන මේ සක්වළට රැස්වුනා. එහි එක් දිව්‍ය පුත්‍රයෙක් කොණ්ඩඤ්ඤ දසබලයන් වහන්සේගෙන් පැනයක් විමසුවා. ඔහුට භාග්‍යවතුන් වහන්සේ මංගල කරුණු දේශණා කරණු ලැබුවා. එහිදී අනූ කෙළ දහසක් දෙවිවරු රහත්වුනා. සෝවාන් වූවන්ගේ ගණන නිමක් නැත.

ඒකාලේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා.


අපේ බුදුහාමුදුරුවෝ 20

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ  අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව  චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු අනුදාහක් විතර ආයුෂ. ඒ රාජ්‍යය සශ්‍රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්‍ය මහිමයෙන් ඉහලම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදු වරයෙක් ඒ හා සමානම පුණ්‍ය මහිමයක් ඇති සක්විති රජකෙනෙක් වගේම මතු බුදුවන බෝසත්වරයෙක් පහළ වුනු විරල කාලයක්. සමහරවිට ඔබත් මමත් ඉන්න ඇති කොහේ හරි.

රජකම පිය උරුමෙන් ලැබුනත් සක්විති රජකම පිය උරුමෙන් ලැබෙන දෙයක් නොවෙයි. එය ලබන්න පෙර වැඩු කුසල් මෙන්ම ආර්යය වු දස සක්‌විතිවත් වඩන්නත් ඕනේ. පොහෝ දින සුවඳ පැන් සොළොසකින් හිස සෝදා ස්නානය කොට පෙහෙවස්‌ සමාදන්ව උදේ කාලයේ කහවනු ලක්ෂයක් වියදම් කොට දානයක් දී රජ මාළිගයේ ඉහලම මාලයේ සිරියහනෙහි එරමිණියා ගොතා හිඳිමින් තමා දුන්නා වූ දානමය පින් ආවර්ජනය කරමින් සිටීම සියලු සක්විති රජුන්ගේ ධර්මතාවයක්. එසේ  ප්‍රාසාදයේ සිටන විට නිල්මැණික් සමුහයක් මෙන් දිව්‍ය චක්‍ර රත්නය අහසින් මතු වී නගරය උඩින් රජ මාළිගාව දක්වා එන්න පටන් ගන්නවා. ඒ චක්‍ර රත්නයෙන් විහිදෙන එළිය වරෙක හිරු ලෙසත් වරෙක සඳු ලෙසත් තවත් වරෙක දිව්‍ය විමානයක් අහසේ ගමන් කරන ලෙසත් වගේ තමයි මිනිසුන්ට පෙන්නේ. ඒ එක්කම එහි ඇති නිම් වළලු ගරාදි අතරින් යන සුළඟ නගන්නේ විණා දහසක් වාදනය කරන්නාක් මෙන් මිහිරි නාදයක්. ඒ නාදය නිසා ගෙවල්  තුල සිටින මිනිසුන්ද එලියට එන්නේ  ඒ නාදය කොහෙන්ද එන්නේ යනුවෙන් විපරම් කරමින්. අවසානයේ ඒ සියලු ජනී ජනයා ඒ සත් රුවන යන පැත්තට ඇදී එන්නට පටන් ගන්නවා.

අවසානයේ ඒ සත්රුවනද රජ සඳහාම තමන්ගේ පැමිණීම දැක්වීමට මෙන් සත් වරක්ම පවුර මතින් නගරයට ගොස් ඉන් අනතුරුව රජ තුමාගේ ඇතුළු නගරය ප්‍රදක්ෂිණා කොට ඇතුළු පුරයේ සීමැදුරු කවුළුවට සමව සුවඳ මල් ආදියෙන් පහසුවෙන් පුජා කිරීමට හැකි ස්ථානයක අකුර ගැසුවාක් මෙන් නවතිනවා. මෙසේ සිටින විට ඒ නා නා විධි වර්ණ රජ තුමාගේ ප්‍රසාදය ඇතුලට වැටී සිටන හැටි රජතුමා දැක මහත් වූ ප්‍රීතියෙන් සීමැදුරු කවුළුවෙන් බලා අතීතයේ මෙන් තමන්ටද සක්විති රජකම ලද බව දැන ප්‍රීති වාක්‍ය පවසන්නට පටන් ගන්නවා. අපගේ බෝසතාණන් වූ විජිතාවී සක්විති රජුන්ටත් මේ දේ මෙලසින්ම සිදුවුනා.

මේ සක්රුවන කොතරම් කල් තිබේද එතරම් කල් සක්විති රජකම පවතී. යම් දිනක මෙය අතුරුදන් වේද එදින සිට සත් දිනක් ඇවෑමෙන් සක්විති කිරුලද අහිමි වේ.

 ඒ සමගම රජ තුමා හට රත්න හතක හිමිකම ලැබෙනවා. එනම්

  1. දිව්‍යමය චක්‍රරත්නය, 2. දිව්‍යමය හස්තිරත්නය, 3. දිව්‍යමය අශ්වරත්නය, 4. දිව්‍යමය මාණික්‍ය රත්නය, 5. දිව්‍යමය ස්ත්‍රීරත්නය, 6. ගෘහපතිරත්නය, 7. පරිණායක රත්නය

දිව්‍යමය චක්‍රරත්නය.

ඉහත සඳහන් කලේ මේ සම්බන්ධව. සක්විති රජකම තහවුරු කරන්නේ මෙම චක්‍ර රත්නයෙන්. සාගරය කෙලවර කොට ඇති මෙම භුමි තලයේ සෑම දිසාවකටම එක් මොහොතකින් රජතුමා මැති ඇමති වරු වගේම ඒ සමග යාමට සිත් පහළවන හැමෝම ගෙන යාමට මෙම චක්‍රරත්නයට පුළුවන්. සාගරය තුලට යන විට සාගර ජලය දෙබෑ වී විනිවිද පෙනෙන මහා ප්‍රාසාද මෙන් රැඳී තියෙනවා පමණක් නොව මුතු මැණික් අභරණ වැනි නිධන් වස්තුන් රජතුමන් වෙත පැමිණෙන්නේ කැමති දේ ගැනීමටය. ඒ නිසාම රජතුමාට කිසිම රාජ්‍යයකින් බදු අය කලයුතු නැහැ. මෙම යානාව පෙරටු කොට යන සියලුම රාජ්‍යය යුද්ධයකින් තොරව යටත්වෙනවා. සියලු රජවරු රජතුමාට අවනත වෙනවා. ඔවුනට බදු ගෙවීම වෙනුවට දසරාජ ධර්මයෙන් රාජ්‍යය පවත්වාගෙන යන ලෙස අවවාද කරනවා. දැනුවත් කරනවා. මේ සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ මෙම චක්‍රරත්නයෙන්. ඒ ගැන ලියන්න තව පිටුගනණක්ම ලියන්න වේවි.

දිව්‍යමය හස්තිරත්නය,

හස්තිරත්නය කියන්නේ සක්විති රජතුමාට පහලවෙන අහසින් ගමන් කරන ධවල හස්ථි රජයාට. ඔහුත් පහළවන්නේ මහා පින් බලයට ඉබේටම. පිපුණු රන් පියුමක් මෙන් මනෝඥ වූ සොඬ අග ඇති, සෘධිමත් යෝගියකු මෙන් අහස් ගමනට සමත් මනෝසිලා සුණු ඇලුණු ඉදිරිපස ඇති රිදී පවුවෙන් මතු වුන ශ්‍රේෂ්ඨ ඇතෙක් මෙන් විත් මගුල් ඇතා අයින්කර ඉදිරියෙන් සිටිනු දැක සතුටුව ඇත්ගොවුවා වහා දුව ගොස් රජුට දන්වනවා. රජ පැමිණෙන විට පිරිවර ජනයා රන්දද රනින් වියනු ලැබූ රන් දැලකින් සරසා ඇතා රජු ඉදිරියට පමුණනවා. රජ්ජුරුවෝ ඇතා මතට නැගීමට ඇතාව දන ගස්වන්නේ නැහැ. ඒ වෙනුවට රුවන්මය ඉණිමගක් අධාරයෙන් පිට මතට ගොඩ වෙනවා. යා යුතු තැන සිතු සැණින් ඒ ඇත් රජ රාජ හංසයකු මෙන් ඉඳුනිල් මිනි ආලෝක ධාරා සතර දිසාවට විහිදුවමින් අහසට නැගී සියලු රජවරු වෙතට ගෙනගොස් උදේ ආහාරය සඳහා නැවත රාජ මාළිගාව වෙත රැගෙන එනු ලබන්නේ සුළු වෙලාවකින්.

දිව්‍යමය අශ්වරත්නය,

අශ්වරත්නය කියන්නේ අහසින් ගමන් කරන අජානීය අස්රජුටයි. ඒ වගේම මේ අස් රජුටත් ඇත් රජුටත් රජුගේ සිතුම් පැතුම් සිතූ සැනින් වැටහෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අයට සිතෙන් අණ දෙන්න සක්විති රජුට පුලුවන්. යායුතු දිශාව සිතීම පමණයි කල යුත්තේ.  රජ්ජුරුරුවෝ පෙර වගේම ඒ අශ්වයා බලාපොරොත්තුව ඉහත කි පරිදී පෙහවත් සමාදන් වී කරනු ලැබූ කුසලක්‍රියා අනුස්මරණය කරන මොහොතේම තමයි ඒ අශ්ව රත්නය පහල වෙන්නේ. ඔහුගේ පින් තෙදින් මෙහෙයවන ලද සින්ධව කුලයෙන් විදුලියෙන් එතූ සරත් කාලයේ සුදුවලා රැසක සිරිය පෑ, රතු පා, රතු හොම්බ , සඳරැස් රැසක සමාන පිරිසිදු සිනිදූ ඝණයෙන් යුත් ශරීරය කාක ගීවයක් මෙන් ඉඳුනිල් මිණි මෙන් ද කළුවන් හිසින් යුත් කලුහිස මනාව ලද්දාක් මෙන් අහසින් යන අස් රජද පහල වෙනවා. අනෙකුත් සියලු දේ ඇත් රජුට සමානයි.


අපේ බුදුහාමුදුරුවෝ 21

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04

දිව්‍යමය මාණික්‍ය රත්නය.

අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත හැරුනා. මෙසේ පහළ වන සත් රුවන් අතර සතරවැනි රුවන් තමයි දිව්‍යමය මාණික්‍ය රත්නය. මාණික්‍යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන ආලෝකය විහිදෙන මැණිකක්. මුළු මහත් රාජධානියම රාත්‍රියට හිරුමෙන් අලෝකවත් කරන්නත් එයට පුළුවන්. රියන් හතරක් පමණ විශාල දෙකළවර පියුම් කෙමියෙක කෙළවර මෙන් වෙළෙන ලද පිරිසිදු මුතු කලාපවලින් රන් පියුමෙන් අලංකාර කළ අසූහාර දහසක් මැණික් පිරිවරද සහිත තරු පිරුවරු සඳ මෙන් බබළන මහා මිණිරුවණක් වේපුල්ල පර්වතයෙන් මතුව එනු ලබනවා. මෙම මාණික්‍යය රත්නය උණ ලී ආධාරයෙන් රියන් හැටක් පමණ එසවීමෙන් රාත්‍රී භාගයෙහි හාත්පස යොදුනක් පමණ අවකාශයෙහි එලිය පැතිරෙනවා. හරියටම මෙකල රාත්‍රී ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගන එළිය කරනවා වගේ. ක්‍රීඩාංගන එලිය කරන්නේ අධි බලැති විදිලි බුබුලු දහස් ගණනකින්. මෙය එක් මැණිකකි. එකයි දිව්‍යමය මාණික්ය රත්නයක් කියන්නේ. එය හිරු නැගි කලක් මෙන් ප්‍රභාශ්වරයි. එයින් ගොවියෝ කෘෂිකර්මය, වෙළෙන්දෝ ආපන වැඩ සහ වෙළදාම, ඒ ඒ ශිල්පින් ඒ ඒ කර්මාන්වල යෙදෙන්නේ හරියටම දහවල දී වාගේමයි. අපේ බුදුහාමුදුරුවන්ට බෝසත්වියේදී මේ සියල්ලම පහළ වුනා පමණක් නෙවෙයි ඔබ අප වෙනුවෙන් ඒ සියල්ලමත් අත්හරිනු ලැබුවා.


අපේ බුදුහාමුදුරුවෝ 22

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 05

දිව්‍යමය ස්ත්‍රීරත්නය

මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්‍ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදුරජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකයි. එසේත් නැතහොත් පුණ්‍ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු ලබන්නියක් විය හැකියි.

ඕතොමෝ මනා රූ ඇත්තීයකි. දකින්නන් වසඟයට පත්වේ. ඒ නිසාම තම තමන් නිරත වූ කාර්යයන් පසෙක ලා දුටුවන් දෙනෙත් නොපියා බලා සිටි.  උතුම්වූ වර්ණ සංකලනයක් වගේ සෞන්දර්යාත්මකයි.  ගොඩක් උසත් නැහැ. ගොඩක් මිටිත් නැහැ. ඉතා කෙට්ටුත් නැහැ. ඒ වගේම ඉතා මහතත් නැහැ.  ඉතා කළුත් නැහැ, ඉතා සුදුත් නැහැ, රන්වන් පාටයි.

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ වර්ණාලෝකය පිටතට පෙනෙන්නේ නැහැ. එත් දෙවියන්ගේ දොළොස් රියනක් පමණ දුරට විහිදෙනවා. එහෙත් ඇයගේ වර්ණය මිනිස් වර්ණය ඉක්මවූ එහෙත් දිව්‍ය වර්ණයට නොපැමිණියාවූ (දෙවඟනක් සමාන) ඒ දෙකට අතර වූ ප්‍රභාශ්වර බවක්. 

ඇයගේ සිරුරේ ස්පශයද විශේෂයි.  එය මෙවැන්නක්.  ඉඹුල්පුළුන්වල හෝ කපු පුළුන්වල යම්බඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක්. ඒ විතරක් නොවෙයි, ශීත කාලයේ ඒ ස්ත්‍රී රත්නයගේ ශරීරය උණුසුම් වෙනවා. එයින් රජතුමාට යහනේදී උණුසුම ලැබෙනවා. ඒ වගේම උණුසුම් කාලයේදී ඇයගේ වත සීත වනවා. එයින් උණුසුම අධික අවස්ථාවල ඇයගේ පහස සිසිලස ගෙන එනවා.

ඒ ස්ත්‍රී රත්නයයේ ශරීරයෙන් සඳුන් සුවඳ නිරන්තරයෙන්ම විහිදෙනවා.  මුව විවර කරන සෑම වතාවකම නිල් උපුල් මල්සුවඳ හමනවා.

ඇය රජු දුටු විගස ගින්නෙන් දැවුනාක් මෙන් පළමුව හුන් අසුණින් නැගි සිටිනවා. ඒ වගේම රජු අවදිවීමට කලින් අවදිවී සැරසී සිටිනවා. ඒ වගේම රජු හිඳගත් විට තල්වැටින් පවන් සැලීම අදියකොට රජු සැතපුන පසුව නින්දට යනවා.

“දේවයනි කුමක් කරම්ද? ඔබ හට අවශ්‍ය යමක් ඇත්ද?” යනාදී ප්‍රිය තෙපුල් තෙපලමින් වචනයෙන් පවා කීකරු බව දක්වමින් දාසියක් මෙන් හැසිරෙනවා.

ප්‍රිය මනාපව හැසිරෙනවා. යමක් රජු ප්‍රිය නම් ඒ දේම කියනවා. අකමැති දේ කතා කරන්නේ නැහැ. කරන්නේත් නැහැ.  මේ සියල්ලම පාරිශුද්ධ වූ ආචාරශිලත්වයේ උපරිමය නිසාම වන අතර කපටි කෛරාටික බව නිසා නොවන බවත් මතක තියාගන්න ඕනේ.

ඇය කිසි කලෙක රජු ඉක්මවා නොහැසිරෙයි. බොහෝ සිල්වත් වෙයි. රාගාදී කෙලෙස් තුනී වුවෙක් වෙයි. ඒ නිසාම අනාචාරයේ නොහැසිරෙන පතිවෘතාව දිවිහිමියෙන්ම රකින තැනැත්තියක් වෙයි. ඒ නිසාම රජු හැර අන් පුරුෂයෙක් සිතෙන්වත් නොපතයි. එසේනම් කයෙන් කියනුම කවරේද?

මෙය කියවන ඔබ ස්ත්‍රියක් නම් ඔබටත් එවැනිම ස්ත්‍රී රත්නයක් විය හැකියි.  මෙය කියවන ඔබ පුරුෂයෙකුනම් ඔබටත් සක්විති රජකම හිමි කරගත හැක. අවශ්‍ය වන්නේ දාන සීල පාරමිතා පිරිම පමණි.


අපේ බුදුහාමුදුරුවෝ 23

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 06

ගෘහපතිරත්නය,

අද කියන්න යන්නේ විජිතාවී රජ්ජුරුවන්ගේ සත් රුවනේ සයවැන්න වන ගෘහපතිරත්නය ගැනයි. ගෘහපතිරත්නය කියන්නේ සක්විති රජතුමාගේ සියලු ධනය වස්තුව පහසුවෙන් පැවැත්වීම සඳහා පහළවෙන උත්තමයෙකුට. ඔහු උපදින්නේත් මහත් සම්පත් ඇති මහත් භවභෝග ඇති උසස් සිටු කුලයක සිටුවරයෙකු ලෙස. ඔහු රජතුමාගේ ධනය වස්තුව පාලනය කරනවා පමණක් නොවෙයි. රජ්ජුරුවන්ට ධනය රැස්කර දෙන ගහපති සිටුවරයාද වෙනවා. ඔහුට උපතින්ම ලැබෙන විශේෂ ලාභයක තියෙනවා. ඒ තමයි දිවැස්. එය ලැබෙන්නේ ඔහු පෙර භවයන්හි කල කුසල කර්ම විපාකයන්හි ප්‍රතිඵලයක් ලෙසත් සත් රුවනේ ආණුභාවය නිසාමත්මයි. ඒ දිවැස ඔහුට පෘථිවිතලය මත සාගරය තුල හෝ පොළොව යට හෝ යොදුනක් පමණ දුර ඇති නිධාන පෙනෙනවා. හිමිකරුවන් නැති නිධාන වෙතොත් එය රජ්ජුරුවන්ට පෙන්වා හිමි කරදෙනු ලබනවා.

මේ ගැන ලස්සන විස්තරයක් දීඝ නිකායේ මහා සුදස්සන සුත්‍රයේ තියෙනව. මේ එහි දැක්වෙන අයුරුයි.

“නැවතද අනිකක් නම්, ආනන්දය, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළවිය. යමකින් අයිතිකාරයන් ඇතිවූද, නැතිවූද නිධාන දකීද එබඳු දිවැසකි. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවේය. දෙවයන් වහන්ස, උත්සාහ නොකළ මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි” ධනයෙන් පැවරීය. ආනන්දය පෙරවූවක් කියමි. මහා සුදර්ශන රජ ඒ ගෘහපති රත්නය විමසනු පිණිස නැවකට නැගී ගංගානම් ගඟ මැද දිය පාරට පැමිණ ගෘහපති රත්නයට මෙසේ කීය ‘ගෘහපතිය, මට රත්රනින් ප්‍රයෝජන ඇත්තේය’ යනුයි ‘මහ රජාණෙනි, එහෙනම් නැව එක් ගොඩකට (තෙරකට) පමුණුවනු මැනවැයි’ කීය. ‘ගෘහපතිය, මට මෙහිදීම රන් රුවනින් ප්‍රයෝජන ඇත්තේය’යි කීය.

“ආනන්දය, එවිට ඒ ගෘහපතිරත්නය දෝතින් දියදෙබෑ කොට රන්රුවනින් පිරි ඇති නිධිකුම්භයක් (නිධාන කළයක්) ඔසවා මහා සුදර්ශන රජුට මෙසේ කීය. ‘මහ රජාණෙනි, මෙපමණකින් ප්‍රමාණද, මහ රජාණෙනි, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේද, මහරජාණෙනි, මෙපමණකින් (ඔබවහන්සේ) පුදන ලද්දේදැයි’ ඇසීය. මහාසුදර්ශන රජ තෙමේ ගෘහපතිය, මෙපමණකින් ප්‍රමාණය, ගෘහපතිය, මෙපමණකින් (කටයුතු) කරන ලද්දේය. ගෘහපතිය, මෙපමණකින් පුදන ලද්දේයයි’ කීය ආනන්දය, මහා සුදර්ශන රජුට මෙබඳු ගෘහපති රත්නයක් පහළ වූයේය.

ඒ විජිතාවී සක්විති රජතුමාටත් එවැනිම ගෘහපතිරත්නයක් හිටියා.


අපේ බුදුහාමුදුරුවෝ 24

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 07

පරිණායක රත්නය

හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’. මිට පෙර සඳහන් කල ගහපති රත්නය පහල වූවායින් පස්සේ සක්විති රජකෙනෙකුගේ සියලු කෘත්‍ය සම්පාදනය කිරීමේ සමර්ථ පරිණායක රත්නයක් පහළ වෙනවා. ඒ තමයි රජතුමාගේ වැඩිමහල් පුත්‍ර රත්නය. සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන බව සඳහන්.  බොහෝ විට ධර්මයේ සඳහන් වන්නේ පරිණායක රත්නය වැඩිමහල් පුත්‍ර රත්නය බවයි. සක්විති රජතුමාගේ ඇවෑමෙන් ඊළඟ සක්විති රජකම හා රාජ්‍ය ලබා ගන්නේ මේ පරිණායක රත්නයයි.

ස්වභාවයෙන්ම ඔහු පඬිවරයෙක්. ව්‍යක්තයෙක්. නුවණැත්තෙක්. ඔහු රජතුමාට වෙහෙසෙන්නට දෙන්නේ නැහැ වගේම රජතුමාත් පෞද්ගලික අත්‍යාවශ්‍යතාවයන් සහ රාජ්‍යය පරිපාලනය සඳහා අවශ්‍යය සියලුම කටයුතු පවරන්නේ ඔහුට. රජතුමාගේ පින්වත්කම නිසාත් ඔහුගේ කර්මානුභාවයෙනුත් ඔහු ඉපදෙන්නේ අනුන්ගේ සිත් දැනගන්නා ඤාණය ද සමගින්. ඔහුට පුළුවන් යොදුන් දොළහක් ඇතුළත රජ පිරිසේ සිත් හැසිරෙන ආකාරය ගැන දැන රජතුමාව දැනුවත් කරන්න. ඒ මගින් රජුට හිතවත් වගේම අහිතවත් අයවත් වෙන් කර හඳුනාගන්න සමත් වෙනවා.

මේ අයුරින් කිසිම මැති ඇමතියෙකුට පරිණායක රත්නයට හොරා සතරකන් මන්ත්‍රණයක් වත් කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසාම රාජ්‍යය ඉතාමත් දැහැමින් සෙමින් සමගි සම්පන්නව පාලනය වෙනවා. විජිතාවී සක්විති රජතුමා නොහොත් අපේ බෝසතාණන් වහන්සේටත් එවැනි ලොකු පුතෙක් හිටියා. ඇත්තෙන්ම අපි හැමෝටමත් ලොකු පුත්තු ඉන්නවා. ඒ අයට ඉහතින් කියූ සෘද්ධි බල නැතත් අපගේ දුක සැප හොයා බලනකොට අපිට දැන්නේ පරිණායක රත්නයක් වගේ නෙවෙයි. සක්විති රත්නයක් විදිහටයි.


අපේ බුදුහාමුදුරුවෝ 25

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 08

සක්විති කිරුළ සඳහා පිරිය යුතු සක්විතිවත්.

සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාථිකවග්ගපාළියට අයත් “චක්කවත්ති – සීහනාද” සූත්‍රයෙහි යි. එහි සඳහන් කර ඇති අන්දමට ඉහත කියූ සත් රුවන් පහළ වීමෙන් සක්විති රජකමට පත් වන්නේ මේ දස සක්විති වත් වලින් සමන්විත රජකෙනෙක් පමණයි.  ඒ විතරක් නෙවෙයි ඒ සක්විති රජකම සුරැකෙන්නෙත් ඒ සක්විති වත් රකිනතාක් කල් පමණයි. ඒ නිසා මුලදී රැක පසුව නොරැක ඉන්නත් බැහැ. එහෙම වුනොත් චක්‍ර රත්නය අතුරුදහන් වෙනවා. ඒ සමගම දින හතකින් සක්විති රජකමත් අහිමිවෙනවා. ඒ සක්විතිවත් දැනගැනීම සක්විති නොවුනත් අපේ පාලකයන්ටත් වැදගත්වේවි. ඒ නිසා එයත් කෙටියෙන් සඳහන් කරන්න හිතුනා.

[1] ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මධ්වජයක්ව ධර්මකෙතුවක්ව ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.

[2] බල සෙනඟද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.

[3] ක්ෂත්‍රියයන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කිරීම.

[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂාව පිළියෙළ කිරීම.

[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම.

[6] මහණ බමුණන්ද රැක ගැනීම.

[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කිරීම.

[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කිරීම.

[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට කෑම බීම ධනය මෙන්ම අවශ්‍ය සියලුම රුචි අරුචි වලින් සංග්‍රහ කිරීම.

[10] සිය රටෙහි ලෞකික ආශා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනයකළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. මේ සියල්ල  නිවැරදි සක්විතිවත් ලෙස හඳුන්වනවා.

අපේ බෝසතාණෝ මේ සියලු වත් පිළිවෙත් ඒ ආකාරයෙන්ම පිළිපැද තුබුණා.


අපේ බුදුහාමුදුරුවෝ 26

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 09

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ ඌර්ණ රෝමකූප ධාතුව

විජිතාවී සක්විති රජ තුමා ගැන බොහෝ විස්තර මට ත්‍රිපිටකයේ හමුවුනේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ අනෙකුත් සක්විති රජවරුන් ගැන ලියලා තියෙන පොදු කරුණු බොහෝ තැන් වලින් උපුටා ගත්තා. ඒ දීඝනිකාය » මහාවග්ගපාළි » මහා සුදස්සන සූත්‍රය, ඒ වගේම දීඝනිකාය » පාථිකවග්ගපාළි » චක්කවත්ති සීහනාද සූත්‍රය සහ එහි අටුවාවන් ඒ වගේම බුද්ධවංශ අට්ඨකතාව යන ග්‍රන්ථ වලින්. ඔබට මා ලීවාට වඩා ඉතාමත් රසවත් විස්තර මේ සුත්‍ර කියවීමෙන් ලබාගන්න පුළුවන්.

සක්විති කිරුළ කියන්නේ මේ පෘථිවි තලයේ ලෞව්කික මිනිසෙකුට පැමිණිය හැකි ඉහළම කිරුළ විතරක් නෙවෙයි පෘථිවි තලය මත ලැබිය හැකි උපරිම සැප වගේම බලය ලබන පදවිය. ඒ වගේම පෘථිවි තලය මත ලැබිය හැකි ඉහළම ලෝකෝත්තර කිරුළ තමයි බුද්ධත්වය.  මේ පදවි යුගලයම ලැබෙන්නේ උත්තරීතර මනුෂ්‍යරත්නයකට. ඒ නිසාම උපතේදීම මෙවන් උත්තරීතර මනුශ්‍යරත්නයකට පිහිටන විශේෂ දේහලක්ෂණ තිස්දෙකක් වෙනවා. ඒවා දේහ ලක්ෂණ විද්‍යාවේදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වශයෙන් හඳුන්වනවා.

බුදුවරයෙකුට හා සමානවම සක්විති රජතුමෙකුටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එක හා සමානව පිහිටනවා. එහෙත් එකම එක වෙනසක් තියනවා. ඒ දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස නොහොත් ඌර්ණ රෝම කූපයයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියනවා.

එමෙන්ම එය යම් තැන්වල භුරිදත්ත නාගරාජයා තුඹස මත දරණ ලා සිටින ආකාරය ට සමාන කරන අතර නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි. මේ සියල්ල බුදුහාමුදුරුවන්ට පිහිටි ඌර්ණ රෝම කූපයේ ලක්ෂණයි. එහෙත් සක්විති රජතුමාගේ මේ රෝමකූපය රත්රන් පාටින් යුක්ත වෙනවා වගේම එය වමට කැරකී අග කොටස පහතට බර වී තිබෙනවා. එය පමණයි ඇති එකම වෙනස.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරනවා නම් එය සතර අකාරයකට විස්තර කරන්න ඕනේ  ඒ මේ ආකාරයට

  1. ඒ එක් එක් මහා පුරුෂ ලක්ෂණ සඳහා කර තිබු කුසල කර්මය.
  2. ඒ මහා පුරුෂ ලක්ෂණයට උපමාව
  3. මහා රූප ලක්ෂණය
  4. එහි වර්තමාන ආනිසංස

දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් මම ලියන්නේ නැහැ. එය පහසුවෙන්ම සොයාගත හැකි නිසා.

අප මහා කරුණිකයාණන් වහන්සේට අද වගේම එදාත් ඒ මහා දෙතිස්පුරුෂ ලක්ෂණ තිබුනා.

ඒ වගේම සක්විති රජකෙනෙකුට පමණක් විශේෂ වූ ඍද්ධි සතරක් තියනවා කියලා මහා සුදස්සන සුත්‍රයේ කියනවා. එය මෙලෙසයි.

සක්විති රජුන්ගේ සතර ඍද්ධි

  1. සක්විති රජ අන්‍ය මනුෂ්‍යයන්ට වඩා අතිශයින් මනාවූ රූප සොභා ඇති දැකීමට ප්‍රියවූ සතුට ගෙනදෙන්නාවූ උතුම් වර්ණ සම්පත්තියෙන් යුක්ත වෙනවා.
  2. රජු සෙසු මනුෂ්‍යයන්ට වඩා බොහෝ කල් ජීවත්වන්නෙක් වෙනවා වගේම දීර්ඝායු ඇත්තෙක් වනවා.
  3. සක්විති රජු අන්‍ය මනුෂ්‍යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් වනවා. . රොග අඩු කෙනෙක් විය. ඉතා මඳද නොවූ වැඩිද නොවූ, සමව ආහාර දිරවන ගින්නෙන් යුක්ත වනවා.
  4. එලෙසම සියලු රටවැසියන්ට වගේම ගෘහපතීන්ටද බ්‍රාහ්මණ ගෘහපතීනටද ප්‍රියවනවා, මනාපවනවා. හරියටම යම්සේ පුත්‍රයන්ට පියා ප්‍රියවේද, මනාප වේද එමෙන්ම සක්විති රජද ගෘහපතින්ටද, බ්‍රාහ්මණ ගෘහපතීන්ට ප්‍රියවනවා. මනාපවනවා. ඒ නිසාම රජතුමා අශ්වරථයේ නැග වීථි සංචාරය කරන අවස්ථාවේ සෙමින් රථය පදවන ලෙස ඔවුන් වැඳ වැටි ඉල්ලා සිටිනවා. ඒ වෙනකක් නිසා නෙවෙයි වැඩි වෙලාවක් දැක ගැනීමට. අප මහා බෝසතාණන් වහන්සේද මේ මහා සතර වැදෑරුම් ඍද්ධියෙන් යුක්ත වුනා.

මේ සියල්ලම සඳහන් කලේ සක්විති කිරුළත් එහි පාරිශුද්ධ භාවයත් එහි අසම සම බලයත් එහෙත් අවසානයේදී ඔබ අප වෙනුවෙන් ලොවෙහි ඒ ශ්‍රේෂ්ඨ වූ කිරුළද බෝසත්වරයන් විසින් අතහරින බව පැවසීමටය.


අපේ බුදුහාමුදුරුවෝ 27

කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 10

ඉහතින් සුළු වශයෙන් සක්විති රජ කෙනෙකුගේ මහේශාක්‍යභාවය විස්තර කෙරුණා. ඒ සියලුම තේජාන්විත බල පරාක්‍රමයෙන් යුතු විජිතාවී සක්විති රජ නොහොත් අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තවත් බෝසත් උපතක් ලබා උතුම් රාජ රාජ මැති අමාත්‍යවරුන් පිරිවරා චන්ද්‍රවතී නුවර සිට අපමණ රුවන් දරන මේ මේ මහා සයුරද මුළු මහත් මහ පොළවද දැහැමෙන් සෙමෙන් කිසිම දඬුවමකින් තොරව අශස්ත්‍රයෙන් (ආයුධවලින් තොරව) පාලනය කරනු ලැබුවා.  

ඒ කාලේ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ කෙළ ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරා ජනපද චාරිකාවේ යෙදෙන අතර චන්ද්‍රවතී නුවරටත් වැඩම කරනු ලැබුවා.

ඒ විජිතවී සක්විති රජු මේ බව අසා ඉතාමත් සතුටු සිතින් පෙර ගමන්කොට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ බැහැදැක ඒ කෙළ ලක්ෂයක් භික්ෂු සංඝයා හට අවාස ලැහැස්ති කරනු ලැබුවා විතරක් නෙවෙයි පසුදින කොණ්ඩඤ්ඤ බුදුපියාණන් වහන්සේ ඇතුළු ඒ මහා සඟරුවනට දනටද ආරාධනය කරනු ලැබුවා. එයින් නොනැවතුණු අප මහා බෝසතාණන් වහන්සේ සසරේ පුරුදු පුහුණු කල දාන පාරමිතාවේ අනුහසින් තවත් තුන්මසක් මෙහිම වැඩ සිටිනා ලෙස කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන් ඇතුලු පිරිසට ආරාධනය කරනු ලැබුවා. එය උන් වහන්සේ විසින් ඉවසා වදාරනු ලැබුවා. ඒ අසදෘශ දානය ට තුන්මසක් පිරූ අවසානයේ ඒ මහා කාරුණිකයන් වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේට දෙවැනි නියත විවරණය ලබා දී මතු ගෞතම බුද්ධ රාජ්‍යය පිහිටුවනු බව පවසමින් සත්ධර්මය  දේශනා කරනු ලැබුවා. දස දහසක් සක්වළ දෙවුන් බඹුන් සාදු නාද දුන්නා. ප්‍රීති ඝෝසා පැවැත්වුවා. මෙය අසා ඉතාමත් පැහැදුණු ඒ විජිතාවී සක්විති රජ අවසානයේ සක්විති රජකම අතහැර මහණවී තුන්පිටකයම හදාරා අටසමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් යුතුව ඹබලොව උපන්නා.

මිට පෙර ලියන්න අමතක වූ විශේෂ කරුණක් තිබ්බා. ඒ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයට සෙවන දුන් බෝධි වෘක්ෂය වන සල්කලණ රුක්‍ෂය ගැන. ඒ සල්කලණ  වෘක්‍ෂය හටගන්නේ  බුදුවරයෙකු හෝ සක්විති රජ කෙනෙකු පහළ වූ කාලයක පමණයි කියලයි පෙළේ සඳහන් වන්නේ. වෙනත් කාලයක දකින්නට ලැබෙන්නේ නැහැ. එහි තවත් විශේෂත්වයක් වන්නේ එක් දිනකින්ම නැගී සිටීමයි. 

කොණ්ඩඤ්ඤ බුදුරජණන්වහන්සේගේ කාලයේ පිරිනිවෙන භික්ෂුන් වහන්සේලා අහසට නැග නිල්වලා චිවරගත විදුලියක් මෙන් හාත්පස බුබුළුවා තේජෝ ධාතුවට සමවැද උපාදාන රහිතව ගිනිසිළු නිවී යන්නාක් මෙන් නිවී පිරිනිවන් පෑම සුලභ දසුනක් වුනා.

කොණ්ඩඤ්ඤ බුදුරජණන් වහන්සේත් සියලු බුදුකිස නිමවා, ලක්‍ෂයක් අවුරුදු ආයු වළදා චද්‍රාරාමයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේත් දීර්ඝායුෂ්ක බුදුවරයකු බැවින් ධාතු විසුරුනේ නැහැ. ඒකඝනවම රන් පිළිමයක් සේ පැවතුනා. මිනිසුන් සහ දෙවියන් එකතුව ඒ ධාතු නිධන් කෙරු චෛත්‍යය සත්යොදුනක් උසට කරවනු ලැබුවා.


අපේ බුදුහාමුදුරුවෝ 28

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 01

කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ පිරිනිවුනායින් පසුව අවුරුදු ලක්ෂයක් ඒ සසුන සුරැකුනා. බුද්ධ අනුබුද්ධ ශ්‍රාවකයන්ගේ අතුරුදන් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වුනා. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට පස්සේ එක් අසංඛ්‍යයක් ඉක්මවා එකම එක කපෙක බුදුවරු සතර නමක් පහළ වුනා. බුදුවරු සතරනමක් පහළවෙන කල්පය හදුන්වන්නේ “සාරමණ්ඩ කල්පය” කියන නමින්. ඒ බුදුවරුන් තමයි මංගල, සුමන, රේවත, ශෝභිත, යන බුදුරජාණන් වහන්සේලා. දැන් මේ කියන්න යන්නේ ඒ සාරමණ්ඩ කල්පයේ පහළවී අපේ බුදුරජාණන් වහන්සේට නියත විවිරණ ලබාදුන් පලවෙනි බුදුරජාණන් වහන්සේ ගැන සහ අප බුදුරජාණන් වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් තුන්වැනි නියත විවිරණය ගැන.

බෝසතාණන් වහන්සේලා හට බුද්ධත්වය සදහා දේව ආරාධනය දෙවු ලොවෙන් චුත වීම, දෙතිස් පෙර නිමිති පහළවීම සත්පියුම් මත ඇවිදීම, සතර පෙර නිමිති දැකීම අභිනිෂ්ක්‍රමණය දුෂ්කරක්‍රියා කිරීම, බුදුවීම, සත්සතිය, සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනය වැනි දේ විශ්ව ධර්මතා බැවින් සෑම බුදුවරයෙකුටම සමානයි. ඒ නිසා ලිපිය කෙටිකර ගැනීමට ඒ පොදු ධර්මතා අතහැර විශේෂ කරුණු විතරක් සඳහන් කරනවා.

මංගල බෝසතුන් මෙලොව ඉපදීම

ඒ මංගල ලෝකනායකයාණෝ කල්ප ලක්ෂයකට අධික සොළසාසංඛ්‍යයක් පාරමී පුරා තුසීපුර ඉපිද එහි ආයුතාක් සිට තුසීපුරෙන් චුත ව හැම නුවරට ම උතුරින් වූ උත්තර නම්  නුවර අනුත්තර උතුරු නම් රජ කුලයෙහි අනුත්තර උත්තර නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව උතුරු නම් මෙහෙසියගේ කුසයෙහි උපන්නා. එදා නානාවිධි දෙතිස් පෙළහර පහල වුනා. ඒ ගැන දීපංකර බුද්ධ වංශයේ සඳහන් කළා.

මංගල බෝසතුන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ කුසයෙන් විහිදුන අසාමාන්‍ය ආලෝකය

මේ බෝසතාණන් වහන්සේගේ අන් බුදුවරුනට නැති විශේෂත්වයක් වුනා. ඒ ශරිරාලෝකය. උන්වහන්සේ මවු කුසේ පිළිසිඳ ගත දා පටන් කුසේ සිටි බෝසත් ළදරුවාගේ ශරිරාලෝකය අසුරියනක් පමණ දුරට පැතිර ගියා. ඒ ආලෝකය කොතරම් ප්‍රබලද කිවොතින් සඳට හිරුට පවා මැඩීමට නොහැකි වුනා. ඒ මෑණියන් වහන්සේටත් බෝසත් කුමරා තම කුසතුල සිටි කාල පරිච්චයේදී මාළිගාවේ පහන්දැල්වීමේ අවශ්‍යතාවයක් මතුවුනේ නැහැ. එතුමියත් වෙනයම් ආලෝකයක් හෝ නොමැතිව ශරිරාලෝකයෙන්ම අඳුරු දුරු කොට අටසැටක් කිරිමවුවරුන් ගේ උවැටන් ලබමින් වාසය කරනු ලැබුවා.

නම් තැබීම

දසමසක් ඇවෑමෙන් මෙලොව බිහුවුණු ඒ බෝසත් කුමරා උපන්කෙණෙහිම උත්තර දිශාභිමුඛය බල සත් පියවරක් ගොස් අභිතනාද කලා. ඒ සැණින්ම දස දහසක් ලෝකවාසි දෙවියෝ දෘශ්‍යමාන සිරුරින් දිවමල් ආදියෙන් සැරසී එහි සිට මඟුල් තුති වදන් පවත්වන්නට වුනා. දෙතිස් පෙළහරද පෙර කි පරිදිම සිදුවුවා. උන් වහන්සේට නම තබන දින නම් තබන පඬිවරු දේහ ලක්ෂණ බලා සියලූම මඟුල් දේහ සම්පත් ඇති බව පවසා මංගල කුමාර නමින්ම නම් කරනු ලැබුවා.

මංගල බෝසතාණන් හට ඉදි වූ යසවා, සුචිමා හා සිරිමා ප්‍රසාද සහ තිස්දහසක් නලගනෝ 

උන්වහන්සේ හට නිසිවිය පැමිණිකල යසවතී නම් දේවියක් හා විවාහ වුවා. අපේ බුදුහාමුදුරුවන්ට වගේම උන්වහන්සේටත් යසවා, සුචිමා හා සිරිමා නම් රමණීය ප්‍රසාදත්‍රයක් වුනා. ඒ මාළිගාවේ උන්වහන්සේව ගිහිගෙදර රඳවා ගැනීමට යසවතී අග බිසව ප්‍රමුඛ දෙවගණන් මෙන් රූමත් තිස්දහසක් නලගනන්ද හිටියා. ඔවුන් දිවා රෑ මංගල බෝසතාණන් වහන්සේව සතුටු කළා.

මංගල බෝසතාණන් සසර කලකිරි ගිහිගෙයින් නික්මීම සහ බුද්ධත්වයට පැමිණීම

ඒ බෝසතාණන් වහන්සේ එම අතිසුන්දර මාළිගාවේ දෙවුසැප බඳු සැපවිඳිමින් සිටියත් අගමෙහෙසියගේ කුසතුල සීලව නම් පුත්‍ර රත්නය ද ලැබී සතර පෙරනිමිති දැකීමෙන් සසර කලකිරි පඪෙර නම් අශ්වරාජයගේ පිටමතින් ඒ මහත් වූ සැප සම්පත් අතහැර වනගත වී පැවිදි වුනා.  පැවිදි වූ උන්වහන්සේ අනුව යමින් මිනිස්සු තුන් කෙළක් පැවිදි වුනා. අට මසක් වීර්යය කොට වෙසක් පොහෝදින උත්තරගම උත්තර සිටුහුගේ දුව වූ උත්තරා සිටුදූ දුන් දිවඕජා බහාලු පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි උත්තර නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන නාබෝධිය තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා වහන්සේ සමග පැවිදි වූ තුන් කෙළක් පිරිස දැක පා සිවුරු ගෙන හංස රාජයකු මෙන් අහසින් වැඩ සිරිවඩ්ඪන නුවර ලඟ සිරිවනගහණයෙහි බැස දම්සක් දෙසනු ලැබුවා. එහිදී තිස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය වුවා.


අපේ බුදුහාමුදුරුවෝ 29

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 02

මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර අලෝකදහරාව අනෙකුත් බුදුරජාණන් වහන්සේලාට වඩා මහත් වූ අධිකතරයි. අන් බුදුවරයන්ගේ ශරීර ප්‍රභාව අසූ රියන් හෝ බඹයක් පමණ වෙනවා. එහෙත් මංගල බුදුන් වහන්සේගේ ශරීර ප්‍රභාව දසදහසක් ලෝක ධාතු දක්වා පැතිර ගියා. උන්වහන්සේගේ ආයුෂ අවුරුදු අනූදහසක්. එතෙක් කල් ලෝකයට රාත්‍රියක් උදා වුනේ නැහැ. සැමදා දහවල මෙන් වුනා. ඒ ශරීර ආලෝකය ඒ තරම්ම බලවත්. ඒ බුද්ධාලෝකයෙන් සියලු සත්ත්වයෝ දිවා රාත්‍රි වැඩ කළා. සවස පිපෙන මල් වලින් ද උදෑසන කුරුල්ලන්ගේ නාදයෙන් ද මිනිසුන් උදය රැය දැනගත්තා.

අන්‍ය බුදුවරුන්ට මෙම ශක්තිය තිබුනේ නැද්ද කියලා ඔබ හට එකවරම සිතෙන්නට පුළුවන්. නැත්තේ නැහැ තිබුනා. ඒ අවශ්‍ය විටදී පමණයි. එහෙත් මංගල බුදුරජාණන් වහන්සේ මවු කුසයේ සිටි කාලය තුලම නොනවත්වා දිවා රෑ අසූ රියනක් විහිදුන ඒ ශරීරාලෝකය බුද්ධත්වයෙන් පසු පැය විසිහතරම දස දහසක් සක්වල දක්වා විහිදෙන්න පටන්ගත්තා. උන්වහන්සේගේ ශරීර ප්‍රභාව මෙලෙස අධික වීමට හේතුවක් තිබුනා. ඒ උන්වහන්සේ පාරමිතා පුරණ කාලය තුල වෙස්සන්තර ආත්ම භාවයකට සමාන ආත්ම භාවයක දී දරු දෙදෙන දන් දන්දීමේදී කල අධිෂ්ඨානය.

මංගල බෝසතාණන් වහන්සේ එකල වෙස්සන්තර අත්මභාවයකට සමාන අත්භවයක තමන්ගේ අඹුදරුවන් සමග වංකගිරියට සමාන පර්වතයක් ජිවත්වුනා. ඔහුට දරුවන් දෙදෙනෙකු හිටියා.  එම දරු දෙදෙනා ව ලැබීමට පැමිණියේ මහා භයානක සකල ජනහිංසක මිනී කන ඛරදාඨික නම් යක්ෂයෙක්. ඒ යක්‍ෂයා මංගල බෝසතුන්ගේ දාන පාරමිතාව දැන බමුණු වෙසින් පැමිණ දරු දෙදෙනාව ඉල්ලන්නට වුනා. බෝසතාණෝ ඉතාම තුටුපහටු ව මහ පොළොව කම්පාකරවමින් දරු දෙදෙනා ඒ බමුණු වෙසින් ආ යක්‍ෂයාට දුන්නා.

අනේ සිදුවුන විපතක්. ඒ යක්ෂයා බෝසතුන් බලා සිටිය දී ම බමුණු වෙස් හැරදමා ගිනිදැල් බඳු ඇස් ඇතිව විසම විරූපී නාසා ඇතිව තඹරළු කෙස් ඇතිව තල් කඳක් වන් සිරුරු ඇති යක්‍ෂ වෙස් අරගනිමින් ඒ දරුවන් දෙදෙන නෙළුම් මිටියක් සේ ගෙන එකවර කන්නට පටන් ගත්තා. ඒ යක්ෂයා දෙස බලා සිටි ඒ බෝසතාණන් වහන්සේහට යක්ෂයා කට විවර කල විටම ගිණිදැල් මෙන් උණු ලේ ධාරා වැගිරෙන මුඛය දැකීමෙන් මද දොම්නසක්වත් ඇතිවුනේ නැහැ.  ඒ වෙනුවට මා විසින් මනා දානයක් දෙන ලදැයි සතුටු වුනා. උන්වහන්සේ මේ කුසල විපාකයෙන් “අනාගතයෙහි මේ අයුරින් ම රැස් නික්මෙම්වා”යි! පැතුවා. උන්වහන්සේගේ ඒ පැතුම පරිදි බුදු වී දසදහසක් සක්වළ රශ්මිධාරා පතුරුණා.

පෙරභවයක උන්වහන්සේ විසින් කරනු ලැබූ තවත් අසාමාන්‍ය පින්කමක් තියෙනවා. හැබැයි මෙවැනි දේ ඔබ කරන්න හදන්න එපා.  ඒ තමයි පෙර එක් බුදු කෙනෙකුන්ගේ ධාතු චෛත්‍යයක් දැක එයට ජීවිත පරිත්‍යාගයක් කළයුතු යැයි සිතා දඬුවැට පහණක් වෙලන පරිද්දෙන් මුළු සිරුර වෙලා ලක්‍ෂයක් පමණ වටිනා රන් බඳුනක සුවඳ ගිතෙලෙන් පුරවා එහි පහන් වැටි දහසක් දල්වා එය හිස මත තබාගෙන මුළු සිරුර ම  දල්වා සෑය පැදකුණු කරමින් මුළු රැය ම පහන් කරනු ලැබීම. මෙසේ අරුණෝදය දක්වාම කල පහන් පුජාවෙන් උන්වහන්සේගේ රෝමකුපයක්වත් රත්වුනේ නැහැ ඒ වගේම රෝමකුපයක්වත් හානි වුනෙත් නැහැ. හරියටම පියුම් ගැබකට පිවිසි කලෙක මෙන් වුනා. “මේ ධර්මය නම් තමන් රක්නවුත් රක්නේමය” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවා.

“ධම්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති;

එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී”ති

 ථෙරගාථාපාළි\චතුක‍්කනිපාතො\ධම්මිකත්‍ථෙරගාථා

යැයි “ධර්‍මය ඒකාන්තයෙන් ධර්‍මචාරියා ආරක්‍ෂා කරයි. ප්‍රගුණ කළ ධර්‍මය සුව ගෙන දෙයි. පුරුදු කළ ධර්‍මයේ ආනිසංසය මෙය යි. ධර්‍මචාරී තෙම දුගතියට නො යයි.” යැයි වදාළ සේක.

මේ කර්‍මයේ විපාක වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ ආලෝකය දසසහශ්‍රී ලෝකධාතුවෙහිම පැතිර ගියා.


අපේ බුදුහාමුදුරුවෝ 30

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 03

සුනන්ද සක්විති රජ සහ සක්රුවන

මංගල බුදුරජාණන් වහන්සේගේ  බුද්ධත්වයට පෙර අසුරියනක් වූ  ශරීර ආලෝකය බුද්ධත්වයෙන් පසුව පසුව දහසක් සක්වළ දක්වා  දිවා රෑ ඒකාලෝක කරමින් පැතිර ගිය සැටි  මා මිට පෙර ලිපියේ ලීවා. ඒ මහා වීරයාණන් වහනසේ බුද්ධත්වයෙන් පස්සේ අනෙකුත් බුදුරජාණන් වහන්සේලා වගේම සත්සතිය තමන්ට සේවනදුන් බෝධිමුලයේ ගත කොට සහම්පතී මහා බ්‍රහ්මයාගේ ධර්මාරාධනයෙන් පිළිගෙන කාහට පළමුව ධර්ම දේශණය කරන්නෙම්ද යනුවෙන් විමසන්නට වුනා. එවිට තමන් වහන්සේ හා අභිනිශ්ක්‍රමනයේදී ගිහිගෙයින් නික්ම තමන් හා පැවිදි වූ කෝටි තුනක් වූ හේතු සම්පන්න සහිත පැවිදි පිරිවර දුටුවා.

එදත් වෙසක්පුර පසළොස්වක පොහොදිනයක්. ඒ කෝටි ගණනක් වූ පිරිවර වැඩ සිටියේ සිරිවඩ්ඩන නුවර අසළ පිහිටි අති සුන්දර වූ සිරිවනගහණයෙහියි. එහි ගොස් ඔවුනට මංගල ධර්ම දේශණය කිරීම මැනවයි සිතු උන්වහන්සේ පාසිවුරු ගෙන හංස රජෙකු මෙන් අහසට නැග සිරිවනගහනට සම්ප්‍රාප්ත වුනා. ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් අතවැසි වත් සපයා බුදුන් පිරිවරා වැඩසිටියා. ඒ මහා කාරුණිකයාණෝ සෑම බුදුවරයෙක් විසින්ම දේශණා කරන ලද දම්සක් පැවතුම් සුත්‍ර දේශණාව ඒ තුන්කෝටියක් වූ භික්ෂු පිරිසට දේශනා කරනු ලැබුවා. එය අසා ඒ කෝටි සංඛ්‍යාත වූ භික්ෂු පිරිසම රහත්භාවයට පත්වුනා. ඒ තමයි උන්වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය. ඒ විතරක් නෙවෙයි එදා ලක්ෂකෝටියක් දසදහසක් සක්වළ දෙවිවරුත් ඒ වගේම මනුෂ්‍යයෝත් ධර්මාබෝධය කර ගත්තා.  ඒ මංගල බුදුහාමුදුරුවන්ගේ මහත් වූ රශ්මි කදම්භය තුන් කෝටියක් පමණ වූ රහතන් වහන්සේලාගේ කසාවත් මතට වැටි ඒ වනයේ  හරිත වර්ණය වෙනුවට රන්වන් කහ පැහැති රශ්මි කදම්භ විශ්වය වෙතට නික්මවන්න පටන්ගත්තා. ඒ දර්ශනය දස දහසක් සක්වළින් පැමිණි කෝටි සංඛ්‍යාත දෙවිවරුන්ටත් ආශ්චර්යමත් දර්ශනයක් වෙන්නට ඇති.

 සුනන්ද නම් සක්විති රජ

මේ කාලේ සුනන්ද නම් සක්විති රජ සුරභි නම් නුවර වාසය කරනු ලැබුවා. මිට පෙර ලිපි මගින් සක්විති රජකෙන්කුට පහල වන සත්රුවන් අතරින් ප්‍රථමයෙන්ම පහල වන සක් රුවන ගැන සඳහන් කළා.  (එය පළවුණේ “අපේ බුදුහාමුදුරුවෝ 20 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03 කියන ලිපියේ. ඔබ එය මේ වනවිටත් කියවා නැත්නම් ඒ කොටස කියවන්න.) සක්විති රජ කෙනෙකු ලොවෙහි කිසිම කෙනෙකුට බය නැත්තේ ඔහු මුලු ලෝ තලයෙහි මුහුදටත් පොළවටත් අධිපති හෙයින්. එහෙත් ඔහු බොහෝ බය යම් දෙයක් තියෙනවා. ඒ තමයි ඔහුව රජකමට පත්කරන සහ රජ කමෙන් පහ කරන සක්රුවන.  ඒ සක්රුවන මහා බලවත්. ඒ මහා මාණික්‍යය ස්ථානගත වන්නේ එය හා සමගම පැමිණෙන යම් ආධාරකයක කේන්ද්‍ර ගතව. හැබැයි යම් දිනක ඒ සැකරුවන යන්තමින් හෝ ඒ ආධාරකයෙන් අංශක කිහිපයක් හෝ අස්ථානගත වුවහොත් එයින් අදහස් වන්නේ එදින සිට දින හතකින් ඒ රජුට සක්විති රජ කම අහිමිවීමයි. ඒ නිසා සමහර සක්විති රජවරු වෙනමම සේවකයකු පවා පත්කර සිටිනවා එය යම් විදිහකින් තිබු තැනින් ඉවත්වෙනවාද කියා බැලීමට. සක්විති රජවරු ඒ මහා මාණික්‍යය රත්නයට වන්දනා කරනවා. එදා අහම්බෙන්ම ඒ සක්රුවන කේන්ද්‍රගත ආධාරකයෙන් ඉවත්වෙලා. එය රජ්ජුරුවන්ට නම් හොඳ ආරංචියක් නෙවෙයි. රජ්ජුරුවෝ එය අසා බොහෝ බයටත් අසතුටත් පත්වුනා පමණක් නොවෙයි ඒ මොහොතේම තමන්ට අවවාද අනුශාසනා කරනු ලබන බමුණන් කැඳවනු ලැබුවා. “මාගේ කුසල බලයෙන් ජනිත වුන මේ සක්රුවන කුමක් නිසා සැලුනද මට කියන්න”. රජ්ජුරුවෝ විමසා සිටියේ බොහෝ නොවසිල්ලෙන්. ඒ පඬිවරු රජ්ජුරුවන් හට එය සැලුණ හේතු පහදා දෙන්නට වුනා.

“රජතුමනි, සක්රුවනක් සැලීමට අස්ථානගතවිමට හේතු තුනක් තියනවා. පළවෙනි හේතුව තමයි රජතුමාගේ ආයුෂ ගෙවී අවසන්වීම. එහෙත් ඔබවහන්සේගේ ආයුෂ ගෙවී අවසන් නැහැ. ඔබ වහන්සේ ඉතා දීර්ඝ ආයුෂ වලට උරුමකම් ලද්දෙක්.  දෙවැන්න තමයි රජතුමා පැවිදිවීම. තුන්වැන්න සම්මා සම්බුදුවරයෙකු ලොවෙහි පහළවීම. ඇත්තෙන්ම ඔබවහන්සේගේ සක්රුවන සැලීමට හේතුව තුන්වැනි කාරණාවයි. ලොවෙහි සම්මා සම්බුදුවරයෙකු පහලවෙලා. උන්වහන්සේ නමින් මංගල. ඒ පහළවීම තමයි මෙහි වෙනසට හේතුව”.

එය ඇසු සැණින් ඒ සක්විති රජතුමාට දැනුණේ පුදුම සතුටක් ඒ බමුණන් හට තුටු පඬුරෙන් සංග්‍රහ කොට මහා පිරිවර ජනයා සමග කෙලින්ම ගියේ සක්රුවන වෙතට. ඔහු සක්රුවනට වැඳගෙන මෙලෙස ප්‍රාර්ථනයක් කළා. ” මම ඔබගේ අනුහසින් යම්තාක්කල් මංගල දසබලයන් වහන්සේට උවටැන් කරන්නේද එතෙක් අතුරුදන් නොවුව මැනව” කියායි.

ඒ පැවසු මොහොතේම සක්රුවන යලිත් නිසිතැන පිහිටනු ලැබුවා. එය දැක හටගත් මහා සොම්නසින් සුනන්ද සක්විති රජු සතිස් යොදුන් පිරිමඩුලු (හාත්පසින්ම වටව ඇති බව) ඇති පිරිස් පිරිවරා සකලලෝකමංගල දසබලයාණන් වහන්සේ වෙත ගොස් කෝටිගණක් වූ ශ්‍රාවක සංඝයා සහිත ශාස්තෘන් වහන්සේ මහදනින් සතප්වා කෙළ ලක්ෂයක් රහතුන්ට කසීසළු පුදා තථාගතයන් වහන්සේට සියලු පිරිකර පුදා මුලු ලොවම විශ්මයට පත්කරවන බුදුපුද කරනු ලැබුවා. අවසානයේ ඒ සියලු මහේශාක්‍ය පුණ්‍යමය කටයුතු නිමවා මංගල ලෝක නායකයන් වෙත එළඹ විමල කමල කැකුළු වන බබලන අඤ්ජලී හිසතබා වැඳ බණ ඇසීමට පසෙකින් හිඳ ගත්තා.  ඔහුගේ පුත් සත්රුවනින් එකක් වන අනුරාධ රාජ කුමාරයාද රජතුමා අසලින් හිඳ ගත්තා.

එවිට සුනන්ද සක්විති රජු ප්‍රධාන පිරිසට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කතාව වදාරනු ලැබුවා. බුදුරදුන් දහම් දේශනා කිරීමේ දී අනුගමනය කළ ප්‍රධාන දේශනා ක්‍රම දෙකක් තිබුනා. ඒ අනුපිළිවෙල දේශනා (ආනුපුබ්බී කථා) ක්‍රමය සහ සාමුක්කන්සික දේශනා ක්‍රමය යන ක්‍රම දෙකයි.

අනුපිළිවෙල දේශනා

අනුපිළිවෙල දේශනාව කියන්නේ ගැඹුරු දහම් අවබෝධ කර ගැනීමට පහසු නොවන අයට බුදුහාමුදුරුවෝ ධර්මය දේශණා කරනු ලැබූ අනුපිලිවලයි. ඒ නිසා සරල කරුණු වලින් පටන්ගෙන විස්තර කිරීම මෙහි ලක්ෂණය යි. දාන කතා, සීල කතා, සග්ග කතා කාමයන්හි ආදීනව, කෙලෙස්වල ස්වභාවය නෛශ්කර්මයෙහි ආනිසංස ආදි වශයෙන් විවිධ කතා වලින් ද ඊට සම්බන්ධ උපමා වලින් ද ධර්මය තෝරාදීම ආනුපුබ්බී කතා ක්‍රමයයි. පේ‍්‍රත වස්තු, විමාන වස්තු, ජාතක දේශනා ධම්ම පද දේශනා මෙකී ක්‍රමයට නිදසුන් ය.

සාමුක්කංසික දේශනා

සාමුක්කංසික දේශනා ක්‍රමය කියන්නේ නුවණ මුහුකුරාගිය පුද්ගලයන් උදෙසා අනුගමනය කරන ක්‍රමයයි. ධර්මයේ ගැඹුරු තැන් සම්බන්ධ කොටගෙන දහම් දෙසීමේ ක්‍රමය යි. දම්සක් පැවතුම් සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රය නිදසුන් වශයෙන් දැක්විය හැකි අතර පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය වැනි මාතෘකා ඍජුව ගෙන සාකච්ඡා කිරීම ද දැක්විය හැකි යි. එහෙත් මෙම සාමුක්කංසික දේශනා ක්‍රමය අප බුදුරජාණන් වහන්සේ භාවිතා කල ස්ථාන බොහෝසෙයින් සූත්‍ර දේශනා වල හමුවුණත් එය කෙබදුදැයි හෝ කොපමණ දීර්ඝදැයි හෝ තොරතුරු දැක ගත නොහැක. එය වනාහි බුද්ධවිෂයට අනුකූල වු පුද්ගල ඉන්ද්‍රිය කුසලයන් අන්වේක්ෂණය කොට බුදුරජාණන් වහන්සේලා විසින් සිදු කරණ පෘථග්ජන්ට අවිෂය විඤ්ඤූන්ට විෂය වූ ධර්ම විභාගයක් බව දැරීම වටී.

ඒ ධර්ම දේශනය අවසානයේ සුනන්ද සක්විති රජ ඇතුළු පිරිස පිළිසිඹියා සහිත රහත් බවට පැමිණුනා. එහෙත් ඔවුනට සිවුරු පිරිකර තිබුනේ නැහැ. මංගල බුදුහාමුදුරුවෝ ඔවුනට ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදිවීමට පෙර පින් තියනවාද කියා පිරික්සන්නට වුනා. එවිට උන්වහන්සේට පෙනුණා ඒ සියලුම දෙනාට සෘද්ධිමය පා සිවුරු සම්පත් ලැබීමට පින ඇති බව. ඒ භාග්‍යවතුන් වහන්සේ සක්දැලින් සුසැදි දකුණත දිගුකොට “මහණෙනි එවුහි” වදාරනු ලැබුවා. ඒ සැණින් ඒ සියල්ලන්ම දෑඟුල් කෙස් ඇති පාසිවුරුධර සියවස්ගත තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් පිරිවරාගත්තා. ඒ මංගල බුදුරජාණන් වහන්සේගේ තෙවැනි අභිසමය වුනා. 


අපේ බුදුහාමුදුරුවෝ 31

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 04

සුමංගල බුදුහාමුදුරුවන්ගේ දෑගසව්වුන්.

හරිම පුදුමයි පසුගිය බුදුවරුන් හමුවට පැමිණි පිරිස් ගැන හිතනකොට. උන්වහන්සේලාට සම්මුඛ වන්නේ  අඩුම වශයෙන් දස දහසක පමණ පිරිසක් විතරක් නෙවෙයි එකවර මාර්ගඵල ලබන්නේත් එලෙසම විශාල පිරිස්.  ඒ මොහොතේ මංගල බුදුහාමුදුරුවෝ වැඩසිටියේ මේඛලා නුවර. එදා මැදින් පුර පොහෝ දිනය.  සුදේවද ධම්මසේනද දස දහසක් තරුණයන් පිරිවරාගෙන මංගල බුදුහාමුදුරුවෝ වෙතට ඇවිත් ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වුනා. ඒ තමයි මංගල බුදුහාමුදුරුවන්ගේ දෑගසව්වන්. බොහෝ අග්‍රශ්‍රාවකයෝ   සංසාරය පුරාවටම එන්නේ අඹ යහළුවන් වශයෙන්. ඒ මැදින් පුන් පොහෝ දින පිරිවර සහිත දෑගසව්වුන් රහත් වූ කල භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන්ට පාමොක් දේශණා කලා. මේ දෙවන සන්නිපාතයයි.  සුනන්ද සක්විති සමාගමයෙහි අනුකෝටිලක්ෂයක් භික්ෂුන් මැද නැවතත්  පාමොක් දේශණා කරනු ලැබුවා. ඒ තෙවැනි සන්නිපාතයයි.

සුරුචි බ්‍රාහ්මණය

ඒ කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ මහා පඬිවරයෙක්. උන්වහන්සේ ජීවත්වුණේ සුරුචි බමුණුගම සුරුචි නම් බමුනේක්වයි. උන්වහන්සේ නිඝණ්ඩු කේටූභ සහිත ත්‍රිවේද පාරගත ඉතිහාසය පස්වනු කොට ඇති අක්ෂරභේද සහිත පද දත් වියරණ දත් ලෝකායත මහාපුරුෂ ලක්ෂණයන්හි අද්විතීය වූ මහා පඬිවරයෙක්. උන්වහන්සේ බුදුන් කරා  එළඹ බණ අසා පැහැද සරණ පිහිටා හෙට මගේ ගෙදරට දානය සඳහා වඩිනා මෙන් සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා.  එවිට භාග්‍යවතුන් වහන්සේ “බමුණ කොතෙක් භික්ෂූන් දැයි” විමසා සිටියා. එවිට බ්‍රාහ්මණය ” ස්වාමිනි ශ්‍රාවක පිරිස කොතෙක්දැයි ” නැවතත් පැනයකින් ප්‍රතිඋත්තර දුන්නා. මෙහිදී ඔබ මතක තියාගත යුතු කරුණක් වනවා. ඔබ සාංඝික දානයක් දීමට අදහස් කරන අවස්ථාවේ ඒ සඳහා ආරාධනය කරනවිට මෙපමණක් භික්ෂුන් වහන්සේලා යයි සීමාවක් හෝ ගණනක් පැනවීම එය පෞද්ගලික දානයක් වී බලාපොරොත්තු වූ ඵල නොලැබීමට හේතුවක් විය හැකයි.  ඒ වනවිට ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය සිදු වී අවසන්. ඒ නිසා පිරිස කෙළ ලක්ෂයක් හැටියට බුදුහාමුදුරුවෝ වදාළා. එසේනම් බුදුරජාණන් වහන්සේ සියලු භික්ෂුන් සමග හෙට දිනයේ මගේ දානය පිළිගන්න යැයි ගෞරවයෙන් ආරාධනා කොට සිටියා. ශාස්තෘන් වහන්සේ එය නිහඬව පිළිගත්තා. හිතාගන්නත් බැහැ ඒ කාලයේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව සහ හැකියාව. පැය විසිහතරක් ඇතුළත කෝටිගනනකට දිවාභෝජනය පිළියල කිරීමට තරම් හැකියාව.  දානයට ආරාධනා කොට බමුණා ගෙදර යන්නට පිටත් වුනත් මහා වගකීමක් බරක් හිස මත. බුදුරජාණන් වහන්සේ ඇතුළු කෝටියක් වූ සංඝ පිරිසකට දනය පිළියල කිරීම. ඔහුට මෙහෙම හිතුනා. මට මේ සියලු භික්ෂුන් වහන්සේලාට කැඳබත් දීමට නම් පුළුවන්. එත් දෙවියනේ!  කෝටියකට ආසන පනවන්නේ කොහොමද?


අපේ බුදුහාමුදුරුවෝ 32

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 05

දානයට ආරාධනා කොට බමුණා ගෙදර යන්නට පිටත් වුනත් මහා වගකීමක බරක් හිස මත. බුදුරජාණන් වහන්සේ ඇතුළු කෙළ ලක්ෂයක් වූ සංඝ පිරිසකට දානය පිළියල කිරීම. ඔහුට මෙහෙම හිතුනා. මට මේ සියලු භික්ෂුන් වහන්සේලාට කැඳ, බත්, වස්ත්‍ර ආදිය  දීමට නම් පුළුවන්. එහෙත්  කෝටියකට ආසන පනවන්නේ කොහොමද? ඔහු මෙසේ සිතමින් පියමණින්නට විය. ඔහුගේ ඒ සිතිවිල්ල යොදුන් අසුහාර දහසක් උඩ තවුතිසාවෙහි සිටි සක් දෙවිඳුගේ පඬුපුල් අස්න උණුසුම් කරවන්නට සමත් විය.  සක් දෙවිඳු එය කවුරුන් නිසා වූවක්ද යැයි බලන කල බෝසතුන් වහන්සේ බුදුන් ප්‍රමුඛ සංඝයා හට දානයට ආරාධනා කොට වැඩ සිටිනා තැනක් සිතමින් යන බව දැක මාද ඒ මහා පින්කමට සහභාගී වී  පින් කරගතයුතු බව සිතා වඩුවෙකුගේ වෙස් ගෙන වෑපොරෝ ගත් අත් ඇතිව බෝසතාණන් වහන්සේ ඉදිරියේ  පෙනී සිටියා.

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු –  කිසිවෙකුට බැලයෙකුගේ ප්‍රයෝජනයක් ඇත්ද?

බෝසතාණන් වහන්සේ – ඔබ කවර නම් වැඩ දන්නේද?

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු – මා නොදන්නා ශිල්පයක් නැත.  ගෙයක් හෝ මණ්ඩපයක් හෝ යමක් අවශ්‍ය නම් ඒ කිරීමට මම දනිමි.

බෝසතාණන් වහන්සේ –  දරුව, එසේනම් මට අවශ්‍යය කාර්‍යයක් ඇත.

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු – උතුමාණෙනි, ඒ කුමක්ද?

බෝසතාණන් වහන්සේ –  හෙට උදයේ දානය සඳහා මම කෙල ලක්ෂයක් භික්ෂුන්හට ආරාධනය කළා. ඔබට උන් වහන්සේලාට වැඩ සිටීමට මණ්ඩපයක් තනාදිය හැකිද? 

වඩුවෙකුගේ වෙස්ගත් සක් දෙවිඳු –  එසේයි, මට වේතනය දිය හැකිනම් කරදිය හැකයි.

බෝසතාණන් වහන්සේ – දරුව, මට වේතනය දීමට හැකයි. ඉක්මණින් නිමකරන්න යනුවෙන් පවසමින් ඔහුගේ මන්දිරයට ඇතුළු වුයේ අනෙකුත් දේ ලක ලෑස්ති කිරීමටය.

සක්දෙවිඳුට සිනහ පහළ විය. ඒ මහා පින්කමට සහභාගිවීමට ඔහුටද වරම් ලද හෙයිනි. සක්දෙවිඳු එක් මුඩු ප්‍රදේශයක් දෙස බලන්නට වුනා. එසැණින්ම දොළොස් යොදුන් කෙළක් ප්‍රමාණ වූ භුමිය පඨවි කසිණ මණ්ඩලයක් සේ සමතලා වුනා. අනතුරුව සක්දෙවිඳු මෙතෙක් භුමි ප්‍රමාණයක සත්රුවනින් සැදුණු මණ්ඩපයක් පැන නගීවා යයි සිතා ඒ දෙස බැලුවා. එකෙණෙහිම පොළොව දෙබෑකරමින් මණ්ඩපයක් පැන නගින්නට වුනා.  එහි රන් ටැඹ වල රිදියෙන් කල වැටවල් වුනා. රීදී ටැඹවල රන් කල වුනා. මැණික් ටැඹවල මැණික් කළ ද, නන්රුවන් ටැඹවල සත්රුවන් කළද වුවා. ඉන්පසු මණ්ඩප අතර තුර කිකිණි දැල් එල්වේවා  යයි ඒ දෙස බලන්නට වුනා. එකෙනෙහිම කිකිණි දැල් එල්ලී මාරුතයෙන් සෙලෙවෙන කිකිණි දැල් වලින් පංච තුර්යය නාදය නිකුත්වන්නට වුනා. හරියටම දිව්‍යය සංගීතයක් පවතින කාලයක් මෙන් වුනා. ඒ එක්කම සුවඳ මල් දම් එල්වෙවායයි සිතන්නට වුනා. ඒ සමගම දසත මල්දම් එල්ලෙන්නට වුනා. අනතුරුව කෙළ ලක්ෂයක් භික්ෂුන් වහන්සේලාට අසුන් හා පාත්‍රාධාර පොළොව බිඳගෙන පැන නගීවා යයි සිතීය. ඒ සියල්ලම ඒ ආකාරයෙන්ම පැන නැගුණි. තැන් තැන් වල දිය සුළි පැන නැගුණි. සක් දෙවිඳු මෙතෙක් දේ මවා බමුණා වෙත ගොස් උතුමාණෙනි, ඔබගේ මණ්ඩපය බලා මගේ වේතනය දෙනු මැනවයි කිවා.

බෝසතාණන් වහන්සේ මණ්ඩපය දකිත්ම පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. ඒ එක්කම මෙහෙම සිතුවා. මේ මණ්ඩපය මෙතරම් ඉක්මණට මෙලෙස මනුෂ්‍යයකුට නම් කල නොහැකියි. ඒකාන්තයෙන්ම මගේ දාන චේතනාව නිසා සක් දෙවිඳුගේ භවන උණුසුම් වුවා විය යුතුයි. ඒ නිසා මෙය ඔහු විසින් කල මණ්ඩපයක් විය යුතුයි. මෙවැනි මණ්ඩපයක එක් දවසක් දන් දීම තරම් නොවේ. ඒ නිසා සත් දවසක්ම  දන් දෙමියි සිතුවා. බෝසත්වරුන්ට කෙත්වතු ආදී බාහිර දාන කොතෙකුත් දුන්නද තමන්ගේම ශරීර අවයවයක් හෝ ජීවිතය දන් දෙන තරමටම ඔවුනගේ සිත් තුල තෘප්තියක් ඇති නොවේ. ඒ අනුව බෝසතාණෝ කෙළ ලක්ෂයක් භික්ෂුන් වහන්සේ හට දන් දිය යුතු යයි සිතා ඒ මණ්ඩපයෙහි වඩා සිටවා ගවපාන නම් දානය පිළියෙළ කරන්නට වුනා. ඒ කියන්නේ ගවපාන නම් මහත් හැලි වල කිරි පුරවා ලිප තබා ඝනව පිසුණු කල්හි පිසින ලද මි සකුරුසුණු ගිතෙලෙන් අනන ලද භෝජනයට. 

පසුදා ඒ සියල්ල විශ්වකර්ම දෙවියන්ගේ අනුහසින් මෙන් සැකසී නිමවිය. ඒ එදින උදෑසන කෙළ ලක්ෂයක් භික්ෂුන් පිරිවරා මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වළ ආලෝකය විහිදවමින් වඩින්නට විය. මහත් වූ සාදු කාරය මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතරද පැතුරුනි. දිව්‍යමය මල් මාලා වල සුවඳත් කිකිණි හඬට එක්වූ සාදු කාරයත් මංගල බුදුරජුන්ගේ මහත් වූ ශරීර ආලෝකයත් භෝජන වල සුවඳත් ඇත්තෙන්ම ඒ භුමිය තවත් තුසිතයක් කරවිය.


අපේ බුදුහාමුදුරුවෝ 33

දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 06

ඉතාමත් ශාන්ත වූ ඉන්ද්‍රියන් ඇති දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අග තැන්පත් දිවා රාත්‍රී දෙකෙහිම සුර්යයා මෙන් ශරීර ආලෝකය විහදවූ මංගල බුදුරජුන් ඇතුළු කෙළ ලක්ෂයකට වැඩි භික්ෂු පිරස ඉතාමත් ශාන්ත වූ ගමනින් ඒ මහා මණ්ඩපය මතට වැඩම කොට තමනට සුදුසු අසුන්වල අසුන් ගන්නට වුනා. මුහුදෙහි රළ ගණින්ට යම්සේ නොහැකි වෙත්ද, එසේම උන්වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ ගණින්ට නොහැකි වුනා. කොතරම් භික්ෂුන් වහන්සේලා වැඩියේද යත් ඒ දොළොස්කෙලක් භූමියද සක් දෙවිඳු සෑදු මණ්ඩපද ඒ භික්ෂූන් වහන්සේලා හට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ වුනත්  ඒ මහා සෘධි සම්පන්න රහතන් වහන්සේලාට එය ප්‍රශ්නයක් වුනේම නැහැ. බොහෝ රහතන් වහන්සේලා සෘද්ධියෙන් අහසේ අසුන් ගත්තා.

අප මහා බෝසතාණන් ඇතුළු මහා පිරිස බුදුන් ඇතුළු සංඝ පිරිසට ගවපාන දානය පුජා කරන්නට වුනා.  මෙයට චතුමධුර භෝජනය කියලත් කියනවා.  ඒ කෝටිගණනක් වූ සංඝ සමුදුරට මිනිසුන්ට දානය බෙදා ඉවර කරන්න බැරි වුනා. ඒ නිසා දානය පුජා කිරීමට මිනිසුන් අතරට දෙවියනුත් එක් වුනා. මෙලෙස දින හතක්ම දෙවියන් මිනිසුන් එකතුව දන් පිළිගන්වා ඒ කටයුතු නිමා කරනු ලැබුවා.  අවසාන දිනයේ සියලු භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර සෝදවා බෙහෙත් පිණිස ගිතෙල් වෙඬරු මීපැණි ආදිය පුරවා තුන් සිවුරුද සමග පුජා කළා. එහිදී හැමටම වඩා බාලම භික්ෂුව ලබන ලද සිවුරුපිළිය පමණක් ලක්ෂයක් වටිනාකමින් යුක්ත වුනා. බුදුන් ඇතුළු අන් අය ගැන කුමන කතාද?

 සියලු දාන කටයුතු නිමවුවායින් පසුව පුණ්‍යානුමෝදනාව සඳහා  මංගල බුදුරජාණන් වහන්සේ මෙවැනි මහේශාක්‍ය දානයක් දීමට තරම් මොහු කවර පුද්ගලයෙක්ද එයින් ලැබෙන කුසල විපාක මොනවාද යැයි  දිවැසින් බලන්නට වුනා. මතු දෙයාසංඛ්‍ය කල්පලක්ෂයකින් ගෞතම නම් බුදුවරයායයි දැක බෝසතුන් අමතා ඔබ මෙතෙක් කල් ගෙවා ගෞතම නමින් බුදුවන්නේ යනුවෙන් තුන්වන නියත විවරණය දෙනු ලැබුවා !!! දෙවියන් මිනිසුන්  සාදු කාර දෙනු ලැබුවා. එය දිව්‍ය තලයෙන් දිව්‍ය තලයට පැතිරුනා. මගඵල නොලත් දෙවු මිනිසුන් යම් විදිහකින් අපහට මේ සාසනයේ ධර්මය අවබෝද කිරීමට නොහැකි වුණහොත් දැන් ගෞතම සාසනයේ එය කරගත හැකි වෙතයි සැනසුම් සුසුම් හෙලමින් අධිෂ්ඨාන කරනු ලැබුවා. දෙතිස් මහා පෙරනිමිති ලොවෙහි නැවතත් පහල වුනා. නා නා විදි මල්වර්ග දෙවියන් විසින් විසිරන්නට වුනා.  එය අසා අප බෝසතුන් වහන්සේ මහත් වූ චිත්තප්‍රීතියෙන් මම බුදුවන්නෙමි. මට ගිහිගෙයි විසීමෙන් කම් නැත. පැවිදි වෙමියි සිතා ඒසා සම්පත් කෙළ පිඬක් සේ හැරදමා බුදුන් වෙත පැවිදිව බුදු වදන් ඉගෙන අභිඥා ද අටසමවත් ද උපදවා නොපිරිහුණු දැහැනින් ආයු තාක් සිට බඹලොව උපන්නා. 

මංගල බුදුහාමුදුරුවන්ගේ නගරය උත්තර නම් වුනා. උන්වහන්සේගේ පියා උත්තර නම් ක්‍ෂත්‍රිය රජෙක්.මවගේ නමත් උත්තරා. සුදේව ධම්මසේන දෙනම අගසවුවන්. උපස්ථායක පාලිත නම් වුනා. සීවලා අශෝකා දෙනම අග්‍රශ්‍රාවිකාවෝයි. නරුක බෝධියයි. ශරීරය අටඅසූ රියනක් වුනා. ආයුෂ අවුරුදු අනූදහසක්. යසවතී භාර්යාව වුනා. සීලව නම් පුත්‍රයායි. අස් යානයෙන් නික්මුණා. උත්තරාරාමයෙහි වාසය කළා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය බව සනාථ කරමින් උන්වහන්සේත්ව වසර අනුදහසක් ආයුෂ වළඳා  පිරිනිවන් පානු ලැබුවා. හරිම පුදුමයි. දසදහසක් සක්වළ එක්වරම අන්ධකාර වුනා. වසර අනුදහසක් රෑ දහවල් නොමැති ලෝකවල නැවතත් දිවා රැය විද්‍යාමාන වුනා. කෙලෙස් සහිතයන්ගේ මරණයට සංකිලෙස මරණය කියලා කියනවා. එහෙත් ඒ කාලේ බුද්ධශ්‍රාවකයන් අතර සංකිලෙස මරණ තිබුනෙම නැහැ. බෝසතාණන් වහන්සේ හැරෙන්නට සියලුම ශ්‍රාවකයෝ පිරිණිවන් පෑවේ රහත් වෙලා. ඒ මංගල භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සකළ සක්වළ මිනිසුන්ගේ මහත් ඇඩිම් වැළපීම් වලට හේතුවුනා. තවත් බුදුවරයෙකුගේ සමුගැනීම එලෙස සිදුවුනා.


අපේ බුදුහාමුදුරුවෝ 34

සුමන බුදුහාමුදුරුවෝ.

මෙසේ එක්වරම දසසහශ්‍රී ලෝකධාතුව ඒකාන්ධකාර කොට ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු කාලයේ අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු අනුදහසක් දක්වා පිරිහුණු කල්හි  සුමන බෝසතුන් තුසිත දෙවුලොවින් චුතව මේඛල නුවර සුදත්ත නම් රජකුලයේ සිරිමා නම් මෙහෙසියගේ කුසේ පිළිසිඳ ගත්තා. බෝසත් වරයෙකුගේ උපතේදී හටගන්නා පෙළහර මින් පෙර කී පරිදිම ඇති වුනා. මහත් වූ කම් සැප මැද උන්වහන්සේත් කෙමෙන්කෙමන් වැඩිවියට පැමිණුනා. චන්‍ද්‍රය, සුචන්‍ද්‍රය, වටංස  නමැති තුන්ප්‍රාසාදයන් හි හැටතුන්දහසක නළගණන් ගේ උපහාර ලබමින් සුරයුවතින් පිරිවරණ ලද සුරකුමරෙකු මෙන් දහස්වසක් විෂයරස විඳිමින් කල්ගත කොට වටංසිකා නම් දේවිය හා විවාහ වුනා. ඒ දේවිය අනූපම නම් වැදූ කල සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් ගොස් පැවදි වුනා. ඒ තනියෙන් නෙවෙයි. තිස් කෙළක් පිරිවර සමග. ඒ අයත් පැවිදි වුනා. උන්වහන්සේ ඔවුන් පිරිවරා දසමසක් ප්‍රධාන විර්යය කොට වෙසක් පොහෝදින අනෝම නියම්ගමෙහි අනූපම සිටුදූ අනුපමා විසින් පිදූ දිව්‍යඕජා බහාලු කිරිබත් වළදා සල්වනෙහි දිවාකාලය ගතකොට අනුපම ආජීවකය දුන් අට තණමිට ගෙන නාගබෝධිය වෙත පැමිණ පැදකුණු කොට අට තණමිට තිස්රියන් කොට අතුරා එහි පලක් බැඳ වැඩ සිටියා. ඉන් අනතුරුව මාර බල නසා බුද්ධත්වයට පැමිණ ” අනේක ජාති සංසාරං ” යන උදාන ගාථාව පවසමින්  උදන් ඇනුවා.

උන්වහන්සේටත් ශ්‍රාවක සන්නිපාත තුනක් වුනා. පළමු වැන්න තමන් හා ගිහිගෙයින් නික්මුණු කෙළලක්ෂයක් පිරිස හට ප්‍රථම ධර්ම දේශනය පවත්වා ඔවුන්  සියල්ල ධර්මාවබෝධයට පැමිණි පසු ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කිරීමයි. මෙය පළමු සන්නිපාතයයි.ඉන්පසු කාලයෙහි සංඛස්ස පුරයට නුදුරුව අරින්දම රජුගේ පින් බලෙන් පහළ වූ යොදුනක් පමණ උස රන් පර්වතයක වැඩහිඳ අරින්දම රජු පිරිවරා පැමිණි අනුකෙළ දහසක් පුරුෂයන් දමනය කොට ඒ සියල්ලන්ම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කොට එදිනම රහත් වුවන් පිරිවරා පාමොක් දේශණා කරනු ලැබුවා. ඒ දෙවැනි සන්නිපාතයයි.

ඒ කාලයේම  සක්දෙවූ රජ බුදුන් දැකීම පිණිස ආවා. සුමන භාග්‍යවතුන් වහන්සේ එදිනම රහතුන් අසූකෙළ දහසක් පිරිවරා පාමොක් දේශණා කළා. මේ තුන්වැනි සන්නිපාතයයි.

ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ මහත් සෘද්ධි ආනුභාව ඇති අතුල නම් නා රජෙක්ව උපන්නා. ඔහු බුදුරජුන් ලොව උපත ලැබුවා යැයි අසා තම පිරිවර සමග නාග භවනෙන් නික්ම කෙළ ලක්ෂයක් භික්ෂූන් පිරිවරණ ලද බුදුරජුන්ට දිව්‍යමය තුර්යය වාදනයෙන් උපහාර කොට මහා දානයන්ද පිරිකරද දී තිසරණයෙහි පිහිටියා. ඒ බුදුරජාණන් වහන්සේද  මොහු අනාගතයෙහි බුදුවන බව ප්‍රකාශ කරමින් නියත විවරණ ලබා දුන්නා.


අපේ බුදුහාමුදුරුවෝ 35

අසූරියනක් උස දහවල් සහ රාත්‍රියේ යොදුනක් දුර ආලෝකය පැතිර වූ රේවත බුදුරජාණන් වහන්සේ.

සුමන භාග්‍යවතුන් වහන්සේට පසු කාලයෙහි උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වීමෙන් පසුව  අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු හැටදහසක්  දක්වා පිරිහුණු කාලයේ  රේවත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුනා. උන්වහන්සේත් පෙරුම් පුරා නන් රුවනින් බබළන තුසිත භවනෙහි ඉපිද ඉන් චුතවී සකලධනධාන්‍යවත් සුඛඤ්ඤවතී නුවර සකලාලංකාර සමලංකෘත අපමණ පිවිතුරු පිරිවර පිරි සිරිසැපතින් නිරවුල් සකල සමෘද්ධියෙන් විසල් විපුල නම් රජකුල සියලු දනනුවන් බඹරකැල ගැවසී සුපිපි නෙතුපුලින් සශ්‍රීක සුසිනිඳු මුවකමලාකාර ශෝභා ඇති රුසිරු මනෝහර ගුණගණයෙන් සුවිසල් විපුලා නම් අගමෙහෙසි කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිතුකළු පවුවෙන් බසිනා රණහස් රජෙකු මෙන් මවුකුසින් බිහිවුණා. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවුනා.

කුමාරයාට නම් තබන දින පැමිණි කල නම් කරන්නාහු රේවත යැයි නම් තැබුවා. උන්වහන්සේ ක්‍රමයෙන් වැඩිවියපත් වෙත්ම සුදස්සන, රතනග්ඝි හා ආවේල නම් රමණීය ප්‍රසාද තුනක් හිමි වුනා.  එහි සුදස්සනා දේවිය ප්‍රමුඛ නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ ප්‍රත්‍යුපස්ථාන හැමදා පැවැත්වුනා. ඔවුන් විසින් පිරිවරණ ලද උන්වහන්සේ සුරයුවතින් පිරිවර කල දෙවුකුමරකු මෙන් අවුරුදු හයදහසක් විෂයරස විඳිමින් ගිහිගෙයි ගතකලා. අගමෙහෙසිය වූ සුදස්සනා දේවියට වරුණ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක නන්පැහැ උතුම් සළු හැද මුතුහර මිණිකොඬොල් පැලඳ උතුම් කෙයුර මකුට කටක සුවඳ කුසුමින් සැරසී පරමරූසිරු රැස් සමූහයෙන් යුතු සරාකල සඳ මෙන් තරු පිරිවැරූ චන්‍ද්‍රයා මෙන් දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ මහබඹු මෙන් මහත් සිව්රඟ සේනා පිරිවරා ආජන්‍ය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වුනා. උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වුනා. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ සත්වසක් ප්‍රධන්  වීර්‍ය වඩා වෙසක් පොහෝදින සාධුදේවී නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි වරුණීන්ධර නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණුනා.

රේවත ශාස්තෘන් වහන්සේ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමඟ පැවිදි වූ කෝටියක් භික්‍ෂූන්ද  හේතු සම්පත් ඇති වෙනත් දෙවි මිනිසුන්ද දැක  අහසින් අවුත් වරුණාරාමයෙහි  බැස ඔවුන් පිරිවරා බොහෝ පෙළහර දක්වමින් ගැඹුරු නිපුණ අනෙකෙකු විසින් නොපැවැත්විය හැකි තිපිරිවට්ට අනුත්තර ධර්මචක්‍රය පවත්වා  කෙළක් භික්ෂූන් අර්හත්වයෙහි පිහිටවූවා. තුන් පලයෙහි පිහිටි පිහිටිය අයගේ ගණන මෙතෙක් යැයි කියන්න බැහැ කියලයි අටුවාවෙහි සඳහන් වෙන්නේ. මෙය උන්වහන්සේගේ පළවෙනි ශ්‍රාවක සන්නිපාතයයි. සනරාමර තිලොවග මුනිඳු රේවත බුදුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ ශ්‍රාවක සන්නිපාත  තුනක් වූවා.

ඊට පසුකාලෙක උතුම් නගරයක් වූ උත්තර නම් නුවර සකල සතුරන් දමනය කරවන අරින්දම නම් රජකෙනෙක් සිටියා. ඒ රජතුමාට දැනගන්නට ලැබුනා බුදුන්වහන්සේ තම රාජධානියට වඩිනබව. මහා බල පරාක්‍රමයෙන් යුතු ඒ රජතුමා තුන් කෝටියක මහා සෙනගක් සමගින් බුදුරජාණන් වහන්සේ අභියසට ගමන්කොට පසුදින දානයට ආරාධනය කොට ඒ කෙළකට වැඩි බුදු පාමොක් සඟ පිරිසට දින හතක් මුළුල්ලේ මහදන් පැවැත්වුවා. ඒ විතරක් නෙවෙයි තුන්ගව්වක් පුළුල් පහන්පුජාවක් කොට බුදුන් වෙත ගොස් වැඳ නමස්කාර කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට සිතට අනුරූප විසිතුරු නය ඇති දහමක් දේශනා කළා. එය අසා තවත් කෙළ ලක්ෂයක් දෙවුමිනිසුන් හට ධර්මාවබෝධය වුනා. ඒ දෙවැනි අභිසමයයි.

රේවත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මචක්‍රානුවර්තක අග්‍රශ්‍රාවක මහා ප්‍රාඥයන් වහන්සේ ගිලන් වුනා. ගිලන්බව විමසීමට උන්වහන්සේ වෙතට පැමිණි මහජනයා හට තිලකුණු දක්වන දහම් දෙසා  කෙළලක්ෂයක් පුද්ගලයන් එහිභික්ඛු පැවිද්දෙන් පැවිදිකොට  අරහත්වයෙහි පිහිටුවා සිවුපිරිස් සන්නිපාතයෙහි පාමොක් දේශණා කරනු ලැබුවා. මෙය තෙවන සන්නිපාතයයි.

ඒ කාලයෙහි අප මහා බෝසතාණන් රමතී  නුවර අති දේව නම් බ්‍රහ්මණව බමුණු දහමෙහි පාරප්‍රාප්ත ව රේවත බුදුන් දැක බණ අසා සරණ පිහිටා සිලෝදහසකින් භාග්‍යවතුන් වහන්සේ පසසා දහසක් අගනා උතුරු සළුවෙන්  දසබලයන්  වහන්සේ වහන්සේට පුදන ලැබුවා . ඒ බුදු රජාණන් වහන්සේ ඔහු කප් ලක්ෂයක් මත්තෙහි ගෝතම නමින් බුදු වන බවට නියත විවරණ ලබා දුන්නා .

රේවත දසබලයන් වහන්සේ උසින් අසූ රියනක් වුනා.  උස්ව සිටි ඉන්ද්‍රයාගේ ධ්වජය මෙන් සියලු දිසාවන් හොබවනු ලැබුවා. උන්වහන්සේගේ ශරීරයෙහි හටගත් උතුම්වූ රශ්මි මාලාව දහවල්ද, එමෙන්ම  රැයෙහිද, හාත්පස යොදුනක් තෙක් පැතිර ගියා. ඒ කාලයෙහි අවුරුදු සැටදහසක් දක්වා ආයුෂ පැවතුනා.  ඒ රේවත බුදුරජාණන් වහන්සේ  ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කරනු ලැබුවා.

බුද්‍ධ බලය දක්වා ලෝකයෙහි අමෘතය (නිවණ) ප්‍රකාශ කරමින් උපාදාන (දර) අවසන් වීමෙන් ගිණි යම්සේ නිවියාද එසේ පඤ්ච උපාදානයන්ගේ අභාවයෙන් පිරිනිවි ගියා.  රත්නයක් වැනිවූ ඒ රූපකාය ද, අසමවූ ඒ ධර්‍මයද, යන සියල්ල අතුරුදන් වුනා. සියලු සංස්කාරයෝ අනිත්‍ය බව නැවත නැවතත් පසක් කරනු ලැබුවා.


අපේ බුදුහාමුදුරුවෝ 36

මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල සෝභිත බුදුහාමුදුරුවෝ 01

එලෙස පසු කාලයේ රේවත බුදුරජාණන් වහන්සේගේ සසුනත් අතුරුදහන් වූවායින් පස්සේ සෝභිත නම් වූ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා තුසිත පුරේ ඉපිද ආයු තාක් කල් එහි සිට දේවායාචනයෙන් එයින් චුතව සුධම්ම නුවර සුධම්ම රජුගේ සුධම්ම බිසවගේ කුසේ පිළිසිඳ ගත්තා .

උන්වහන් වහන්සේ දසමස් ඇවෑමෙන් පසු සුධම්ම උයනෙහි මේඝ පටලයක් තුලින් මතුවූ පුන්සඳ මෙන් බිහි වුණ. උන්වහන්සේගේ උපතේදීත් පෙර දීපංකර බුදු රජාණන් වහන්සේගේ උප්පත්තියේදී විස්තර කළ අයුරින් ම උතුම් වූ පෙළහර ඇති වුණා . දස දහසක් අවුරුදු ගිහි ගෙයි ගතකරමින් හැත්තෑ දහසක්  නළඟනන් ට අධිපති වූ මඛිලා දේවිය අගමෙහෙසි කරගත්ත. ඇයගේ කුසෙහි සිහ නැමති කුමරු පිලිසිද ගත් පසු සතර පෙර නිමිති දැක උන්වහන්සේත් පෙර බෝසතාණන් වහන්සේලා මෙන් ම සංවේගයට පත් වුණා. හැබැයි අනෙකුත් බෝසතාණන් වහන්සේලාට වැඩිය උන්වහන්සේගේ වෙනසක් තිබුණා. උන් වහන්සේ සතර පෙර නිමිති දැක එක් වරම ගිහි ගෙයින් නික්මුණේ නැහැ. මාලිගාවේම පැවිදිව එහි ම ආනාපානසති සමාධිය වඩා සතර දැහැන් ලබා සතියක් එහෙම ප්‍රධාන වීර්‍ය්  වඩුණු ලැබුවා. ඉන්පසු තම ප්‍රියාදර බිරිඳ මිඛිලා දේවිය පිදූ පරම මිහිරි මී කිරි බත් වළඳා අභිනිෂ්ක්‍රමණයට සිත් ඉපද්දුවා.

ඒ අභිනිෂ්ක්‍රමණයත් මහ පුදුම එකක්. උන් වහන්සේගේ අධිෂ්ඨානය වුනේ ඒ සුවිසල් මාළිගාවත් සැත්තෑ දහසක් වූ නළ ගණනුත් හා එක් ව ඒ ගමන යාමට. ඒ විතරක් නෙවෙයි ඒ මාළිගාව සමග අහසින් යන නළගනන් ඒ මාලිගාව බුදු වීමට නියමිත බෝධි මූලයේ ස්ථාන ගත වූ පසු නිහඬවම විසිර යන ලෙසත් අධිෂ්ඨාන කරනු ලැබුවා.

ගතවූයේ නිමේෂයයි. පරිවාර සෙනග ද නලගනන් ද සිව් රඟ සෙනඟ ද සමගින් ම සුධම්ම රජ මාලිගාවම  අහසට එසේවෙන්නට වුනා. කුසුමෙන් සරසන ලද ඒ මාලිගාව සරත් සමයෙහි සඳ මඬල මෙන් ගුවන බබලවමින් අහසින් යන්නට වුනා. මාළිගාව වටා එල්ලා තිබූ කිකිණි වැල් වලින් නික්මෙන මිහිරි නාදයයෙන් මුළු පරිසරය ම නින්නාද වූවා. දුර පටන් ඇසෙන මිහිරි සත්සරින් අවදි වූ මිනිසුන් ද වීථියන්හි අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මිනිසුන්ද එක් රැස් වන්නට වුනා. මහා කුසල බලයකින් මෙන් ඒ වීථි බැස මේ දෙස බලා සිටි සියලු මිනිසුන් අහසට ඇදී ගොස් ඒ සේනාවට  එකතු වුණා නාටිකාංගනාවෝ ද පසඟ තුරු මිහිරි නදින් ගීත ගායනා කරන්නට වුණා. එය අහස් කුස පුරා රැව් පිළිරැව් දුන්නා. ඒ මාලිගාව නා නා රත්න ධාරාවන්ගෙන් බබළන්නට වුණා. සිව් රඟ සේනාවද අලංකාර කායාභරණ කාන්තියෙන් හටගත් බැබැලීමෙන්ද  නන් පැහැ සළු බරින් සෝභමාන උතුම් දිව්‍ය සේනාවක් මෙන් සොඳුරු දසුනින් පොළොවෙහි මෙන් ම ගුවනෙහිද ඒ මහා ප්‍රාසාදය පිරිවරා සිටියා. එලෙස ගුවනින් පැමිණි ප්‍රාසාදය අසූ අට රියන් උස සෘජු මහත් වට කඳමල් පඳු කැකුලින් සුසැදි නා රුක  මැදිකොට බිම බැස සිටියා. නළගනන්ද  කිසිවෙකුට නොකියාම මාලිගාවෙන් බැස ගියා. අනේකගුණ සෝභිත සෝභිත මහා පුරුෂයාණෝ මහජනයා පිරිවරමින් රෑ තුන් යම ත්‍රිවිද්‍යා උපදවා ගත්තා. අවසානයේ උන්වහන්සේගේ බල සේනාව ද ධර්මතා අනුව පැමිණී පරිදිම විසිර ගියා. ප්‍රසාදය පමණක් එහිම රැඳී තිබුනා.


අපේ බුදුහාමුදුරුවෝ 37

මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල සෝභිත බුදුහාමුදුරුවෝ 02

සෝභිත බුදුහාමුදුරුවෝ බුදුවෙලා මහා බ්‍රහ්මයාගේ ධර්මාරාධනයෙන් පසුව කාහට ප්‍රථමයෙන් ධර්ම දේශනා කරන්නේ ද කියලා බලන්නට වුණා. සිය සුළු මවගේ පුතු  බාල සොහොයුරු වන අසම කුමරු ද සුනේත්ත කුමරු ද ධර්මය අවබෝධ කරගන්නා ගැඹුරු නිපුණ ඥානයෙන් ද, හේතු සම්පත්තියෙන් ද පිරිපුන් කුමාරවරුන් බව දැන ඔවුනට පළමුව ධර්මය දේශනා කරන්නට තීරණය කළා. ඉන් අනතුරු ව අහසින් වැඩි උන් වහන්සේ සුධම්ම උයනේ හි බැස උයන් පල්ලා ලවා දෙකුමාරවරුන් කැඳවා සිටියා. ඒ කුමාරවරුන් පැමිණියේ මහා ජන ගංගාවක් සමඟයි. ඔවුන් පිරිවරා පැමිණි ඒ මහා ජනකාය  මාධ්‍යයේ ඒ මහා වීරයාණන් වහන්සේ ධර්මචක්‍ර ප්‍රවර්තනය කරනු ලැබුවා. උන්වහන්සේගේ ඒ පළමු ධර්ම දේශනයෙන් යම් ජනයෝ ධර්මය අවබෝධ කලාහු ද ඔවුන් ගණනින් මෙතෙකැයි කියා නිම කිරීමට හැකි නොවන බවයි අට්ඨ කථාවෙහි සඳහන් වන්නේ. එය උන් වහන්සේගේ ප්‍රථම ධර්ම ධර්මාභිසමය යි.

පසු කලෙක සුදුසුන් නුවර දොර චිත්‍ර පාඨලී රුක්මුල යමක ප්‍රාතිහාර්ය කොට නවරන්මිණි මුවා භවන වූ තව්තිසා භවනෙහි පරසතු රුක මුල පඬුපුල් සලසුනෙහි වැඩ හිඳ අභිධර්මය දේශනා කළා. ඒ දේශනාව කෙළවර අනූ කෙල දහසකට ධර්මය අවබෝධ වුණා. මේ දෙවන ධර්ම ධර්මාභිසමය යි

ඉන් මෑත භාගයේ දී සුදසුන්  නුවර ජයසේන නම් රජ කුමරා යොදුනක් පමණ විහාරයක් කරවා අසෝක මල්, සපු, නා, දොඹ,  මූණමල්, අඹ, කොස්, පියා සාල කුඹුක්, මී, අඹ, කණේරු, ආදී නිරන්තරයෙන් සශ්‍රීක දිව්‍ය විමානයක් බඳු උයනක් රෝපණය කොට බුදුපාමොක් බික්සඟන ට පූජා කළා. බුදු රජාණන් වහන්සේ දානානුමෝදනා කොට ත්‍යාග වර්ණනා කොට දහම් දේශනා කළා. එකල කෙළ දහසක් සතර වර්ගයාට ධර්මාවබෝධ වුණා. මෙය තෙවන අභිසමය යයි කියනවා.

නැවත උග්ගත නම් රජ  සුනන්ද වතී නුවර සුනන්ද නම් විහාරය කරවා බුදු පාමොක් සඟනට පුදනු ලැබුවා . එම දානය දෙන අවස්ථාවෙහි දී ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා කෙළ සියයක සන්නිපාතයක්. සෝභිත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මැද පාමොක් දේශනා කළා. මෙය ප්‍රථම සන්නිපාත යයි.

නැවතත් මේඛලා  නුවර ධම්මඝනාරාම නම් උතුම් ආරාම විහාරයක් කරවා බුදු පාමොක් සඟනට පුදා සියලු පිරිකර සහිත දානයක් දුන්නා. ඒ දින එම සමාගමෙහි ඒ ඒහි භික්ෂූ භාවයෙන් මහණ වූ  රහතන් වහන්සේලා හමුවේ සෝභිත බුදුරජාණන් වහන්සේ පාමොක් දේශනා කළා. මෙය දෙවන ශ්‍රාවක සන්නිපාතය යි.

භාග්‍යවතුන් වහන්සේ සක්‍ර පුරෙහි වස් වැස පවාරණය සඳහා යම් දිනෙක දෙව් ගණ පිරිවරා වැඩ සේක් ද එදා අසූ කෙළක් රහතුන් වහන්සේලා සමඟ සිව් වනක් පිරිස් රැස්වීමෙන් පවාරණය  කරනු ලැබුවා . මෙය උන් වහන්සේගේ තෙවන සන්නිපාතය යයි යැයි කියනවා .

ඒ කාලයේ අප මහා බෝසතාණෝ උතුම් සුජාත නම් බමුණෙක් ව සිට සෝභිත භාග්‍යවතුන් වහන්සේගේ බණ අසා සරණයෙහි පිහිටා ඒ කෙල ගණනක් වූ බුදු පාමොක් සඟනට මහ දන් පුදනු ලැබුවා . ඒ දින සෝභිත බුදුරජාණන් වහන්සේ මොහු මතු දින ගෞතම නමින් බුදු වන බව ප්‍රකාශ කරමින් නියත විවරණ ලබා දුන්නා. එය අසා අප මහා බෝසතාණෝ  බුදු රජාණන් වහන්සේලා නොවෙනස් වචන ඇත්තාහු යයි බුද්ධත්ව ප්‍රාප්තිය අර්ථකොට උදාන වාක්‍යය ප්‍රකාශ කරමින් උදම් අනනු ලැබුවා. නැවතත් ලොව දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවිවරු සාදු නද දුන්නා. එය දෙවු ලොවින් දෙවු ලොව පැතිර යමින් මේ නිමක් නැති විශ්වය සාදු කාරයෙන් ගිදුම් දුන්නා.

මහර්ෂීවූ සොභිත බුදුරදුන්ගේ උපන් නගරය ’’සුධම්ම’’ නම් වුනා.  පියතෙම ’’සුධම්ම’’ රජතුමා. වැදූ මව් ’’සුධම්මා’’ නම් වූවා.

ඒ සෝභිත බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසයකලා. . කුමුදය, කලීරය, පදුමය යන උතුම් තුන් පහයක් ලැබුවා.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සැත්තෑසය දහසක් .  බිරින්ද ’’මඛිලා දේවිය’’ නම් වූවා. පුත් තෙම ’’සීහ’’ නම් වුනා.

පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම සතර පෙර නිමිති දැක පහයෙන්ම  මහබිනික්මන් කළා. සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසිර (හෙවත් ප්‍රධාන වීර්‍ය්‍යය කොට), ’’නා’’ රුකක් මුලදී සිව්සස් අවබෝධ කරනු ලැබුවා. (බුදුවිය.)

මහාවීරවූ සොභිත නම් ලෝනාහිමි වෙත බඹහු විසින් අයදනා ලද්දේ, ’’සුධම්ම’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වුවා.

මහර්ෂීවූ සෝභිත මුනිඳුන්ට ’’අසම’’ ද, ’’සුනෙත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම, ’’අනොම’’ නම් වී. ’’නකුල’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වුන්නා.

’’රම්ම’’ ද, ’’සුනන්ත’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ’’නකුලා’’ ද, ’’සුජාතා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූහ.

සොභිත නම් මහ මුනිඳු පණස් අට රියනක් උස්වුනා. උදාහිරු මෙන් සියලු දිගුන් එකල හොබවනු ලැබුවා.

මල් පිපුණු මහ වනය නොයෙක් සුවඳින් යම්සේ සුවඳ කරණ ලද්දේද, එමෙන් උන්වහන්සේගේ සද්‍ධර්මය සිල් සුවඳින් සුවඳ කරනු ලැබුවා.

යම් සේ සාගරය දැකීමෙන් සෑහීමකට නොපැමිණේද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ සද්‍ධර්මය ඇසීමෙන් සෑහීමකට නොපැමිනුණා.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ.  ඒතාක් කල් වැඩසිටිමින් ඒ සෝභිත බුදුරජාණන් වහන්සේ  බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කරනු ලැබුවා.

ඒ සෝභිත බුදුරජහු සෙසු ජනයා කෙරෙහි අවවාදද, අනුශාසනාද දී, ගින්නක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

අසමවූ ඒ බුදුරජහුද සීලාදියෙන් බලයට පැමිණි ඒ ශ්‍රාවකයෝද, යන සියල්ල අතුරුදන් වීය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?

සොභිත නම්වු උතුම් සම්බුදුරජතෙම සීහාරාමයේදී පිරිනිවන්පානු ලැබුවා. ඒ ඒ පෙදෙස්හි ධාතු පැතිරවීම ද සිදුවුනා.


අපේ බුදුහාමුදුරුවෝ 38

සත්රුවන් වරුසාවක් සමග මෙළොව පහළ වූ අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 01

සෝභිත බුදු හාමුදුරුවො පිරිනිවන් පෑමෙන් පස්සේ එක් අසංඛ්‍යයක් ලෝකය බුදුවරුන්ගෙන් ශුන්‍ය වුණා. අසංඛ්‍යයක් ගෙවීමෙන් පස්සේ අනෝමදස්සී පදුම නාරද නමින් බුදුවරු තුන් නමක් ලෝකයේ පහළ වුණා.  බුදුවරු තුන් නමක් ලෝකයට ධර්මය දේශනා කරන කල්පයට කියනවා වර කල්පය කියලා. මේත් එවැනි ම වර කල්පයක්. උන් වහන්සේලා අතරින් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත දෙව් ලොව බුද්ධත්වයට පෙර අවසාන උපත හැටියට උපත ලැබුවා. සොළොසාසංකෙය්‍ය එසේත් නැත් නම් අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයක් පාරමි පුරන්නේ වීර්යය අධික බුදුවරු. අනෝමදස්සී බුදු හාමුදුරුවෝ වීර්යය අධික බුදු රජාණන් වහන්සේ නමක්. අපේ බුදු හාමුදුරුවෝ පාරමී පිරුවේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් . ඒ උන්වහන්සේ  ප්‍රඥා අධික බුදුවරයෙක් නිසා . ශ්‍රද්ධාධික බුදුවරුන් පාරමී පුර්ණය කරන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ අටක්.

උන්වහන්සේත් අනෙකුත් බුදුරජාණන් බුදුරජාණන් වහන්සේලා වගේම පින් ඇති කාලයක් තුසිත දෙවු ලොව  සැප විඳ දේවාරාධනය පිළිගෙන චන්ද්‍රවතී නම් රාජධානියේ  යසවා නම් රජ කුලෙහි උස් වූ සොඳුරු පියයුරු ඇති යසෝදරා නම් අගමෙහෙසියගේ කුස තුල පිලිසිද ගත්තා කියලා තමයි අටුවාවේ සඳහන් වන්නේ. අනෝමදස්සී කුමරු යසෝදරා දේවිය කුසෙහි පිලිසිද ගත් දා පටන් උන්වහන්සේගේ පුණ්‍ය ප්‍රභාවයෙන් අසූරියනක් දුර ට මව් කුස තුල සිට  ආලෝකය පැතිර ගිය. ඒ ආලෝකය කොතරම් ප්‍රභාස්වර ද කීවොතින් එය සඳට හිරු ට පවා මැඩලීමට නොහැකි වුණා. දස මසක් ඇවෑමෙන් ඕතොමෝ සුනන්ද උයනේදී බෝසතුන් හට මෙලොව උපත ලබා දුන්නා. උන් වහනවහන්සේ ලොව පහළ වෙන අවස්තාවේදී දෙතිස් මහා පෙළහර ට අමතරව තව විශේෂ සිදුවීමක් වුණා. ඒ සත් රුවන්  වරුසාවක් අහසින් ඇද හැලුනා.

සත් රුවන් යනු

රන්
රිදී
මුතු
මැණික්
ශඬිඛ
ශිලා
ප්‍රවාල යන රත්න වර්ගයි.

පෙර පරිදි ම බුදුවරයකු ලොව පහළ වන අවස්ථා වෙහි විද්‍යාමාන වන  දෙතිස් මහා පෙළහර මීට පෙර දීපංකර බුදු රජාණන් වහන්සේගේ කථාවල සඳහන් කළා.

උන්වහන්සේට නම් තබන දිනයත් පැමිණුනා. උන්වහන්සේගේ උපතෙහි දී අහසින් සත්රුවන් වැටුණු හෙයින් අලාමක රුවන් ඉපදීමට හේතු වූ හෙයින් උන් වහන්සේට අනෝමදස්සී කියා නම තැබුවා. කෙමෙන් වැඩුණු උන් වහන්සේ දිව්‍යමය කම් සැපතින් උවැටැන් ලබන්නාක් මෙන් අවුරුදු දස දහසක් ගිහි ගෙයි වාසය කළා. උන්වහන්සේටත් සිරි, උපසිරි, සිරිවඩ්ඪ, කියා මාලිගාවල් තුනක් තිබුණා. සිරිමා බිසව ප්‍රමුඛව විසිතුන්දාහක්  ස්ත්‍රීන් උවටැන් කළ.  සිරිමා දේවිය උපවාන නම් පුතු මෙලොවට බිහි කළ පසු සතර පෙර නිමිති දැක ගිහි ගෙය කලකිරී සිවුකා යානයෙන් (දෝලාවෙන්) මහ බිනික්මන්කොට පැවිදි වුනා. උන්වහන්සේ අනුව යමින් තුන් කෙලක් ජනයා පැවිදි වුණා. ඒ මහා පුරුෂයාණෝ ඔවුන්ව පිරිවරා දසමසක් දුෂ්කර ක්‍රියා කරනු ලැබුවා. ඉන්පසුව වෙසක් පුණුපොහෝ දිනක අනුපම බමුණුගම පිඬු සිඟා වැඩ අනුපම සිටු දේවිය දුන් මී කිරි බත් වළදා සල් සෙවණෙහි දහවල් කාලය ගත කොට අනෝම ආජීවක දුන් අට තණ මිටි ගෙන අර්ජුන (කුඹුක්) වෘක්ෂ  බෝධිය පැදකුණු කොට මට තිස්රියන් පුළුල්ව කුස තන අතුරා චතුරංග වීර්යය වඩනු සඳහා පලක් බැඳ බල සහිත මරු පරදවා තුන් යම්හි ත්‍රිවිද්‍යා උපදවා ලොව්තුරා බුද්ධත්වයට පත් වුණා.


අපේ බුදුහාමුදුරුවෝ 39

යක්ෂ සේනාධිපතියෙක්ව සිට නියත විවරණලත් අප මහා බෝසතාණෝ අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 02

ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි ඇති ගාථා අතරෙන් ගාථා දෙකක අනෝමදස්සී බුදුහාමුදුරුවන් ගැන සඳහන් බුදුගුණ මගේ සිත ගත්තා.  මට හිතෙන්නේ ඒ බුදු ගුණ සෑම බුදුවරයෙකුටම සමානයි කියලා.

සොභිතස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො;
අනොමදස්සී අමිතයසො, තෙජස්සී දුරතික්කමො.

උන්වහන්සේ අනූපම දර්ශන ඇති අනූපම දර්ශන දත් අපමණ කීර්ති අපමණ පිරිවර ඇති සීල සමාධි ප්‍රඥා තෙදින් යුක්ත වූ දෙවියකු බ්‍රහ්මයකු හෝ මාරයකු හෝ වෙනත් කිසිවෙකුට මැඩලිය නොහැකි යන්නයි .

සාගරොව අසඞ්ඛොභො, පබ්බතොව දුරාසදො;
ආකාසොව අනන්තො සො, සාලරාජාව ඵුල්ලිතො.

උන්වහන්සේ සාගරය මෙන් නොකැළඹිය හැකි. අහස මෙන් කෙළවරක් නැති . මහාමේරු පර්‍වතය මෙන් ළංවිය නොහැකි, දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූ අනූ ව්‍යඤජන ආදියෙන් මල් පිපුණු සල්ගසක් මෙන් බබලන යන්නයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ බෝමුල සත් සති ගෙවා මහ බඹහු විසින් ආරාධනය කල පසුව  ප්‍රථම ධර්ම දේශනාව සඳහා බුදු ඇසින් බලන සේක් තමන් සමග පැවිදි වූ හේතු සම්පන්න සහිත තෙකෙලක් දෙනා දැක ඔවුන් දැන් කොහි වෙසෙත් දැයි බලන්නට වුණා. ඔවුන් ඒ වන විට සිටියේ සුභාවතී නුවර සුදසුන් උයනෙයි. උන්වහන්සේ ඒ මොහොතෙහි ම අහසට නැග සුදසුන් නුවරට වැඩම කළා. උන් වහන්සේ ඔවුන් පිරිවරා දෙව් මිනිසුන් සහිත පිරිසට  දම් සක් පැවැත්වූවා. එහිදී කෙලෙ සියයකට පමණ පළමු ධර්මාවබෝධය වුණා.

පසු කාලයක ඕසබී නුවර දොර පියාගස මුල යමක ප්‍රාතිහාර්ය කොට දෙව්පුර ශක්‍ර භවනෙහි පඬුපුල් සලසුනෙහි හිද අභිධර්ම වර්ෂා වස්සවන්නට වුණා. එකල අසූකෙළක් දෙවියෝ ධර්මාවබෝධය  කරනු ලැබුවා.

ඉන්පසු  කාලික මංගල ප්‍රශ්න නිර්දේශයෙහි අට සැත්තෑ කෙළක් ධර්මාවබෝධය කළා

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වූවා.

සෝරෙය්‍ය නුවර ඉසිදත්ත රජුට දහම් දෙසන කළ පැහැද ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූ අටලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. එය ප්‍රථම සන්නිපාත යයි.

රාධා වතී නුවර මධූරින්ධර රජුට දහම් දෙසද්දී ඒහිභික්ෂු භාවයෙන් පැවිදි වූ සත් ලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. මෙය දෙවන සත්නිපාතයයි.

නැවත සෝරෙය්‍ය නුවර ම සෝරෙය්‍ය රජු සමඟ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ හය ලක්ෂයක් රහතුන් මැද පාමොක් දේශනා කළා. මේ තෙවන සන්නිපාත යයි.

ඒ කාලෙ අප මහා බෝසතාණෝ එක් මහේශාක්‍ය යක්ෂ සේනාධිපතියෙක් ව වාසය කළා. මහත් සෘද්ධි  ආනුභාව ඇති උන්වහන්සේ කෙල ලක්ෂ ගණනක් යකුන්ට අධිපති වුණා.  ඒ මහා යක්ෂ සේනාධිපතියාට බුදු කෙනෙකු  ලොව පහළ වූ බව දැන ගන්නට ලැබුණා. ඔහු බුදුන් වෙත පැමිණ භික්ෂු සංඝයා හට දානයට ආරාධනය කළ. ඔහු විසින් ඒ කෙල කෝටි ගණනක් වූ මහා සංඝ රත්නයට සත්තරුවන් මුවා සුන්දරතර සඳ මඬල වැනි මහා මණ්ඩපයක් සෘද්ධි බලයෙන් මවනු ලැබුවා. මැව්ව විතරක් නෙවෙයි ඒ මණ්ඩපය මත දින හතක් පුරා බුදු පාමොක් සඟනට දන් දුන්නා. අවසානයේ පුණ්‍යානුමෝදනා කරන මොහොතේ අනෝමදස්සී  බුදුරජාණන් වහන්සේ ඔහුට අනාගතයෙහි කල්ප ලක්ෂයක්  අධික එක් අසංඛ්‍යයක් ගෙවීමෙන් ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළා. ඒ මොහොතේත් ලොවෙහි යළි දෙතිස් පෙළහැර විද්‍යමාන වුණා . දෙවියන්ගේ සාධු නද දෙව් ලොවින් දෙව්ලොවට පැදි පැතිර ගියා . එහෙත්  ඒ යක්ෂ සේනාධිපති ව  සිටි අප මහ බෝසතාණන් වහන්සේ නොදැන සිටි තව කරුණක් තිබුණා. ඒ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමද ඒ මොහොත වන විට වෙනත් ජනපදයක උපත ලබා සිටීමයි . ඒත් අනෝමදස්සි බුදුහාමුදුරුවන්ට එය රහසක් වුණේ නෑ . අවස්ථාවක් ලදොත් හෙටින්  පසුව ඒ ගැන ලියන්නම්.


අපේ බුදුහාමුදුරුවෝ 40

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 01 – අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 03

මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් සමයේම වෙනත් ජනපදයක සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයින් වහන්සේලා ද ඉපිද සිටියා. සැරියුත් මහා තෙරණුවෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නා.  සරද යනු ඔහුගේ ගිහි නමයි.  මුගලන් මහා තෙරණුවෝ ගෘහපති මහාසාර කුලයෙහි උපන්නා. ඔහු සිරිවඞ්ඪ නම් වුනා. ඔවුන් දෙදෙනා බාලකාලයේ පටන් මිතුරෝ ගජ මිතුරෝය. සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිතුවා. “මම මෙලොව පමණක් දනිමි, පරලොව නො දනිමි, උපන් සත්වයනට මරණය නියතය, එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතු ය”  ඉක්බිති ඔහු තමාගේ මිතුරා වන සිරිවඞ්ඪ කෙළෙඹි වෙත ගොස් ‘මිත්‍රය’ මම පැවිදිව මෝක්ෂය සොයන්නට බලාපොරොත්තු වෙමි. ඔබට මා හා පැවිදි විය හැකිදැ’ යි ඇසුවා.  මිත්‍රය, මට නම් එය නොකළ හැකිය. ඔබ පැවිදි වන්නය’ යි සිරිවඞ්ඪ ගේ පිළිතුර වුනා.  එකල්හි සරද මානවක තෙමේ ‘නෑ – මිතුරන් ද කැදවා ගෙන ඔවුන් සමඟ පරලොව ගිය කෙනෙකුන් නැත, තමා යමක් කළහොත් එය තමාට වේය’ යි සිතා තමා අයත් සියලූ ධනය දුගි මගී යාචකාදීන්ට දන් දී පර්වතය සමිපයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට වුනා. ඔහු පැවිදි වූ බව ඇසු දුටු බොහෝ දෙනෙක් ද, වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වුනා.  එසේ පැවිදි වූ ඔහුගේ ශිෂ්‍ය පිරිස සැත්තෑසතරදහසක් තරම් වුනා. සරද තාපස තෙමේ භාවනා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගෙන සිය පිරිස ද කසිණ භාවනාවෙහි යෙදවූවා. සරද තාපසයන්ගේ අනුශාසනය පරිදි භාවනාවෙහි යෙදී ඒ සැමදෙනාම ද පඤ්චාභිඥා අෂ්ටසමාපත්තීන් උපදවා ගත්තා.

අනෝමදස්සි  බුදුහාමුදුරුවෝ ඒ කලේ වැඩ සිටියේ චන්දවති නම් නගරයේ.  එක් දවසක් අනෝමදස්සී තථාගතයන් වහන්සේ උදැසන කාලයේ සමවතින් නැගිට ලොව බලා වදාරන සේක්, සරද තාපස තුමා දැක, ‘අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්ම දේශනයක් වන්නේ ය. ඔහු ද අගසව් තනතුර පතන්නේ ය. ඔහුගේ යහළු සිරිවඞ්ඪ කෙළෙඹි දෙවන අගසව් තනතුර පතන්නේ ය. දේශනාවසානයෙහි සරද තාපසගේ සැත්තෑසතරදහසක් ශිෂ්‍යයෝ අර්හත්වයට පැමිණෙන්නාහ’. යි ද දැක වදාරා, මා විසින් එහි යා යුතුය යි තමන් වහන්සේගේ පාසිවුරු ගෙන අන් කිසිවකු නො අමතා එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් ඵලාඵල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදුකෙනෙකුන් බව සරද තාපසට දත හැකි වනු පිණිස අහසින් වැඩම කොට ඔහු බලා සිටියදි අහසින් පොළොවට වැඩම කරනු ලැබුවා.

සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ ආනුභාව හා රූප ශෝභාව දැක විස්මයට පත්ව, බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතන්නට වුනා.  මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජකු විය යුතු ය. පැවිදි වුවහොත් සියල්ල දැන බුදුවිය යුතු ය, මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදුකෙනෙකු විය යුතුය’ යි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩ හිදිමට අසුණක් පනවා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ සිටින අතර තුර සරද තාපසයාද සුදුසු අසුනක් ගෙන එකත්පසෙක හිඳ ගත්තා. එකෙනෙහි සැත්තෑසතරදහසක් වූ තම ශිෂ්‍ය තාපසයෝ ඕජාවත් ඵලාඵලයන් ගෙන ආචාර්යවරයා වෙත පැමිණියා. තවුසෝ බුදුන් වහන්සේ හා තමන් ගේ ආචාරවරයා හුන් අසුනත් දැක ‘ආචාර්යයන් වහන්ස, අපි මෙතෙක් කල් නුඔ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකයෙහි නැතය’ යි සිතා සිටියෙමු. මේ පුරුෂයාණෝ නුඔ වහන්සේට වැඩි උසස් කෙනෙකුසේ පෙනෙති’ යි කීහ. එවිට සරද තාපසතුමා  ‘දරුවනි, කුමක් කියන්නෙහු ද? නුඔලා අබ ඇටයක් මහා මෙරක් හා සසඳන්නට සිතන්නහු ය, සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නො කරව් ය’ යි කියන්නට වුනා. එකල්හි තවුසෝ ‘ඉදින් මේ පුරුෂයා සුළු කෙනෙකු නම් අප ආචාර්යයෝ මෙබඳු උපමාවක් නොකියන්නා හ. මේ පූරුෂයා ඒකාන්තයෙන්ම උසස් කෙනෙකු විය යුතුය’ යි සැම දෙනාම අනෝමදස්සි බුදුන් වහන්සේගේ පාද නමසකාර කර සිටියා. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා, ‘දරුවනි , බුදුන් වහන්සේ ආහාර වළදන වේලාවෙහිම මෙහි පැමිණි සේක. උන්වහන්සේට පිරිනැමිමට සුදුසු බොජුනක් අපට නැත. එහෙත් අපට ඇති සැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විසින් ගෙනෙන ලද ඵලාඵල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තබනු. තාපස තෙමේ තමා විසින් පැන් ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්විය. බුදුන් වහන්සේ වළදා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියළු අතවැසියන් කැඳවා ගෙන තථාගතන් වහන්සේ හා පිළිසඳර කථාවෙහි යෙදෙන්නට වුනා.

ඒ වෙලාවේ අනෝමදස්සී බුදුපියාණන් වහන්සේ  ‘මගේ අග්‍රශ්‍රාවක දෙනම භික්ෂුසංඝයා ද සමඟ එත්වා’ යි සිතින් ඇරයුම් කරනු ලැබුවා.  අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ශාස්තෲන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමඟ පැමිණ තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වැඩ සිටියා. එකල්හි සරද තාපස ගෝලයන් අමතා ‘දරුවනි, බුදුන් වහන්සේ වැඩ සිටින අසුන ද මිටි ය. මේ ශ්‍රාමණයන් වහන්සේලා වැඩ සිටිමට ආසන ද නැත. තොප විසින් අද මහත් වූ බෞද්ධ සත්කාරයක් කළ යුතු ය. ඒ සදහා වර්ණගන්ධයෙන් යුක්ත වන නා නා පුෂ්පයන් පර්වත පාදයෙන් ගෙන එව්’ ය කිවා.  සෘඬිමත් වු තවුසෝ එකෙනෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යොදුනක් උස මලසුනක් පැනවූහ. සෙසු භික්ෂුන්ට සුදුසු අසුක් පැනවූහ. නවක භික්ෂුන්ට පැනවූ අසුන් ද ඉසුබක් (බඔ තිස්පහක්) පමණ වුනා. ඉක්බිති සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපට දිර්ඝ කාලයක් හිත සැප පිණිස මේ අසුනෙහි වැඩ සිටින සේක් වා’ යි ආරාධනා කරනු ලැබුවා. බුදුන් වහන්සේ අසුන් ගත් පසු අග්‍රශ්‍රාවක වහන්සේලා ඇතුළු භික්ෂුන් තම තමන්ට පැමිණි අසුන් වල වැඩ හුන්නා. සරද තාපස නානාවර්ණ පුෂ්පයන්ගෙන් සැදි මහත් වූ ඡත්‍රයක් ගෙන තථාගතයන් වහන්සේට සෙවන සලසමින් හිසට උඩින් අල්ලාගෙන සිටියා.

එකල්හි තථාගතයන් වහන්සේ ‘තාපසයන්ට මේ සත්කාරය මහත් ඵල වේවා’ යි නිරෝධ සමාපත්තියට සමවැදුනා. ශාස්තෲන් වහන්සේ සමාපත්තියට සමවත් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සකල භික්ෂුහු ද සමවතට සමවැදුනා. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කල්හි වනමුල් ඵලයන් වළදා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳ ගෙන සිටිති. සරඳ තාපස ආහාර වැළදිම ද නො කොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රිති සුවයෙන් ම සිටියා.

තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණූ පස වැඩ හුන් අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් වහන්සේ අමතා තාපස වරුන්ට පුෂ්පාසනානුමෝදනව කරන්න’ ය යි ආරාධනා කරනු ලැබුවා.  නිසභ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමීඥානයෙහි සිට තාපසවරුන්ට දහම් දේශනා කරනු ලැබුවා. උන්වහන්සේගේ දේශනාවසනයෙහි ද්විතීය ශ්‍රාවක අනෝමා තෙරුන් වහන්සේට දහම් දේසිමට ආරාධනය කරනු ලැබුවා.  උන්වහන්සේ ද ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කොට දහම් දෙසනු ලැබුවා. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසේකුටද ධර්මාවබෝධය වුනේ නැහැ.  ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාන බුද්ධ විෂයෙහි සිට දහම් දෙසිමය පටන් ගනු ලැබුවා.  ඒ දේශනයෙන් සරඳ තාපසයන් හැර සිව්සැත්තෑදහසක් තවුසෝ සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියා.

ඉක්බිති තථාගතයන් වහන්සේ , ‘මහණෙනි, එව්’ යි කියා ශ්‍රී හස්තය දිගු කරනු ලැබුවා. එකෙනෙහි තවුසන්ගේ කෙස් රෑවුල් අතුරු දහන් වුනා. අෂ්ටපරිෂ්කාරය ශරිරයෙහි ඉබේම පිහිටිය. ඔවුන්ගේ ප්‍රධානියාවූ සරද තාපස තුමා ඉතිරි වුනා. . එතුමාට ධර්මය අවබෝධ නොවුනා. ඊට හේතුවක් තිබුනා. සරද තාපසතුමා  බුදුරදුන්ට දෙවන අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානයේ පිහිටා දහම් දෙසු අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන් ‘අහෝ මටද අනාගතයේ යම්කිසි බුදුකෙනෙකුන්ගේ සස්නක මේ ශ්‍රාවකයා විසින් ලබා ඇති තනතුර ලද හොත් මැනව’ යන සිතක් ඇති වුනා. ඔහුට ඒ කල්පනාව  නිසාම තථාගතයන් වහන්සේ දේශණය කළ ධර්මය මැනවින් තේරුම් ගෙන මඟ ඵල ලබන්නට නො පිළිවන් වුනා.

තමාගේ ශිෂ්‍ය පිරිස රහත්ව බුදුසස්නෙහි පැවිද්ද ලබා ගත් පසු සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ’ ස්වාමීනි, නුඹ වහන්සේට සමිප අසුනෙහි වැඩ සිට දහම් දෙසු භික්ෂුන් වහන්සේ නුඹ වහන්සේගේ සස්නෙහි කවරෙක් වෙත් දැ’ යි විමසා සිටියා.  එකල්හි තථාගතයන් වහන්සේ ‘ශ්‍රාවක පාරමීඥානයෙහි කෙළ පැමිණ සිටින්නා වූ ප්‍රඥාවෙන් අගතැන්පත් වී සිටින්නා වූ මා විසින් පවත්වන ලද ධර්ම චක්‍රය නැවත පවත්වන්නාවූ ඒ භික්ෂු තෙමේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක නම් වන්නේ ය’ යි වදාරනු ලැබුවා. සරද තාපස තෙමේ ‘ස්වාමීනි, සතියක් මුළුල්ලෙහි නුඹ වහන්සේට පුෂ්ප ඡත්‍රයක් දැරිමෙන් කළ සත්කාරයෙන් මම ශක්‍රත්වයක් හෝ බ්‍රහ්මත්වයක් නො පතමි. ඒ පිනෙන් මමද අනාගතයෙහි මේ නිසභ ස්ථවිරයන් වහන්සේ මෙන් එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක වෙම්වා’ යි ප්‍රාර්ථනා කරනු ලැබුවා.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මොහුගේ ප්‍රාර්ථනය සිදුවන්නේ දැ’ යි අනාගතයට නුවණ යවා බලා සිදුවනු දැක සරද තාපස අමතා , ‘පින්වත, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ගෞතම නම් බුදු කෙනෙක් ලොව පහළ වන්නාහ. ඒ බුදුන්ගේ සස්නෙහි ඔබ ධර්ම සේනාපති ශාරිපුත්‍ර නම් අග්‍රශ්‍රාවකයා වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. එදා ඒ අනවමදර්ශී සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට සත්කාර කොට අගසව් තනතුර පැතු සරද තාපසයා  ඒ බුදුරදුන්ගේ අරහං ගුණානුභාවය නිසා ප්‍රාර්ථනාව ද සිදුවිම් වශයෙන් අප බුදුපියාණන් වහන්සේගේ සසුනේ අග්‍රශ්‍රාවක බවට පත්වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 41

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 02 – අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 04

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සසරේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහා සම්පතක්. ඔහු නිරන්තරයෙන්ම සසරේ තමාගේ යහළුවෝ තනිකර නිවන් පුරට යන්නේ නැහැ. එවැනි සම්පතක් මුගලන් හාමුදුරුවන්ටත් තිබුනා. ඒ විතරක් නෙවෙයි බොහෝ විට ඒ අය සසරේ ගමන් කරන්නේ එකට. අත්වැල් බැඳගෙන වගේ. එක්කෙනෙක් වැටෙනකොට හෝ වල්මත් වෙනකොට අනිකා නැගිට්ටවනවා හෝ පාර කියනවා. එදත් වුනේ ඒ වගේ සිදුවීමක්. සරද තාපස තුමා අගසවු තනතුර සඳහා විවරණ ගත් ක්ෂණයෙන් උන්වහන්සේට මතක් වුනේ තමන්ගේ අඹ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයාව. 

සරද තාපස තෙමේ තමා අගසව් ලබන ගෞතම බුද්ධශාසනයේ දෙවන ශ්‍රාවක තනතුර තමාගේ යහළුවා වන සිරිවඞ්ඪ කෙළෙඹීයා ලවා ප්‍රාර්ථනා කරනු කැමැත්තේ ඔහු වෙත යන්නට පිටත්වුනා.  සිරිවඞ්ඪ, ‘බොහෝ කලකින් ආර්යයන් වහන්සේ පැමිණියහ’ යි ආසනයක හිඳුවා ඔහුද 

නීචාසනයෙක හිඳ ‘ස්වාමිනි, අද නුඹ වහන්සේගේ අතවැසියෝ නො පෙනෙති’ යි වටපිට බලමින් විමතියෙන් කියන්නට වුනේ හැත්තෑහතර දහසක පිරිවර එදා නොසිටි හෙයින්. 

‘එසේය යහළුව, අපේ අසපුවට අනවමදර්ශි සර්වඥයන් වහන්සේ පැමිණියා. උන්වහන්සේ අපට දහම් දෙසූනු ලැබුවා, දේශනාවසානයෙහි මාගේ ශිෂ්‍යයෝ රහත්ව උන්වහන්සේ වෙත පැවිදි වුනා.

 ‘ස්වාමිනි, එසේ නම් නුඹ වහන්සේ ඒ බුදුරදුන් වෙත පැවිදි නො වූයේ මන්දැ’ යි සිරිවඞ්ඪ මවිතයෙන් ඇසුවා.

 ‘යහළුව, මම ඒ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ තෙරුන් වහන්සේ දැක අනාගතයෙහි ලොව පහළ වන ගෞතම නම් බුදුරදුන්ගේ සස්නෙහි අග සව් තනතුර පැතුවා, ඔබ ද ඒ බුදු සස්නෙහි දෙවන සව් තනතුර පතන්නට කැමති කරවගන්නයි පැමිණියේ යනුවෙන් ඔහු පවසනු ලැබුවා.

සිරිවඞ්ඪ කෙළෙඹි එයට කැමති වි සරද තාපසයන්ගේ උපදෙස් පරිදි තමාගේ නිවස ඉදිරියේ අටකිරියක් පමණ භූමිභාගයක් සමතලා කරවා වැලි ඉස්වා ලදපස්මල් ඉස්වා නිලූපුල් මල් පියැස්ස ඇති මඩුවක් කරවා අසුන් පනවා මහත් සත්කාරයත් පිළියල කොට බුදුන් වහන්සේ වැඩමවා දෙන පරිදි සරද තාපසතුමාට කියා සිටියා. තාපසතුමාත් ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරනු ලැබුවා. සිරිවඞ්ඪ පැනවූ අසුන් වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟන වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළදවා අවසානයේ දී වටිනා වස්ත්‍ර ද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමිනි, මාගේ මේ උත්සහය සුළු දෙයක් නොවෙය, එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරන සේක්වා’ යි දැයි විමසා සිටියා.

තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාරනු ලැබුවා. ඔහු සත්දිනක් මහදන් දී අවසානයේ අනවමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳ සිට ‘ස්වාමිනි, මාගේ යහළු සරද තාපසතුමා යම් බුදුකෙනෙකුන්ගේ අගසව් බව පැති ද මම මේ කුශලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා’ යි පතනු ලැබුවා. තථාගතයන් වහන්සේ අනාගතය  බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන ‘නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ ද්විතීයාග්‍රශ්‍රාවක වන්නෙහිය’ යි වදාරනු ලැබුවා. හෙතෙමේ එසේ අනවමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ථනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීයාග්‍රශ්‍රාවක වශයෙන් අපගේ බුදු සසුනේ පිදුම් ලැබුවා.


අපේ බුදුහාමුදුරුවෝ 42

අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 05

සත්වන බුද්ධවංශය නොහොත් අනොමදස්සී බුදුරදුන්ගේ වංශ කතාව ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි මෙලෙස සාරාංශ ගත කොට තියෙනවා. 

අනෝමදස්සී ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’චන්‍දවතී’’ නම් වී. පියතෙම ’’යසවන්ත’’ නම් රජය. මවු තොමෝ ’’යශොධරා’’ නම් වූවාය.

ඒ අනෝමදස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. ’’සිරී’’ ය, ’’උපසිරී’’ ය ’’වඩ්ඪ’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද ’’සිරිමා’’ නම් වූවාය. පුත් තෙම ’’උපවාරණ’’ නම් වී.

’’ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රන්සිවි ගෙයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ ඒ අනෝමදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ, සුදස්සන නම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

අනෝමදස්සී ශාස්තෲන් වහන්සේට ’’නිසභ’’ ද, ’’අනොම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ’’වරුණ’’ නම් උපස්ථායකයෙක් වී.

’’සුන්‍දරී’’ ද, ’’සුමනා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය කුඹුක් ගසයයි කියනු ලැබේ.

’’නන්‍දිවඩ්ඪ’’ ද, ’’සිරිවඩ්ඪ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’උප්පලා’’ ද, ’’පදුමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

මහමුනිඳු පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ ශරීර කාන්තිය නැංගාවූ (උදා) හිරු මෙන් නිතර පැතිරී යයි.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. උන්වහන්සේ එතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

සෝවාන් ආදී මග ඵල වලින් හෙබි දහම් ඇති බුදුසසුන කෙලෙස් කිලුටු නැති, රාගාදිය නැතිකළ, තාදී ගුණයෙන් යුත්, රහතුන් කරණකොටගෙන බැබලුනේය.

අපමණ පිරිවර ඇති ඒ ශාස්තෲන් වහන්සේද, ඒ අසමවූ (ශ්‍රාවක) යුගද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ සිස් වූවාහු නොවෙත්ද?

පස්මරුන් දිනූ අනෝමදස්සී ශාස්තෲන් වහන්සේ ’’ධම්මාරාම’’ යේදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ ජිනථූපය (දාගැබ) විසිපස් යොදුනක් උස්වී. (උසට බඳින ලදී.)

අනෝමදස්සී බුද්ධවංස වර්ණනාව නිමි. 


අපේ බුදුහාමුදුරුවෝ 43

මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද  මහා පියුම් වැස්සක් වස්සමින් ලොව පහල වූ පදුම බුදුහාමුදුරුවෝ 01

අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේට පසු කාලයේ  අවුරුදු ලක්ෂයක් ආයු ඇති මිනිස්සු පිළිවෙලින් දස වස් ආයුෂ දක්වා කෙමෙන් අඩු වී නැවත අසංඛ්‍යයක් දක්වා ආයුෂ වැඩි වන්නට වුණා. ඉන් පසු නැවතත් කාලය ඇවෑමෙන් මිනිසුන්ගේ ආයුෂ අසංඛයේ සිට ලක්ෂය දක්වා පිරිහෙන්නට වුණා. ඒ කාලයේ පදුම නම් බුදු හාමුදුරුවෝ මෙලොව පහළ වුණා. අපි මුලින් කීවා බුදුවරු තුන් නමක් ලෝකයාට ධර්මය දේශනය කරන කල්පයට කියන්නේ වර කල්පය කියලා. මේ එවැනි වර කල්පයක දෙවැනි බුදු රජාණන් වහන්සේ. උන් වහන්සේත් පාරමී පුරා අවසානයේ තුසිත දිව්‍ය ලොව ඉපිද එතනින් චුත ව චම්පා නුවර අසම නම්  රජකුල රූපාදියෙන් අසම අසමා නම්  අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්තා.  උන්වහන්සේ දසමස් ඇවෑමෙන් පස්සේ මවු කුසින් නික්ම චම්පක උයනෙහි දී මෙලොව එළිය දුටුවා. උන්වහන්සේ මෙලොව පහළ වූ මොහොතේත් විශේෂ සිදුවීමක් සිදුවුනා. එනම් මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වසිනු ලැබුවා. ඒ නිසාම උන් වහන්සේට නම් තබන දිනයේ නම් තබන්නෝ ද නෑයෝ ද මහා පදුම කුමාර කියා නම් තැබුවා .

උන්වහන්සේ අවුරුදු දස දහසක් දස දහසක් ගිහිගෙයි වාසය කළා. උත්තර, වසුත්තර, යසුත්තර නමින් ඒ ඒ සෘතුවෙහි වාසය කිරීමට මහා ප්‍රසාද තුනක් උන්වහන්සේටත් තිබුණ. උත්තරා දේවිය ප්‍රමුඛ දෙතිස් දාහක ස්ත්‍රීන් දිවා රාත්‍රියෙහි උන් වහන්සේට ඇප උපස්ථාන කළා. කාලයක් ඇවෑමෙන් ඒ උත්තර දේවිය රම්ම නම් පුතෙකු මෙලොවට බිහි කළා . එදිනම ඒ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙයි කළකිරි අජෙඤ්‍ඤ  රථයෙන් මහබිනික්මන් කළා. පැවිදි වූ උන් වහන්සේ සමඟ කෙලක් පුරුෂයන්ද පැවිදි භූමියට ඇතුළත් වුනා. ඒ බෝසතාණන් වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් දුෂ්කර ක්‍රියා කොට ධඤ්‍ඤවතී නුවර  සුඛඤ්‍ඤ සිටුහු ගේ ධඤ්‍ඤවතී නම් දියණිය පිදු මී කිරිබත් වළඳා මී අඹ උයනෙහි දිවවිහාර කොට සවස තීර්ථක ආජීවක දුන් අටතණමිට ගෙන කොටිල බෝධිය වෙත පැමිණ අටතිස් වියන් පළල ඇති තන ඇතිරිලි අතුරා පැලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල නසා තුන් යම්හි ත්‍රිවිද්‍යා පසක් කොට අනේක ජාති ආදීන් උදන් අනා බෝධි සමීපයෙහිම සත් සති ගෙවා බඹ ඇරයුම පිළිගෙන ධර්ම දේශනයට බඳුන් වන පුද්ගලයන් විමසන සේක් තමන් සමඟ පැවිදි වූ කෝටියක් පමණ භික්ෂුන් දැක එකෙණෙහි ම අහසින්  ධඤ්‍ඤවතී නුවර අසල  ධනඤ්‍ඤයි උයන්හි බැස ඔවුන් පිරිවරා ඔවුන් මැද දහම්සක පැවැත්වූවා.  එකල සියක් කෝටියකට ධර්මාවබෝධය වුණා .

පසු කලෙක පදුම භාග්‍යවතුන් වහන්සේ සිය බාල සොහොයුරු සාල කුමරුද උපසාල කුමරුද සපිරිවර ඥාතිසමාගමයෙහි පැවිදි කරවා ඔවුන්ට ධර්ම දේශනා කරද්දී  අනූ කෙල කට දහම් අමා වැසි පොවනු ලැබුවා.  යම් දිනෙකරම්ම තෙරුන්ට දහම් දෙසූ සේක් ද එකල අසූ කෝටියක් හට තෙවැනි වර ධර්මාවබෝධ වුණා .


අපේ බුදුහාමුදුරුවෝ 44

සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ සහ පදුම බුදුහාමුදුරුවෝ 02 

ප්‍රථම සන්නිපාතය

උන්වහන්සේගේ සාසනයේත්  ශ්‍රාවක සන්නිපාත තුනක් ඇති වුණා. යම් දාක මනාව වැඩු ජීවිත ඇති භාවිතාන රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළ  ලක්ෂයක් දෙනා පිරිවරා පැමිණ බණ අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ සමාගමෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා. ඒ ප්‍රථම සන්නිපාත යයි.

දෙවැනි සන්නිපාතය

පසු කලෙක මහා පදුම මුනිවරයානෝ උසභපාගමනින් උසභවතී නුවර සමීපයේ වස් වැසූවා. නුවර වැසියන් බුදුන් දකිනු රිසි ව බුදුන් වෙත මහා ජන ගංගාවක් මෙන් පැමිණෙන්නට පටන් ගත්තා. එහිදී ඒ මහා කාරුණිකයාණෝ ඒ මිනිසුන් හට ධර්මය දේශනා කරනු ලැබුවා. එහිදී බොහෝ පහන් සිත් ඇති මිනිසුන් පැවිදි භූමියට ඇතුළත් වුණා. ඒ  දසබලයාණෝ  ඔවුන් ද වෙනත් තුන්ලක්ෂයක් භික්ෂූන් සමඟ  විසුද්ධි  පවාරණයෙන් පවාරණය කළා. ඒ දෙවැනි සන්නිපාතයයි.

ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ ඒ භික්ෂුන්වහන්සේලා  කඨිනානිසංස අසා පෑලවියේ පස් මසක් පස් ආනිසංසයක් දෙන  කඨින සිවුරක් පූජා කළා. ඉන්පසුව පසුව ඒ භික්ෂූන් වහන්සේලා ඒ කඨින සිවුර ඇතිරීම සඳහා මහා ප්‍රාඥ ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරතෙරුන්ට ආයාචනය කොට කඨින සිවුර උන් වහන්සේ වෙතට දුන්නා.  ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කඨින සිවුර පිළියෙළ කරද්දී මැසීම සඳහා භික්ෂුන් වහන්සේලා  සහය වුණා. ඒ මහා අනතිමාණී  ගුණයෙන් යුතු පදුම බුදුරජාණන් වහන්සේ ඉඳිකටු මලේ  නූල් අමුණා දෙමින් ඒ සංඝ පිරිසට සහය වුණා. සිවුර නිමවීමෙන් පසු බුදුරජාණන් වහන්සේ තුන් ලක්ෂයක් භික්ෂූන් සමග චාරිකාවේ වැඩියා. උන් වහන්සේ ඒ මහා සංඝ සාගරයත් සමඟ වස් වැසුවේ මහ වනයක. ඒ වනය ගැන වර්ණනාවක් මෙලෙස බුද්ධවංශ අට්ඨකථාවේ තියෙනවා.

පසු කලෙක සිංහවික්‍රාන්ත ගමන් ඇති පුරුෂ සිංහයකු මෙන් බුද්ධ සිංහයන් වහන්සේ ගොසිංග සල්වනය බඳු පරමසුවඳ කුසුමින් ඵලයෙන් බරව  නැමීගත් සාවෙළප ඇති නිමල  නෙළුම් මානෙල් ආදියෙන් සමලංකෘත සිහිල් මීබිඳු වෑහෙන පිරුණු දියවිලින් යුත් මුවසෙමර  සිංහ ව්‍යාඝ්‍ර අහස් ඇත් අස් ගව මී ආදි  විවිධ මිගගණ හැසිරෙන සුවඳමල් ගඳින් බැදි හදින් බඹර මීමැසි යුවතියන්ගේ සංවරණයෙන් හාත්පස ගුමුගුමු නද ගැන්වූ පලරසින්  මත් හදින් අවියත් මිහිරි හඬින් යුත් කොවුලගගනන්ගේ ගායනා ඇති පරමරමණීය යෝගානුකුල ජනයාගෙන් තොර මහා වනයෙහි වස් එළැඹි සේක යනුවෙනි .

තෙවැනි සන්නිපාතය

එහි පැමිණි ජනයා  පිරිවර සමඟ වැඩ වාසය කරන දසබලයාණන් වහන්සේ දැක බණ සහ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙලක්ෂයක් පිරිවරා වස් පවාරණය කරනු ලැබුවා. එය උන්වහන්සේගේ තෙවැනි සන්නිපාතය වුණා.

 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ

වස් පවාරණයෙන්  අනතුරුව ඒ පදුම බුදුරජාණන් වහන්සේ ඒ  වනයෙහි ම සතියක් නිරෝධ සමාපත්තියෙන් වැඩ විසුවා. ඒ කාලය අප මහ බෝසතාණන් වහන්සේ සිංහ රාජයකු ඉපිද ඒ වනයේ ම   වාසය කළා. එක් දිනයක් වනයේ ගොදුරු සොයමින් ඇවිදමින් සිටි අප මහා බෝසතානෝ පදුම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටින ස්ථානයට පැමිණියා. උන් වහන්සේ දුටු විගසම ඒ සිංහ රාජයා හට සංසාර පුරුදු මතු වී මහා බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති වුණා . ඔහුගේ බුද්ධාලම්බන ප්‍රීතිය අත් නොහැරම සතුටු සිතින් ගොදුරු සෙවීම නතර කොට තෙවරක් සිංහනාද කොට දින හතක්ම දිවි පූජා කොට ඒ ශාස්තෘන් වහන්සේ දිහා බලමින් ඒ අසලම රැදී සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ සතියක් ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියා . එවිට තමන් කෙරෙහි පැහැදීමෙන් එහි රැඳී සිටින සිංහයකු වූ අප මහා බෝසතාණන් වහන්සේව දැක ගන්නට ලැබුණා. උන්වහන්සේට වැඩි වෙලාවක් නොයන්නට ඇති මේ බෝසත්වරයෙක් බව දැනගැනීමට. ඒ භාග්‍යවතුන් වහන්සේ සිංහයා දෙස බලා සිටිමින්  ඔහු හට සංඝයා වහන්සේලා කෙරෙහිද  ප්‍රසාදය  ඇති කිරීම සඳහා සංඝයා වහන්සේලා ද මෙතැනට පැමිනෙත්වා යයි සිතෙන් සිතන්නට වුනා. එවිට ඒ ලක්ෂ ගණනක් වූ ඒ රහතන් වහන්සේලා ද එතැනට වැඩම කරනු ලැබුවා. සිංහයා ද  ඒ සංඝරත්නය දෙස බලා ද සිත පහදවා ගනු ලැබුවා. ඉන් අනතුරුව  භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත බලා මේ  සිංහ තෙමේ අනාගතේ ගෝතම බුදු නමින් බුදු වන්නේ ඇයි නියත විවරණ ලබා දුන්නා.

මතු බුදු බුදුවන බුදුවරයකු ද බුද්ධත්වය ආසන්නේ දීත් එලෙස තිරිසන් කුලයක ඉපදුණා. මේ බියකරු සංසාරේ අපේ ගැන කුමන කතාද.


අපේ බුදුහාමුදුරුවෝ 45

සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ සහ පදුම බුදුහාමුදුරුවෝ. 03 

ඒ පදුම බුදුන්වහන්සේගේ ශීලය අසමය. සමාධියේත් කෙළවරක් නැත. උතුම් සර්‍වඥතාඥානය නොහොත් ෂට් අසාධාරණ ඥානයද අසංඛ්‍යය. නොගිණිය හැක. විමුක්තියද උපමා රහිතය. ඒ පදුම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙහෙම සංෂිප්ත කොට  සදහන් වෙනවා.

මහර්ෂීවූ පදුම බුදුරදුන්ගේ උපන් නුවර ’’චම්පක’’ නම් වී.

පියතෙම ’’අසම’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අසමා’’ නම් වූවාය.

ඒ බුදුවරතෙම අවුරුදු දසදහසක්  බුදුවීමට පෙර ගිහිගෙයි විසීය.

 ’’නන්දා’’ ය, ’’සූඝසා’’ ය, ’’උත්තරා’’ ය යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස්තුන් ලක්ෂයකි. ප්‍රසිද්‍ධවූ ඒ බිරින්ද ’’උත්තරා’’ නම් වූවාය. පුත් තෙම ’’රම්ම’’ නම් වී.

පදුම ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රිය යානයෙන් මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලේ බුදුවීම පිණිස ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ පදුම නම් ලොනාහිමි තෙමේ බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වී.

මහර්ෂීවූ පදුම බුදුරදුන්ට සාලද, උපසාලද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ වරුණා නම් වීය.

’’රාධා’’ ද, ’’සුරාධා’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’භිය්‍ය’’ ද, ’’අසම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රුචි’’ ද, ’’නන්‍දරාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

පදුම මහාමුනිඳුතෙම පණස්අට රියනක් උස්වී. උන්වහන්සේගේ අසමවූ ශරීර කාන්තිය සැම ලෙසින්ම දිසාවන්හි නිතර පැතිරෙයි.

සඳරැස, හිරුරැස, රුවන්රැස, ගිනිරැස, මිණිරැස යන ඒ සියලු කාන්තීහු පදුම ජිනරාජයන්ගේ ශරීර කාන්තිය උතුම්කොට පැමිණ නැසුනාහු වෙත්.

ඒ කලෙයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතී. ඒ (පදුම) බුදුරජහු ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක.

මේරූ ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන් ඇති, විනෙය හික්මවිය හැකි ජනයන්ට ඉතුරු නොකොට සිවුසස් අවබෝධ කරවා සෙසු සත්ත්‍වයන්ට අනුශාසනාකොට ශ්‍රාවකයන් සහිතවූ ඒ (පදුම) බුදුරජතෙමේ පිරිනිවි සේක.

නාගතෙමේ දිරාගිය සැවය ඉවත් කරන්නාක් මෙන්ද, ගස පරණලා ඉවත දමන්නාක් මෙන්ද, සියලු සංස්කාරයන් හැරපියා, ගින්න යම්සේ නිවියයිද, එසේ උන්වහන්සේ පිරිනිවි සේක.

ශාස්තෘවූ පදුම ජිනවරතෙම ධර්‍මාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරවීම වී.


අපේ බුදුහාමුදුරුවෝ 46

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු නාරද බුදුහාමුදුරුවෝ 01

නාරද බෝසතාණන් වහන්සේ ලොව පහල වීම.

පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වී ලක්ෂයක ආයුෂ ඇති මිනිසුන් අනුක්‍රමයෙන්  අවුරුදු දහය දක්වා පිරිහෙන්නට වුණා. නැවත ආයුෂ ක්‍රමයෙන් ක්‍රමය වැඩීමෙන් ආයුෂ අසංඛය දක්වා පැමිණ නැවතත් අවුරුදු අනූ දහසක් දක්වා පිරිහුණා. එකල දසබලධාරී ත්‍රිවිද්‍යා  ඇති චතුර්වෛශාරද්‍යය විශාරද විමුක්ති සාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත භවනෙහි ඉපිද එතනින් චුත ව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජ කුලයෙහි අග මෙහෙසිය වූ නිරූපම අනෝම දේවියගේ කුසේ පිළිසිද ගත්තා.

නම් තැබීම සහ අලංකාර ආභරණ අහසින් පතිතවීම

උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහිදීද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදිම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ධනඤ්ජය උයනෙහි මව් කුසින් බිහි වුණා . උත්පත්තියෙන් දින කිහිපයකට පසු නම් තබන දිනයද පැමිණුනා. එදා විශේෂ සිදුවීමක් වුණා. එදා දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත්  වන පරිදි ඉතා අලංකාර ආභරණ අහසින් සහ කල්පරුක්ශාදියෙන් පතිත වන්නට වුණා . එනිසාම උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්නේ යයි කියා නාරද යනුවෙන් නම් තැබුවා. උන්වහන්සේ නව දහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළා. විජිත විජිතාවි විජිතාභිරාම නම් ඉමහත් වූ කම්සැපයෙන් අගතැන්පත් තුන් සෘතුවට යෝග්‍ය  මහා ප්‍රසාද තුනක් වුණා . නාරද කුමාරයාහට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිත සේනා නම් අතිශයින් රූමත් පින්වත් කැත් කුමරිය අගමෙහෙසිය වුණා .ඒ කුමරිය ප්‍රධාන විසිදහසකට අධික ස්ත්‍රීන්  උන් වහන්සේ වෙනුවෙන් සේවයේ යොදවා සිටයේ ඔහුව ගිහිගෙයිම රඳවා ගැනීමට.

විවිධ වර්ණයෙන් සැරසී ලක්ෂසංඛ්‍යාත පිරිවර සමග පාගමනින්ම ගිහිගෙයින් නික්මීම.

ඒ විජිතසේනා දේවියට සකල ලෝකනන්දකර නන්‍දුත්තර කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැලඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරී ව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පා ගමනින් ම උයනට අභිනික්මන් කොට උයනට පිවිසියා. එහි ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිනේරුව මුදුනෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරනු ලැබුවා. මහපුරිස්‍හු දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූනා. උන්වහන්සේ අනුව දහස්ගණන් දෙනා පැවිදි වූනා. දින හතක් ප්‍රධන් වීර්‍යය කොට නිමවුණා. එදා තවත් එක් වෙසක් පොහෝදිනක්. උන්වහන්සේගේ ආදරණිය බිරිඳ විජිතසේනා කුමරිය සංසාරේ පැතූ තවත් පාරමිතාවක වගේ බුදුවෙන්නට පෙර තමාගේ දෑතින්ම තැනු මිහිරි මි කිරිබත් රැගෙන ඒ උයන වෙත උදෑසනම පැමිණියා. උන්වහන්සේ අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා එම උයන්හි ම දිවා විහරණය කොට සවස් කාලයෙහි සුදස්සන නම් උයන්පල්ලා දුන් අටතණමිට ගෙන තොටිල (මහාසෝණ) රුකමුල වෙත පිය මැන්නා. ඒ රුක්‍ෂය පිළිබන්දවත් ලස්සන වර්ණනාවක් බුද්ධවංශ අට්ඨකතාවේ තියනවා. ඒ මෙලෙසයි.

රත්තසොණ නම වෘක්ෂය

රත්තසොණ නම් ඒ වෘක්ෂය අනු රියනක් උසයි. එක සමාන වටයකින් යුතු කදකින් යුක්තය. නොයෙක් ශාකයන් පිරිවරා ගෙන සිටියේ. නිල්වන් පත්‍රයන්ගෙන් පිරිලා. ඒ නිසාම ඒ ගහ යට ඝන සෙවනකින් යුක්තයි. දේවතාධිගෘහිතයි. විහඟ ඝන සේවනයෙන් තොරයි. පොලෝ තලයට තිලකයක් බඳු යි. තැන් රාශියක් කරගන්නාක් මෙන් පරම රමණීය දැකුම්කලුයි. මුතු කුසුමින් සමලංකෘත සකල ශාකයෙන් මිනිසුන් මෙන් ම දෙවියන්ගෙන් නෙත් පැහැර ගත්තා. හරියටම දෙව්ලොව ඇති පරසතු මල් ගස වගේ.

බුද්ධත්වයට පැමිණීම.

උන්වහන්සේ ඒ උතුම් බෝධියට තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යා උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන්  උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන්වහන්සේ සමඟ පැවිදි වූ ලක්‍ෂයක් දෙනා දැක ධනඤ්ජය උයනෙහි දම්සක් දෙසූමදේශණා කරනු ලැබුවා. එහිදී කෙළ ලක්‍ෂයකට ධාර්මාවබෝධය වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 47

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත්වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු නාරද බුදුහාමුදුරුවෝ 02

නාග දමනය

ඒ නාරද බුදුරජාණන් වහන්සේ ගේ කාලේ මහාදොණ කියලා නුවරක් තිබුණා. සමහරවිට ඒ නුවරට මහාදොණ  කියලා නම් කරන්න ඇත්තේ දොණ කියලා මහා නාගරාජයෙක් ඒ නුවර හිටපු නිසා වෙන්න ඇති.  ඒ නාග රාජයා මහත් ඍධි ඇති මහානුභාව සම්පන්න නාගරාජයෙක්. ඔහු හිටියේ ඒ ගමෙහි තිබුණු මහා විලක් අසලයි. ඒ නාගරාජයාට මේ ගම්දනවු වැසියන් මහත් භීතියෙන් බිලිපූජා පවත්වමින් ඇප උපස්ථාන කරමින් සිටියා. යම් හෙයකින් ඔහුට පවත්වනු ලබන බිලි පූජාවන්හි යම් අඩුපාඩුවක් වුවහොත් ඔහු තදින් කිපුණා.  කිපි නිහඬව සිටියේත්  නෑ. ඒ මුළු දේශයේම මහා නියඟයකින්  හෝ මහවැස්සකින් හෝ බොරලු වරුසාවකින් විනාශ කරලා දැම්මා. ඒ නිසා මිනිස්සු හිටියේ හැමදාමත් භීතියෙන්. ඒ වගේම  නිරන්තරයෙන්ම ඔහුට මිනිසුන්ව බිලිදීමත් සිදු වුණා. ඒ ජනපදවාසීන් විඳින්නා වූ ඒ මහත් චිත්ත පීඩාව භීතිය  ඒ මහා කාරුණිකයාණන් වහන්සේ  දිවසින් දැක්කා. ඒ වගේම ඔහු දමනයෙන් ඒ නගරවාසීන්ට ලැබෙන්නා වූ මහත් වූ සැනසීම ද ඒ සඳහා ඔවුනට හේතු සම්පත් ද ඇති බව දැක මහත් වූ බික්සඟන පිරිවරා ඒ ස්ථානයට වැඩම කරනු ලැබුවා.

ඒ නාග භවනට වැඩම කරන බුදු රජාණන් වහන්සේ දුටු මිනිසුන් උන් වහන්සේව නවතා ගැනීමට බොහෝ උත්සහ දරමින් මෙසේ කියන්නට වුනා.

“භාග්‍යවතුන් වහන්ස මෙහි ඝෝර විසැති උග්‍ර තේජස් ඇති මහා ඉර්ධි මහානුභාව ඇති නාරජෙක් වාසය කරනවා. ඔහු මිනිස්සුන්ව පෙළනවා. ඔබවහන්සේ එහි නොයා යුතුයි.”

 භාග්‍යවතුන් වහන්සේ එය නොඇසුනාක්  මෙන් ඉදිරියටම වඩින්නට වුණා. වැඩම කොට  ඒ නා රජු හට සත්කාර සඳහා සකසන ලද අතිසුවඳැති මල් ඇතිරිල්ලේ වැඩවුන්නා. එවිට සියලු ම ගම්වැසියන් බුදුරජාණන් වහන්සේගේත් නා රජුගේත් යුද්ධය බලන්නෙමු යැයි කියා ඒ අවට රැස් වූනා. එවිට ඒ සර්ප නාගයා එසේ වැඩහුන් බුදුරජාණන් වහන්සේ දැක මකුබව නො ඉවසමින් දෘශ්‍යමාන කයින් පෙනීසිටිමින් දුම් දමන්නට වුණා . ඔහුට ඒ විසඳුමෙන් ගම්මානයක් වුවත් වනසා දැමිය හැකියි . බුදුරජාණන් වහන්සේත් එලෙස ඔහු වෙත දුමාරයක් නිකුත් කළා . ඒ ඔහු විනාශ කිරීමට නොවේ. දමනය කිරීමට. ඒ දුම් දහරාවෙන් නාගරාජයාගේ මුළුමහත් ශරීරයේම ඉමහත් වූ දාහයක් හටගෙන දැවී ගියා . බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය  දැල් වී ගියත් කිසිම අනතුරක් වුණේ නැහැ . ඔහු නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත විෂ දුමාරය එල්ල කරන්නට වුණා . බුදුරජාණන් වහන්සේත් ඔහු වෙත දුම් ජාලාවන්  එල්ල කළා . දසබලයන් වහන්සේගේ ශරීරයෙන් එල්ල වූ දුම් දහරාවෙන් බොහෝ පීඩාවට පත් හෙතෙම තව දුරටත් සිරුරෙන් දුක්  ඉවසිය නොහැකිව ඔහු මරන්නෙමි යයි සිතා විෂ ධාරාවන් බුදුරජාණන් වහන්සේ වෙතට එල්ල කරනු ලැබුවා . ඒ වේගයෙන් විඳින විසෙන් මුළු දඹදිවම වුනත් වැනසිය  හැකියි . එහෙත් එබඳු විසකට වත් භාග්‍යවතුන් වහන්සේගේ රෝමයක් හෝ සොලවන්නට නොහැකි වුණා. බොහෝ වෙහෙසට පත් නාගරාජයා අවසානයේ ඇත්තෙන්ම මේ කවුරුන් දැයි  විමසන්නට වුණා . දහවලදී සරා හිරුමෙන් ද රාත්‍රියේදී සඳු මෙන් ද පිරිපුන්ව නිරන්තරයෙන්ම  බඹයක් පමණ සවණක් රසින් බබළන පහන් වදනින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පුදුමයි මේ මහා ශ්‍රමණයන් මහාර්ධිමත්‍ ය. මම ඔහුගේ බල නොදැන වරදවා ගත්තෙමි. දැන් ඇති එකම විසදුම ඔහු  සරණ යාමයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සරණ සෙවිය. එවිට නාරද මුනිරාජාණෝ ඒ නා රජු දමනය කොට එහි රැස්වූ රැස්වූ මහජනයාගේ සිත් පැහැද වීම සදහා යමක ප්‍රාතිහාර්ය කළ සේක. එදින නව කෙළක් ප්‍රාණීහු අරහත්වයේ පිහිටියා. එය දෙවන මහා ධර්මාවබෝධය ද  වුණා .


අපේ බුදුහාමුදුරුවෝ 48

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ නාරද බුදුහාමුදුරුවෝ 03

නිරන්තරයෙන් යොදුනක් බුදුරැස්  විහිදුන නාරද බුදුහාමුදුරුවෝ.

තවත් මුලදි කියන්න බැරි විශේෂ කරුණක් තිබුණා. ඒ තමයි නාරද බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැන. නාරද බුදුරජාණන් වහන්සේ ගේ පියා සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙකුගේ පුතෙකුට  තිබිච්ච ලෞකික සැප ගැන හිතන්න. නාරද බෝසතාණන් වහන්සේ එවැනි අනේක වූ සැප සම්පත්ද සක්විති රජකම ද  හැර දමා තමයි බුද්ධත්වය සඳහා පැමිනුනේ. 

නාරද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයනුත් බුද්ධ රශ්මි ධාරා යොදුනක් පමණ පැතිරුණා කියල තමයි අට්ඨකථාවේ කියන්නේ. ඒ නිසාම උන්වහන්සේ වැඩ සිටින තැන්වල ජනතාව පන්දම් පහන් දැල් වූයේ නැහැ . කාලය සෙමින් ගත වෙද්දි උන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා .

ප්‍රථම සන්නිපාතය

පළවෙනි සන්නිපාතය ඇතිවුණේ ථුල්ලකොට්ඨිත නුවරයි. භද්දසාල විජිතමිත්ත කියන්නේ උන් වහන්සේගේ අගසව් දෙදෙනා. දිවි ජීවිතේ ඒ දෙන්නා හොඳම යාලුවෝ .ඔවුන් දෙදෙනා නිවන් මග සොයමින් එනකොට තමයි දැක්කෙ බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් මැද වැඩ සිටිනවා . ඒ අතිශයින් ප්‍රභාස්වර වූ නාරද බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් මේ කෙලෙසුන් නැසූ සම්මා සම්බුදුවරයෙකු යයි නිෂ්ඨාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදි බව ලබා ගත්තා. ඒ පැමිණීම ඒ බුදු රජාණන් වහන්සේත් බලාපොරොත්තු වෙන්න ඇති. ඔවුන් පැවිදි ව රහත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දේශනා කළා. එයප්‍රථම සන්නිපාතයයි.

දෙවැනි සන්නිපාතය

යම් කාලෙක නාරද සම්මා සම්බුදුරජාණන්  වහන්සේගේ ඥාති සමූහයා අරභයා විශේෂ ධර්ම  දේශනයක් පැවැත්වූවා. ඒ තමයි උන්වහන්සේ ගේ පළමු බුද්ධත්ව ප්‍රාර්ථනය සිට බුද්ධත්වය දක්වා ආ මග මඟ පිළිබඳව   සවිස්තර ව දේශනා කළ අති මිහිරි  බුද්ධ වංශ කතාවයි . එදා අනූ  කෙළ දහසක් භික්ෂූන්ගේ දෙවැනි සමාගමය වුණා.

 තෙවැනි සන්නිපාතය

ඒ වගේම මීට ඉහත සදහන් කළ දොණ  නාගරජ දමනය දැකබලා පැහැදුණු වෙරෝචන නම් නාරජ ගංගා නදියෙහි තෙගවුවක් පමණ වූ සත් රුවන් මණ්ඩපයක්  මවා සපිරිවරින් සිය දානයෙහි අග්‍ර බව දැක්වීම පිණිස ආරාධනය කොට නාග නළු නිළියන් ද විවිධ වේශලංකාරධර තාලාවචරයන්ද රැස් කොට මහා සත්කාරයෙන් සපිරිවර භාග්‍යවතුන් වහන්සේට මහ දන් පූජා කළා. ඒ මහජන මහා දානමය පිංකම අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මහා  පුණ්‍ය ගංගාවක් ගලන්නා විලසින් පුණ්‍යානුමෝදනාවක් කලා. ඒ පුණ්‍යානුමෝදනාව අසා පැහැද ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූ අසූ ලක්ෂයක් භික්ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා . ඒ  තෙවැනි  මහා සන්නිපාතය වුණා

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ

ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පැවිදි තවුසෙක් ව හිමවත්හි අසපුවක් තනා පංචාභිඥා ද අෂ්ටසමාපත්ති ලාභීව ද  වැඩ වාසය කළා. ඒ කාලේ ඒ මහා බෝසතාණන් වහන්සේට මහත් වූ අනුකම්පාවෙන්  නාරද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අසූකෙළක් ද දසදහසක් අනාගාමී ඵලයට පත් උපාසකයන් ද පිරිවරා ඒ අසපුවට වැඩිය. අප මහ බෝසතාණන් වහන්සේත් මහත් සෘද්ධි බල සම්පන්න තවුසෙක් . නැතිනම් එකවර අනපේක්ෂිත ලෙස පැමිණි මේසා විශාල  බුද්ධ ශ්‍රාවකයන් පිරිසකට ඇප උපස්ථාන කරන්නේ කෙලෙස ද. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අසපුවට වඩින විට හවස් වෙලා. අදුර වැටෙන්නට  ආසන්නයි. බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කළේ ඒ අසූ කෙළක් පමණ වූ පිරිසට රාත්‍රියේ වැඩ වාසය කිරීමට විශාල අසපුවක් මැවීමයි. ඉර්ධියෙන් මවන අසපු දෙව්ලොව මාලිගා තරම් ලස්සනයි . ගස් වැල් මල් පලවැල විතරක් නෙමෙයි රාත්‍රී කාලේ එළිය දෙන මල් වලිනුත් මුළු පරිසරයම පිරිලා. එහි පිහිටවූ විශේෂ මණ්ඩපයක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට වුණා .

දින හතක්ම බුදුගුණ ඇසූ අප මහා බෝසතාණෝ

අප බෝසතාණන් වහන්සේ අහන්නට කැමති වුනේ  බුදු ගුණ. ඒ ඔහුත් මතු බුදුවරයෙක් නිසා. ඒ නිසා නාරද බුදුහාමුදුරුවෝ මුළු සර්ව රාත්‍රිය පුරාම  දේශනා කළේ ඒ අනන්ත වූ  බුදුගුණමයි. අප මහා බෝසතාණෝ පසුදින උදෑසනම   උතුරුකුරු දිවයිනට ගොස් දන් ගෙනවිත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ පිරිවරට පූජා කළා. ඒ ඉර්ධි බලය ආශ්චර්යයි . තමාගේ පාත්‍රයන්ට කොතරම් දම් බෙදුවත් ඒ ඒ ආහාරය ඉවර වුණේ නැහැ. උන්වහන්සේ පෙර මා ඇසූ  අනන්ත වූ බුදු ගුණ දේශනාව ට කොතරම් වසඟ වුනාද කියතොත් දින හතක් පුරා ම  නාරද බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර රඳවාගෙන බුදුගුණම ඇසුවා. අවසානයේ සත්වෙනි දින මහත්වූ ප්‍රීතිය ට පැමිණි අප මහා බෝසතාණෝ  වතින්  අනගි රත්සදුන් ගෙනවිත් එයින් බුදුන් පුදනු ලැබුවා.

නියත විවරණ ලැබීම.

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්  පිරවරා පුණ්‍යානුමෝදනා  කොට උන්වහන්සේට  මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දෙනු ලැබුවා. දෙවිවරුන්ගේ සාධුකාර නදත් අත්පොළසන් නදත් දසදහසක් සක්වල පුරාම  පැතිරුණා. මදාරා මල් දසත විසිරී ගියා. අප බුදුහාමුදුරුවන්ගේ අපම වෙනුවෙන් පැතූ තවත් නියත විවරණයක් එලෙස සනිටුහන් වුනා.


අපේ බුදුහාමුදුරුවෝ 49

නාරද බුදුහාමුදුරුවෝ 04

ඒ නාරද භාග්‍යයවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙහෙම සංෂිප්ත කොට සදහන් වෙනවා.

පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නමින් ’’නාරද’’ නම්වූ සම්බුදු රජතෙම වී.

ඒ නාරද බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේය.

ඒ උයනෙහි ලෝකයෙහි ප්‍රසිද්‍ධවූ, දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේය.

ඒ තොටිල ගස මුලදී වජ්‍රයකට බඳු හෙවත් තියුණුවූ පමණ කළ නොහැකි සර්‍වඥතාඥානය උපනි. ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කෙළේය.

ඒ තොටිල ගස මුලදී සියලු කෙලෙසුන් ඉතුරු නොකොට විනාශයට පැමිණවී. හුදෙක් තණි රහත් මග නුවණටද, තුදුස් බුදු නැණටද පැමිණි සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ගේ උපන් නුවර ’’ධඤ්ඤවතී’’ නම්. පියතෙම ’’සුදෙව’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අනොමා’’ නම් වූවාය.

ඒ නාරද බුදුරජතෙම බුදුවීමට පෙර අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. ’’ජිත’’ ය, ’’විජිත’’ ය, ’’අභිරාම’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් තුන් දහසකි. බිරින්ද ’’විජිත සේනා’’ නම් වූවාය. පුත් තෙම ’’නන්දුත්තර’’ නම් වී.

සතර පෙර නිමිති දැක, පා ගමණින් මහබිනික්මන් කෙළේය. නාරද ලෝනා හිමිඳ සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ නාරද ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ට ’’භද්දසාල’’ ද, ’’ජිනම්ත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ ’’වාසෙට්ඨ’’ නම් වී.

’’උත්තරා’’ ද, ’’ඵග්ගුණී’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’උග්ගරින්‍ද’’ ද, ’’වසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ඉන්‍දවරී’’ ද, ’’ඉන්දී’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අසූඅට රියනක් උස්වූ, රන් ඇගෑවක් පහන් කණුවක් බඳු නාරද මහමුනිඳු තෙම දස දහසක් සක්වළවල් බබලවති.

ඒ නාරද බුදුරජුන්ගේ ශරීරයෙන් බඹයක් පමණවූ ආලෝකය හාත්පස නිතර දුවයි. පැතිරෙයි. දවල්ද, රෑද නිතර යොදුනක් තැන් පතුරුවයි.

ඒ කාලයෙහි නාරද බුදුරජුන්ගේ රශ්මියෙන් පැතුරුණු හාත්පස යොදුනක් පමණ තැන ඇතැම් ජනයෝ පන්දම්ද, පහන්ද නොදල්වත්.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී. ඒ නාරද බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

යම්සේ තරු සමූහයන් කරණකොටගෙන අහස විසිතුරුව හොබීද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ ශාසනය රහතුන් කරණකොටගෙණ ශෝභාවත් විය.

ඒ නරදෙටු නාරද බුදුරජතෙම රහතුන් හැර සෙසු පිළිවෙත් පිරූ සෙඛාදී පුද්ගලයන්ට සංසාර නමැති සැඩපහරින් එතර කිරීම පිණිස මාර්‍ග නැමැති හෙය ඒදණ්ඩ දැඩිකොට තබා පිරිනිවි සේක.

අසමසමවූ ඒ නාරද බුදුරජතෙමේද, අසමාන තෙද ඇති ඒ රහත්හුද යන සියල්ල අතුරුදන්වී. සියලු සංස්කාරයෝ සිස්වූවාහු නොවෙත්ද?

නාරද ජිනරාජයන් වහන්සේ සුදස්සන නම් නුවරෙහි පිරිනිවි සේක. ඒ නුවරෙහිම ජිනථූප දාගැබ තුන් යොදුනක් උසට බැන්දේය.


අපේ බුදුහාමුදුරුවෝ 50

නාරද බුදුන්ගේ ශාසනය අවුරුදු අනූපන්දහසක් පැවතිලා අතුරුදහන් වුනා. එලෙස ඒ කල්පය ද විනාශ වුණා . ඉන් පසු ව අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව පහල උනේ නැහැ. එවැනි කල්ප  බුද්ධ ශූන්‍ය කල්ප වශයෙන් හඳුන්වනවා. නැවතත් බුද්ධාලෝකයෙන් ලොව තොර වී අන්ධකාරය රජ කරන්න වුනා. සතර අපාය පිරී ඉතිරිමත් දිව්‍ය තල හිස් වීමත් එවැනි කල්ප වල තවත් ලක්ෂණයක්. එවැනි අසංඛ්‍ය කල්පයක් නිමා කරමින් තවත් මණ්ඩ කල්පයක ආලෝකය ලොවට උදාවන්නට වුනා. මණ්ඩ කල්පයක් කියන්නේ බුදුවරු දෙනමක් පමණක් පහළවන කල්පයකට. ඒ අවිදු ගනඳුර ,නිමා කරමින් සකලලෝකෝත්තර වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනා.

උන්වහන්සේද පාරමී පුරා තුසිතපුර ඉපිද එයින් චුතවී හංසවතී නුවර සකල ජන ආනන්දකර නන්දන නම් රජුගේ අගමෙහෙසි උත්තමකුල ජනිත සුජාතා දේවියගේ කුස පිළිසිද ගත්තා. දෙවියන් විසින් ඇති ආරක්ෂා ඇති එතුමිය දසමස් ඇවෑමෙන් හංසවතී උයනෙහි පියුමතුරා කුමරු ප්‍රසූත කළා. අනෙකුත් බෝධිසත්ත්වයන්ගේ වගේම උන්වහන්සේගේ උපතේදීත් මිට ඉහත විස්තර කල පරිදී දෙතිස් පෙළහර ලොවෙහි ඇති වුනා. උන්වහන්සේගේ උපතේදී ද පියුම් වර්ෂාවක් ඇද හැලුනා. ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයේ නෑයෝ පදුමුත්තර කියා නම් තැබුවා. උන්වහන්සේ මෙලෙස අනේක විද සැප සම්පත් මැද අවුරුදු  දසදහසක් ගිහිගෙයි වාසය කළා.